
අවුරුදු ගණනාවක් ගෙවී ගිහින්.
ඒත් අතීතෙ කොහොම අමතක කරන්නද...
මට විතරක් නොවෙයි, මේ රටේ ඉපදුණු ඔබටත් බැහැ හිතන තරම් ලේසියෙන් ඒ ගෞරවනීය ඉතිහාසෙ අමතක කර දමන්න.
ඔබට සිද්ධ වෙනවා අද මාත් එක්ක මීරිගම, බෝතලේට යන්න. හරියටම කිව්වොත් සේනානායකවරුන්ගෙ බෝතලේ වලව්වට යන්න.
පණ දෙවැනි කොට ආදරය කළ රට ජාතියත් ඒ මිනිසුන්වත් අතෑරලා අවුරුදු 66 වෙද්දි යන්න ගියාට, ඔහු තවමත් අපේ හිත්වල ජීවමානව වැඩ හිඳින හින්දා.
ජාතියේ පියා....
රටේ පළමු අග්‍රාමාත්‍යවරයා...
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳා... ඔය මොන හැඳින්වීමටත් යටින් උන්නෙ, ඇඟපතින් වගේම හදවතිනුත් පිරිච්ච සද්ධන්තයෙක්.
රටට ආදරය කළ දැක්මක් තිබූ නායකයෙක්.
ඔහුගෙ ඒ ගිලුණු ඇස්වල ගැඹුරු පෙනුමට යටින් මොකක්දෝ මහා කරුණාවන්තකමක් දිලිහුණා.
ගාම්භීර උඩුරැවුල... මුහුණේ රැඳුණු මන්දස්මිතය... රාජ්‍ය නායකයකුගේ පෙනුම තීව්‍ර කළත්, මට ඕනෙ වුණේ ඊට යටින් උන්නු කරුණාවන්ත මුත්තණුවො ගැන දැන ගන්න.
ඉතින්, අද තමයි හොඳම දවස.
1884 ඔක්තෝබර් 20 දා අද වගේ දවසක බෝතලේ වලව්වේදී දොන් ස්ටීවන් හෙවත් DS උපන්නෙ, දොන් ස්පේටර් සේනානායක මුදලිතුමාගේත් කෙහෙල්ඇල්ල වලව්වේ කැතරින් එළිසබෙත් පෙරේරා කුමාරිහාමිගේත් හතරවැනි දරුවා විදියට.
දොන් චාල්ස්, මේරි ෆ්‍රාන්සිස් සහ එෆ්.ආර්. අයියලා අක්කලාගෙ පුංචි මල්ලි විදියට.
එහෙම පටන්ගත්තු ජීවිතේ ඔහු වැඩියෙන් ම වැඩ කළේ රටට.
කණ්ඩායමක් සේ එක්ව මේ රටට නිදහස ලබාගන්න... සුද්දො බෝ කළ රට අරක්කුවලින්, බලා ඉඳිද්දි විනාශ වෙලා ගිය සිංහල තරුණයො ටික බේරාගන්න, ඔහු අමද්‍යප ව්‍යාපාර හරහා හුඟක් දේ කළා. විටෙක හිරගත වුණා.
1946 සැප්තැම්බර් 06 වැනිදා එක්සත් ජාතික පක්ෂය පිහිටවූ ඔහු, අපේ රටේ ප්‍රථම අගමැතිවරයා ලෙස පත්වන්නේ 1947 සැප්තැම්බර් 24 වැනිදා, ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස හිමිවන්නත් කලින්.
එදා මෙදා තුර කිසිදු රාජ්‍ය නායකයෙක් නොකළ තරමේ සංවර්ධන ව්‍යාපෘති රැසක් රටට උරුම කරදී, 1952 මාර්තුවෙ ඔහු හදිසියේ යන්නම යනවා.
අද ඔහුගෙ සදාතනික නවාතැන, සියලු සේනානායකවරුන්ගේ අළු බඳුන් තැන්පත් කළ බෝතලේ වලව්වේ සුදු පැහැ විසල් සොහොන් ගෙය.
ඒ සොහොන් ගෙය ඇතුළේ රිදී පැහැ අළු මංජුසාවක අවුරුදු 66 ක් තිස්සෙ භෂ්මාවශේෂ බවට පත්ව උන්නත් මේ අපරිමිත විශ්වයේ කොහේ හෝ තැනෙක හිඳ ඔහු බලා ඉන්නවා ඇති.
ඒ හින්දා ඔබ එක්ක කතා කරන්න මට කාගෙ තහංචියක්ද....
“සුබ උපන් දිනයක්...!”
සියල්ලට කලින් මම ඔබට සුබ පතනවා.
