
ඔය මහා ශ්‍රේෂ්ඨ ආගමික මාස්ටර්ලා ය, ගුරුවරුන් ය කියන දාස් ගණනක් මට හම්බවෙලා තියෙනවා. ඉන්දියාව කියන්නෙ පණ්ඩිතයන්ගෙන්, තාපසයන්ගෙන් පිරුණු රටක්. ඔබට ඔවුන් කොහෙදිත් හමුවිය හැකියි. ඔබ ඔවුන් හොයාගෙන යන්ඩ ඕනැ නෑ. ඔවුන් ඔබ හොයාගෙන එනවා. ඔබ වෙනුවෙන් සටන් කරනවා. ‘ඔබ අයිති මටයි. ඔබට නෙමෙයි’ කියල ඔවුන් කියාවි. ඔවුන් මුලින් ම කරන්නෙ ඔබ අල්ලගන්න එක. නමුත් ඒ හැමෝම මොකක් හෝ ආගමික නිකායකට අයිති ගිරව් වාගෙ ආගමික ශුද්ධ ලියවිලි කටපාඩමින් කියවගෙන යන අය. ඔවුන් ළඟ තියෙන්නෙ වචන විතරයි.
ඒ අයට අනුව සත්‍යය සොයා යනව කියන්නෙ මූලිකවම ජීවමාන ගුරු කෙනෙක් සොයා ගැනීමයි. එබන්දකුගෙන් තොරව ඔබට සත්‍යය සොයා යා නොහැකියි කියල ඇහෙනව නම් ඇහෙන්නෙ බොහොම කලාතුරකින්. නමුත් මං ඉඩ හැරල තියෙන්නෙ ඊට වෙනස් මාවතකටයි. එහෙම කළේ මට කවදාමත්ම ගුරු කෙනෙක් නොසිටි නිසයි.
මට හම්බවෙච්ච ඔය කියන ඊනියා ගුරුන්ට නං වුවමනා කෙරුවෙ මගෙන් දුරු වෙන්ඩයි. මං ඇහැ ගැහෙන එකෙන් ඒගොල්ලන්ගෙ ගෞරවයට හානියක් සිද්ධ වුණා. ඒගොල්ලන්ට උත්තර දෙන්ඩ බැරි ප්‍රශ්නයි මං ඇහුවෙ. මං ප්‍රශ්න අහනකොට ගුරුගෙ අනිත් ගෝලබාලයො හෙමින් ම ලෙස්සල ගියා. එතකොට ඒ ඊනියා ගුරු මට මෙහෙම කිව්ව ‘කරුණාකරල යුෂ්මතා ගිහිං වෙන ගුරුකෙනෙක් හොයා ගන්ඩ. මගෙ ගෝලයන්ට කරදර කරන්ඩ එපා. තමුන් මෙතෙන්ට එන්ඩ කලින් ඒ අය ඔය වගේ ප්‍රශ්න ඇහුවෙ නෑ. දැන් ඒ අය අපිට උත්තර දෙන්ඩ බැරි අමුතු ප්‍රශ්නත් අහන්ඩ පටං අරන්’
තමන් දන්නව කියල පෙන්නගෙන ඉන්න හුඟ දෙනෙක් මේ ලෝකෙ ඉන්නවා. නමුත් ඔබ ප්‍රශ්නයක් ඇහුවම ඔවුන් දක්වන ප්‍රතික්‍රියාවලින්, ඔවුන්ගෙ ඇස්වලින්, අංග චලනවලින්, එක්කො ඔවුන්ගෙ නිහඬතාවෙන් නැත්නම් වචනවලින් ඔවුන් දන්නවද නැත්නම් ඔවුන් ශුද්ධ ලියැවිලි වමාරන හුදු ගිරා පෝතකයන් ද කියල ඔබට පැහැදිලි වේවි.
නිදර්ශනයක් හැටියට හින්දු සමාජය කුල හතරකට බෙදල තියන සමාජ නීතිය නිසැකවම අනීතිකයි. ඒකට කිසිම සාධාරණ හේතුවක් නෑ. මං දැකල තියනව ඔය කියන බ්‍රාහ්මණ පවුල්වල ඉන්න ඔළමොට්ටලයො. බ්‍රාහ්මණ පවුලක ඉපදිච්ච පළියටම කෙනෙක් සුපිරි පුද්ගලයෙක් වෙන්නෙ නෑ.
ඒ වගේ ම හින්දු නීතියට අනුව පහළම පන්තිය කියන ශුද්‍ර පවුල්වල හුඟක් බුද්ධිමත් පුද්ගලයො ඉන්න බව මං දන්නවා. ඉන්දියාව නිදහස ලබද්දි ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවෙ ආචාර්ය බාබ් සහීබ් ආම්බෙඞ්කාර් ශුද්‍රයෙක්. නීතිය පැත්තෙන් ඔහුගෙ බුද්ධියට ගහන්ඩ කෙනෙක් ඉන්දියාවෙම හිටියෙ නෑ. ආම්බෙඩ්කාර් කියන්නෙ ලෝක ප්‍රකට බලාධිකාරයක්.
