ජීවිතය හා මනුෂ්‍යත්වය විනිවිද දුටු කවියකුගේ සෞන්දර්ය වියමන | සිළුමිණ

ජීවිතය හා මනුෂ්‍යත්වය විනිවිද දුටු කවියකුගේ සෞන්දර්ය වියමන

විමල් දිසානායකයන්ගේ අභිනව නිර්මාණය වන ‘ඉතිහාසය සිනාසෙයි’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ විශ්ලේෂණයක් හෝ අැගැයුමක් කළ යුත්තේ ඒ කේෂ්ත්‍රය පිළිබඳ ප්‍රාමාණිකයකු විසින් බව මා සඳහන් කරන්නේ මගේ බොරු නිහතමානිකමක් දැක්වීමට හෝ නිදහසට කරුණක් ලෙස හෝ නොවේ. මක්නිසාද යත් දිසානායකයෝ වනාහි පෙරපර දෙදිගම භාෂා, ශාස්ත්‍ර, සාහිත්‍ය, කලා, සංස්කෘතීන් මතු නොව ජගත් සිනමා කලා හා සන්නිවේදන යනාදි කේෂ්ත්‍ර ගණනාවක් පිළිබඳ ප්‍රාමාණිකයකු ලෙස දෙස් විදෙස් බුහුමනට පාත්‍ර වූ ප්‍රාඥයෙක් වෙති. ඒ නොයෙක් කේෂ්ත්‍රයන් පිළිබඳ විශාරද දැනුමෙන්ද, ඥාන ගවේෂණයෙන්ද පාරප්‍රාප්ත වූ දිසානායකයෝ සිය සමකාලීනයන් අභිභවා වියත් ලොව සුදිලෙමින් සිටිති. මා දන්නා තරමින් ඔවුහු මවුබිමෙන් බැහැරව දිගු කලක් මුළුල්ලේ ඥාන ගවේෂණයෙහි නිරතව සිටින දුර්ලභ ගණයේ ප්‍රාඥයෙක් වෙති. ඔහු සිය කීර්තිනාමයට හිමිකම් කියන්නේ ලොව බොහෝ රටවල නවීන සාහිත්‍ය, කලා, සිනමාව මෙන්ම මානව සන්නිවේදනය හා සංස්කෘතිය අරභයා ඉංග්‍රිසියෙන් පළකරන ලද ග්‍රන්ථාවලිය හා දේශන මාලා ද නිසා ය. ඔවුන්ගෙන් සිංහල සාහිත්‍යයට හා කලා විචාරයට සිදු වූ මහාර්ඝ සේවාව වන්නේ ද ඒ ජගත් ඥානාලෝකයෙන් සිංහල පාඨක සමාජය සුපහන් කරවීම යැයි මම සිතමි. යොවුන් මානවකයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔවුන්ගේ ශාස්ත්‍රීය ජීවිතයෙහි අපූර්ව අත්දැකීමක් වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සිරි ගුනසිංහ වැනි සුවිශිෂ්ට ගුරු ඇසුර යයිද මම සිතමි. ඉනික්බිතිව කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත්වන ඔහු ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, විචාර විධි හා න්‍යාය යනාදියෙහි නව දැනුමෙන් සුපෝෂණය වෙයි. බටහිර රටවල විවිධ ප්‍රාඥයන් සමග නව සාහිත්‍ය සංකල්ප පිළිබඳ හැදෑරීමටත් ඒ පිළිබඳ බුද්ධිමය සංවාදවල නිරතවීමටත් ඔහු භාග්‍ය සම්පන්න වෙයි. ජගත් සාහිත්‍යධරයන් ලෙස බුහුමනට පාත්‍ර වූ රේමන්ඩ් විලියම්ස්, ග්‍රැහෑම් හෆ් වැනි ගුරු ඇසුර ඔහුගේ බුද්ධිමය සීමා අප්‍රමාණව ප්‍රසාරණය කළ බව නිසැකය. බටහිර හා ආසියාතික විශ්වවිද්‍යාලවල දේශකයකු ලෙස ලද පරිචය ඔහුගේ ශාස්ත්‍ර ගවේෂණයට අත්වැල් බඳු විය. ‘නව විචාර සංකල්පය’ නමින් ඔහු සිංහල පාඨක සමාජයට ඉදිරිපත් කළ කෘතිය සිංහල සාහිත්‍ය කලා රසිකයන්ට ඥාන ක්ෂේත්‍රයෙහි නව ප්‍රවණතා පසක් කර ගැනීම සඳහා විවර කළ කවුළුවක් වැන්න. ‘පශ්චාත් නව්‍යවාදය’ වැනි සංකීර්ණ විෂයයක් සිංහල පාඨකයන්ට විග්‍රහාත්මකව දක්වන ලද්දේත් ඔහු විසිනි.

