
එක්තරා රජ කෙනකුට ගිරවෙක් සිටියේ ය. ඒ ගිරවාට කිසියම් අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි රජතුමා තීරණය කළේය. ගිරවාට ඉගැන්වීමට රට නන්දෙසින් ඥානාචාර්යවරු කැඳවීය. නිර්දිෂ්ට ග්‍රන්ථ ඇතැතිව මේ න්‍යායාචාර්යවරු ගිරවාට උගැන්වීමට පටන් ගති. උගත් ආචාර්යවරුන්ගේ ක්‍රමවේදය කෙතරම් අවුල් වුවක් ද යත් ගිරවා ඉතා නොවැදගත් ශිෂ්‍යයකු සේ දවසින් දවස ම පෙනී ගියේය. එක් අතකින් නිර්දිෂ්ට ග්‍රන්ථ ද අනෙක් අතින් බැටන් පොල්ලක්ද රැගත් පඬිවරු ස්වීය ගරු ගම්භීර පාඩම් ගිරවාට උගන්වන්න පටන් ගත්හ.
මේ නොගැළපෙන කාර්යයන් ඉවසාගත නොහැකි වූ ගිරවා දිනක මිය යයි. ගිරවා මිය ගිය බව බොහෝ දෙනා නොදනිති. දිනක ගිරවා අධ්‍යාපනය නිමාකොට ඇති බව” පඬිවරු රජුට දැනුම් දෙති.
‘ගිරවා ඉගිළුණාද’? රජු ඇසුවේය.
‘නෑ’ පඬිවරු කීහ.
‘ගිරවා උඩ පැන්නද’?
‘නෑ’
එසේ නම් ගිරවා මා වෙත ගෙන එව.... රජු නියෝග කරයි.
රජු වෙත ගෙන ආ ගිරවාගේ නිසොල්මන් දේහයට රජු සිය ඇඟිල්ලෙන් ඇන බැලුවේය. රජුගේ අතට හසුවූයේ ගිරවාගේ බඳෙහි ඔබා පුරවා තිබූ පොත්වල පිටු පමණකි. පරිසරය ම ශෝකාකූල බවකින් ඇලළී තිබිණි. පොත්වල පිටු අතරින් අධ්‍යාපනය සෙවිය නොහැකි බව ස්වාධීන චින්තකයන් බහුතරයක් පවසන්නේ ඒ නිසා ය. සාම්ප්‍රදායික අධ්‍යයන විසින් මොට කරන ලද පරපුරක් අබියස සිටින අපට පරිකල්පනයේ ආනන්දනීය බව මඟ හැරී ඇත්දැයි සිතේ. තාගෝර්තුමන් මේ ගැන දැඩි අවධානයකින් සිටියේ ය. ඔහු විසින් ඇරැඹි පාසල අප දන්නා අපට පෙනෙනා පාසල්වලට හාත්පසින් ම වෙනස් වූයේය. එහි සියලු ම පන්ති පවත්වනු ලැබුවේ එළිමහනේ ය. එහි විෂය මාලාවට විවිධ කලාවන් අන්තර්ගත කර තිබිණි. සියලු කලා එක්තැන් කළ එහි ඉගැන්වීම් කේන්ද්‍රය වූයේ සොක්‍රටීස්ගේ ප්‍රශ්න විචාරාත්මක ක්‍රමයයි. තාගෝර් සිය ශිෂ්‍ය පරම්පරාවට හඳුන්වා දීමට වෑයම් කළේ නිදහසේ ආනුභාවයයි.
