අප ජීවත් වන්නේ සොම්බීකරණය වුණු සමාජයක... | Page 2 | සිළුමිණ

අප ජීවත් වන්නේ සොම්බීකරණය වුණු සමාජයක...

සොකරි හා උඩරට සමාජය නම් අගනා මානව විද්‍යාත්මක කෘතිය රචනා කරමින් සාහිත්‍ය ක්ෂෙත්‍රයට පිවිසි හෙතෙම මහාචාර්ය ගණනාථ ඔබේසේකර විසින් රචිත ‘THE DOOMED KING ‘නෙරපු රජ’ නමින් සිංහලයට නැඟීය. ‘සුදු ඇස’ මහත් පරිශ්‍රමයක් දරා සොයා පාදාගත් දෑ ආශ්‍රයෙන් ඔහු කළ මානව පර්යේෂණාත්මක කෘතියක් ලෙස හඳුන්වාදිය හැකිය. මෙරට ඉතිහාසය හා වර්තමනය සම්බන්ධයෙන් සුදු මිනිසුන්ගේ කියැවීම් ආශ්‍රයෙන් අප දෙස බැලීම පිළිබඳ ව ඔහු මෙමඟින් ප්‍රශ්න කරයි. යටත්විජිත ඉතිහාසය,

ඒ මත පදනම්ව ගොඩනැඟුණු

සාහිත්‍ය මෙන්ම විවිධ ලේඛන

පිළිබඳව ද නැවත කියවීමට

ඔහු මින් අපට ආරාධානා කරයි.

 

ඔබ මේ පොතට ‘සුදු ඇස’ කියල නම් කරන්න හිතුවේ ඇයි?

‘සුදු ඇස’ කියල කියද්දි ඉන් අදහස් දෙකක් අපට ඉඟි කරනවා. එකක් තමයි ඇහේ සුද ආවම කෙනෙකුට කිසිම දෙයක් නියමාකාරයෙන් පෙනෙන්නේ නැතිව යනවා කියන අදහස. අනෙක් අදහස තමයි සුදු ජාතිකයන් අප දෙස බැලූ ආකාරය කියන එක. මේ කෘතියට මූලික වෙන්නේ මෙන්න මේ දෙවන කාරණයයි. යටත් විජිත යුගයේදී අපේ රට පාලනය කරපු පාලකයන්, ආණ්ඩුකාරයන්, සිවිල් නිලධාරීන්, වෛද්‍යවරුන්, හමුදා නිලධාරීන් හා පූජකයන් මේ රටේ මිනිසුන් දැක්කේ මොන විදියට ද කියන කාරණාව මං මේ මගින් පෙන්වීමට උත්සාහ ගෙන තිබෙනවා. විශේෂයෙන් ම මෙහි මුල් කොටසින් අපේ රට ගැන පමණක් නෙමෙයි, දකුණු ආසියාව කේන්ද්‍ර කරගෙන දකුණු ආසියානු සමාජ පසුබිමත්; යටත්විජිතයන් ඒ සමාජය දැක්කේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ගැනෙනවා.

 

මීට ප්‍රථම මහාචාර්ය ගණනාථ ඔබේසේකර රචනා කළ ‘කැනිබල් ටෝක්’ කෘතිය මඟින් යුරෝපීයන් ආසියානු හා අප්‍රිකානු රටවල මිනිස්සු දිහා බලපු ආකාරය ලියා තිබෙනවා නේද?