මගේ මේ රචනයෙහි අරමුණ ඉහත දැක්වූ පරිදිම ඔහුගේ අභිනව නිර්මාණය වූ ‘ඉතිහාසය සිනාසෙයි’ කාව්‍ය සංග්‍රහය පිළිබඳව මගේ අදහස් ස්වල්පයක් ඉදිරිපත් කිරීම ය. එහෙත් උක්ත හැඳින්වීම කියවන ඔබට මා අත ගසා සිටින්නේ කෙබඳු දුෂ්කර ව්‍යායාමයකටදැයි හැඟෙනු ඇත. පෙර අපර දෙදිගම ඥාන ගවේෂණයෙන් සියුම් වු සිංහල, ඉංග්‍රිසි හා සංස්කෘත වැනි පුළුල් භාෂා, සාහිත්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රාඥයකුගේ නිර්මාණ කාර්ය විභාගය කවරකුට වුවද අභියෝගයකි. ඔහුගේ කවියෙහි ඒ දාර්ශනික චින්තා මෙන්ම ගැඹුරු මානව සබඳතා පිළිබඳ අත්දැකීම් සංවෘතව මෙන්ම විවෘතව තිබීම අනිවාර්ය දෙයකි. එසේම සිංහල ජන සංස්කෘතික උල්පත්වලින් සුපෝෂණය වූ අප්‍රමාණ ධාරණා ද ඒ කවි තුළ දැක ගත හැකිය. ඔහු මේ වන විට කාව්‍ය සංග්‍රහ නවයක් එළි දක්වා තිබේ. එයින් තහවුරු වන්නේ ඔහු කවිය සමඟ දීර්ඝ සබඳතා පැවැත්වූ ද කවිය සිය හදබස බවට පත්කර ගත්තා වූද සහෘදයකු බව ය. ඔහුගේ බොහෝ කවි ජීවිතය හා මනුෂ්‍යත්වය අතර පවත්නා අවියෝජනීය බැඳීම් වෙතට අපව රැගෙන යන සංවේදි අත්දැකීම් සේ මම දකිමි. ජීවිතය හා මානව සබඳතා විනිවිද දැකීම සඳහා ඔහුගේ කවියෙන් විහිදෙන ආලෝක ධාරා ප්‍රබල ය.

‘ඉතිහාසය සිනා‍සෙයි’ කාව්‍ය සංග්‍රහයෙහි පළමු කාව්‍ය නිර්මාණය ‘අවුසදහාමි’ තුළින් ඔහු සිංහල ගැමි ජන ජීවිතය හා එය වෙළාගත් ජීවිත විලාසයේ බින්දු මාත්‍රයක් අපට පිරිනමයි. අවුසදහාමි තවමත් මුල් සිඳ නොගත් ගැමියකුගේ රුව තේජස ආත්ම කොටගත් අපූර්ව නිර්මාණයකි. මේ නිර්මාණය සහෘදයකුගේ මතකයට නංවන්නේ කොළඹ යුගයේ විශිෂ්ටතම කවියකු වූ විමලරත්න කුමාරගමයන් විසින් නිරූපණය කරන ලද ගමත් ගැමි ජීවිතයත් ය. දිසානායකයෝ මේ ගැමි සංස්කෘතික අධ්‍යාත්මය ඉඳුරා දකිති. එහි අව්‍යාජත්වය විඳිති; එයට භක්තිමත් වෙති.