තාගෝර් සිය විෂය නිර්දේශයක මෙසේ ලියයි. ‘මනස, ඒ ලැබෙන ඉඟි ලබා ගන්නේ විමර්ශනයට හා අත්දැකීමට සම්පූර්ණ නිදහස දීමෙනුත් මනසට ස්වාධීනව සිතන්නට දීමෙනුත් ය. දැනුම සඳහා අමුද්‍රව්‍ය අත්පත් කරගැනීමෙන් අපේ මනසට නිදහසක් නොලැබේ. ඒ නිදහස ලැබෙන්නේ ඒ මනසට ම අයත් ඒවායේම ප්‍රමිතීන් ඇතිකර ගැනීමෙන් හා ඊට ම අයත් සිතිවිලි නිෂ්පාදනයෙහි ය. මේ අදහස් ඇත්තේ The poet ad educat නම් කෘතියේය.
නිදහස් මතය තරම් නිර්මාණ කරන විට ඇවැසි වෙන උත්තේජනයක් නැත. අප එකිනෙකාගේ අදහස් කරපින්නා ගනිමින් මතවාද පිළිබඳ සිතමින් ගත කරන කාලය නිදහස් චින්තනයක් සඳහා ගතකරන්නේ නම් කොතරම් අපූර්ව නිර්මාණ බිහිවනු ඇත්දැයි සිතෙන්නේ එවැනි නිර්මාණකරුවන්ගේ ජීවිතවලට එබී බලද්දී ය. සුරදූතයන් විසින් ගයන ලද ගීතිකා ලෙස අප සලකන කෘති ඇත්ත වශයෙන් ම ලියා ඇත්තේ නිරයේ පතුලෙහි ජීවත්වන මිනිසුන් විසින් යැයි වරක් ප්‍රාන්ස් කෆ්කා පැවසුවේ ඒ නිසා ය. කලා කෘති බිහිවන්නේ මහත් මානසික හා ශාරීරික වේදනාවෙනි. තමන්ගේ ජීවිත, කෘති අතරෙහි දියවී යන්නේ කෙසේදැයි බැලීමට නම් ඔබ ඒ ඒ නිර්මාණකරුවන් ගැන කියැවිය යුතු ව ම ඇත. නිර්මාණකරණයේ රන්සුනු සොයන අපට ඒ අකුරක් පාසා, ඒ අත්දැකීමක් පාසා වැදගත් වන්නේ යැයි මා කියන්නේ ඒ නිසාය.
කලා නිර්මාණය කවදත් ආශ්චර්යවත් දෙයකි. මිනිස් වර්ගයාට සදා ප්‍රීතිය ප්‍රමෝදය ලබාදෙන කලාකෘති කලාකරුවන් විසින් නිර්මාණය කරනු ලබන්නේ; එසේත් නැතිනම් මවනු ලබන්නේ කෙසේද? තාගෝර්තුමා කියන්නා හා සේම උගත්කම කලාකරුවන් මවන්නේ නැත. කලාකරුවකු වීමට ඉසියුම් ම දේ විඳින්නටත් දකින්නත් අසන්නත් උමතුවක් තිබිය යුතු වේ. ශ්‍රේෂ්ඨ කවියන්, නවකතාකරුවන්, නාට්‍යකරුවන්, චිත්‍ර ශිල්පීන්, සිනමා ශිල්පීන් සමාජයට තේරුම්ගත හැකි පුද්ගලයන් නොවූහ. ලෝකය ඔවුන් දෙස බැලුවේ පිස්සන් දෙස බලන්නාක් වැනි හැඟීමකිනි. ශ්‍රේෂ්ඨ කලාකරුවන් පිස්සන් සේ සැලකීම හෝ ඔවුහු යම් බඳු උමතු ලක්ෂණ සහිත වීම පුදුමයට කරුණක් නොවේ. ඔවුහු බොහෝ දෙනෙක් තමා ජීවත්වන අවට පරිසරය ගැන කලකිරී සිටියෝ වෙති. ඉතා තියුණු හැඟීම්වලින් යුතු ඔවුනට ලෝකයේ රළු බව දරා ගැන්මට හැකිවූයේ නැත. ඔවුහු උමතු පුද්ගලයන් සේ සිහින ලෝකවල ජීවත් නොවුණත් තමන්ගේම ලෝකවල ජීවත් වූ අය වෙති. ඔවුහු ඒ විඳවන ජීවිතයෙන් වින්දනයක් ලබා ගන්නේ නිර්මාණකරණයේ නිරත වීමෙනි.
