පළමු නිදහස් උලෙළේ ජාතික ගීය ගැයූ ලීලා අශෝකා සමු ගනියි | Page 2 | සිළුමිණ

පළමු නිදහස් උලෙළේ ජාතික ගීය ගැයූ ලීලා අශෝකා සමු ගනියි

කාමිලා ස්මයිල් මිය ගිය බව දන්වා ලැබුණ ඉමෝ පණිවිඩය දුටු මොහොතේ ඒ කා ගැනදැයි කියා එකවරම සිහිපත් වුයේ නැත. පණිවිඩය එවා තිබුණේ කැනඩාවේ වෙසෙන රීසා කමල්ඩීන් මහතාය. මොහොතකට පසු ඒ කාගේ කවුදැයි යන්න වැටහිණි.

“මෙවන් පිටිසරේ

මේ දුගී පැලේ....“ ඇය සෙමෙන් පද මතක් කරමින් මේ දැන් ගයන්නා සේ මගේ මතකය අලුත් කරයි. ඇය නම් ලීලා අශෝකාය. ඇය පුවත්පත් සාකච්ඡාවකට එක් වූ පළමු අවස්ථාව එයයි.

ලීලා අශෝකා හුරුබුහුටි කාන්තාවකි. ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයේ එක්තරා යුගයක් නියෝජනය කරන්නීය. 1927 උපන් ගීගනගේ ලීලාවති ලීලා අශෝකා ලෙස නම් ලබන්නේ ගුවන් විදුලියේ ගීත ගායනයට යොමු වීමත් සමඟය. මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ එනම් එක්දහස් නවසිය හතළිස් අටවසරේ පළමු නිදහස් උත්සවයේ ජාතික ගීය ගැයු තරුණියන් පස් දෙනාගෙන් කෙනකු වන්නේ ලීලා අශෝකාය. සුනිල් සාන්ත මහතා සමඟ යුග ගීත කිහිපයක්ම ගායනා කර තිබුණ ද මේවන විට අපට ඇසීමට ඇත්තේ ගීත කිහිපයක් පමණි.

මීට කලකට පෙර මාගේ මිත්‍රයකු වූ කර්නල් නිරෝෂන් ජයමහ තොරතුරකට අනුව ලීලා අශෝකා මහත්මිය හමු වීමට ගියෙමු.

“මම විවාහයෙන් පසු ගායනයෙන් ඈත් වුණා. මම විවාහ වුණේ මුස්ලිම් ජාතිතයෙක් සමඟ. ඔහු මට කිව්වා ගුවන් විදුලියේ මගේ ගීත ප්‍රචාරය කරන්න එපා කියලා. සංගීතඥ සරත් ද අල්විස් මගේ බාල සහෝදරයා“

ඇය අප හා පැවැසුවාය. ඒ වන විටත් අනූ තුන්වැනි වියේ පසු වූ ලීලා අශෝකා මහත්මිය ඉකුත් මාර්තු අට වැනිදාට යෙදුණු කාන්තා දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසින් සම්මානයෙන් පුදනු ලැබුවාය. වෘත්තියෙන් ගුරුවරියක වූ ලීලා අශෝකා මහත්මිය පසුගිය කාලයේ ගිලන්ව පසු වූවාය. ඉකුත් විසි දෙවැනිදා අභාවප්‍රාප්ත වූ ඒ මහත්මියගේ අවසන් කටයුතු පසුගිය විසිහතර වැනිදා හෝකන්දර පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී. ඇය දරුවන් තිදෙනකුගේ මවකි.


