සකල ලෝකවාසී බෞද්ධයන් අතර අනුරාධපුර රුවන්මැලි සෑය අති පූජනීය සිද්ධස්ථානයක් ලෙස සැලකෙන්නේ එහි ශ්‍රී සර්වඥ ධාතු ද්‍රෝණයක් පමණ නිදන් කර ඇති නිසාත් අට්ඨකථාවල සඳහන් පරිදි සර්වඥ ධාතු වන්දනය සර්වඥයන් වහන්සේ වැඳීම පිදීම හා සමාන වන බවත් නිසා ය. රුවන්මැලි සෑයට විවිධ පුද පූජා පැවැත්වූ හෝ පිළිසකර කිරීම් කළ විවිධ පාලකකාරකාදීන් ගැන වංශකථාවලින් හා ශිලාලිපිවලන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබේ. එහෙත් පොදු ජන විඥානයේ දැඩිව රැඳී ඇත්තේ සෑය ඉදි කළ දුටුගැමුණු මහ රජතුමා සහ පරසතුරු උවදුරු නිසා වසර හය හත්සියයක් නටබුන්ව වන වැදී තිබූ එම සෑය අද වන විට සැදැහවතුන්ට වඳින්නට පුදන්නට අවැසි පරිදි දැවැන්ත සංරක්ෂණය ආරම්භ කළ යතිවරයාණන් වන නාරංවිට සුමනසාර හිමිය.
1872 දී ඉතා අපහසුවෙන් හා සුළු ප්‍රමාණයෙන් ආරම්භ කළ එම කාර්ය සහමුලින් සපුරාගැනීමට හැකි වූයේ 1940 වර්ෂයේ දී ශ්‍රීමත් ඩී.ඩී.ජයතිලක, මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක මැතිඳුන් ඇතුළු ගිහි පැවිදි පිරිස ලවා එහි කොත් පැලඳවීමෙන් ය.
සියවස් හයක් තිස්සෙ ගරා වැටුණු සෑය
රුවන්මැලි සෑය නටබුන්ව යෑමට හේතු වූයේ රජරටට එල්ල වූ පරසතුරු ආක්‍රමණයි. ක්‍රිස්තු වර්ෂ 1215 දී රජරටට එල්ල වූ කාලිංග මාඝගේ ආක්රමණයේ ප්‍රතිඵලය වූයේ සිංහල පාලකයන් හා ජනතාව ජීවිතාරක්ෂාව පතා දිවයිනේ නිරිත දිග හා අනෙකුත් ප්‍රදේශවලට පලා යෑමය. එසේ පලාගිය පිරිස් අතරින් 3 වන විජයබාහු 1232දී දඹදෙණි රාජධානිය ආරම්භ කළේය. එතුමාගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් 1255 දී රජරටින් මාඝ එළවා දැමීමෙන් පසු ආරක්ෂක හේතු මත නැවත අනුරාධපුරය හෝ පොලොන්නරුව රාජ්‍ය මධ්‍යස්ථානය බවට පත් කර නොගැනීම නිසා රජරට වන වැදී ජන ශුන්‍ය වීම ඇරඹිණි. එහෙයින් අනුරාධපුර රාජධානි සමයේ දී එහි ඉදිවූ මහා ස්තූප ඇතුළත් මහා විහාර පිළිසරණක් නැතිව නටබුන් වී මහ වනයෙන් වෙළී ගියේය.
රුවන්මැලි සෑය නැගෙනහිර දොරටුව ළඟ පොකුණ - 1960 |
මේ තත්ත්වය යටතේ අනුරාධපුරයේ තරමක් හෝ එළිපෙහෙළිව තිබුණේ ශ්‍රී මහා බෝධිය අවට භූමි ප්‍රදේශය පමණ ය. මහනුවර රාජධානි සමයේ අනුරාධපුරය ඇතුළත් නුවරකලාවිය උඩරට පාලනය යටතේ තිබුණ අතර 1815 ඉංග්‍රීසින්ට උඩරට යටත් වීමත් සමගම නුවරකලාවිය ද ඉංග්‍රීසින්ට අයත් විය. ඒ අනුව ඉංග්‍රීසින් නුවරකලාවිය පාලනය සඳහා ඔවුන්ගේ කාර්යාල හා නවාතැන් සාදා ගත්තේ එසේ තරමක් හෝ එළිපෙහෙළිව තිබූ ශ්‍රී මහා බෝධිය අවට භූමියේ ය.
