
“මිනිසාගේ ආදරණීය සම්පත ජීවිතයයි. එය ඔහුට ලැබෙන්නේ එක් වරකට පමණි. ඔහු ජීවත් විය යුත්තේ තමාගේ අතීතය නොවටිනා වු ද, පහත් වූ ද දේවල්වලට කැප නොකරන මිනිසකු හැටියට ය; තමාගේ මුළු ශක්තිය ම මිනිස් වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපකරන ලදැයි, මරණ මංචකයේදී සැනසීම ලැබිය හැකි පුද්ගලයකු හැටියට ය.”
මේ වාක්‍ය ඛණ්ඩය දුටු මනතින් එය සඳහන් ව තිබෙන්නේ කොහේදැයි ඔබ දන්නා බව මට නිසැක ය. එයට හේතුව ද එවැනි ම දෙබස් ඛණ්ඩයකින් මම ඔබට කියන්නම්.
“ඔබ අඟහරු ලොවට ගියොත් අරන් යන පොත මොකද්ද?”
“කොම්සොමොල්ස්කායා ප්‍රවුදා” පුවත්පත විසින් මේ අපූරු ප්‍රශ්නය නඟන ලද්දේ සෝවියට් දේශයේ කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව පැවැති සමයේ ය. තරුණ ජනගහනයෙන් වැඩි ම පිරිසක් දුන් පිළිතුර වූයේ මා පෙරකී වාක්‍ය ඛණ්ඩය අයත් නවකතාව කියා ය. දැන් ඔබ එහි නම කොහොමත් දනියි. නිකොලොයි ඔස්ත්‍රොව්ස්කිගේ 'වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ පාවෙල් කොර්චාගින් පවසන මේ වදන් කතුවරයාගේම ජීවිතය නිරූපණයක් යැයි සිතේ. පළමුවැනි ලෝක යුද්ධය, සිවිල් යුද්ධය සහ සෝවියට් දේශය ගොඩනැඟුණු මුල් අවධිය පසුබිමෙන් චිත්‍රණය කරන මේ නවකතාව විප්ලවයෙන් පසු බිහිවූ සෝවියට් තරුණයාගෙන් ජීවිතයත් ආත්ම පරිත්‍යාගයත්, ධෛර්යයත් විවරණය කරමින් ලියැවුණකි.
1967 වනවිටත් රටවල් හතළිස් දෙකක භාෂා හතළිස් අටකට මේ නවකතාව පරිවර්තනය වී තිබුණු අතර, එහි පිටපත් එක් කෝටි හැටලක්ෂයක් විකිණී තිබිණි. කෙසේ වෙතත් ඔස්ත්‍රොව්ස්කි තමා ජීවත්වූ අවුරුදු 32ක කාලයෙන් අවුරුදු 12ක් ම ජීවත්වූයේ අන්ධ ව හා රෝගී ව ය.
මේ කරුණු මා ඔබට කීවේ නිර්මාණකරණයේදී අත්දැකීම් කොතරම් වටින්නේ ද; ඒවා එක් එක් ලේඛකයන් අතර නෙක ස්වරූප ගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට ය. සාහිත්‍යකරුවා කිසියම් සාහිත්‍ය නිර්මාණයක් ගොඩනඟන්නේ තම හදවත සියුම් ලෙස සඵල කළ අත්දැකීමක් තවකකු හා බෙදා ගැන්මට ය. තමාගේ සිතෙහි ඇතිවූ කම්පනය ඒ නිර්මාණය විඳින අනෙකා කෙරෙහි ද ඇති කිරීම එහි පරමාර්ථයයි. කෙනකු සාහිත්‍ය නිර්මාණයක් රස විඳින්නේ තමා මින් පෙර නොවිඳි අපූර්ව අත්දැකීමක් විඳ ගැනීමේ අභිලාෂයෙනි. සාහිත්‍ය නිර්මාණකරුවාගේ කෞශල්‍ය විශද වන්නේ තම අත්දැකීම් අනෙකා කෙරෙහි කොතරම් සම්පාත වන්නේ ද යන්න සලකා බැලීමේදී ය.
