සිංහල රහස් පරී­ක්ෂක කතා සාහි­ත්‍ය­යට නව ප්‍රවේ­ශ­යක් | Page 3 | සිළුමිණ

සිංහල රහස් පරී­ක්ෂක කතා සාහි­ත්‍ය­යට නව ප්‍රවේ­ශ­යක්

 

මංජුල සේනා­රත්න එතෙර වෙසෙ­මින් ලාංකික සාහිත්‍ය කෙත පෝෂ­ණය කිරී­මට දායක වන ලේඛ­ක­යන් අතර කැපී පෙනෙ­න්නෙකි. විදෙ­ස්ගත සෙසු ලේඛ­ක­යන්ට සාපේ­ක්ෂව බලන විට ඔහුගේ වෙසෙස් ලකු­ණක්ද වෙයි. සාහිත්‍ය කලාවේ විවි­ධා­කාර ඉසව් හඹා යෑමට දක්වන ගිජු­කම ලෙස ඒ ලක්ෂ­ණය හැඳි­න්වි­මට කැමැ­ත්තෙමි. ඇතැම් ලේඛ­ක­යන් ඉවක් බවක් නැතිව පොත් පළ කරද්දී මංජුල එතෙක් මෙතෙක් ලියා ඇති පොත් ගණන හය­කට පමණ සිමා වෙයි. අතක ඇඟිලි මෙන් ඒ පොත් කිහි­පය එකි­නෙ­කට වෙනස් ලක්ෂණ ගෙන තිබීම මා ඉහත සඳ­හන් කළ ඔහුගේ වෙසෙස් ගුණය පිළි­බඳ කදිම නිද­සු­න­කැයි සිතමි.

මංජුල අතින් අලු­තෙන් ම ලියැ­වුණු නව­ක­තාව නම් කර තිබෙ­නුයේ 12. 12. 12 යනු­වෙනි. මෙය ග්‍රන්ථ නාම කලාව නව දිසා­න­ති­යක් වෙත යොමු කිරී­මට දැරුණු ප්‍රය­ත්න­යක් ලෙසද අගය කළ මනා ය. ග්‍රන්ථ නාමයේ සිට පිට­වැස්ම හරහා කෘතියේ අන්ත­ර්ග­තය මෙන්ම ආකෘ­තිය පුරාද දිවෙන නව්‍ය­ත්වය, සාහිත්‍ය කලාවේ නව ඉසව් සම­ති­ක්‍ර­ම­ණය කිරී­මට මංජුල සේනා­රත්න නම් පර්යේ­ෂ­ණ­කාමි ලේඛ­කයා සතුව පව­තින අසී­මිත පිපා­ස­යට දෙස් දෙන සාධ­කයෝ වෙති.

A Perfect suspence thriller නම් උප සිර­සක් පිට­වැස්මේ සට­හන් කිරීම මගින් ලේඛ­කයා කෘතියේ අන්ත­ර්ග­තය පිළි­බඳ ඉඟි­යක් අපට සප­යයි. සැබ­වින්ම මේ උප සිරස සාහිත්‍ය කලාවේ ඉතා ජන­ප්‍රිය ෂාන­ර­යක් වෙත පිවි­සෙන ලෙස පාඨ­ක­යාට කෙරෙන ඇරි­යු­මක් සේද සැල­කිය හැකිය. Thriller, Mistroious හා Detective වැනි නාම­ය­න්ගෙන් හැඳි­න්වෙන මේ සාහිත්‍ය ෂාන­ර­යට අයත් පොත්, ලොව වැඩිම අලෙ­වි­යක් සහිත නව­කතා අතර වාර්තා පිහි­ටුවා තිබේ. එසේම ත්‍රාසය හා කුතු­හ­ලය මෙන්ම ප්‍රබන්ධ විලා­සය හේතු­වෙන් පාඨක ප්‍රජා­වගේ සිත් තදින්ම පැහැ­ර­ගත් මේ කතා ප්‍රව­ර්ගය ලොව පැර­ණි­තම ග්‍රන්ථ­යක් සේ සැල­කෙන අරාබි නිසො­ල්ලා­සය දක්වා ඈතට දිවෙන බව විචා­ර­කයෝ පව­සති. අරාබි නිසො­ල්ලා­සයේ එන The three apples වැනි කතා­වල ඉහ­තකී ෂාන­රයේ මූලික ලක්ෂණ අන්ත­ර්ග­තව තිබෙන බව විචා­ර­ක­යන්ගේ මත­යයි.