ඔව්, ඒ කෘතිය සමස්තයක් විදියට ලෝකය ම අවලෝකනය වන ආකාරයටයි ඉදිරිපත් කර තිබෙන්නේ. නමුත් මෙහිදී මගේ අවධානය යොමු වුණේ දකුණු ආසියාව දිහාවටයි. ඉන් අනතුරුව තමයි මා ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්නේ. උදාහරණයක් විදියට ලොඩෝවිකො ඩි වර්තේමා කියල ලංකාව ගැන මුලින් ම ලියපු ඉතාලි ජාතික පූජකවරයෙක් හිටියා. ඔහු පිළිබඳව මේ කෘතිය ලියැවෙනතෙක් කිසිවෙක් අවධානය යොමු කර තිබුණේ නැහැ. ඔහු ලංකාවට ආපු කෙනෙක් නෙමෙයි. ඔහු ඉන්දියාවට ඇවිල්ලා එහේ ඉන්න කාලේ; ඔහුට ලැබුණු තොරතුරු ආශ්‍රය කරගෙන 1490 දී පමණ ලංකාව ගැන දීර්ඝ විස්තරයක් ලියනවා. ඒ පෘතුගීසීන් මෙහෙට එන්න කලින්. ඒ විස්තර පෘතුගාලයට ලැබෙන්නේ මේ පූජකවරයා හරහායි. ඔහු ඉන්දියාවේ හා ලංකාවේ මිනිස්සු දිහා බලන්නේ සතුන්ගේ චර්යාවට බෙහෙවින් සමීප මනුස්ස කොට්ඨාසයක් ලෙසයි. එයා ඒ අය හැඳින්වීමට පාවිච්චි කරන්නේ ‘මීහරක් (buffalo)’ කියන වචනයයි. ඔහු පූජකවරයෙක් ලෙස තැබූ මේ සටහන් ඉතාම වැදගත් වෙනවා. මොකද මේ වර්තේමා පූජකවරයාගේ සටහන් ජර්මන්, ප්‍රංස, ඉතාලි, ඉංග්‍රීසි... ආදී භාෂා ගණනාවකටම පරිවර්තනය වුණා. ඉන් පස්සේ මේ රටට ආපු හැමෝම ඒ ඇසින් තමයි අප දිහා බැලුවේ.

 

මේ කෘතිය තුළ ඔබ රොබට් නොක්ස්ව වැඩිවශයෙන් විවේචනයට ලක් කරනවා. ඒ ඇයි?

වර්තේමාගෙන් පස්සේ අප ගැන වැඩි වශයෙන් ලියන්නේ නොක්ස්. එදා හෙළදිව කියල ඒක සිංහලයට ඇවිත් තිබෙනවා. මා ඔහු විවේචනයට ලක් කරන්නේ හේතු සාධක සහිතවයි. මොකද නොක්ස්ගේ කෘතිය තමයි අපේ බොහෝදෙනා; විශේෂයෙන්ම ආචාර්යවරුන් පවා අපව කියවන්න ගුරුකොට ගන්නේ. මේක නොක්ස්ගේ වරදකුත් නෙමෙයි. ඔහු කළේ ඔහුට පැවරී තිබුණු වගකීම ඉටු කිරීම පමණයි. වැරැද්ද තියෙන්නේ නොක්ස්ගේ ඇසින් අප අප දිහා බැලීමට යොමු වීමයි. නොක්ස් ලියපු දේවල් අප කියවා එවා සැබෑ ලෙස පිළිගෙන තිබෙනවා. පාසල් අධ්‍යාපනයටත් ඒ කෘති නිර්දේශ කරනවා පමණක් නෙමෙයි; එහි උපුටා දැක්වීම් පවා තිබෙනවා. ඇතැම් ශාස්ත්‍රීය ලේඛනවල පවා තිබෙන්නේ නොක්ස් අප ගැන කියූ දේවල්.

බොහෝදෙනා ඔහු සිරකාරයකු බව අමතක කරනවා. ඔහු කූඩු කර නොතිබුණත් ගම්පොළ ලැඟුම්දෙණියෙන් පිටත ඔහුට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලැඟුම්දෙණිය කියන්නේ අදටත් ඉතාම දුෂ්කර හා හුදෙකලා ගම්මානයක්. ඒකට බාහිරින් තොරතුරු ලැබෙන්න තිබුණු ඉඩකඩ බොහෝම සීමිතයි. නොක්ස් ජීවත් වුණු කාලයේ පවුල් දහයක් දොළහක් ඉන්න ඇති. අදත් ඉතාම අඩු පවුල් සංඛ්‍යාවක් තමයි ඒ ගමේ වාසය කරන්නේ. එය ඒ තරම් දුෂ්කර ගම්මානයක්. නොකස් ජීවත්ව සිටි කාලය තුළ මෙය කැලෑබද ප්‍රදේශයක් ව තිබෙන්නට ඇති බව අපට පහසුවෙන් අවබෝධ කර ගන්න පුළුවන්. ඔහු ලියන්නේ මේ ගම ගැන මිසක්; සමස්ත රට ගැන ඇති කරගත් පැතිරුණු අවබෝධයකින් නෙමෙයි. ඔහු මේ කියන්නේ සමස්ත රට ගැන බව ඔහුම මේ පොතේ විස්තර කරනවා. ඒ විස්තරය කියවගෙන යද්දි ඔහු මේ තොරතුරු ලබාගත්තේ අවට සිටින මිනිස්සුන්ගෙන් බව ඔහුම සඳහන් කරනවා. නොක්ස්ගේ පොත පරිශීලනය කරන කවුරුවත් ඒ කාරණය තකන්නේ නැහැ. ඉතාම දුෂ්තර ප්‍රදේශයක හුදකලා ගමක වාසය කරන මිනිස්සුන්ගේ තොරතුරු තමයි නොක්ස් මේ ලියන්නේ. නමුත් අප අද කරන්නේ නොක්ස් කියවල නොක්ස්ට අනුව හැඩගැසෙන එකයි. ඒවගේ තමයි ස්පිටල් ගේ ‘වැද්දෝ’ කියවලා මෙහේ වැද්දෝ හැදුණා.