නෙර්තාභිෂේක - 2019

කිරිබත්ගොඩ ‘ශිල්පාධි’ කලායතනයෙන්, සුරංග බොතේජු - පියුමි ගුණසේකර ගුරු දෙපළ වෙතින් නර්තනය හැදෑරූ සිසුවියන් 11 දෙනකුගේ ශීර්ෂාභරණ පැලඳීම ඉකුත් දා කඩවත, බිම්බාරාමයේ පැවැති ‘නෙර්තාභිෂේක - 2019’ උලෙළේදී සිදු කෙරිණි. එහිදී මන්දිරා දේවින්දි, දිනිති නේත්‍රාංගී, උපේක්ෂා සංකල්පනී, තීක්ෂ්ණා දේශාංජලී, සචිනි හංසිකා, සවනි හංසනී, සඳුනිකා සුලක්ෂි, සමුදි එරංගා, යුරේකා නිශාංජලී, ලක්ෂිකා කුෂාණී, සඳුනි නවාංජනා ශිල්පිනියන් තම ගුරු යුවළ සමඟ සේයාරුවකට පෙනී සිටියේ මේ අයුරිනි.


මීළඟ පරපුර

සුභාවිත ගීතයෙන් කලා ලොවට පායන තරුව

සුභාවිත ගීතය වෙනුවෙන් වෙහෙසෙන විවිධ ශෛලීන්ගෙන් ගීත ගායනා කරන ඇය අයේෂා දිසානායකයි.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයෙන් ඉගෙනුම ලැබූ ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රාසාංගික කලා විශේෂවේදී ප්‍රථම පන්ති ගෞරව උපාධියක් ලබා සිටින්නීය. අයේෂා ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ පාසල් කාලයේදීමය. පාසල් වේදිකාවේ ගී ගැයූ ඇය පාසල් සංගීත කවයට බැඳෙන්නීය. පාසලේ තරගවලදී පමණක් නොව සමස්ත ලංකා මට්ටමින්ද ඇය සංගීත අංශයෙන් ජයග්‍රහණ රැසක් ලබා සිටින්නීය.

කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ ‘බිහි දොර අභියස’, ‘මංජුසාව’ වැනි තරගවලින් ගායනයෙන් ජය ලැබීය. දෙදහස් පහළොව වසරේ ජාතික තරුණ සේවා සභාවෙන් වාර්ෂිකව පවත්වනු ලබන යෞවන සම්මා උලෙළේදී අයේෂා විසින් හොදම ගායිකාව ලෙසින් සම්මානයෙන් පිදුම් ලැබූවාය.

ගායනය අමතරව වයලීනය හා සිතාරය වාදනය කිරීමට ද දස්කම් දක්වන අයේෂාගේ මීළඟ අරමුණ නව ගී කිහිපයක් ගායනා කිරීමටය.

“මම මේ වන විට ‘තුන් හෙළයකි’ කියන ගීතය ගායනා කර තිබෙනවා. මගේ එකම අරමුණ හොඳ ගීත කිහිපයක්ම ගායනා කිරිමටයි. මේ දිනවල මා ඒ සඳහා සුදානම් වෙනවා. පාසල් වියේ සිටම මම ගායනයට බොහෝ ප්‍රිය කළා.

ඒ සඳහා ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම රූපවාහිනියෙන් විකාශය වූ ළමා ගී සැදෑව, මුතුහර, ආදි වැඩ සටහන් වලට සම්බන්ධ වුණා. ඒ වගේම රජරට ගුවන් විදුලි සේවයේ රජරට කැකුළු වැනි වැඩසටහන් වලට සහභාගි වීමෙන් මගේ දක්ෂතා ඔප් නංවා ගැනීමට පුළුවන් වුණා. අම්මා අප්පච්චි මගේ සංගීත ගමන් මඟට විශාල සහයෝගයක් ලබා දුන්නා.

ඒ වගේම මගේ මාමා වන ප්‍රවීණ සංගීතවේදී කරුණාරත්න දිවුල්ගනේ ගෙන් විශාල සහායක් ලැබෙනවා. ඉදිරියේදි මාමා සමඟ යුග ගීතයක් ගැයිමට සුදානම් වෙනවා.”

අයේෂා පවසන්නේ තමන්ගේ ඉදිරි ගමන් මඟ ගැනය. වෘත්තියෙන් ගුරුවරියක වන අයේෂා දැනට පොලොන්නරුවේ පැලටියාව කනිෂ්ඨ පාසලේ සේවය කරන්නීය.

-රන්රුවන්

Comments