ශුද්‍රයන්ට කිසිම අධ්‍යාපනයක් ලබන්ඩත් ඉඩක් නෑ. ඔවුන්ට කිසිම ආමික ලියැවිලලක් කියවන්ඩත් බෑ. ඒ තියා ඔවුන් කිසිදාක පාසල් ගොස් නැති නිසා ලියන්ඩ කියවන්ඩත් බෑ.
ශුද්‍ර දරුවන් පාසල් යැවිය යුතුය කියන නීතිය හදල ඒක භාවිතාවෙ යෙදුවෙ බ්‍රිතාන්‍ය ආණ්ඩුවයි. මං මුලින්ම පාසල් ගිය දවසෙ ළමයි කීපදෙනෙක් පන්තියෙන් පිට ඉඳගෙන ඉන්නව දැකල පුදුමවෙලා ‘ඇයි ඒගොල්ලො එහෙම ඉන්නෙ?’ කියල ගුරුවරයගෙන් අහපු වෙලේ ඔහු උත්තර දුන්නෙ මෙහෙමයි. ‘ඒ ශුද්‍රයො. නීතිය ක්‍රියාත්මක වෙලා තිබුණට අපිට අපේ සංස්කෘතිය අහක දාන්ඩ බෑනෙ’
කොහොමින් කොහොම හරි ශුද්‍රයෙක් ඉගෙන ගෙන ඉහළට ආවත් ඔහුට ශුද්ධ ලියැවිලි නං කියවීම තහනම්. දඬුවම තමයි මරණය. ශුද්ධ ලියැවිලි කියවන එක අමතක කරල දාමුකො. ඔහුට ඒ ලියැවිල්ලකට කන් දෙන්ඩවත් බෑ. බ්‍රාහ්මණයො වේද ස්තෝත්‍ර ගායනා කරනකොට ඒව ශ්‍රවණය කරන්ඩවත් ශුද්‍රයන්ට ඉඩක් නෑ.
මෙන්න මේක තමයි ශ්‍රමයට දීල තියෙන තැන. පරපුටුවො, බ්‍රාහ්මණයො ඉන්නෙ ඉහළම පන්තියෙ. ඔබට ඔවුන්ගෙ පා අල්ලල ගෞරව කරන්ඩ සිද්ධ වෙලා.
ජෛන පවුලක හැදිච්ච මට එළවළු පමණක් ආහාරයට ගත යුතුයි කියල තදින්ම බල කෙරිලයි තිබුණෙ. අපේ පවුල ඒ ආගමික මතයෙ ගිලිලයි හිටියෙ. අපේ ගෙදරට අර්තාපල් ගත්තෙත් නෑ. ඒව ටිකක් රතු මසට කිට්ටුයිලු. කිසි කෙනෙක් රෑට කෑවෙ නෑ. රෑට කනවයි කියල අපි අහල තිබුණෙත් නෑ. රෑට කන්ඩ තිබුණ අන්තිම මොහොත තමයි ඉර බහින වෙලාව. අවුරුදු 18ක් වෙනකන් මම කවදාවත් රෑට කෑවෙ නෑ. ඒක මහ විශාල පාප කර්මයක්.
ඔන්න ඔය කාලෙ මං ජීවිතේ පළමුවැනි වතාවට යාළුවො කට්ටියක් එක්ක කන්දක් නගින්ඩ ගියා. ඒ අය හැමෝම හින්දු. මං විතරයි ජෛනාගම්කාරයා. කන්ද හරි ලස්සනයි. බලන්ඩ දේවල් යහමින් තිබුණා. ඒ හින්ද ආහාර පිසිල්ලක් ගැන කරදර වෙන්ඩ වුවමනා වුණේ නෑ. ඒගොල්ලො ඉව්වෙ රෑ. කනවද නොකනවද කියන එක මට ලොකු ප්‍රශ්නයක් වුණා. මුළු දවසම කඳු නැඟල හිටිය හින්ද බඩගින්නත් යහමින් තිබුණා. එදා තමයි මට ජීවිතේ මුල් වරට බඩගින්න තදින් දැනුණු දවස.
ඉදෙන කෑමෙ සුවඳ ආවා. මං ඔහේ පැත්තකට වෙලා හිටියා. මොකක්ද කරන්නෙ කියල තීරණයක් ගන්න එක හරිම අමාරු වැඩක් වුණා. මට දරුණු බඩගින්නක් ආව. එච්චර බඩගින්නක් තියෙද්දි නොකා බුදියගන්න එකත් හරිම අමාරුයි. ‘ඔයා රෑට කාපු බව දැනගන්ඩ මෙහෙ කවුරුවත් නෑ; අපි කියන්නෙත් නෑ. ඒ හින්ද කන්ඩ. බයවෙන්ඩ එපා’ යාළුවො මාව පෙලඹෙව්වා; මං කෑව. ඒත් කෑවට පස්සෙ නිඳාගන්ඩ බැරුව ගියා; නොකෑව නං හොඳයි කියල හිතුණ. දෙතුන් සැරයක්ම වමනෙත් ගියා. නින්ද අප්‍රසන්න හීනයක් බවට පත් වුණා. අනිත් කට්ටිය අගේට කාල නිඳි. මට විතරයි මේ ගැටලුව. එහෙමනං ඒ අය 18 අවුරුද්දක් ඒ පාප කර්මෙ කරලනෙ. ජීවිතේ එක් රැයක් කාපු වරදට මම විඳෝනවා.
ලබන සතියට