කයියක් මරණයක් මඟුලක් ගමෙයි වෙන
ඔහු වැඩ කරයි හැම විට මුල් තැනම ගෙන
හිරු මඬලක් විලස අහසින් නොම බසින
පතුරයි ගමේ දස අත සොම්නස් කිරණ

මේ අවුසදහාමිගේ භූමිකාවත්, ඔහුගේ ප්‍රතාපවත් ගුණයත් කවියා දුටු ආකාරයයි. නවීන සංස්කෘතියෙන් උඩු යටි නොකරන ලද ගම් අදත් තිබේ. ඒ ගම්වල අවුසදහාමිලා හිරු සේ ඔදවත්ව සිටිති. කවියා ඔහු පිළිබඳ රේඛා කීපයකින් මවන රූපය කෙතරම් ප්‍රබලදැයි බලනු මැනවි.

සෙවණ දෙවන නුග ගසසේ ගමෙහි ඉමේ
ඔහු මුදු සලකුණකි හොබවන ගම උරුමේ

දිසානායකයන්ට ආවේණික රූපකාර්ථ දනවන බස් වහර කෙතරම් ප්‍රබලව මේ කවිතුළ අපට හමුවෙයිද? නුගගස ගමටම සෙවණ දෙන්නාක් මෙන්ම අවුසදහාමිද ගමට සෙවණ දෙයි. එහෙත් කිසියම් දිනක කිසිවෙක් නොදත් හේතුවක් නිසා අවුසදහාමි ගම හැර ගොස් සිටින බව කවියා අපට කියයි. මෙය අප තුළ ද සංවේගය දනවන්නකි. ඔහු ගම හැර දමා යාම නුගරුකටද දරා ගත නොහැකි සේය. නුගගස මැලවී ඇත්තේ රොසින් මෙන් ය. කවියා ද සිය දුක දැනවීමට ඒ නුගරුක මුළම කවි කුසුමක් තබයි. අවුසදහාමි ගම හැර යාමේ අබිරහස කුමක් වුවත් ඉන් ගම හඬා වැටෙන බවද කවියා හඟවයි.

අවුසදහාමි අප මුළු ගම මවිත කොට
ගම හැර දා ගියා නොකියා කිසිවකුට
රහස නොදන්නෙමු අපි නම් කිසි ලෙසට
කඩා වැටුණි හිරු අහසින් වැව් දියට

දිසානායක කවියාගේ භාෂා සංවේදි ගුණය මෙන්ම භාව ප්‍රකාශනයේ සියුම් බව අගය කළ යුතුය. මෙම නිර්මාණයේදී ඔහු කොළඹ කවියාගේ සුලභ ආකෘතිය තුළට නවීන රිද්මයක් මුසුකරයි. ගැමිවහර හා කටවහර මෙන්ම කවිසමයේ එන බස් වහරද ස්වීය ලෙස මුසු කරමින් අපූර්ව කව්බසක් නිමවා ගැනීමට ඔහු සමත් ව සිටියි.

විමල් දිසානායකයන්ගේ බොහෝ කාව්‍ය නිර්මාණවලට පාදක වී ඇති මුඛ්‍ය තේමාවක් ලෙස ගම හා ගැමි සංස්කෘතික වටිනාකම්වලට දක්වන භක්තිය හැඳින්විය හැකිය. ඔහු සම්ප්‍රදායානුකූල ඇතැම් කොළඹ කවියන් මෙන් ගම වෙනුවෙන් හඬා නොවැලපෙයි. එහෙත් ඒ ගම තුළ සිදුවන වෙනසට ඔහු සංවේදි වෙයි. මෙම කාව්‍ය සංග්‍රහයේ එන ‘බණ මඩුව’ ‘දුක්මුසු පුවතක්’ හා ‘රංහාමි’ මෙයට නිදසුන් කළ හැකිය. මානව සමාජයේ දිගු ගමනේ දී අප දකින එක් දෙයක් නම් එහි සමාජ දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රවල සිදුවන ගැටුම්, වෙනස්කම් හා චලනයන්ය. නවීන තාක්ෂණය හා විද්‍යාවද ඒ සංස්කෘතික සාරධර්ම මත කඩා පාත්වීමද නොවැළැක්විය හැකිය. ‘දුක්මුසු පුවතක්’ කාව්‍ය රචනය විමසා බලනු මැනවි. ගමෙහි අනන්‍යතාව විනාශ වී(?) ගොසින් ය. ගම්දොර, වැව් පොකුණු, වෙල්යාය, ගහ කොළ කොහි සැඟවී ගියෙහිද? කවියා නගන ප්‍රශ්නය එයයි.

