නෙළුම්විල | Page 5 | සිළුමිණ

නෙළුම්විල

රෑ මිනිසා

‘පුතේ, මාව ගෙදෙට්ට ගිහිං දාපං!’

මම ඒ බර හඬින් ගැස්සී ඇහැරුණෙමි. ඒ වන විට මා සිටියේ මගේ කුලී ත්‍රිරෝද රියේ පසුපස අසුනේ ඇලවීගෙනය. මහන්සිය නිසා ම මට කෙටි නින්දක් ගොස් තිබිණ.

‘පුතේ!’ මම වහා බිමට බැස්සෙමි.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙ‍ළෙඳාම නිමවීමට ආසන්න වී තිබිණ. වෙලාව රාත්‍රී දහයයි තිහ බව රේඩියෝවකින් කියැවිණ.

‘නගින්ඩ සීයෙ’

ඔහු උරින් දරා සිටි බඩු ගෝණිය රිය තුළට රිංගෙව්වේය. මේ මිනිසා හොඳට ම කුදු ගැසුණු මහලු අයකු බව මට පෙනිණ. මම රිය පණගැන්වීමි.

‘සීය කොහාටද යන්නෙ?’

‘ඔහොම යමංකො මං කියඤ්ඤං’

මම රිය පාරට ගතිමි. එහි ළා කහ එළියට තද අඳුර කපාගෙන යෑමට අසීරු විය.

‘උඹ අලුතින්ද මෙතෙන්ට ආවෙ පුතේ? වීල්කාරයො සේරමල ගෙවල්වලට ගිහිංනෙ. උඹ විතරයිනෙ බේතකට කියල හරි හිටියෙ’

‘මං අලුතෙන් තමයි ආවෙ සීයෙ’

‘මෙච්චරකල් කොහෙද හිටියෙ?’

‘දවල් දවසෙ ටවුමෙ හයර් දිව්ව. දැන් ත්‍රීවිලර් වැහිවැහැල හින්ද හයර් අඩුයිනෙ. ඒකයි රෑට මෙතෙන්ට පංගාර්තු වුණේ. මෙතනින් කොහාටද හරවන්නෙ සීයෙ?’

‘දකුණට දාපංකො!’

ඊළඟ හන්දිය කිට්ටුවන විට ඔහු යළිත් මට උපදෙස් දුන්නේ ය.

‘දැං වමට හරෝල කෙළිංම ගිහිං ආයෙ වමට දාල කෙළිංම යමං!’

මම ගමන වේගවත් කළෙමි. ඒ වනවිට අපි කිලෝමීටර් කිහිපයක් ගොස් සිටියෙමු.

හිටිහැටියේ ම ඔහු කෑ ගැසුවේ ය.

‘හෝව්! හෝව් ! ඔහොම නැවතියං!’

හාත්පස අඳුරින් වැසී තිබූ අතර පහතින් ගෙයක එළියක් යාන්තමට දිස් විය.

‘ගේ තියෙන්නෙ වළේනෙ. ඒ ඩිංග මං යාගඤ්ඤං. මෙතෙන්ට කවුරුත් අය කොරන්නෙ එකසිය පනහයි. ඉඳා!’

මට ගාස්තුව ගෙවූ ඔහු යළි බර කරගසා ගත් විට කොන්ද යළිත් නැමී ගියේ ය. අනතුරුව වළ පාරට වැටුණු ඔහු කුදයත්, බරත් සමඟ අඳුරේ ගිලී ගියේ ය. මේ වියපත් අමුතු මිනිසා මගේ හිත පැහැර ගත්තේ ය.

පසුදා රැයේ ද ඔහු බර ගෝණිය උර දරා මා සොයා ආවේ ය.

‘උඹ හොඳ එකා. අනිත් උං වාගෙ වල්පල් කතා නෑ. සින්දු කලබල නෑ. මට ඕව අල්ලන්නෙ නෑ’ යන අතර ඔහු කීවේ ය.