 

අපි උඩරට පහතරට කියල වෙනම අනන්‍යතා හදා ගත්තෙත් සුදු ඇසින් බලල නේද?

ඔව්, ඒ විතරක් නෙමෙයි සිංහල දෙමළ කියල වෙන වෙනම අනන්‍යතා හදා ගත්තා; යුරෝපීයන් කුල ගැන කතා කළාම කුල අනන්‍යතා වෙන වෙනම හදා ගත්තා. ඔවුන් ආගම ගැන ලියන විදියට අප ආගමික අනන්‍යතා හදා ගත්තා.

සුදු ඇස කෘතිය හරහා නොක්ස්, හෙන්රි පාකර්, රොබට්, කොඩ්රින්ටන්... ආදී ප්‍රධාන ලේකකයන් පස්දෙනෙක් මේ රටේ මිනිස්සු ගැන; සිංහල දෙමළ මුස්ලිම් ආගම් ගැන; කුල ගැන; ජාතීන් ගැන ඔවුන්ගේ කෘතිවල පෙනෙන අන්තගාමී අදහස් නැවත කියැවීමටයි මා මේ හරහා උත්සාහ ගන්නේ.

 

නමුත් පසුකාලීනව ඉන්දියානුවන් මේ තත්ත්වය අවබෝධ කරගෙන තමන්ගේම වූ දෘෂ්ටියකින් ඔවුන්දෙස බලන්න උත්සාහ කළා නේද?

ඔව්, ඔවුන් අප වගේ යුරෝපීය දේවල් ඒතරම් ලොකුවට සැලකුවේ නැහැ. 1930 ගණන්වල ඉඳල ප්‍රාචීනවාදය හරහා ඔවුන් මේ අවුල ලිහා ගන්නවා. එය හෙන්රි ස්ටිල් ඕල්කට්ගේ පරම විඥානාර්ථ සමාගමෙන් ආරම්භ වුවත්; ස්වඅනන්‍යතාවය පිළිබඳව ඔවුන් සැලකිලිමත් වුණා. ඔවුන් යුරෝපීය අදහස් බැහැර කරල; ඒවෙනුවට ඉන්දීය අනන්‍යතාවක් ගොඩනැඟීමට විශාල ව්‍යාපෘතියක් දියත් කළා. ඒ සඳහා ඉන්දියානු නිදහස් සටන වගේම වාමාශික ව්‍යාපාරයත් විශාල පිටු බලයක් වුණා. එනිසා අද අපට ආගම් විශාල ප්‍රමාණයක්, ජනවර්ග විශාල ප්‍රමාණයක්, භාෂා අනන්‍යතා විශාල ප්‍රමාණයක් තියෙද්දි ඉන්දියානුවෙක් හමු වෙනවා.