නාරංවිට සුමනසාර හිමි
ශ්‍රී මහා බෝධිය භාරව උඩරට රාජධානි සමයේ සිට ඉපලෝගම අත්ථදස්සි නමින් තෙරුන් වහන්සේ නමක් සිටිය ද 1869 වන තුරු රුවන්මැලි සෑ භූමියේ ආවාසයක් හෝ භික්ෂූ වාසයක් නොවීය. උඩරට ඇතුළු දිවයිනේ සමහර පළාත්වලින් පොසොන් සමයේ පමණක් ශ්‍රී මහා බෝධිය වැඳීමට විශාල සැදැහැවතුන් පිරිසක් පැමිණි අතර එම පිරිස් නටබුන්ව වන වැදී තිබූ රුවන්මැලි සෑය වැඳීමට ද ගිය හෙයින් ශ්‍රී මහා බෝධි ආවාසයේ වැඩසිටි එක් භික්ෂූවක් පොසොන් සමයට පමණක් රුවන්මැලි සෑයට වැඩම කිරීමක් වාර්තා වී ඇත. ඒ පරිසරය යටතේ 1853 පොසොන් සමයේ දී සැදැහැවතුන් පිරිසක් විසින් පෙරහරක් පවත්වා ස්තූපය මුදුණේ කොතක් පැලඳ වූ බව උතුරු මැද පළාත් ඒජන්ත ඉංග්‍රීසි ජාතික අයිවර්ස් සඳහන් කර ඇති අතර එහි ඡායාරූප ද දක්නට ලැබේ.
එසේ නටබුන්ව තිබූ රුවන්මැලි සෑයේ භාරකාරත්වයට මෑත යුගයේ ප්‍රථමයෙන් ම පත් වන්නේ නාරංවිට සුමනසාර හිමිය. උන් වහන්සේ මරදන්කඩවල අසල කොස්සෝකන්ද ආරණ්‍ය වාසයේ සිට රුවන්මැලි සෑය භාරව පැමිණි ආකාරය ගැන විස්තර දක්නට ඇත. ඒ වන විට නුවරකලාගම් පළාත භාර ව සිටි රත්වත්තේ රටේ මහතා සහ හුරුළු පළාත භාර උලගල්ලේ රටේ මහතා ගරා වැටෙමින් පැවැති රුවන්මැලි සෑය ගැන අවධානය යොමු කරමින් රුවන්මැලි සෑයේ ආගමික කටයුතු ක්‍රියාත්මක කළ හැකි හා එම ස්ථානය වැඩි දියුණු කළ හැකි සිල්වත් හා ජවය ඇති භික්ෂුවක් ලබාදෙන ලෙස කොස්සෝකන්ද වනවාසි භික්ෂු ප්‍රධානීන්ට කරන ලද ඉල්ලීම අනුව කොස්සෝකන්ද වනවාසයේ වැඩ සිටි තරුණ භික්ෂුවක වු නාරංවිට සුමනසාර හිමි සුදුසු බව උන්වහන්සේලා විසින් යෝජනා කර ඇත.
ඒ අනුව එහි වැඩම කළ උන්වහන්සේ සැදැහවතුන්ගේ සහයෝගයෙන් රුවන්මැලි සෑයේ වැවී තිබු ගස් කොළන් එළිපෙහෙළි කරමින් සිටි අවස්ථාවේ උන් වහන්සේ පිළිබඳ තොරතුරු විමසා බලා රුවන්මැලි සෑයේ සංවර්ධන කටයුතු කිරීමට නම් සියම් නිකායට හැරී ඒ බව සහතික කරන ලිපියක් මල්වතු මූලස්ථානයෙන් ගෙන එන ලෙස අටමස්ථානාධිපති හිමි දැනුම් දුන් බවත් ඒ අනුව උන්වහන්සේ සියම් නිකායට හැරී මල්වතු අධිකාරියෙන් ලිපියක් ගෙනා බවත් ප්‍රවාදයේ පවතී.
