
පෙම්බර බිරිය
මගේ වේදිකා නාට්‍යයේ පුහුණුව අවසන් වූ පසු අපි විසිර යමින් සිටියෙමු.
“මාස්ටර්!”
ඒ මට පිටුපසින් දිව ආ සගයා ගේ හඬ ය. මම ඔහුට නුරුස්නා බැල්මක් හෙළීමි. ඒ ඇමතුමට මා කැමති නැති බව දැන දැනත් ඔහු එසේ අමතන්නේ මා කේන්ති ගස්සනු පිණිස ය. එහෙත් අපි දෙන්නාට ම හිනා ගියේ ය.
“ඒක නෙමේ, ඔයාට අපේ කණ්ඩායමේ දෙන්නෙක් අතරෙ අමුතු තත්ත්වයක් ඇති වෙලා තියනව කියල දැනෙන්නෙ නැද්ද?”
“පිටපතේ වෙනස්කම් ටිකක් කරන්ඩ තියනව. ඒ ගැනයි මං හිත හිත ඉන්නෙ. වෙන දේවල් ඔළුවට දා ගන්නෙ නෑ”
“ඒක තමයි. නැත්තං අපිට වගේ ඔයාටත් ඒක දැනෙන්ඩ ඕනැ”
“අමුතු තත්ත්වයක් කිව්වෙ?”
“අලුත්ම නිළියයි පරණම නළුවයි අතරෙ.”
මම නෑසුණා සේ යන්නට ගියෙමි.
ඔහු පරණ ම නළුවායි කීවේ මගේ නාට්‍ය කටයුතුවලට මුල සිට ම අත හිත දෙමින් ඇතැම් විට මුදල් ද වියදම් කරමින් කැපවන මගේ මිතුරා ය. සුදුසු නිළියක නොවූයෙන් අලුත් නිළියක සොයාගෙන ආවේ ද ඔහු ය. පුහුණුව අවසානයේ ඇය ඇරලන්නේද ඔහු ය.
නාට්‍ය කණ්ඩායම් අතර අන්නෝන්‍ය අවබෝධය ඇති කිරීමට මෙන් ම විනය ඉහළින් පවත්වා ගැනීමට ද මම උත්සාහ කරමි. දැන් මගේ හොඳම මිතුරා ප්‍රශ්නයක් ඇති කර තිබේ. මම සැලී ගියෙමි.
පුහුණුවීම් දින ගෙවි යද්දී පෙම් සබඳතාව ද අතු පතර විහිදමින් වැඩෙනු කාටත් දැකිය හැකි විය. සෙසු නළු නිළියන් ද කට වසාගෙන සිටියේ මගේ හිත රිදවීම මෙන් ම නාට්‍යය ඇද වැටීම ද වළක්වා ගනු පිණිස ය.
කෙමෙන් මට මේ පීඩනය දරා සිටීමට නොහැකි විය. දිනක් පුහුණුව අතර මම කෝපයෙන් කෑ ගෑවෙමි.
කවුරුත් ගල් ගැසී ගියහ.
මම ඈතට ගොස් කල්පනා කරන්නට විමි.
කිසිවකු මගේ උරහිසට අත තැබූයෙන් මම හැරී බැලුවෙමි. මා දුටුවේ වරදක් කළ දරුවකු මෙන් මදෙස බලා සිටින මගේ මිතුරා ය.
“මට සමාවෙයං මචං. මමයි වැරදිකාරය! ඔයා කේන්ති ගන්ඩ එපා! දමල ගහල යන්ඩත් එපා! අපි පුරුදු විදිහට රිහසල් කරගෙන යමු!”
“ඇයි ඔයා පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ?”
“මොනව කරන්ඩද මචං. ආදරේ හැටි එහෙම තමයි”
“යකෝ, උඹ ලොකු දරුවොත් ඉන්න තාත්ත කෙනෙක් නේද?”
“සහතික ඇත්ත! ඒත් ආදරේට සීමා මායිම් කොයින්ද? ඒක වෙන්නෙ ඉබේ”
මොහොතකට පසු යළි පුහුණුවීම් ඇරඹිණ. නළු නිළියෝ කිසිවක් නොවූ ගාණට යළිත් රඟපෑමට පටන් ගත්හ. එදින පුහුණුව අවසානයේ සමු ගෙන යන මොහොතේ අලුත් නිළිය මවෙත ළං වී දෑත එක් කළා ය.
“සමාවෙන්ඩ අයියෙ”
ඊට පසු ඔවුන් ගේ ඇසුර රහසක් නොවී ය. එය ප්‍රශ්නයක් කර නොගැනීමට සෙස්සෝ ද බුද්ධිමත් වූහ. නාට්‍යය වේදිකාගත කිරීමට දින ළං වෙද්දී අපි දවස පුරා ම පුහුණුවීම් කළෙමු. ඒ අතර සංගිත පුහුණුව ද, විදුලි ආලෝක පුහුණුව ද කළ යුතු විය.
