
සල්පසුනා හි පොඩිපත්තරකාරි මතකයිද? ඇය දැන් ලොකු වැඩ කරන රංගන ශිල්පිනියක්. ඒ නිසාම ඇය පසුගියදා ජාත්‍යන්තර සම්මානයකින් පවා පිදුම් ලැබුවා. එම සම්මානය ගැන දැන ගන්නත්, නව වසරේ නව බලාපොරොත්තු ගැන දැනගන්නත් අපි මිෂෙල් දිල්හාරාට කතා කළා. එහිදී මිෂෙල් ‘හිත පිරෙන හීන’ විශේෂාංගයට කීවේ මෙවැනි කතාවක්.
කොහොමද මිෂෙල්...
හොඳින් ඉන්නවා. ලබන්නාවූ 2019 වසර ඔබ හැමදෙනාටම සුබ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.
පසුගියදා ඔබට සම්මානයක් හිමිවුණා...
පසුගියදා 2018 දකුණු ආසියානු තරුණ සමුළුව පැවැත්වුණා ලංකාවේ. එම සමුළුවට රටවල් අසූවක් නියෝජනය කර නියෝජිතයන් හාරසිය පනහක් සහභාගි වුණා. ඒ සඳහා ලංකාව වෙනුවෙන් මට හිමි වුණා philanthropy category වෙනුවෙන් පිදෙන සම්මානය.
එම සම්මානය දිනාගන්න ඔබ මොනවද කෙළේ?
මෙම සම්මානය පිරිනැමුණේ සමාජයට සේවය කිරීම වෙනුවෙනුයි. මම මේ වන විට ළමා සංවර්ධන මධ්‍යස්ථාන හා වැඩිහිටි නිවාස සඳහා ආහාර පාන පිළිගැන්වීම, දුෂ්කර ප්‍රදේශවල පාසල්වල අඩුපාඩු සොයා බලා හැකි පමණින් ඒවාට උදවු කිරීම කරනවා ඒ වගේම මගේ විසි දෙවැනි උපන්දිනයට පවුල් දෙසිය පනහකට හාල් කිලෝ එක්දහස් හාරසියයක් බෙදා දුන්නා. ඒවගේම සමාජසේවා වැඩ පුළුවන් ආකාරයට සිදුකළා. ඒ සියලු දේම කළේ ප්‍රසිද්ධිය හෝ සම්මාන බලාගෙන නෙමෙයි. මගේ සතුට වෙනුවෙන්.
මිෂෙල්ට මේ දේවල් කරන්න මුදල් කොහෙන්ද?
මගේ ගෙදරින් උදවු කරනවා. ඒ වගේම මම රඟපෑමෙන් උපයන මුදල් ඉතිරිකරගෙන එවැනි දේට වියදම් කරනවා. කොහොමත් මගේ හැම උපන්දිනයකදීම නැතිබැරි වූ, අසරණ වූ අය වෙනුවෙන් පුංචි දෙයක් හරි කරන්නයි උත්සාහ කරන්නේ.
මෙවැනි දේ කරන්නෙ කිසියම් යටි අරමුණකින්ද?
කිසිම යටි අරමුණක් නැහැ. තියෙන්නෙ හිතේ තියෙන මනුස්සකම විතරයි. කිසිම සංවිධානයක් හෝ පුද්ගලයෙක් සම්බන්ධත් නෑ. එහෙම සම්බන්ධ කරගෙන ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් වැඩ කරන්නෙ නැහැ. එක සිදුවීමක් මගේ සිතට තදින්ම බලපෑ නිසයි මම මෙවැනි දේට යොමු වුණේ. ඒ තමයි මම කුඩා කාලයේදි දැකපු සිදුවීමක්. එතකොට මගේ වයස අවුරුදු දාහතරක් විතර ඇති. දවසක් මම තාත්තා සමග මීගමුව රෝහලට ගියා. එතැනදි දැක්කා කට්ටියක් තමන්ගේ තාත්තාගේ මරණ පරීක්ෂණය අවසන්කරන ලෙස කෑ ගහනවා. ඒ ළඟම තවත් මෘත දේහයක් තිබුණා. එම බොඩි එකට අයිතිකරුවකු නොමැති නිසා එය රෝහලෙන්ම වළදාන්න ගෙන ගියා. එම අවස්ථාවේ මට හිතුණා මේ ලෝකෙ කාත් කවුරුත් නැති මිනිසුන් කොච්චර ඉන්නවද? ඔවුන්ට පිහිට වෙන්න කවුරුත් නෑ නේද කියල. එය මගේ සිතට තදින්ම බලපෑවා. ඒ වනවිට මම පුංචියි කිසිම දෙයක් කරන්න අවබෝධයක් නැහැ. නමුත් අදවනවිට මගේ වයස අවුරුදු විසි දෙකක්. දැන් මට තනියෙන් ඕනෑම දෙයක් කිරීමට ශක්තිය තිබෙනවා. ඒ නිසා මම පුළුවන් විදිහට මිනිසුන්ට උදවු කරනවා.