 

සුද්දන් මෙහෙට එන්න කලින් අප රටේ පැවති සමාජ හැඩය පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

ඒ අය එන්න කලින් මෙහේ පැවතියේ නිදහස් සමාජ වටපිටාවක්. ඕන කෙනකුට එන්න පුළුවන්; යන්න පුළුවන්. එය නිදහසේ ගලා යන සමාජයක්. මේ රට දූපතක් විදියට නාවික ගමනාගමනයත් එක්ක ලෝකයේ අනෙකුත් රටවලට විවෘත වෙලයි තිබුණේ. අප ආවේ කොහෙන්ද? ආවේ කවුද? කියල ප්‍රශ්න කරන්න ගියේ නැහැ. ඒ කාලේ මෙහෙට ග්‍රීකයෙන්, රෝමයෙන්, යෝනයෙන්, ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්, ජාවාවලින්, සුමත්‍රාවලින්... ආදී නොයෙක් රටවලින් වෙ‍ෙළදාම සඳහා ආවා. ඒ ආපු අයගෙන් සමහරු මෙහේ පැලපදියම් වුණා. ඒ අය එහෙම ප්‍රධාන සමාජ ධාරාවට එකතු වුණා. පස්සේ තමයි ඒකට අපි නමක් තියාගත්තේ සිංහල කියලා. ඉන්දියාවෙත් හින්දු සහ ආර්ය අනන්‍යතාවක් හදන්නේ යුරෝපීයන්. එහෙ තිබුණෙත් මෙහෙ වගේම නිදහසේ ගලා යන විවෘත සමාජයක්.

යුරෝපීයන් එන්න ප්‍රථම එහි ජනවර්ග තුන්සීයක් පමණ සිටි බව අප අසා තිබෙනවා. සමහරු සඳහන් කරනවා 600කට වැඩිය තිබුණයි කියල. නමුත් ප්‍රධාන වශයෙන් ජනවර්ග 300කට වැඩි පිරිසක් ජීවත් වී තිබෙනවා. උතුරු ඉන්දියාව හරහා ලෝකයේ හැම රටක ම ජනතාව ඇවිත් ඒකරාශී වී තිබෙනවා. මේ පොතේ දකුණු ආසියාවේ ප්‍රවණතා යටතේ ඒ පිළිබඳ ව සඳහන් කර තිබෙනවා.

 

නමුත් අද ජාතීන් වශයෙන් විතරක් නෙමෙයි, ආගමික, කුල, පන්ති වශයෙන් පවා ජනතාව බෙදන්න දේශපාලනඥයන් උත්සාහ ගන්නවා. ඔවුන් සුද්දට එහා ගිය විනාසයක් මේ රටට කරනව නේද?

පැහැදිලි ව ම. 1930 ගණන්වල ඉඳල මේ රටේ නායකත්වය දීපූ උදවිය බෙදීම තමයි අපේක්ෂා කළේ. තමන්ගේ බලය රැකගැනීමේ ව්‍යාපෘතියක් විදියට ඔවුන් දිගින් දිගටම මෙය පාවිච්චි කළා. අද එය ඉතාම දරුණු තත්ත්වයකට පත්වෙලා තියෙනවා.

 

ඔබ මේ කෘතියේ අයිසිස් ත්‍රස්තවාදය පිළිබඳව සඳහන් කරනවා. ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් කළොත්?

අවුරුදු 30ක් තිස්සේ දෙමළ ජනතාව අපේ සතුරෙක් විදියට දකින්න අපි හදාගෙන තිබුණා. දැන් අප අලුත් මුස්ලිම් සතුරෙක් සොයාගෙන තිබෙනවා. මේ මුස්ලිම් හතුරා ලංකාවට විතරක් නෙමෙයි ආසියාවෙත් යුරෝපයෙත් සතුරෙක් විදියටයි පෙන්වා දෙන්නේ.

1948 අපට නාමික නිදහස ලැබෙනකොටම අරාබිකරයේ සැලකිය යුතු පරිවර්තනයක් වෙනවා. ඊශ්‍රායලය කියල පලස්තීනයේ වෙනම රටක් ගොඩනැඟෙනවා.

මේ ඊශ්‍රායලය ගොඩනැඟීමට මූලික වුණු රට ඇමරිකාව කියල හැමෝම දන්නවා. පලස්තීනයේ ඊශ්‍රායලය ගොඩනැගෙන්න කලින් අරාබිකරය පොදු සතුරෙක් බවට පත්ව තිබුණේ නැහැ. 14-15 වැනි සියවස්වල අරාබි ජාතිකයන් විසින් කොන්ස්තෙන්තිනෝපලය ආක්‍රමණය කළා. මේ නිසා යුරෝපීයන්ට තම වෙළෙඳ මධ්‍යස්ථානය අහිමි වුණා. ඒ මොහොතේ අරාබිවරුන් හා යුරෝපීයන් අතර විශාල ගැටුම් ඇති වුණා. නමුත් එය ඒ කාලය ඇතුළත අන්තර්ජාතික දේශපාලන ව්‍යාපෘතියක් විදියට වර්ධනය වුණේ නැහැ.

