මුවන් පැලැස්සේ සුන්දරිය බිනරමලී | Page 4 | සිළුමිණ

මුවන් පැලැස්සේ සුන්දරිය බිනරමලී

ගුවන් විදුලියට මුවන්පැලැස්ස ලියූ මුදලිනායක සෝමරත්නට මුහුණ දෙන්නට සිදුවූ

බැරෑරුම්ම ගැටලුව වූයේ

ශ්‍රාවකයන්ගේ දෙසවන්

මෝහනයට පත් කළ

බිනරමලීගේ හඬ මාධූර්යයට සෑහෙන ලෙස චිත්‍රපටයට උචිත නිළියක සොයාගැනීමයි.

අතිශය ජනප්‍රියත්වයට පත්වූ මුදලිනායක සෝමරත්නයන්ගේ ‘මුවන්පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍ය සෑම සඳුදා දිනකම නිවසට ගොඩවැදුණේ ආරච්චිල, මැණිකේ, හීන් බණ්ඩා, ගොලු බණ්ඩා, සුදු බණ්ඩා, බිනරමලී, දන්දෙණියේ රාළ වැනි චරිත සමූහයක්ද සමඟිනි. ඒ අතුරින් මුවන්පැලැස්සේ සුන්දරිය වූයේ බිනරමලීය. බිනරමලීගේ සොඳුරු ආමන්ත්‍රණ ශ්‍රාවකයින්ගේ සිත් සතන් ස්නේහයෙන් පුරවාලන්නට තරම් සමත් විය. මුවන්පැලැස්සේ චණ්ඩියා වෙඩික්කාරයාය. වෙඩික්කාරයාගේ හිසට ඉහළින් පියඹා යෑමට කාක්කෙකු හෝ සමත් වූයේ නැත. වෙඩික්කාරයාගේ ක්‍රියාවන්හි තිබූ දැඩි බව නිසාම බිනරමලීගේ අහිංසකත්වය වැඩි වැඩියෙන් මුවන්පැලැස්සේ කතා රසයට එක් විය.

මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේ සුමියුරු ගීත නම් නොවීය. නමුත් බිනරමලීගේ සුන්දරත්වය අගයන්නට මියුරු ගීයක් ඉපදිණි.

“මල් මල් වනමල් මැද පිපි බිනරමලී පුරහඳ මෙන් සොමි ගුණ පිරි කුමුදු මලී... මල් මල් වනමල් මැද පිපි බිනරමලී.. මල් මල් වනමල් පියලිය තඔරමලී....”

එසේ බිනරමලීගේ රුව වැනුවේ 1969 අගෝස්තු 19දා තිරගතවූ බිනරමලී චිත්‍රපටයෙනි. ගුවන් විදුලියේ බිනරමලී ගැන ලියූ මුදලිනායක සෝමරත්න මෙවරද බිනරමලීව සිනමා තිරය මත මවන්නට සමත්කම් දැක්වූවේය. බිනරමලී චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස මුදලිනායක සෝමරත්න කටයුතු කළ අතර එය ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි නාට්‍යයක් මුල්කර ගනිමින් බිහිවූ ප්‍රථම චිත්‍රපටය ද විය.

බිනරමලී සතුව පැවතුණු රූප සුන්දරත්වය නිසාම ඇයට ත්‍රිකෝණ ප්‍රේමයක නිමිත්තක් වන්නට සිදුවිය. මුවන්පැලැස්සේ දඩබ්බරයාව හුන් වෙඩික්කාරයා තම සිත තුළ බිනරමලී කෙරෙහි පැවති සෙනෙහස පතුරුවා හරින්නට කටයුතු කළ ද එයම බිනරමලීගේ සිත තුළ රෝපණය කරන්නට ඔහු සමත්කම් දැක්වූයේ නැත. ඔහුගේ එකම අභිලාෂය වූයේ කවර ලෙසකින් හෝ බිනරමලී තමා සතුකර ගැනීමයි. එමෙන්ම බිනරමලී කෙරෙහි තිබූ සෙනෙහස තම සිතෙහි සඟවාගෙන හුන් තැනැත්තෙක් ද උන්නාය. ඒ, සුදු බණ්ඩාය. ඒ සියලු දෑ කවරාකාරව වුවත් බිනරමලීගේ ප්‍රේම පූජාසනයේ මල් පුබුදු කරලන්නට හැකි වූයේ අන් කවරෙකුටවත් නොව සිංඤාටය. සිංඤාගේ ඇවතුම් පැවතුම් සියල්ල බිනරමලීගේ සිත් ගත්තේය. ඔහු අහිංසකයෙකි.

චිත්‍රපටයේ බිනරමලීගේගේ ප්‍රේමය පතාගෙන ආ තිදෙනාගෙන් වෙඩික්කාර චරිතය රඟ දැක්වූයේ පියදාස ගුණසේකරය. බිනරමලී සම්බන්ධව ප්‍රේමය සිතේ සඟවාගත් සුදු බණ්ඩාගේ චරිතය රඟ දක්වන්නට කටයුතු කළේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ මුදලිනායක සෝමරත්නය. බිනරමලීගේ ප්‍රේමවන්තයා වූයේ ගොළු හදවත චිත්‍රපටයෙන් පාසල් ප්‍රේමයේ සුන්දරත්වය ඉස්මතු කරන්නට සමත්වූ වික්‍රම බෝගොඩය.