වැව වියළී මැකී ගොස්ය
පාසැල දැන් එතැන නොමැත.

ගං මංඩිය නෑ පෙනෙන්ට
වෙල් යායත් වැනසී ඇත.

දා ගොස් ඇත හේන් අවට
රෝහල කොයි දෙස ගියේද
නෑ සිය මිතුරන් සියල්ල
කිසිවෙකු මෙහි ඇත්තේ නැත

කවියා වෙනස නුරුස්සන්නෙක් නොවේ. එහෙත් මේ සිත් පිත් නැති වෙනස කවියාගේ සංවේගයට හේතු වෙයි. මානව සබඳතාවන්ගෙන් වියෝ වූ පාළු හුදෙකලා අවකාශයක මිනිසා තනිවී සිටින අතර ඔහුගේ ජීවන රිද්මය සැහැසි ලෙස බිඳ දමා තිබේ. එහෙත් එක් සිහිවටනයක් තවමත් ඉන්ද්‍රඛීලයක් සේ පවතී.

නාගලකන්දත් මමත්
උනුනුන් දෙස බලා හිඳිමු
කුමක් වීද මම අසනෙමි
කඳු දෙනෙතෙහි කඳුළු නැගෙයි

සොබා දහමෙන් ඈත්වූ මිනිසාගේ අඳුරු දිවිය තුළ ඉකිබිඳින සැමරුම් කොතරම්ද? කවියාගේ සංකල්ප රූප මොනතරම් ප්‍රබලද? සොබා දහමේ ජීවය කවියා අපට සිහිපත් කරවයි. නවීනත්වය හා සංවර්ධනය විසින් උඩු යටිකුරු කරනු ලබන අපගේ ජීවිත ඉරණම කුමක්ද? මානව සබඳතා ගිලිහී සංස්කෘතික වියමන ලිහී අවුල්වී යාම දරා ගත නොහැකි බව මේ සුන්දර කවිය අපට කියයි. වචන ප්‍රවේශමින් තෝරා ගනිමින් ඉතා සංක්ෂිප්තව මේ සංකීර්ණ අත්දැකීම කවියා අපට සමීප කරවයි. මහකන්දත් කවියාත් උනුනුන් දෙස බලා සිටියි. කඳු දෙනෙතෙහි කඳුළකි. මොන තරම් ප්‍රබල යෙදුමක් ද? මානව සබඳතා සියුම් සෝ ගීයක සරයෙන් අප හද තුළ නැගෙයි. ‘බණමඩුව’ද ගම මුහුණ දී සිටින අර්බුදය සමඟ ගිලී ගොසින්ය. එහි පා නගා යන කවියාට මවගේ උණුසුම දැනෙයි. ඇය පිළිබඳ සංවේදී ධාරණා අවදි වෙයි. ගාථා, බණ පද, දහම් සුවඳ ඔහුට ඇසෙන දැනෙන අයුරු කවියා දක්වයි. ‘බණමඩුව’ කියවද්දී මගේ මනසට නැඟුණේ ඔහුගේ අතිශය ප්‍රබල නිර්මාණයක් වන ‘මියගිය උවැසියයි’. ඉතා සංක්ෂිප්ත නිර්මාණයක් වූ එහිදී කවියා පෙළ ගස්වන සංකල්ප රූප සැණින් භාව රූපයක් සේ නැගෙයි. ‘බණමඩුව’ හා අම්මා අතර වූ සබඳතාව ද ඒ අයුරින්ම කවියා ප්‍රතිනිර්මාණය කරයි.