ඊ ළඟ රැයේ වේලාසන ම මගේ මිතුරකු මා සොයා ආවේ සිය ගෙදර දානයකට උවමනා එළවළු රැගෙන යෑමට උදවු ලබාගනු පිණිස ය. මම ඔහු සමඟ මධ්‍යස්ථානය තුළට ගියෙමි.එහි එක් එළවළු කුටියක දී හදිසියේ ම කුදු සීයා මගේ නෙත ගැටිණ. ඔහු ගෝවා ගෙඩි ගොඩක් ළඟ ඇනතියාගෙන ඒවායේ පණු කොළ කපා ඉවත් කරමින් සිටියේ ය.

‘අංකල්, ඔය වැඩේ ඉක්මනට ඉවරයක් කරල අර ලීක්ස් ගොඩ තෝරන්ඩ!’ වෙ‍ෙළඳ තරුණයෙක් කෑ ගැසුවේ ය. පණු කොළ ගොඩ සිය ගෝණියට දා ගත් කුදු සීයා ඊ ළඟට ගෝණිය ද රැගෙන ලීක්ස් ගොඩ ළඟ ඉඳ ගත්තේ ය. ඔහු එළවළු වෙළඳුන් ළඟ සුළු සුළු වැඩ කොට යමක් උපයා ගන්නා අහිංසකයෙකැයි මට සිතිණ. මම ඔහු මගහැර ගියෙමි.

එදින රැයේ ද ඔහු සිය ගෝණිය කරගසාගෙන මා සොයා ආවේ ය. කෙමෙන් අපි මිතුරු වීමු. දිනක් ඔහු මට සිලි බෑගයක් පුරවා එළවළු සුන්බුන් දුන් විට මම එපායි කීමි. ඔහුට කේන්ති ගියේ ය.

‘පිස්සු නැතුව ගනිං! සුප් එකක් හරි බොන්ඩ බැරියැ. අද මට වාසියි පුතේ. ඔහු බෑගය බලෙන් ම මගෙ ඇඟේ ගැසුවේ ය. ඊළඟ දවසක ඔහු වෙතින් රහමෙර ගඳ ආවේ ය.

‘කළු මහත්තයගෙ හිත රිදෙන හින්ද ඔන්නොහෙ ටිකක් ගත්ත.‘ උඹත් ගහපං මාමෙ’ කියල සන්තෝසෙන් දීපු එකනෙ. අනිත්තෙක ඒ ගොල්ලො හින්දනෙ අපි ජීවත්වෙන්නෙ‘ එදින ඔහු මට සිය ජීවිත කතාව ද කීවේ ය. ඒ අනුව ඔහු ගේ වයස අසූවට කිට්ටු ය. බිරිය ලෙඩිනි. දූවරු දෙදෙනෙකි. එකියක ගේ විවාහය කඩාකප්පල් වී ගොසිනි.

දෙවැන්නියගේ සැමියා රස්තියාදු ගහනවා මිස උපයන යමක් නැත. හතර දෙනාගේ ම ජීවන බරට උර දෙන්නේ ඔහු ය.

‘මං මැරෙනකල් උන්ට සලකනව පුතේ. මෙහෙම හිටියට මගෙ අතපය හයියයි‘

මහ වැසි ඇද හැළුණු ඒ සීතල අඳුරු රැයේ ඔහු මා සොයා ආවේ හිස් ගෝණිය පොරවාගෙන ය. එදින ඔහු ගේ ළඟට යන තුරු කතා කළේ නැත .

‘සීයෙ බහින්ඩ!‘

ඔහු සුසුමක් හෙළුවේ ය.

‘මං මේ කල්පනා කෙරුවෙ පුතේ අද උඹේ ගාස්තුව ගෙවන්නෙ කොහොමද කියල. වැස්සට එළවළු ආවෙ නෑනෙ. ආපු ටිකත් කුණුවෙලා. ඒ හැටි වැඩත් තිබුණෙත් නෑ. මට උඹට දෙන්ඩ පුළුවං රුපියල් පනහයි පුතේ’

‘කමක් නෑ සීයෙ මොනව කරන්ඩද? තෙල් වියදමට ඒ ඇති’ ඔහු මා අතට තෙමුණු නෝට්ටුවක් දී අඳුරේ නොපෙනී ගියේ ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියකි.

නෙළුම්විල 
සිළුමිණ, 
ලේක්හවුස්, 
කොළඹ 10.

Comments