නිර්මාණ පිපා­ස­යක් ඇති වුණාම අත­පය හකු­ළා­ගෙන ඉන්න බැහැ | සිළුමිණ

නිර්මාණ පිපා­ස­යක් ඇති වුණාම අත­පය හකු­ළා­ගෙන ඉන්න බැහැ

චමත්ක කවීන් බණ්ඩාර, සිළුමිණ පාඨකයන්ට අමුත්තෙක් නොවේ. ඒ සිළුමිණ පුවත්පතේ වසරක් මුළුල්ලේ පාඨකයන් රස විඳි “පතොක් මල් පිපිලා” තීරු ලිපි මාලාවේ රචකයා චමත්ක කවීන් බණ්ඩාර වන නිසා ය. සිළුමිණ පුවත්පතේ පළ වූ මේ තීරු ලිපි මාලාව චමත්ක පොතක් වශයෙන් පළ කර ඇත. එය ඉකුත් 06 වැනිදා ජනගත කෙරිණි. තවමත් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ 8 වැනි ‍ශ්‍රේණියේ ඉගෙනුම ලබන චමත්ක කවීන් බණ්ඩාර පළ කළ කුලුඳුල් පොත මෙය නොවේ. “මගේ කවිය මට දෙන්න”, “ඒදඬු පාලම” සහ “එදා එහෙම දවසක්” යන කාව්‍ය සංග්‍රහයන් ද “කූඹි රාජ්ජේ” ළමා කතා පොත ද රැස පුවත්පතේ පළ වූ තීරු ලිපි එකතුව “චමත්කාර” නමින් ද පොත් 5ක් පළ කර ති‍බේ. මේ සංලාපය ඔහු සමඟ සිදු කරනු ලැබුවේ “පතොක් මල් පිපිලා” කෘතිය නිමිති කර ගනිමිනි.

“‍පතොක් මල් පිපිලා” ගැන හැඳින්වීමක් කරනවා නම්?

මෙය මම සිළුමිණ පුවත්පතට ලියූ තීරු ලිපි එකතු කරලා ප්‍රකාශයට පත් කළ කෘතියක්. මේ තීරු ලිපි රචනා කළේ සාමාන්‍ය දෛනික ජීවිතයේ දකින්න ‍ලැබෙන සිද්ධි මුල් කර ගෙන නොවෙයි. මායා කල්පිත ශෛලියකින් තීරු ලිපි රචනා කිරීමේ විශේෂ කැමැත්තක් මට තිබුණා. මට ඒ සඳහා සිළුමිණ පුවත්පතෙන් ඉඩකඩ ලබා දීම ගැන මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා.

මෙවැනි ලිපි පෙළක් ලිවීමට ඔබට අවස්ථාව ලැබෙන්නේ මොන ආකාරයට ද?

මට ඉස්සෙල්ලාම කොලමක් ලියන්න අවස්ථාව ලැබුණේ තිඹිරියාගම බණ්ඩාර මාමාගේ ඇරියුමෙන් “රැස” පත්තරයට. හැබැයි මම “චමත්කාර” නමින් “රැස” පත්තරයට තීරු ලිපිය ලිව්වේ සාමාන්‍ය දෛනික ජීවිත සිදුවීම් පදනම් කරගෙන. එදා “රැස” පුවත්පතේ කර්තෘත්වය දැරුවේ චාමර ලක්ෂාන් මාමා. චාමර ලක්ෂාන් මාමා සිළුමිණ පුවත්පතේ කර්තෘ වූ පසුව සිළුමිණ පුවත්පතටත් කොලමක් ලියන්න කියලා මට කිව්වා. චාමර ලක්ෂාන් මාමා නැති වුණාට පසුව වත්මන් සිළුමිණ ප්‍රධාන කර්තෘ චාමින්ද වාරියගොඩ මාමාත්, විශේෂාංග කර්තෘ සුමුදු චතුරාණි නැන්දාත් මට තීරුලිපි මාලාව දිගටම ලියන්න අවස්ථාව ලබා දුන්නා. මම‍ මේ අවස්ථාවේ ඔවුන් සියලු දෙනාටම මගේ කෘතඥතාව පිරිනමන්න කැමතියි. ඒ විදිහට තමයි “පතොක් මල්” පිපුණේ.