කෙසේ වෙතත් නුතන ත්‍රාස­මය කතා කලාවේ පියා වශ­යෙන් සැල­කෙ­නුයේ අම­රි­කානු ලේඛක එඩ්ගා ඇලන් පෝ ය. 1841දී ඔහු ලියූ Rue Morgue කතා සංග­හ්‍රයේ එන The murders නම් කතාව මුල්ම රහස් පරී­ක්ෂක ප්‍රබ­න්ධය ලෙස සැලකේ. ඉනි­ක්බිති විල්කි කොලින්ස් හා චාල්ස් ඩිකන්ස් ද අන­තු­රුව සර් අාතර් කොනන් ඩොයිල්, අගතා ක්‍රිස්ටි ද මේ කතා කාලාව ප්‍රමු­ඛ­ස්ථා­න­ය­කට රැගෙන ඒමට දායක වූහ. වර්ත­මා­නය වන විට ලෝකයේ වැඩිම පාඨක සංඛ්‍යා­වක් ග්‍රහ­ණ­යට ගැනී­මට සමත්ව තිබෙන සාහි­ත්‍යාං­ගය බවට මෙය පත්ව තිබෙන සැටි නව­තම අලෙවි වාර්තා පෙන්වා දෙයි.

මුල් කාලයේ පිය­දාස සිරි­සේන හා ඩබ්ල්යු. ඒ. සිල්වා වැනි පුරෝ­ගාමි සාහි­ත්‍ය­ධ­ර­යන් විසින් ලියූ නව­කතා කිහි­පය හැරුණු විට රහස් පරී­ක්ෂක ෂාන­ර­යට වැටෙන ප්‍රබන්ධ කලා­වක් වර්ධ­නය කිරී­මට පසු­කා­ලීන ලාංකික ලේඛ­ක­යන් එත­රම් උන­න්දු­වක් දැක් වූ බවක් නොපෙනේ. වත්මන වන විට ඉති දියුණු මට්ට­ම­කට පත්ව ඇති බට­හිර රහස් පරී­ක්ෂක කතා ෂාන­රයේ ආභා­සය ලබ­මින් මංජුල සේනා­රත්න රචනා කර තිබෙන 12.12.12 නව­ක­තාව පිළි­බ­ඳව කතා­බස් කීරීම වැද­ගත් වනුයේ මෙවන් පසු­බි­මක ය. සැබ­වින්ම මංජුල මෙම කෘතිය සම්පා­ද­නය කිරීම මගින් ලාංකේය රහස් පරී­ක්ෂක ප්‍රබන්ධ කලා­වට නව ජීව­යක් ලබා දි තිබෙන බව තුති­පූ­ර්ව­කව පැව­සිය යුතුය. මා මුලින්ද සඳ­හන් කළ ආකා­ර­යට මංජු­ලගේ මේ ප්‍රය­ත්නය අගය කළ යුත්තේ හුදෙක් රහස් පරී­ක්ෂක ප්‍රබ­න්ධ­යක් රචනා කරනු වෙනු­වට එකී ෂාන­රයේ ලෝක මට්ටමේ ජය­ග්‍ර­හණ ද මනා ලෙස ග්‍රහ­ණය කර ගනි­මින් ලාංකික පාඨක ප්‍රජා­වගේ මතු නොව ලේඛක සහෘ­ද­ය­න්ගේද සිත්ස­තන් තුළ උත්තේ­ජ­න­යක් උත්පා­ද­නය කිරී­මට ඔහු සමත් විම නිසා­වෙනි.

භාෂා රටාව, ආඛ්‍යාන විලා­සය, කුතු­හ­ලය දන­වන කතා පුවත ආදි සැම පාර්ශ්ව­යක් කෙරෙ­හිම 12.12.12 නව­ක­තා­වේදි සියුම් අව­ධා­න­යක් යොමු කිරිම මගින් රහස් පරී­ක්ෂක නව­කතා කලාව පිළි­බඳ ලේඛ­ක­යාගේ මනා පරි­චය පෙන්නුම් කෙරේ. කතාව අර­ම්භ­යේ­දිම ඔහු සිය පාඨ­ක­යන් ග්‍රහ­ණ­යට ගන්නේ ප්‍රංසයේ වෙසෙන සිංහල යුව­ළක් අතර පව­තින විර­ස­ක­යක් පිළි­බඳ ඉඟි­යක් සප­ය­මිනි. “2012 දෙසැ­ම්බර් 12 බදදා”යන විශේෂ සිරස යටතේ දිග හැරෙන දිගු සිදු­වීම් මාලාව නිමා වන දිනය ලෙස ලේඛ­කයා සට­හන් කර­නුයේ 2019 ජූනි 15 වන සෙන­සු­රාදා ය. මෙසේ, මංජුල සිය ආඛා­නය ගොඩ­න­ග­නුයේ දින සට­හන් ආකෘ­ති­යක් භාවිත කර­මිනි.