නිර්මාණකරණයේ රන්සුනු සොයා යන ඔබට, මට මේ උමතු බවේ ස්වභාවය වටහා ගැන්ම වැදගත් ය. ඒ නිසාම උදාහරණ කිහිපයක් ඔබට කියන්නට සිතුවෙමි.
තමන්ට ම ආවේණික ශෛලියකින් සිතුවම් ඇඳි වින්සන්ට් වැන්ගෝ එවැන්නකි. විසිවන සියවසේ සිටි විශිෂ්ටතම චිත්‍ර ශිල්පියකු ලෙස හඳුන්වන ඔහු දැඩි අධ්‍යාත්මික අරගලයක නිරත වූවෙකි. තම මානසික වියවුල සොහොයුරු තියෝට ලියූ වැන්ගෝ, මේ සියල්ල සිය නිර්මාණයන්ට කැටි කළේ කෙසේදැයි යන්න එමඟින් තම සොහොයුරාට කිවූවේ ය. අවසානයේ මානසික රෝහලකදී වෙඩි තබාගෙන මිය යෑමට තරම් ඔහුගේ අධ්‍යාත්මය කඩා වැටී තිබිණි. හැම කලාකරුවෙක් ම පාහේ සිය නිර්මාණ කෘතිවලින් තෘප්තියට පත් නොවෙති. වැන්ගෝට අමතරව සිය නිර්මාණ කෘතිවලින් තෘප්තියට පත් නොවූ තොල්ස්තෝයි ද වරක් ඒවා විනාශයට ලක් කිරීමට තැත් කළේය.
පාළුව හා වේදනාව සිය ආත්මයටම කැටි කළ ලේඛකයකු වූ ප්‍රාන්ස් කෆ්කා ද ඉතා සියුම් හැඟීමෙන් මඬන ලද්දෙකි. ඒ නිසාම හේ ඉතාම වේදනාකාරී ජීවිතයක් ගත කළේය. වත්මන් දාර්ශනිකයන් දොස්තයෙව්ස්කි, නීට්ෂේ මෙන් සංදෘෂ්ටිකවාදයේ ආරම්භයකු ලෙසින් කෆ්කාට සලකති. සත්‍යයෙන් බැහැරව ඔවුන්ට ජීවිතයක් තිබුණේ නැත.
මට යමක් ඉගැන්වීමට හැකිවූ එක ම මනෝවිද්‍යාඥයා ලෙස නිට්ෂේ හඳුන්වන දොස්තයෙව්ස්කි උමතු රෝග ලක්ෂණවලින් පෙළුෙණකි.
කලා නිර්මාණ මේ කලාකරුවන් උමතු වීමෙන් වළක්වා ලූ එකම බෙහෙත ය. ඕනෑම කලාකරුවකුට විවිධ මනෝභාව, පුරුදු තිබේ. තියුණු සංවේදී කලාකරුවන්ගේ සිතේ ජීවත්වන චරිත බවට අප ද පත්වන්නේ ඒ නිසා ය. ඔබ හෝ මම ගැන සමස්තයක් වශයෙන් ගත් කල අප ගැන ලියන්නට, අප වෙන්නට කොතරම් පරිකල්පන තීව්‍රතාවක අවශ්‍යය ද යන්න කෙදිනකවත් කිසිවකුටවත් මැන ගත නොහැකි වනු ඇත. සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට නොගියොත් විශිෂ්ට නිර්මාණකරුවකු වීමට ඔබට ද නොලැබෙන බැව් පමණක් ලියා තබන්නෙමි. ඔබේ උමතුවෙන් කෙනෙක් සැනසෙන්නේ නම් එයම නිර්මාණකරුවකු ලෙස ඔබට සැනසීමට කරුණක් ය.