අනෝජා වීරසිංහගේ රංගන පාසල මිෂෙල්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්..
සම්පූර්ණ ඇත්ත. ඇය තමයි මට මේ තැනට එන්න ගුරුහරුකම් දුන්නේ. ඉස්සර මම බොහොම නිෂ්ශබ්ද චරිතයක්. ඇයගේ අභින රංගන පාසලට සම්බන්ධ වූවාට පසුව බොහෝ දේ ඉගෙන ගත්තා.
සමාජ සේවා වැඩත් එක්ක මිෂෙල් රංගනයෙන් ඈත් වෙයිද?
රංගනයෙන් ඈත්වෙලා සමාජ සේවය කරන්න සල්ලි කොහෙන්ද? රඟපාලා ලැබෙන සල්ලිවලින් තමයි මේ දේවල් කරන්නේ. රඟ පෑමෙන් ඈත්වෙන්න කිසිම අදහසක් නැහැ.
මොනවද මේ දවස්වල කෙරෙන නිර්මාණ..
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ 'පූරි ', ජාතික රූපවාහිනියේ 'ක්‍රයිම් සීන්', දෙරණ නාළිකාවේ 'කන්තෝරු මෝරු', හිරු නාළිකාවේ 'ශ්‍රි සිද්ධාර්ථ ගෞතම ' ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ඒ වගේම
ප්‍රියන්ත ශ්‍රී සමරකෝන්ගේ අධ්‍යක්ෂණයෙන්, මාලති විජයසිංහ ප්ලස්වන් ප්‍රඩක්ෂන් ඉදිරිපත්කරන 'අනුලා දේවි' ටෙලිනාට්‍යයේ නේත්‍රා කියන චරිතය නිරූපණය කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. පසුගිය දිනවල තිරගත කෙරුණු උදුම්බරා චිත්‍රපටයෙත් රඟපෑවා. තවත් අලුත් චිත්‍රපට දෙකකට කතාකර තිබෙනවා. ඒවායේ රූගත කිරීම් ළඟදීම ආරම්භ කෙරෙනවා.
නිවේදන කටයුතු කරනවා නේද?
සිරස නාළිකාවේ 60+ වැඩසටහන ඉදිරිපත් කරනවා.
මේ දේවල්වලට අමතරව තවත් වැඩකට සම්බන්ධවන්න යනවා කියා ආරංචියි..
ඔව්. රජරට විශ්ව විද්‍යාලයේ නජිත් ගුරුගේ මහතා සමග එකතු වී ළමා සංවර්ධනය සහ සුබ සාධනය වෙනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්වා.
කවුද මේ දේවල්වලට සහාය දෙන්නේ..
අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි.
පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය..
සහයෝගය ලැබෙන්න පෙම්වතෙක් ඉන්න ඕනනේ. මම මේ වනතුරු පෙම්වතෙක් ඇසුරු කරලා නැහැ.
තව දිනයකින් පසු අලුත් අවුරුද්දක් උදාවනවා. අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු මොනවාද?
රංගන කටයුතු හොඳින් කරන ගමන්ම ඉගෙනීමේ කටයුතු කරගෙන යෑමත්, රංගනයේදි මිනිසුන්ට ආදර්ශයක් වන චරිත තෝරා බේරාගෙන එමගින් සමාජයට යම් පණිවුඩයක් දියහැකි නිර්මාණවලට දායක වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා . ඒ වගේම ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකම කාට හෝ උපකාරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.