කැලේ දඩයක්කාරයාගේ සිතත් ප්‍රේමයෙන් මුසපත් කරන්නට සමත්වූ එමෙන්ම සුදු බණ්ඩාත් සිංඤාත් ප්‍රේමයේ පාර්ශ්වය කරන්නට සමත් බිනරමලීව චිත්‍රපටයට කැන්දාගෙන ආවේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වූ මුදලිනායක සෝමරත්නය.

ගුවන් විදුලියට මුවන්පැලැස්ස ලියූ මුදලිනායක සෝමරත්නට මුහුණ දෙන්නට සිදුවූ බැරෑරුම්ම ගැටලුව වූයේ ශ්‍රාවකයන්ගේ දෙසවන් මෝහනයට පත් කළ බිනරමලීගේ හඬ මාධූර්යයට සෑහෙන ලෙස චිත්‍රපටයට උචිත නිළියක සොයාගැනීමයි. මේ නිසා චිත්‍රපටයට නවක නිළියක අවශ්‍ය බව පුවත්පතක පළ කිරීමෙන් පසු චිත්‍රපටයේ සම්මුඛ පරික්ෂණයට විශාල පිරිසක් පැමිණ සිටිය ද එක්වරම අධ්‍යක්ෂවරයාට අවශ්‍ය බිනරමලී නම් හමුවුණේ නැත. නමුත් තව තවත් විපරම් කරමින් සිටියදී විනිශ්චය මණ්ඩලයේ සිටි පිරිසගේ අවධානය එක් තරුණියක් වෙත යොමුවන්නට විය. ඇයගේ හැසිරීමත්, කතාවත් ඔවුන්ට නිහඬවම කියාපෑවේ තමන් සොයමින් සිටි බිනරමලී හමුවූ බවයි.

එදා බිනරමලී සොයා ගැනීමේ මෙහෙයුමේ විනිශ්ච මණ්ඩලයේ සිටි ඩී.බී. නිහාල්සිංහටත්, මුදලිනායක සෝමරත්නටත් එකී තරුණිය දුටුවනම දෙවරක් සිතීමට අවශ්‍ය නොවුණි. සම්මුඛ පරීක්ෂණයට පැමිණි කහවිටගේ දෝන ලීනා ස්වර්ණලතා මුවන්පැලැස්සේ බිනරමලීගේ චරිතය ඉදිරිපත් කිරීම වෙනුවෙන් තෝරා ගැණුනි. මේ බැව් ස්වර්ණාගේ නි‍ෙවසටම ගොස් පැවසීමට තරම් ඔවුහු උත්සුක වූහ.

මුවන්පැලැස්සේ බිනරමලී ප්‍රේම ත්‍රිකෝණයට හසුවීමට පෙරම ස්වර්ණා කහවිටට තම නි‍ෙවස තුළින්ම යුද්ධ ප්‍රකාශ කරන්නට විය.

“නිළියක් වෙන්න කියලා හොරෙන් අයදුම්පත් දාලා”

එතැන් සිට ස්වර්ණාට ගැලවීමක් තිබුණේ නැත. නමුත් ස්වර්ණාගේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිටියේ ඇයගේ වැඩිමහල් සොහොයුරියයි. කෙසේ හෝ නිවස තුළින්ම ආ චෝදනා හිමි හිමින් නිවී ගොස් ඇය බිනරමලී චිත්‍රපටයේ රංගනය හා සම්බන්ධ විය .

ස්වර්ණා කහවිට මුලින්ම නිළියක ලෙසින් රංගනයෙන් සම්බන්ධ වීමට සිටියේ “දුගී නාදය” සිනමාපටයේය. නමුත් එයද ඇයට අහිමිව ගියේ වැඩිමහල් සොහොයුරා විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීම නිසාය. නමුත් කෙසේ හෝ මි.මී. 16 චිත්‍රපටයක් වූ “රහස් දූපත” හි ළමා නිළියක ලෙසින් රංගනයෙන් සම්බන්ධ වන්නට ඇයට හැකිවිය.

ඉන් කාලාන්තරයකට පසුව ඇයට ලැබුණු අවස්ථාව වූයේ “බිනරමලී” චිත්‍රපටය හා රංගනයෙන් සම්බන්ධ වීමටය. කෙසේ හෝ නිවසේ පැවැති පුංචි යුද්ධ මැදින් නිළිවරම ලබාගත් ස්වර්ණාට රඟපෑමට වූයේ ගිනි ගහන අව්වේ දඹුල්ලේදීය. නමුත් එයින් ලද පීඩාව මහත් සතුට ගෙන දෙන කාරණාවක් වූයේ1970 සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ඇය සමත් වීමත් සමගය.

ස්වර්ණා කහවිට පමණක් නොව 1970 සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපට තුන අතරින් මුල්ම තැනට පත්වීමට ද මුදලිනායක සෝමරත්නගේ “බිනරමලී” චිත්‍රපටයට හැකි විය. ස්වර්ණා කහවිට බිනරමලී ලෙසින් හොඳම නිළිය වන විට සහාය නිළිය ලෙසින් සම්මාන දිනා ගත්තේ ශාන්ති ලේඛාය. ඩබ්.ඩී. අමරදේවයන් හොඳම ගායකයාට හිමි සම්මානය දිනා ගත්තේ සරසවිය සම්මාන උලෙළේ හොඳම ගීත රචකයා ලෙසින් සම්මාන දිනා ගත් මහගමසේකර ලියූ ගීතයකටය. බිනරමලීගේ ප්‍රේමය තමන්ට හිමි නොවූවද වෙඩික්කාරයා ලෙසින් රඟපෑ පියදාස ගුණසේකරට සහාය නළුවාට හිමි සම්මානය ලැබුණි.

Comments