දිසාන­ායකයන්ගේ කවියේ ප්‍රබල සංකේතයක් බවට පත්ව තිබෙන නාගලකන්ද යනු සිංහල සංස්කෘතික ආධ්‍යාත්මය පිළිබඳ රූපකයක් වැන්න. කාලය පිළිබඳ නිරූපණයට මෙන්ම ළමා වියෙහි ආවර්ජන ද මේ සමඟ ඔහු රමණීය ලෙස සුසංයෝග කරයි. එයට නිදසුනක් ලෙස මෙම කාව්‍ය සංග්‍රහයෙහි එන ‘ලජ්ජාව’ දැක්වීම වටී. මහකන්ද මෙන්ම වැවද කවියාගේ සනාතන සැමරුම් සමඟ බැඳී ඇත.

මං කඩට යළි පැමිණ
උනා රෙදි පිළි සියල්
නිරුවත්ව වැව් දියට
පනින්නෙමි එඩිතරව

කාලය විසින් වියපත් කරන ලද ජීවිත අත්දැකීම් සමග ඒ වැව් දියෙහි සිතකය සතපවා ගැනීමද කවියාට ආස්වාදයකි. මවුබිමෙන් ඈත්ව දුරු රටක ජීවත්වන කවියා තුළ නිබඳ නැගෙන හුදෙකලාව, පාළුව, තනිකම නිමක් නැත. හද නිනාද වන ඒ සංවේදි සුසුම් පිළිරැව් දෙන නිර්මාණ අතර වෙලිංටන් වරාය, හොංකොං දේශය, තාප්පය හා දහසක් මාවත් මගේ සිත ඇද බැඳ ගත් නිර්මාණ වේ. මෙයින්ද ‘දහසක් මාවත්’ වඩාත් ප්‍රබල සංඥාර්ථ හා ධ්වනිනාර්ථ නඟයි. මෙයට ප්‍රථම රචනා කළ කාව්‍ය සංග්‍රහයක ඔහු ඉතා මැනවින් ගම හා රට පිළිබඳ වූ බැඳීම තහවුරු කළ අයුරු මට සිහි වේ.

රට හැර දා ගියේ ඇයි ද
අසත් කෙනෙක් විමතියකින්
රට හැර දා මම නොගියෙමි
ගියෙමිය මම රටත් සමග

මානව සබඳතාවන්හි මියුරු ඵලයක් බඳු ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබඳ ව කවීන් විසින් නිර්මාණය කරන ලද කාව්‍ය සංඛ්‍යාව ගිණිය නොහැකි තරම් ය. දිසානායකයෝ ද ඒ සුරම්‍ය ප්‍රේමයේ මිහිර, විප්‍රයෝගය මෙන්ම එහි සෝකි සැමරුම්ද අපට ඉදිරිපත් කරති. මම එයින් එක් රචනාවක් තෝරා ගතිමි. තාරුණ්‍ය ගොදුරු කර ගන්නා බිහිසුණු විපතක් කවියා දකියි. ‘තෙවැනි සුනාමිය’ හද ප්‍රකම්පිත කරවන ඒ නිර්මාණයයි. පස් හැවිරිදි දැරිය දෙවරක් සිය ජිවිතය සුනාමියෙන් බේරා ගන්නීය. එහෙත් තෙවැනි සුනාමිය ඇය වෙත එන්නේ සලෙළු වෙසින් ය. ‘පෙම් සිතුවිල්ලක්’ හා රුදු මතකය ඒ සැළමුතුනුගිනුරා ප්‍රේමයේ ප්‍රතිරාවයන් වැන්න. ‘අනාවැකි’ ප්‍රේමයේ වෙනත් සංවේදී අත්දැකීමක ප්‍රතිරාවයකි. එහි කිසියම් නාටකීය බවක්ද ඇත. රංජිත් හා උපුල්මලීගේ පෙම් ලොව අඳුරු වූයේ ප්‍රේමය හා සෝකය අවියෝජනීය ලෙස බැඳී ඇතැයි යන මානව ධර්මතාව සිහිපත් කරවමින් ය.