පුවත්පතකට බොහෝවිට කොලමක් රචනා වෙන්නේ කෘතහස්ත ලේඛකයන් හෝ ප්‍රවීණ මාධ්‍යවේදින් අතින්. එහෙත් ඔබ වැනි පාසල් දරුවකුට මෙවැනි ඇරියුමක් ලැබුණු විට ඔබට දැනුණ හැඟීම කොහොමද?

මට මුළු හදවතින් ම නිහතමානී සතුටක් දැනුණා. ඒ වගේ ආදරණීය ඇරියුමක් පැහැර හරින්නේ කොහොමද කියලා හිතුණා. අනික සිළුමිණ වැනි ජාතික පුවත්පතක පාඨක ගුණාංගය උසස් මට්ටමක පවතින නිසා ඊට ‍කොලමක් ලිවීම මට ලොකු අභියෝගයක් වුණා. මම ඒ අභියෝගයට මුහුණ දුන්නා. මම යම් පමණකට එය ජයග්‍රහණය කළා කියලා මම විශ්වාස කරනවා.

ඒ සඳහා ඔබ මෙතෙක් ලියැවී තිබෙන තීරු ලිපි ගැන හැදෑරීමක් කළා ද?

විශේෂ හැදෑරීමක් කළේ නැහැ. පොදුවේ පුවත්පත්වල පළ වන තීරු ලිපි කියෙව්වා. විශේෂයෙන් තිඹිරියාගම බණ්ඩාර මාමා රචනා කළ තීරු ලිපි කියෙව්වා. ඒ සියල්ල රස වින්දා; අධ්‍යයනය කළා.

“පතොක් මල් පිපිලා” තීරු ලිපි රචනා කිරීමේදී විශේෂ අරමුණක් තිබුණා ද?

ඔව්. මෑත කාලීන පුවත්පතක මායා කල්පිත ශෛලියේ තීරු ලිපියක් පළ වී තිබෙනවා මට හමුවෙලා නැහැ. ඒ නිසා මායා කල්පිත කියවීමේ ශෛලියෙන් යුක්ත තීරු ලිපිමාලාවක් පාඨකයාට දෙන්න මට අවශ්‍ය වුණා. මම ඒ අරමුණෙන් තමයි මේ තීරුලිපි මාලාව ලිවීම ආරම්භ කළේ.

ඊට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

එය අගය කළ පාඨක පිරිසක් සිටිනවා. සමහරු නම් වස්තු බීජය හොයා ගන්න බැරිව වෙන්න ඇති මට බැන්නා. ඒත් මම ඔවුන්ට දොස් කියන්නේ නැහැ. මොකද මම 1 වැනි සහ 2 වැනි තීරු ලිපි රචනා කළේ වස්තු බීජය සඟවා නොවෙයි. ඒත් ඊට පසුව වස්තු බීජය සඟවා ලිවීමට මට අවශ්‍ය වුණා. මම දකින විදිහට කොලමක තිබිය යුතු ලක්ෂණය, මැද අන්තර්ගතයද අවසානයේ දී එය සනිටුහන් කරමින් භාවාතිශය හැඟීම් දනවන විලාශය ද තිබිය යුතුයි. මම රචනා කළ “පතොක් මල් පිපිලා” තීරු ලිපි තුළ ඒ ලක්ෂණ තිබෙනවා. ඒත් වස්තු බීජය සඟවා ලිවීම වගේම පාඨකයන් බලාපොරොත්තු නොවූ මායා කල්පිත ශෛලිය නිසා සමහරුන්ගෙන් නම් ඒතරම් ‍හොඳ ප්‍රතිචාර ලැබුණේ නැහැ.