ජාතියක වගකීම කරට ගත් අපේ රටේ අවසන් නායකයා ඔබ. ඔබෙන් පස්සෙ, ඔබේ පුතු ඩඩ්ලිගෙන් පස්සෙ මේ රටේ තිබුණු ඒ ස්වර්ණමය යුගය සුන්නද්දූලි වෙලා ගියා.
තාත්තාගෙන් සීයාගෙන් උරුම වූ මිනිරන් ව්‍යාපාරයෙන්, නිකම් උන්නත් මහා ධනස්කන්ධයක් ගලා ආ පසුබිමෙක ඇයි ඔබ දේශපාලනය කළේ... කෘෂි කර්මාන්තයත් එක්ක ඔට්ටු වුණේ... මහා වැව් අමුණු පිළිසකර කරද්දි... සේනානායක සමුද්‍රය... ගල්ඔය, ඉඟිනියාගල, උඩවලවේ වැනි මහා ජල යෝජනා ක්‍රම ඇති කරද්දි, ලක්ෂපාන කාසල් රී ජල විදුලි බලාගාර රටට දායාද කරද්දී, කොළඹ වරාය ගොඩනඟද්දී... මහියංගණය, හසලක වැනි අලුත් නගර බිහි කරද්දී, මෙකී නොකී දහසක් වැඩ කරද්දී මොනවද ඔබට ලැබුණේ...
ඒ විතරක් නෙවෙයි, වියළි කලාපයේ කැලෑ ඉඩම් එළිපෙහෙළි කොට අස්වද්දා, අක්කර විසි හත් දාහකට එහා සරුසාර ගොවි ජනපද බවට පත් කරද්දීත් මොනවද ඔබට ලැබුණේ...
පාරට තාර ටිකක් දැම්මත් දේශපාලකයො කොමිස් ගහන තැනට අද පත්ව තිබෙන්නෙ... ඔබ හැදූ ඒ රට කියලා දැන ගත්තොත් ඔබට දුක හිතේවි.
“මගේ පාස්පෝට් එක අරන් බලාපල්ලා, 1951 සැප්තැම්බර් 15 වැනිදා නිකුත් කරපු මේ ගමන් බලපත්‍රයෙන් මං බුරුමය කල්කටාව සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව කියන රටවලට ගියා. දින 20 ක මේ නිල චාරිකාවට මං ලංකා ආණ්ඩුවෙන් පවුම් 150 ක් දුන්නා. මට වියදං ගියේ පවුම් 45 යි. හොඳින් බලාපල්ලා ඉතිරි පවුම් 105 මං ආපහු ආණ්ඩුවට ගෙව්වා. රටට වැඩ කරද්දී රටේ සල්ලි වංචා කරන්න එපා මිනිස්සුනේ...” නොවැරැදීම ඔබ, තරහින් කෑගසා කියාවි.
“දේශපාලනය යනු, සල්ලි හම්බ කිරීමට සහ හොරකම් කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් යැයි සිතන මේ රටේ දේශපාලකයන්ට, අද ඔබ සිටියා නම් මොනවා නොකරාවිද...
කමක් නෑ... මොහොතකට අපි ඒ හැම දේම අමතක කරමු.
ඔබේ පුතුන් දෙදෙනාගෙන් මේ රටේ අගමැතිකම හතර වතාවක් දැරූ ලොකු පුතු ඩඩ්ලි ගැන ඔබට විශේෂ ආඩම්බරයක් ඇති බව අපි දන්නවා.
ඒත් විවාහ නොවුණු එක ගැන නම් තාත්තෙක් හැටියට හිතේ පුංචි දුකක් ඇති. ඒත් ඔබට ආදරණීය ආතෙක් වෙන්න පුළුවන් වුණා. ඒ, බැරිස්ටර්වරයකු සහ කීර්තිමත් ව්‍යාපාරිකයකු වෙච්චි පොඩි පුතු රොබට්ගෙ දරු පස්දෙනා නිසා
දේවින්ද, රංජිනී, රංජිත්, රුක්මන් සහ යස්මින්... ඒ මුනුපුරු මිනිපිරියන් අතරින් ඔබේ ආදරය විඳින්න බැරි වුණේ ඒ වෙනකොට ඉපදිලා නොසිටි යස්මින්ට විතරයි.
ඔබ සියල්ල හැරදා යනකොට, රුක්මන් අවුරුදු තුනක පුංචි සිඟිත්තෙක්.
ඔබ දන්නවද? ඔබේ පස්සෙම වැටී හුන් අවුරුදු දහයක එකොළහක ලොකු මුනුපුරා දේවින්දට දැන් අවුරුදු 77 ක්.
කාලය මොනතරම් ඈතට ගිහින්ද...? ඒත් ඔබ ගැන මතකය තවම අපිට සතුටක්.