එසේ 1872 දී උන්වහන්සේ රුවන්වැලි චෛත්‍යාධිකාරි ලෙස පත් වීමෙන් පසු රුවන්මැලිසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹූහ. වර්ෂ 1899 සිට වලිසිංහ හරිස්චන්ද්‍ර තුමාත් එම කටයුත්ත සඳහා සම්බන්ධ විය. වර්ෂ 1912 සිට රුවන්මැලි සෑ සංවර්ධනය සඳහා ආධාර ලබා ගැනීමටත් අනුරාධපුර බෞද්ධ ප්රබෝධය ඇති කිරීමටත් “සිරි අනුරාපුර පුවත” නමින් පුවත්පතක් මුද්‍රණය කර රට පුරා බෙදා හැරීමටත් කටයුතු කර ඇත. (එම පුවත්පත ජාතික ලේඛනාගාරයේ ඇත.)
කොස්සෝකන්ද අරණ්‍යයේ වැඩසිටි නාරංවිට සුමනසාර හිමියන් උපසම්පදාව ලබාතිබුණේ රාමඤ්ඤ නිකායෙනි. වර්ෂ 1864 රාමඤ්ඤ නිකාය ආරම්භ වූ මුල් සමයේ දී ම නුවරකලාවිය ප්‍රදේශයේ එම නිකාය ව්‍යාප්ත වූයේය. ඒ අවස්ථාවේ අස්ගිරි පාර්ශ්වයට අයත් වූ කොස්සෝකන්ද අරණ්‍යවාසී ආරාමයේ භික්ෂූහු රාමඤ්ඤ නිකායට හැරුණහ.
රාමඤ්ඤ නිකායට අයත් වූ හඳගල පරපුර සමඟ මරදන්කඩවල ප්‍රදේශයේ කොස්සෝකන්ද වනවාසී පරපුර ද බැඳී සිටියේය. හඳගල පරපුර මහපුලියන්කුලමේ දීපංකර හිමිගෙන් ආරම්භ විය. නාරංවිට හිමි ගල්ලැන්ගොල්ලේ වැඩවසමින් රාමඤ්ඤ නිකාය මඟින් ගම්පොළ උදකුක්ඛෙප සීමාවේ ප්‍රථමයෙන් කළ උපසම්පදා විනය කර්මයේ දී උපසම්පදා වී ඇත. උන්වහන්සේගේ ජන්ම භූමිය ගම්පොළප්රදේශය යැයි පැවසේ. තව ද උඩුනුවර ගල්ලැන්ගොල්ලේ වැඩවිසු විදර්ශනාචාර්ය වැලිගමුවේ අත්ථදස්සී හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුවකි. එසේ ම ගල්ලැන්ගොල්ල විහාරවාසී භික්ෂූවකි.
රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණය
වැලිගමුවේ හිමි සියම් නිකායික භික්ෂූවක වු අතර 1867 මහවැලි ගඟේ ගම්පොළ රංකඩඇල්ලේ දී පැවැත් වු උපසම්පදා විනය කර්මයේ දී රාමඤ්ඤ නිකායෙන් දළ්හිකම්ම උපසම්පදාව ලබා ගැනීමෙන් රාමඤ්ඤ නිකායට එක් වී ඇත. ඒ අනුව උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස ද රාමඤ්ඤ නිකායට ඇතුළත් වී ඇත. එම පිරිස අතර නාරංවිට සුමනසාර, දුම්බර ආයුපාල, නාරංපනාවේ ඉන්දජෝති, උලංකුලමේ සරණංකර, පුලියන්කුලමේ සුමංගල, ශස්ත්රවෙල්ලියේ උපසේන හා වැලිගමුවේ සිලරතන යන භික්ෂුන් වහන්සේ ද වුහ.
