සිහින තෑග්ග | සිළුමිණ

සිහින තෑග්ග

කාර්යාලයේ ජ‍නේලයෙන් පාර දෙස බැලෙන හැම වාරයේ ම මා දුටුවේ කුඩ ඉහලාගෙන බාගෙට තෙමීගෙන යන මිනිසුන් ය.

හදිසියේ ම මට මගේ වත්තේ වැඩ කරන කුලතුංග මතක් විය.

මම ඔහුට ඇමතුමක් ගතිමි.

“කුලේ, කොළඹට වැස්ස. ඔහෙට කොහොමද?”

“පොඩි වැස්සක් නං තියෙනව. ගාණක් නෑ මහත්තය”

“කුලේ, වැස්සෙ තෙමිල ලෙඩ හදාගන්නැතුව දැං ගෙදර යන්ඩ! හෙට වැස්ස පායපුවම වැඩට එන්ඩ. මං කුලේට සාධාරණයක් කරන්නංකො”

“ඒක නෙමේ මහත්තය, හරි පුදුම දෙයක් උණානෙ!”

“මොකක්ද?”

“මගෙ පෝන් එකට කෝල් එකක් ආව. ඔයාට රුපියල් ලක්ෂ දහයක් ඇදිල තියෙනව. පැයක් ඇතුළත අපි එනව. ඔයා ගෙදර ඉන්ඩ කියල. ඒ හින්ද මං මේ ගෙදර යනගමං මහත්තය”

මම අන්දුං කුන්දුං වීමි. කෙසේ වුව ද ඔහු වත්තේ තෙමෙමින් නොයිඳ ගෙදර යෑම හොඳ ය.

ටිකකින් කුලේ මට කතා කළේ ය.

“මහත්තය, මං දැං ගෙදර ආව. ඒගොල්ලො දැං එයිනෙ. මං ගෙට එන පාරත් කිව්ව. කෝකටත් දැං මං මේ ඉස්තෝප්පුවට වෙලා ඉන්නෙ. ලක්ෂ දහයක් කිව්වම ලේසි නෑනෙ මහත්තය!’

“හොඳයි, බලාගෙන ඉන්ඩකො” කුලේගේ බලාපොරොත්තු නොබිඳින්නට මම පරිස්සම් වීමි.

මගේ හිත අවුල් ව තිබුණු බැවින් මට වැඩ කළ නොහැකි විය. කුලේ කොහේ හෝ සිටින කපටියෙකු ගේ ගොදුරක් බවට පත් වේද යන බිය මා තුළ ඇති විය.

මම ඔහුට යළි ඇමතීමි.

“කුලේ, පරිස්සමිං වැඩ කරන්ඩ! ඔය කතාව ඇත්තක් නං ඒගොල්ලො ගෙදරට ඇවිත් ඔයාගෙ සල්ලි දීල ඒක බාර ගත්තු බවට ඔයාගෙං අස්සනත් අරගෙන යයි. හැබැයි, ඔය ජාතියෙ වැඩ කරන වංචාකාරයොත් ඉන්ඩ පුළුවං. ඒ හින්ද ඔයාගෙ අයිඩෙන්ටිය හෙම කාටවත් දෙන්ඩ එපා! ඉල්ලුවට අතිං කීයක්වත් දෙන්ඩත් එපා! හරිද?”

“හරි, මහත්තය”

හිතට සැහැල්ලුවක් ලැබුණෙන් මම යළි වැඩට බැස්සෙමි.

පැය දෙකකට පමණ පසු මට කුලේ ගෙන් ඇමතුමක් ආවේ ය.

“මහත්තය , තවම ඒ කට්ටිය ආවෙ නෑ. ඒ හින්ද මං අර නොම්බරේට කෝල් එකක් අරගෙන ඇයි පරක්කු මං ගෙදර බලාගෙන ඉන්නව කියල කිව්ව. එතකොට කියනව වාහන කුලියයි, සේවක ගාස්තුවයි, ආණ්ඩුවෙ බදු මුදලයි මට ගෙවන්ඩ වෙනව කියල. මං ඇහුව කීයක්ද කියල. ටවුමට ගිහිං සුපර්මාකට් එකට රුපියල් විසිපන්දාහක් බඳින්ඩ කිව්ව. ඔන්න එතකොට මට මහත්තය කිව්ව කතාව මතක් උණා. ඒ ගමන මං ඇහුව තෑග්ග දෙනව නං ඇයි මගෙං සල්ලි ඉල්ලන්නෙ කියල. එතකොට මිනිහ මට කියනව අතට ආපු වාසනාවට පයිං ගහල මෝඩයෙක් වෙන්නැතුව ඔය ගාණ ගෙවල ලක්ෂ දහය ගන්නව කියල. එතකොට මං කිව්ව මගෙ අතේ සතේ නෑ. මං දවසෙ කුලියට වැඩ කරන මිනිහෙක්. විසිපන්දාහ අඩු කරගෙන තෑග්ග මට දෙන්ඩ කියල. එතකොට මිනිහ මට කැත විදිහට බැණල කෝල් එකත් කට් කරල දැම්ම...”

මට හිනා ගියේ ය.

“කුලේ, ඕව මිනිස්සුන්ට හොඳ පාඩං! කොහොම වුණත් ඔයා කපටියෙකුට අහු නොවී බේරිච්ච එක ලොකු දෙයක්. හැබැයි ඔයා තව ටිකක් මෝඩ පාට් එක ඇට් කරල රුපියල් විසිපන්දාහ බඳින්ඩ ඕනැ ගිණුම් අංකෙ ඉල්ල ගත්තනං අපිට ඔය වංචාකාරය පොලිසියට කොටු කරල දෙන්ඩ තිබුණ”

“මං එච්චර දුර හිතුවෙ නෑ මහත්තය”

“කුලේ අද සමාජෙ ජීවත්වෙන්ඩ වෙලා තියෙන්නෙ ඒදණ්ඩෙ යනව වාගේ හරි පරිස්සමට”

“ඒක හැබෑව. මහත්තය මට අර කතාව නොකීවනං මං ගෙදර රත්තරං බඩුවක් හරි උකස්කරල විසිපන්දාහ ගෙවනව. මං එච්චර රැවටිලයි හිටියෙ. අනේ මහත්තය අපි වාගෙ දුප්පත් මිනිස්සුන්ට ඇයි ලෝකෙ රටේ උං මෙහෙම කරන්නෙ?”

“කමක් නෑ කුලේ, රත්තරං බඩුව හරි බේරුණානෙ කියල හිත හදාගන්ඩ” මම යළි සැහැල්ලුවෙන් වැඩට බැස්සෙමි.

දිවුලපිටියේ, එස්. සේනානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල 
සිළුමිණ, 
ලේක්හවුස්, 
කොළඹ 10.

Comments