දිසානායකයන් විසින් ඉමහත් භක්තියකින් සබඳතා පවත්වන චීන කවිය පිළිබඳ ව මෙන්ම ඉංග්‍රිසි බසට නඟන ලද වෙනත් කවි ඇසුරෙන් ලියූ පද්‍ය රචනා කීපයක් ද මෙහි එයි. ‘පැරණි චීන කවියකු සිහිවී’ ‘පැබ්ලෝ නෙරුදාට’ ‘ගුරුවරයා’ එයට නිදසුන් ය. එමතු නොව ඔහු විසින් අතිශය සරල අත්දැකීම් වඩාත් ගාම්භීර දාර්ශනික චින්තාවලියක් බවට පත් කිරීමට දරන ලද ප්‍රයත්නය ගැන ද පෙන්වා දිය යුතුය. ‘ඇඳේ ගීතය’ එබඳු නිර්මාණයකි. ඇඳ හෙවත් යහන ‍භෞතික දෙයකි. එහෙත් ඒ හා බැඳුණු මානව ක්‍රියාකාරකම් රැසකි. උපතේ සිට මරණය තෙක් දිව යන ජීවිතය ඇඳ මතින් ඇඳි යන දාර්ශනික චින්තාවක් බවට පත් කරවීමට කවියා සමත් වෙයි. මෙහි එන ‘එම්බා මරණය’ දාර්ශනික චින්තාවකි. ධම්ම පදයේ එන මරණය නොසැලී හිමාලයක්සේ සිටින ආකාරය කවියා ප්‍රබල ව පෙන්වයි.

ඉතිහාසය සිනාසෙයි පද්‍ය රචනාව උත්ප්‍රාසාත්මක නිර්මාණයකි. සමාජ දේශපාලනයේ නග්න විලාසය මෙන්ම ඒ රඟමඩල මත හැසිරෙන මූග්ධයන්ගේ විසූක දස්සන දකින කවියා සිනාසෙයි.

දිසානායකයන්ගේ මේ කාව්‍ය සංග්‍රහය ජීවිතය හා මනුෂ්‍යත්වය වෙන වෙනම හඳුනා ගත් ප්‍රතිභා පූර්ණ කවියකුගේ දාර්ශනික චින්තාවලියක් වැන්න. සම්ප්‍රදාය සමතික්‍රමණය කරන කවියා කිසිවිටෙක එයට අවමන් නොකරයි. සංස්කෘතික වටිනාකම් හා සාරධර්ම වලට උඩින් හඹා යන නවීනත්වය සමග කවියා එකඟ නොවේ. සම්ප්‍රදාය හා නවීනත්වය සමග හෘදය සංවේදී හමුවක් සඳහා කවියා පසුබිම සකසා දෙයි. මානව සබඳතාවල සියුම් ලකුණු කවියා ස්පර්ශ කළ ආකාරය රමණීයද විචිත්‍රද වේ. උපමා, රූපක, අලංකාර මෙන්ම ශිල්ප හරඹ වලින් බරවූ කවි බසක්, වෙනුවට සරල අව්‍යාජ සුන්දර හා සංවේදී කවි බසක් නිර්මාණය කිරීමට ඔහු දක්වන සමත්කම ද සුවිශේෂ වේ. එනිසාම ඒ කවි අපට අපූර්ව සෞන්දර්ය කවුළුවක් විවර කර දෙයි. භාෂා සංවේදිත්වයෙන් යුතු විදග්ධ කවියකු ලෙස ඔහු විසින් සිංහල කවියට කරන ලද සුවිශිෂ්ට සම්ප්‍රදාන ලෙස ‘ඉතිහාසය සිනාසෙයි’ නිසැකවම හැඳින්විය හැකිය.

 

Comments