එසේ ඉතිහාසයකට හිමිකම් කියන නාරංවිට සුමනසාර හිමි විසින් රුවන්මැලි සෑය ගරා වැටීමෙන් සලපතළ මළුවේ රැස් වී තිබූ සුන්බුන් හා පස් ඉවත් කිරීම 1872 අප්‍රේල් සිට ආරම්භ කරන ලද බව එවකට අනුරාධපුර ආණ්ඩුවේ ඒජන්ත ඩික්සන්ගේ වාර්තා, සහ සිරි අනුරාපුර පුවත නම් පුවත්පත (සිරි අනුරාපුර පුවත. 1909. දෙසැ:01) ආදී මුලාශ‍්‍රයවල සඳහන් ය. රජරට ශිෂ්ටාචාරය 1215 න් පසු වන වැදී යෑම නිසා එතැන් පටන් ගරා වැටෙමින් තිබූ රුවන්මැලි සෑයේ 1829 දී විශාල නාය යෑමක් ද 1885 දී විශාල නාය යෑම් දෙකක් ද සිදු වූ බව ඒජන්ත ඩික්සන් සඳහන් කර ඇත. එම ගරාවැටීම් ද ඉවත් කළ සුන්බුන් අතර විය.
1872 සිට නාරංවිට සුමනසාර හිමි රුවන්මැලි සෑයේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් සිටි අවස්ථාවක ග්‍රෙගරි ආණ්ඩුකාරයා එහි පැමිණ විට වූ සිද්ධියක් සිරි අනුරාපුර පුවත ප්‍රවෘත්ති පත්‍රයේ සඳහන් ය. බරකරත්තයකට පොල් අතු කිහිපයක් වසා සාදාගත් ආවරණයක් යට උන්වහන්සේ වැඩසිටි බවත් සතෙකු යැයි සිතා ආණ්ඩුකාරයා විසින් උන්වහන්සේට වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේ උන්වහන්සේගේ කෑගැසීම නිසා වෙඩි තැබීම වැළකී ඇති බවත් සඳහන්ය.
අනතුරු ව උන්වහන්සේ එහි කුමක් කරන්නේදැයි ආණ්ඩුකාරයා විසින් කළ විමසීමට පිළිතුරු වශයෙන් ස්තූපය සංරක්ෂණයට සූදානම් වන බව පවසා ඇත.
ආණ්ඩුකාරයාගේ පිළිතුරු වූයේ “උඹලාගේ ආගමේ නැවත උපදින බව කියා තිබෙනවා නොවේද? උඹ හත් පාරක් ඉපදුණත් එය කාර්යය කළ හැකිද?” යන්න ය. ඉන් වසර කිහිපයකට පසු නැවත එහි පැමිණ එම ආණ්ඩුකාරයා ස්තූපයේ සුන්බුන් පස් ඉවත් කිරීමේ ප්‍රගතිය දැක ‘උඹ නම් නියම සිංහලයෙක්‘ යැයි පවසා ආධාර මුදලකුත් එම කාර්ය කරගෙන යෑම සඳහා සහතික පත්‍රයකුත් ලබා දී ඇත. (සිරි අනුරාපුර පුවත 1918.01.01)
ප්‍රතිසංස්කරණය කළ බැම්ම බිඳ වැටීම
උන්වහන්සේ දඹදිව ගොස් සිටි අවස්ථාවක එතෙක් ඉදි කර තිබූ ප්‍රතිසංස්කරණ කොටස් ගැලවී බිමට පතිත වී තිබේ. ඒ පිළිබඳ අදහස් කීපයක් වූව ද අතර එතෙක් කළ කොටස පෙර ස්තූපයෙන් ගරාවැටී තිබූ ගඩොල් කැබලිවලින් බැඳීම නිසා බන්ධනය නිසි ලෙස සිදු නොවීමෙන් වූවක් සේ ද සලකා ඉන් පසු සම්පූර්ණ ගඩොල් පමණක් භාවිතයට ගෙන ඇත. ගරා වැටුණ රුවන්මැලි සෑ පිට ප්‍රාකාරය මතට සුන්බුන් පස් පිරෙන්නට ඇත්තේ එම අවස්ථාවේ දී ය. 1872 වන තුරු ස්තූපය කඩා වැටීමෙන් රැස්වූ සුන්බුන් හා 1910 නොවැම්බර් 07 දින එතෙක් ප්‍රතිසංස්කරණය කර තිබූ කොටස කඩා වැටීමෙන් (සිරි අනුරාපුර පුවත.1911. ජනවාරි 01) එම සුන්බුන් රැස්වී ඇත. 1872 සිට ස්තූපය ගරා වැටීමෙන් ස්තූපයේ පහළ කොටසේත් සලපතළ මළුවේත් රැස්ව තිබූ පස් හා සුන්බුන් ඉවත් කිරීම සුළුපටු කාර්යක් නොවේ. ඒ ආකාරයෙන්ම අභයගිරි ස්තූපයේ ගරා වැටීමෙන් රැස්ව තිබූ පස් හා සුන්බුන් රාජ්‍ය මැදිහත් වීමෙන් ඉවත් කිරීමට වැය වූ ශ්‍රමය හා මුදල් ප්‍රමාණය දෙස බලා සංසන්දනය කිරීමේ දි යන්ත්‍ර සූත්‍ර නැතිව උන් වහන්සේ කර ඇති කාර්ය සුළුපටු නොවේ.