පුද්ගලයාට හෝ සමාජ ඛණ්ඩයකට හෝ වාණිජ ලෝකයෙහි ඔවුන්ගේ ජීවිතවල සිදුවෙමින් පවතින දෙයක් නිර්මාණය කිරීමේදී එය යථාර්ථවාදී වෙයි. එනම් ඔබේ මගේ ජීවිතවල සිදුවන දෙයම වෙනත් බසකින් නිර්මාණකරුවා ඉදිරිපත් කරන විට එය යථාර්ථවාදී වෙයි. බොහෝ ලේඛකයෝ ද පාඨකයෝ ද මේ ක්‍රමයට ප්‍රිය කරති. ඒ එමඟින් ඔබේ, මගේ ජීවිත කියවා ගත්තාක් වැනි හැඟීමක් ධ්වනිත වෙන බැවිනි; එවිට අපට වඩාත් සමීප බවක් දැනෙන්නට පටන් ගනී.
ලේඛකයා හෝ නිර්මාණකරුවා තමාගේ සිතේ පවතින දේ චරිත මත පැටවූ කල්හි එය විඥානවාදී වෙයි. වෙනත් වෙසකින් කියන්නේ නම් යථාර්ථ විරෝධි වෙයි.
මේ අත්දැකීම් දෙයාකාරයට ම හසුවන්නේ ජීවිතයයි. ජීවිතය ගතික දෙයකි. එය නිරන්තර වෙනස් වන සුලු ය. ජීවිතය ගඟක් යැයි එක ප්‍රස්තාව පිරුළක තිබෙන්නේ ඒ නිසා ය. මිනිසා කියන්නේ ඒ ගඟේ දිය දෝතකටැයි කොන්පියුසියස් සිතුවේ ය. ඒ දිය දෝත බෝතල් කුප්පියකට දමා ගන්නා අපට කලකින් බෝතලය ගඟ යැයි සිතන්නට පටන් ගන්නා බව බුදුහු දේශනා කරති. ‘ගඟට ඔහේ ගලන්නට ඉඩ දෙන්නැයි’ ලාඕට්සේ කියයි. ජීවිතය ගැන කියන්නට වෙන උපමා අවැසි නැත. කොහේ ගලා යනවාද, බෝතලයකට කූඩු වී එහි හැඩය හා සීමාව ගන්නවා ද යන්න ඔබ සතුය. නිර්මාණකරුවා කරන්නේ ඒ සියල්ලම වෙනම ලෙසකින් පෙන්වා දීම ය. එහි සීමා විදාරණ නිර්මාණාත්මක ව පසක් කිරීමය. මිනිසා සොබාදහමේ ද, සමාජ ජීවිතයේ ද දිනාගත් අඩ පරිභෝජනය කරයි. ඉතිරි අඩ දිනා ගැනීම සඳහා නිරන්තර අරගල කරයි. අප ජීවිතය කියන්නේ මේ අරගලයට ය. සියලු හැඟීම්, සියලු අදහස් උපදින උල්පත මෙයයි. කලාකාරයා නිර්මාණකරුවා ආභාසය ලබන්නේ එයිනි. ජීවන අරගලයේ සෑම පාර්ශ්වයක් ම ග්‍රහණයට ලක්කර ගැනීම කලාකරුවාගේ ප්‍රයත්නයයි. මේවා කලා කෘති, නිර්මාණ සඳහා පාදක වී රසය උපද්දවයි. නිර්මාණකාරයා මෙකී ජීවිතයේ ස්වකීය දැක්ම යථාර්ථවාදී ව හෝ විඥානවාදී ව සමාජයට නිර්මාණාත්මක ව තිළිණ කරයි.
මිනිසකු බිහිවන්නේ මානව සබඳතාහි වින්දනාත්මක ඵලයක් ලෙසිනි. කලා කෘතියක් බිහිවන්නේ වින්දනයේ උත්තරීතර ඵලයක් වශයෙනි. දර්ශනය බිහි වන්නේ මේ සියල්ලට හේතු කාරණා සොයද්දී ය.
නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අපට අත්දැකීම් ප්‍රතිනිර්මාණයේ ලා පවතින රහස් සොයා ගැනීමට අවැසි ය. ඒ රහස් සැඟවුණු ඒවා නොවේ. සොයා යන්නේ නම් ඔබට, මට අනිවාර්යයෙන් ම හසු වන ඒවා ය. ඇඳ මත හිඳ රෝගී ව සිටිමින් තරුණ ජීවිත වානේ මෙන් පන්නරය තැබිය හැකි බව කියූ ඔස්ත්‍රොව්ස්කි වැන්නන් එහිදී ඔබට හමුවනු ඇත.