අපි කඩෙන් යමක් ගෙන්වාගෙන කෑවෙමු. මමිතුරා බිරිය උයා බැඳ දුන් බත් මුල සිය පෙම්වතිය සමඟ සතුටින් බුක්ති වින්දේ ය.
දිනක් හදිසියේ කැරුණු ආරාධනාවකට අනුව අපි ඔහු ගේ ගෙදර කෑමකට ගියෙමු.
සාලයේ ලොකු මේසය මඟුල් මේසයක් සේ නොයෙක් අහරින් පිරී තිබිණ.
විසිතුරු සාරියකින් සැරසී සිටි මමිතුරා ගේ බිරිය සිනාසී ගෙනැවිත් දිය විදුරුවක් අල්ලා අපට කෑමට ඇරියුම් කරද්දී මමිතුරා සතුටින් කෑ ගැසුවේ ය.
“අදට අපි කසාද බැඳල අවුරුදු පහළොවයි. ඒක සමරන්ඩ ඕනැ. ඇවිල්ල කාපල්ල!”
මමිතුරා ගේ බිරිය අපේ අලුත් නිළියට විශේෂයෙන් සැලකුවා ය. දරුවෝ ද පසෙකට වී සිනාසෙමින් බලා සිටියහ.
“අක්කෙ, ඔයා උයන කැම හරි රහයි”
“අහන්ඩත් සන්තෝසයි නංගියෙ”
‘මං ගෙදරදි නං චුට්ටයි කන්නෙ. ඒත් ඔයා දෙන බත් පාර්සලේ අපි දෙන්න ඉවර වෙනකංම කනව”
“මං ඔයාගෙ කෙට්ටුව මට්ටු කරල ඔයාව මහත් කරන්නංකො”
අපි ඉළ කැඩෙනතුරු සිනා සීමු. මමිතුරා ද මහත් සේ සිනා සුණේ ය.
මෙය නම් මහ පුදුමයකි.
දින කිහිපයකට පසු නාට්‍යයේ මංගල දර්ශනය ඇරඹියේ ය. ඉදිරි පෙළ ආරාධිත අමුත්තන් අතර මමිතුරා ගේ බිරිය ද වූවා ය.
ප්‍රේක්ෂකයෝ නාට්‍ය රසයෙන් මත් වූහ. නාට්‍ය අවසන් වූයේ ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේය. නාට්‍ය අවසන් වූ හැටියේ ම අලුත් නිළිය දුවැවිත් මමිතුරා ගේ බිරිය ගේ දෑත අල්ලා ගත්තා ය.
“අක්කෙ”
“අපූරුයි නංගියෙ. ඔයාගෙ රඟපැම හරි ඉහළයි! අපි ගොඩක් සන්තෝස වුණා. ඔයාට හොඳ අනාගතයක් තියනව”
“අනේ අක්කෙ”
දෙදෙනා සිප වැලඳගත්තෝ ය.
මේ දසුන දෙස ආසාවෙන් බලා සිටි අයෙක් විය. ඒ මමිතුරා ය. ඔහු ගේ දෑසින් සතුටු කඳුළු බේරෙනු මම දිටිමි.
සමුගෙන යෑමට පෙර මමිතුරා ගේ බිරිය මා දෑත අල්ලා ගත්තා ය.
“මල්ලියෙ, ඔයා අපිට දුන්නෙ ලොකු සතුටක්. නාට්‍යය හරිම ලස්සනයි”
මෙතරම් හොඳ අය වූ මමිතුරා ගේ බිරියට සහ දරුවන්ට මගේ නාට්‍යයේ නිළියක නිසා උඩින් නොපෙන්නුවාට හිත් රිදුමක් ඇතිවී ඇතැයි මම සිතා සිටියෙමි. මම ඒ ගැන ඇගෙන් ඇසිමට පසුබට නොවීමි.
“අනේ නෑ මල්ලියෙ. ඕව මොනවද? මං එයාව තේරුං අරං තියෙන්නෙ. එයා ගෙදරට කිසිම අඩුපාඩුවක් කරන්නෙ නෑ. අපිව සතුටින් තියන්ඩ තමයි එයා මහන්සි වෙන්නෙ. එයාගෙ සතුට තමයි නාට්‍යයක රඟපාල විනෝදයක් ලබන එක. ඉතිං අපිටත් තියෙන්නෙ එයා සතුටුවෙන දේවල් දිහෑ බලල සතුටු වෙන්ඩ.”
අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයෙකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.