රුවන්මැලි සෑයේ සංවර්ධන කටයුතු කඩිනම් වීමට තවත් ආධාරයක් වූයේ 1899 දී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා අනුරාධපුරයට පැමිණ 1901 දී මහාබෝධි සමාගමේ ශාඛාවක් ආරම්භ කර ඉන් පසු සුමනසාර හිමියන්ගේ චෛත්‍ය සංවර්ධන ක්‍රියාවලියට ද සම්බන්ධ වීම ය.
ඒ අනුව එතුමා සමඟ එක්ව නාරංවිට හිමි රුවන්මැලි සෑ චෛත්‍ය සංවර්ධන සමිතිය පිහිටුවා මහජන ආධාර ලබාගැනීමට සිරි අනුරාපුර පුවත නමින් පුවත් පතක් ද ආරම්භ කර තිබේ. එම සමිතියේ අනුශාසක වූයේ සුමනසාර හිමිය. සමිතිය මඟින් චෛත්‍ය සංවර්ධනය සඳහා ආධාර මුදල් එක්රැස් කරගැනීම හා එහි ප්රචාරක කටයුතු කරගෙන යෑමේ දී සිරි අනුරාපුර පුවත පත්‍රය විශාල කාර්යක් ඉටු කර ඇත.
දිවයින් පුරා සියලු ගම් නියම්ගම් නගර ආවරණය වන පරිදි කරන ලද ප්‍රචාරය නිසා රුවන්මැලි චෛත්‍ය සංවර්ධන සමිතියේ ශාඛා විශාල සංඛ්‍යාවක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආරම්භ වී ඒ මඟින් ආධාර මුදල් එක්රැස් කර තිබේ. ඒ ඒ අවස්ථාවේ සැදැහැවතුන් ලබාදුන් මුදල් ප්‍රමාණය එම පුවත් පත මඟින් ප්‍රකාශයට පත් කිරීම නිසා ජනතාව අතර තම පරිත්‍යාග පිළිබඳ විශ්වාසයක් ඇති විය.
ආධාර මුදල් රැස් කරගැනීමේ දී උන්වහන්සේ විසින් අනුගමනය කළ තවත් ක්‍රමයක් පුවත් පතේ සඳහන් ය. එනම් ගමින් ගම පිං පෙට්ටියක් තබා ආධාර රැස් කිරීමය. තව ද පතල් කර්මාන්ත කරුවන්ට හා තේ පොල් කුරුඳු හා පැඟිරි කර්මාන්තකරුවන්ට ආරාධනා කරමින් ඔවුන්ගේ ආයතනවල සේවය කරන පිරිස්වලින් වැටුප් ගෙවීමේදී වැටුපෙන් ස්වල්පයක් පුණ්‍ය කටයුතු සඳහා ලබාගෙන එය රුවන්මැලි සෑයේ සංවර්ධනය සඳහා එවන ලෙස ය.
