තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

මංජුලා කුමාරිට ගුරුපත්වීමක්

අප කවුරුත් දන්න ඕලු එහෙමත් නැත්නම් මංජුලා කුමාරිට ගුරුපත්වීමක් ලැබුණ කියලා දැනගන්න ලැබුණා. එකපාරටම ලැබුණු මේ පත්වීම මොකක්ද කියලා දැනගන්න අපි ඇයට කතා කළා.

‘‘මේ ගුරුපත්වීම මට ලැබුණේ තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටය නිසා. තට්ටු දෙකේ ඉස්කෝලේ කියන්නේ නුදුරේදී එන්නට තියෙන සිනමා නිර්මාණයක්. රන් කොල්ලා කියලා තවත් නිර්මාණයක් එන්න තියෙනවා. බබාලා දෙන්නා නිසා ‍විවේකයක් නම් නැති තරම්. මගේ පුතා ඕලිත සහ දුව ඩිනෝලි. දෙන්නගෙම උපන් දිනය යෙදිලා තියෙන්නේ ජූලි මාසයේ. ඒ වෙනුවෙන් දානමය පිංකමක් සූදානම් කරලා තියෙනවා. මේ දිනවල ඒ සඳහා සූදානම් වෙනවා. ඒ කටයුත්ත අවසන් කරලා පුංචියට හරි උපන් දිනය සමරන්නයි හිතන් ඉන්නේ.,,


අමිලාගෙන් යූ- ටියුබ් චැනල් එකක්

සිරස සුපර්ස්ටාර් තුළින් ගායන ලොවට පෑයූ මේ අපූරු ගායන තරුව ප්‍රසංග වේදිකාවට දැන් නැතුවම බැරි තරම්. පසුගිය දින කිහිපය පුරාවට ඇය පින් කටයුතුවල නිරත වුණා කියලා දැනගන්නට ලැබුණා. ඒ ගැන දැන ගන්නට අප අමිලාට කතා කළාම ඇය කීවේ මෙවන් දෙයක්. ‘‘පසුගිය හතර වැනිදා තමයි අපේ අම්මාගෙයි තාත්තගෙයි උපන් දිනය යෙදිලා තිබුණේ. ඒ වෙනුවෙන් දානමය පිංකමක් පැවැත්වුණා. එළඹෙන පොසොන් පොහොය වෙනුවෙන් පැවත්වෙන භක්ති ගීත ප්‍රසංගයක් සඳහා මේ දවස්වල පුහුණුවීම්වල නිරතවෙනවා. ඊට අමතරව මේ දිනවල ප්‍රසංග නැති නිසා ලැබී තියෙන විවේකයෙන් ප්‍රයෝජනය අරගෙන මගේ you tube චැනල් එකේ රෙකෝඩින් වැඩ කරගෙන යනවා. අලුත් නිර්මාණ කිහිපයක රෙකෝඩින් වැඩත් මේ දිනවල සිදුවෙනවා. ළඟදී මගේ රසිකයින්ට එය රසවිඳින්නට හැකිවේවි.,,


අලුත්ම ගීත සමඟ චන්ද්‍රසේන යළිත්

ප්‍රවීණ ගායන ශිල්පියකු වන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායනයට අමතරව ගී පද රචනයටත් දක්ෂයෙකු කියලා අප දන්නවා. ඔහු මේ වන විට ඉන්නේ කොරියාවේ කියලයි අපට ආරංචි. ඒ අද දින කොරියාවේ පැවැත්වෙන ගායන තරු තේරීමේ තරගයක විනිසුරු කටයුත්තක් සඳහායි. හෙට නැවත ලංකාවට පැමිණෙන ඔහු සැත්තැම්බර් මාසයේ ප්‍රසංගයක් සඳහා ඇමරිකාව සහ කැනඩාව යන රටවලටත් යන්නට සූදානම් වෙනවා.

ඒ විතරක් නෙමෙයි ඔහුගේ අලුත්ම ගීත කිහිපයක්ම නුදුරේදි රසිකයින් වෙත තිළිණ කරන්නත් සූදානම්. මේ ප්‍රවීණ ගායන ශිල්පියා තම දියණිය වෙනුවෙන් නිර්මාණය කළ ගීතයද තව දින කිහිපයකින් පමණ රසිකයන්ට අසන්නට ලැබේවි.

 


චන්න හතරවැන්නෙන් යළිත් රංගනයට

කවදත් රසඳුනට ළෙන්ගතු කලාකරුවකු වන චන්න පෙරේරා කාගේත් කතාබහට ලක් වී ඇත්තේ රංගන ශිල්පියකුටත් වඩා අධ්‍යක්ෂකවරයකු ලෙසයි. ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය සිනමා නිර්මාණ කිහිපයක් තිළිණ කළ ඔහු මේ දිනවල තවත් අලුත්ම වැඩකට අත ගහලා තියෙනවා කියලා කියලා රසඳුනට කීවා. ඔහුගේ මේ අලුත්ම නිර්මාණය ගැන දැනගන්න ප්‍රේක්ෂක ඔබත් කැමැති ඇති.

‘‘මේ මගේ හතරවැනි සිනමා නිර්මාණය. එහි නම 'යුගාත්‍රා'. මම මීට පෙර කළ චිත්‍රපටවලට වඩා මෙය වෙනස්ම විදිහේ නිර්මාණයක් කියන්න පුළුවන්. පුනරුත්පත්තිය සම්න්ධ කරගත් ආදර කතාවක් තමයි මෙහි කියැවෙන්නේ. අධ්‍යක්ෂණයට අමතරව මම එහි ප්‍රධාන චරිතයකට රංගන දායකත්වය දක්වනවා.,,

 

 

 

Comments