කවදාවත් පත්තරේකට කතා කර නැති ඔබේ ලොකු මුනුපුරු දේවින්ද, මාත් එක්ක ඔබ ගැන කතා කරන්න එකඟ වෙච්චි එකම, ලොකු දෙයක්.
හිතේ හැටියට බෝතලේ වලව්වේ අපි ඇවිද්දෙ ඡායාරූප ගත්තෙ දේවින්ද ලබාදුන්නු ඒ කොන්දේසි විරහිත කාරුණික අවසරයෙන්.
ඔබේ සීයා හැදූ, ඔබත් හුඟක් ආසා කළ බොරැල්ලෙ සේනානායක හන්දියේ ‘සිරිමැදුර’ සුන්දර වලව්ව නම්, පොළොවට සමතලා කර හුඟක් කල්. අද එතැන නැඟී හිඳින්නෙ අලුත් පරම්පරාවෙ සුපිරි නිවාස සංකීර්ණයක්.
ඊට යාබද, හවුස් ඔෆ් ෆැෂන් ඉදිරිපිට, මහා ගොඩනැඟිලිවලට වැසී ගියත් තවමත් ඉතිරිව ඇති ‘වුඩ්ලන්ඩ්ස්’ වලව්ව නම්, ඔබ අන්තිමට දැකපු පුංචි මුනුපුරා රුක්මන්ගෙ.
ඒ ගැන නම් ඔබට සතුටක් දැනේවි.
දේවින්ද සිය බිරිය කල්පනා සේනානායක සමඟ ජීවත්වන නවීන මහල් නිවාසය තිබෙන්නෙත් මේ වුඩ්ලන්ඩ්ස් වලව්ව ඉදිරිපිටමයි.
කාටවත් ඒ තරම් නොදැනුණාට, දවසකට ලක්ෂ ගණනක් මිනිසුන් එහා මෙහා යන කනත්ත ඉදිරිපිට පිළිරුව සහිත ඩඩ්ලි සේනානායක වටරවුම.... සේනානායක හන්දිය... වුඩ්ලන්ඩ් වලව්ව... තවමත් ඔබ ගැන මතකය අලුත් කරන අතීත සිහිවටන.
දේවින්ද තරම්ම සේනානායක පරපුරේ අභිමානයට සලකන, එය සුරකින කල්පනා, ඒ අතීතයට උරුම සෑම සියලු දෙයම රැකගන්නට ලොකු වෑයමක් දරනවා.
බෝතලේ වලව්වෙ වගේම, සේනානායක පරපුරේ වටිනා ඡායාරූප, ලිපි ලේඛන මේ නිවෙසේත් සුරැකිව තිබෙන්නේ මේ දෙදෙනාගෙම මහන්සියේ ප්‍රතිඵලයක් විදියට.
“කාගෙවත් ළඟ නැති වටිනා දෙයක් මං ළඟ තියෙනවා. ඒ, DS සහ මුවර් ආණ්ඩුකාරයා අත්සන් කළ, මේ රටේ Independent Document එක.”
ඔන්න, දේවින්ද කියූ ඒ රහස අපි ඔබටත් කිව්වා.
“ආතා එක්ක වැඩියෙන් ම හිටියෙ මං. එයා යන හැම තැනකම මාව එක්ක ගියා. වැව් අමුණු පිළිසකර කරද්දී කැලෑ ගම්මානවල, ගොවි ජනපදවලට යද්දි, ඔය ඕනෙ තැනකට මාව අරන් ගියා.
මගේ පුංචි කාලෙ මේ බෝතලේ වලව් වත්තෙ ඉඩම අක්කර 600 ක්. ඉඩම් පනතෙන් ඔක්කොම ආණ්ඩුවට ගත්තා. දැන් තියෙන්නෙ අක්කර 50 ටත් අඩුවෙන්. මගේ මුත්තා ස්පේටර්ට තමයි, ඒ කාලෙ ලොකුම මිනිරන් පතල් තිබුණෙ. අශ්වබල 34 ක වාෂ්ප පොම්පයක් තිබුණෙ අඹේපුස්සෙ පතලෙ විතරයි. 1907 දී සුද්දොත් වැඩ කළ මේ අඹේපුස්ස පතලෙ හිටි සේවකයො ගණන 3000 ක්. මේ තොරතුරු සඳහන්ව තියෙන්නෙ Arnold Wright ලියූ ‘Twentieth Century Impressions of Ceylon’ කියන ලන්ඩනයේ ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන් දානපතියන් ප්‍රභූ පවුල් පිළිබඳ ලියැවුණු විශාල පොතේ.