මංජුල සේනා­ර­ත්නගේ ප්‍රබ­න්ධ­ක­ර­ණයේ සූර­ත්වය කැපී පෙනෙන්නේ ප්‍රංසයේ අප­රාධ මර්දන ක්‍රියා­ව­ලිය සිදු කෙරෙන ආකා­රය ඉතා සූක්ෂ්ම ලෙස නිරූ­ප­ණය කිරි­මට ඔහු දරන දැඩි ප්‍රය­ත්නය මගිනි. මේ ක්‍රියා­ව­ලිය දිග හැරෙ­නුයේ සිනමා පට­යක රූප මාලා­වක් ලෙසිනි. වර්ත­මා­නය, අතී­තය හා අනා­ග­තය යන කාල­ත්‍ර­යම අනා­ව­ර­ණය කෙරෙන ආඛ්‍යාන මූලෝ­පා­යක් මෙහිදී මංජුල විසින් ඉතා නිර්මා­ණ­ශී­ලීව භාවි­ත­යට ගනු ලබයි.

මෙවන් සිත් සසල කර­වන සිදු­වි­මක් දෙස හැඟී­ම්බ­රව නොව බුද්ධි­ස­ම්පන්න ලෙස බැලුම් හෙළන රහස් පරි­ක්ෂ­ක­ව­රිය හා ඇගේ කණ්ඩා­යම පිය­ව­රෙන් පිය­ව­රට පැට­ලුණ නූල් බෝල­යක අවුල් ලිහ­න්නාක් මෙන් අප­රා­ධයේ සුල මුල තේරුම් බේරුම් කර ගන්නා ආකා­රය මංජුල සිය රූප­කා­ර්ථ­වත් බස් වහ­රෙන් සිතු­ව­මට නඟයි. පහත දැක්වෙන ඡේදය ඊට නිද­සු­නකි.

“දරු­වාගේ මර­ණය සිදු­වුණේ අහ­ම්බෙන්...මිනි­ම­රුවා ආවේ හුදෙක්ම කල්ප­නාව මරන්න. ඔහු ඒ සඳහා දිගු කාල­යක් සූදා­නම් වෙලා තියෙ­නවා. කිසිම සාක්ෂි­යක්, ඇඟිලි සල­කු­ණක් නැහැ. ඒ වගේම නි‍ෙවසේ යතු­රක් ඔහු අතේ තියෙ­නවා. ඔහු නිවස හොඳින් දන්නවා. දොර ඇර­ගෙන ඔහු ඇතුළු වෙද්දී නොසිතූ විදි­හට කෝරි­ඩෝවේ විදුලි පහන් දල්වලා තියෙ­නවා. දරුවා නාන කාම­ර­යෙන් පිට­තට එනවා. දරුවා දකි­නව මිනී­ම­රු­වව. ඔහු අතේ පිහි­යක් තිබු­ණත් පාවිච්චි කරන්නෙ නැහැ. දරු­වාගෙ ගෙල එත­නදි කැපුවා නම් ලොකු රුධිර වහ­න­යක් වෙනවා. රුධි­රය ඔහුගේ සප­ත්තු­වල ගෑවෙන්න ඉඩ තියෙ­නවා. එත­කොට සපත්තු සට­හන් පැහැ­දි­ලිව දකින්න ලැබෙ­නවා. මේ හේතුව නිසා තමයි ඔහු දරු­වාගේ ගෙල කඩා දමන්නේ... මේ වගේ තිර­ණ­යක් ඉතාම ඉක්ම­නින් ගන්න පුළු­වන් වන්නේ පළ­පු­රුදු අප­රා­ධ­ක­රු­ව­කුට පම­ණයි.”