1980න් පස්සේ නව යටත් විජිතවාදී ක්‍රමය තුළ ඇමරිකාව තමන්ගේ බලය ලෝකය පුරා ස්ථාවර කර ගත්තට පස්සේ; ස්ලාමීය අනන්‍යතාව ලෝකෙට හතුරු අනන්‍යතාවයක් විදියට ගොඩනගන්න ඇමරිකාවට ඉඩ ලැබෙනවා. ඒකට හේතුව 14 -15 සියවස්වල සිට පැවති ඓතිහාසික වෛරයයි. ඒක ඔවුන් ආරම්භ කරන්නේ 1948 දී ඊශ්‍රායලය ගොඩනැඟීමෙන් පසුවයි. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් මා මේ කෘතියෙහි සඳහන් කර තිබෙනවා.

 

මානව විද්‍යා ක්ෂේත්‍රයට සමාජ සොම්බීකරණය (Social-Zombinization)) කියල නවතම වචනයක් ඔබ මේ කෘතිය මඟින් හඳුන්වා දෙනවා.

මේ වචනය මෙතෙක් මානව විද්‍යා ක්ෂේත්‍රයට උපයුක්ත කරගත් වචනයක් නෙමෙයි. කැරපොත්තන් සම්බන්ධයෙන් යොදා තිබෙන වචනයක් ලෙස තමයි සොම්බිනේෂන් කියන වචය මට හමු වෙන්නේ.

එමරල්ඩ් දෙබරා බිත්තර දාන්නේ වැඩුණු කැරපොත්තෙක් ගේ ශරීරය තුළ. එහෙම බිත්තර දාන්න කලින් ඌ කැරපොත්තව සොම්බීකරණය කරනවා. ඒක අපූරු ක්‍රමයක්. එමරල්ඩ් දෙබරා මුලින්ම කැරපොත්තට දෂ්ට කරනවා. දෂ්ට කළ සැනින් කැරපොත්තාගේ ඉදිරි පාද අඩපණ වෙනවා.

ඊට පස්සේ වූ ආයිත් කැරපොත්තාගේ හිසේ තුන් පලකට දෂ්ට කරනවා. ඉන් පසු සිදු වන දේ පුදුම සහගතයි. කැරපොත්තා සම්පූර්ණයෙන් ම දෙබරාට අවනත වෙනවා. ඌ දෙබරා පසු පස යනවා මිසක ගැලවෙන්නට සිතන්නේවත් නෑ. ඌ සොම්බීකරණය වෙනවා. අපි දන්න වචනයකින් කියනවා නම් පිල්ලූවක් වෙනවා.

දෙබරා කැරපොත්තාගේ පසු පස ගාත්‍රා අසලින් ඇඟ ඇතුළට වැදී බිත්තර දමනවා. කැරපොත්තාගේ ඇන්ටෙනා දෙක කඩා දමනවා. ඉන්පසු තමන්ට වුවමනා තැනට එක්ක යනවා. එක්ක ගිහින් කුරුබිලියක දමා වහනවා. එහෙම වහන්නේ කැරපොත්තා පලා යන නිසා නොවෙයි. වෙනත් සතුන්ගෙන් කැරපොත්තාව ආරක්ෂා කර ගන්නයි.

දෙබර කීටයා එළියට ඇවිත් කරපොත්තාව ආහාරයට ගන්නවා. ඒත් කැරපොත්තා මිය නොයන ලෙස ආහාරයට ගැනීමට ඌ වග බලා ගන්නවා. අද අපට වෙලා තියෙන්නෙත් ඒ දේම තමයි. අපට අපේම වූ මාර්ගයක් නැහැ. අප තවමත් එක එක්කෙනා පෙන්නන මාර්ග ඔස්සේ යමින් සිටිනවා.

Comments