ඔබ ළමා වියේදීම කාව්‍යකරණයට නැඹුරු වූ දරුවෙක්. කවි පොත් තුනක් පළ කළා. ඔබේ කාව්‍ය නිර්මාණ ගැනත් කතා කරමු නේද?

මම කලාවේ අක් මුල් සොයා යන ගමනේ මගේ ආරම්භය වුණේ කවිය. මම කවි රස විඳිනවා. ඒ රස වින්දනය නිසාම කාව්‍යමය භාෂාව උපයෝගි කරගෙන කවි ලියනවා. මම අදටත් වැඩිපුරම ඇලුම් කරන්නේ කවියට.

ඔබ චිත්‍ර අඳිනවා; නාට්‍ය නිර්මාණය කරනවා; රඟපානවා‍; කවි ලියනවා; තීරු ලිපි රචනා කරනවා. ඔබ වැනි ළපටි දරුවකුගෙන් අපේක්ෂා කළ නොහැකි ආකාරයේ ඔබ නිර්මාණකරණයේ යෙදෙනවා. ඔබ එය විග්‍රහ කරන්නේ මොන ආකාරයට ද?

මම කලාවේ අක්මුල් සොයා යන ගමනේදී බොහෝ මාධ්‍ය සොයා ගෙන ගියා. ඒ සෑම මාධ්‍යයක ම කලා කෘති මම රස වින්දා. මගේ ඒ රසවින්දනය නිසාම මට නිර්මාණ බිහි කිරීමේ ශිඝ්‍ර පිපාසයක් ඇති වුණා. නිර්මාණ පිපාසයක් ඇති වුණාම අතපය හකුළාගෙන ඉන්න බැහැනේ. ඒ නිසා මට නිර්මාණ පිපාසය ඇති වූ මාධ්‍ය තුළ මම නිර්මාණ කළා. කවි, චිත්‍ර, නාට්‍ය හැමදෙයක්ම බිහි වුණේ ඒ ආකාරයටයි. සමහරු මගේ නිර්මාණ සාපේක්ෂව රස විඳලා ගුණදොස් විවේචනය කරනවා. නිර්මාණකරුවාට නම් සෑම නිර්මාණයක් ම උසස්.

“පතොක් මල් පිපිලා” පොතක් වශයෙන් පළ කරන්න තීරණය කළේ කවුද?

තීරු ලිපි එකතුවක් පොතක් විදිහට පළ වන විට තීරු ලිපියක ස්වභාවය නැති වෙනවා. පොතක් වශයෙන් මුද්‍රණය කළ විට කෙටිකතාවක ගුණ සහ තීරු ලිපියක ගුණ අර්ධය, අර්ධය ගන්නවා. ඇත්තටම තීරු ලිපි එකතුව පොතක් හැටියට පළ කරන විට මේ දෙකේම සම්මිශ්‍රණයක් දකින්න ලැබෙනවා. ඒ කොහොම වුණත් මට අවශ්‍ය වුණා “පතොක් මල් පිපිලා” කියවූ මගේ පාඨකයන්ට පොතක් තිළිණ කරන්න. ඒ නිසා මම තීරණය කරලා තමයි මෙය පොතක් හැටියට පළ කළේ.

නිර්මාණකරණය සඳහා ඔබට ල‍ැබෙන අනුශාසකත්වය ගැන කතා කරනවා නම් ?

තිඹිරියාගම බණ්ඩාර මාමාත්, සුමුදු චතුරාණි නැන්දාත් මගේ නිර්මාණකරණයට උදව් කරනවා. ඒත් මගේ උපදේශක තනතුරේ තිබිය යුත්තේ නිර්මාණ නමැති ගිනි පුලිඟුවයි. එය දැල්වෙන්නේ රස වින්දනයෙන්.

 

Comments