මෙවැනි රූප­මය ගුණ­යක් සහිත අවස්ථා නිරූ­පණ රැසක් මංජු­ලගේ පරි­ක­ල්පන ශක්ති­යෙන් නිම වි ඇති සැටි 12.12.12 නව­ක­තාව පුරාම දැක්නට ලැබේ. රහස් පරී­ක්ෂ­ක­ව­රුත් මනු­ෂ්‍යයෝ ය යන යථා­ර්ථ­යද මංජුල අම­තක කර නැත. නතාලි මුනියේ පරී­ක්ෂ­ණය අත­ර­වා­රයේ කිහිප වරක් ම මංමුළා වන සැටිත් මන­සින් ඇද වැටෙන සැටිත් පාඨ­ක­යාට දක්නට ලැබේ. එසේම ඉතා දක්ෂ මෙන්ම සේව­යට ඇප කැප වූ පතන් නම් වූ වෛද්‍ය­ව­රිය අතින් සිදු­වන අත­පසු වීමක් හේතු­වෙන් පරී­ක්ෂ­ණය නොමග යන සැටිද මෙහි ඉතා සංවේදී අයු­රෙන් විස්තර වෙයි.

හෘදය සාක්ෂි­යට එක­ඟව වැඩ කරන වෛද්‍ය­ව­රිය සේවයෙන් ඉවත් වෙද්දී ඇගේ නායි­කාව වන නතාලි මුනියේ පරී­ක්ෂ­ක­ව­රිය එය නිහඬ ව අනු­මත කරන ආකා­රය ද ලංකාව වැනි රටක මෙවන් සිදු­වීම් හමුවේ ඉහළ නිල­ධා­රීන් හැසි­රෙන ආකා­රය සිහි­යට නැගෙන විට අප සිත් සසල කර­වයි.

මංජුල සේනා­රත්න මේ නව­ක­තාව නිමා කර­නුයේ අපූර්ව ලෙස නිමැ­වුණු රහස් පරි­ක්ෂක නව­ක­තා­ව­කදී සිදු විය යුතු පරි­දිම පාඨ­කයා පූර්ණ වශ­යෙන් ම විම­ති­යට පත් කර­ව­මිනි. අව­සා­නයේ පරි­ක්ෂ­ක­ව­රි­යගේ සූක්ෂ්ම උපාය ශක්තිය විද­හා­පා­මින් මර්වාන් අල් හසන් නම් ඝාත­කයා වෙනත් රට­කදි කොටු කර­ගන්නා අන්දම සින­මා­රූපී ලෙස පාඨ­කයා හමුවේ ප්‍රති­නි­ර්මා­ණය කරන මංජුල ඊළඟ පරි­ච්ඡේ­ද­යේදී අප දෑස් හමු­වට පමු­ණු­ව­නුයේ ඊට හාත්ප­සින් ම වෙනස් සිද්ධි­දා­ම­යකි.

නතාලි මුනියෙ රහස් පරී­ක්ෂ­ක­ව­රිය ද ඇගේ සහ­කාර වෛද්‍ය­ව­රිය වන පතන් මෙන් රාජ­කා­රි­යෙන් සමු­ගෙන ගොසිනි. මේ දරුණු අප­රා­ධයේ ප්‍රධාන විත්ති­ක­රු­වකු හා විත්ති­කා­රි­යක විය යුතු චරිත දෙකක් ඉතා සියුම් ලෙස නීතියේ රැහැ­නින් මිදී විදෙස් බිම­කදී ඔවු­නො­වුන් හමු වන්නේ නව යුග දිවි­ය­කට මුල පුර­මිනි. කතාව අව­සා­නය වන විට සමස්ත සිදු­වීම් මාලාව දෙසම උපේ­ක්ෂා­ශීලී ව බැලී­මට හැකි පරිදී පාඨ­ක­යාගේ සිත්ස­තන් දුරස්ථ පාල­න­ය­කට නතු කර­ගැ­නී­මට ලේඛක මංජුල සේනා­රත්න සමත්ව සිටීම ද ලේඛ­ක­යකු වශ­යෙන් ඔහු ලබා ඇති පන්න­රය කියා­පාන කදිම සාධ­ක­ය­කැයි මම සිතමි. 12. 12. 12 යනු කලා­තු­ර­කින් කියැ­වී­මට ලැබෙන විචිත්‍ර ගණයේ ප්‍රබ­න්ධ­යක් බව ද, තව­ත­වත් මෙවන් නිර්මාණ බිහි කිරි­මට ඇවසි දිරිය මංජු­ලට පතන අත­ර­වා­රයේ ම පව­සනු කැමැ­ත්තෙමි.

 

Comments