පුවත්පත මඟින් සිදුවූ තවත් සද් කාර්යයක් වූයේ රුවන්මැලි සෑය ගැනත් ලංකාවේ බෞද්ධ ඉතිහාසය පිළිබඳත් පොදු ජනතාව දැනුවත් කෙරනෙ ලිපි පෙළක් ප්‍රචාරය කරවීම ය. සෑයේ ප්රතිසංරක්ෂණ කටුයුතු අවසන් කිරීමට අවශ්‍ය ගඩොළු සංඛ්‍යාව හා ඒ සඳහා වැය වන මුදල වැලිගම උළුවඩුගේ තියදෝරිස් සිල්වා බාස් තැනගෙන් ලබාගෙන ගඩොල් 100ක් බැඳීමට රුපියල් පහක් ආදී වශයෙන් දැන්වීම් පළ කිරීමෙන් සමහර දායකයන් රුපියල් ලක්ෂය දෙක දෙන තත්ත්වයට වර්ධනය කරගැනීමට හැකි විය. උදාහරණයක් වශයෙන් අකුරැස්සේ හේනේගම සිටුගෙයි දොන් අන්ද්රියෙස් සිල්වා අප්පුහාමි රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදීම සිරි අනුරාපුර පුවත පත්‍රයේ සඳහන් ය.
රුවන්මැලි සෑය සංවර්ධනය සඳහා උන් වහන්සේ විසින් දිවයින පුරා ගෙන ගිය ප්රචාරක කටයුතුවල අතුරු ප්‍රතිපලයක් ද විය. එනම් ලංකාව පුරා සිටි බෞද්ධ ජනතාවගේ අවධානය අනුරාධපුර බෞද්ධ නටබුන් කෙරේ යොමු වීම ය.
එමඟින් බෞද්ධ ජනතාව අනුරාධපුරය දැකබලා ගැනිමටත් එහි පුරාණ සිද්ධස්ථාන වැඳ පුදාගැනීමටත් වැඩි වැඩියෙන් පැමිණීම අනුරාධපුර බෞද්ධ බලවේගය වැඩි දියුණු වීමටත් ශුද්ධ නගරය ආරක්ෂා කරගැනීමටත් හේතු විය.
කොළඹ ජිනසේන සමාගම ස්තූප මුදුනට ජලය සැපයීම සඳහා ජල යන්ත්‍රයක් සාදන ලදී. 1940 ජූනි 17 වන දින දී අමරපුර නිකායික භික්‍ෂූන්ගේ ඉදිරිපත් වීමෙන් බුරුම රටින් ගෙන්වනු ලැබූ පළිගුවකින් කොත පලඳවනු ලැබීය. එම උත්සවය ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ඩී.ඇස්, සේනානානායක රත්වත්තේ දියවඩන නිලමේ ඇතුළු සම්භාවනීය පිරිසකගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.
පසුව රුවන්මැලි සෑයේ සංවර්ධන කටයුතුවලදී හමු වූ විවිධ කරඬු ඇතුළත් බෞද්ධ පුරාවස්තු ප්‍රදර්ශනය සඳහා වැලිමළුවේ නැඟෙනහිර දොරටුව අසල ගොඩනැගිල්ලක් ඉදි කර එය පසුව නාරංවිට සුමනසාර කෞතුකාගාරය යනුවෙන් නම් කොට තිබුණත් පසු කාලයේ එය ඉවත් විය.
එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා රුවන්මැලි සෑ භූමියේ කෞතුකාගාරයක් සෑදීමේ අවශ්‍යතාව පෙන්වමින් එවකට පුරාවිද්‍යාව භාරව සිටි අධ්‍යපන ඇමතිතුමාට වැය ශීර්ෂයක් ඉදිරිපත් කළ බවත් එහෙත් මුදල් වෙන් වී නැති බවත් කනගාටුවෙන් සඳහන් කර තිබේ.
නාරංවිට සුමනසාර හිමියන් වෙනුවෙන් එම භූමියේ කෞතුකාගාරයක් ඉදි කිරීම දැන්වත් සිදු විය යුත්තකි.