“ආතා, මේ මිනිරන් පතල්වල ඕනෙ තරම් වැඩ කරලා තියෙනවා. අපේ කුඹුරුවල හාලත් තියෙනවා. ලොකු කම් හාමුකම් කවදාවත් ඉස්සර කරගත්තෙ නැහැ.
මට හොඳට මතකයි මං ආතා එක්ක බෝතලේට යනකොට වලව්වෙ ඉස්තෝප්පුවෙ මිනිස්සු පිරිලා. ගමේ ප්‍රශ්න විසඳගන්න ආතා එනකල් බලාගෙන ඉන්නවා. ඒ කාලෙ බෝතලේ මිනිස්සු ප්රශ්නවලදී පොලිසි උසාවි ගියේ නැහැ. අර හාන්සි පුටුවෙ වාඩිවෙලා ආතා තමයි ඔක්කොම නඩු ඇහුවේ. සමාදාන කෙළ්.
සැරයි වගේ පෙනුණට ආතා පොඩි ළමයින්ට හරි හිතයි. වලව්වට කාර් එක ආවා කියලා දැනගත්තු ගමන් ගමේ කොලු ගැටව් ටික දුවගෙන එනවා. ඇවිත් කාර් එකේ නගිනවා. අතපත ගානවා. “ මිස්කින් මේ ළමයි රවුමක් එක්ක යන්න...” ආතා ඩ්‍රැයිවර්ට කියනවා.
ඉතින් මිස්කින් ළමයි ආතගෙ කාර් එකේ කීනදෙණිය හන්දියට රවුමක් එක්ක යනවා. ආවම ආතා ඒ ළමයින්ට කාසියකුත් දෙනවා.
ආතා අලි ඇතුන්ට අශ්වයින්ට, කොටින්ම සත්තුන්ට හුඟක් ආදරෙයි.
ඒ කාලෙ සංවර්ධන ව්‍යාපෘති සඳහා කැලෑ එළි කරද්දී අලි ඇතුන් හුඟක් තුවාල වුණා. එහෙම අලි ඇත්තු හීලෑ කරලා බලපත්‍රයක් අරන් ඇති කරන්න අවසර තිබුණා. ආතාටත් අවසර පත්‍ර හතරක් ලැබුණා.
රංජිනී නංගිටයි, රංජිත්, රුක්මන් මල්ලිලාටයි මටයි එහෙම හීලෑ කරපු අලි ඇත්තු හතර දෙනෙක් ආතා තෑගි දුන්නා. පුංචිම නංගි යස්මින්ට නොලැබුණේ එයා ඉපිදිලා හිටියෙ නැති නිසා.
ආතා මට තෑගි කරපු ඒ ගාමිණී, අවුරුදු 98 ක් වයස වෙලා 2013 මැරුෙණ දත් ඔක්කොම හැළුණට පස්සෙ. ලංකාවේ පළමු වැනි ලියාපදිංචි ඇතා, මගේ ‘ගාමිණී’. දළ දෙක සේනානායක පිරිවෙනට පූජා කරලා, වලව්ව ඉස්සරහා ටිකක් ඈතට වෙන්න අපි ගාමිණීව වැළලුවා. ඒ කාලෙ පටන් බෝතලේ ගමේ මරණයක් වුණොත් මිනී පෙට්ටිය හැදුවේ වලව්වෙ වඩු මඩුවේ. ඒ වෙනුවෙන්ම වෙන් කරපු ලූණුමිදෙල්ල ගස් යායක් තිබුණා. DS ආතා නැති වෙනකල්ම ඒ රාජකාරිය වලව්වෙන් කෙරුණා.
ආතගෙ අශ්වයො වෙනුවෙන් ගෙදර ලොකු ඉස්තාලයක් තිබුණා. එයාගෙ කැමැතිම අශ්වයා, බ්ලැක් වෙල්වට් සහ චිත්‍රා කියන කළු වෙළඹ. පිටරටින් ගෙන්වපු හොඳ රේස් අශ්වයො ගණනාවක් වලව්වෙ හිටියා. උන් මගේ. කොළඹ ඉන්නකොට ආතා හුඟක් පැද්දෙ පොලිස් අශ්වයො. පිටකොටුවෙ පොලිස් අශ්වාරෝහක බලකායෙදි තමයි ආතා මට මුලින්ම අශ්වයො පදින්න පුරුදු කළේ. මං සැදෑලේටවත් උස නැහැ. ආතා මාව නග්ගවලා වැටෙන්න නොදී මාව අතින් අල්ලාගෙන පුරුදු කරපු හැටි තවම මතකයි. හදිසියේ අශ්වයකුට තුවාලයක් වුණොත් අත් බේත් කරගන්න හැටිත් ආතා මට කියා දුන්නෙ ඒ පුංචි කාලෙමයි.
පස්සෙ කාලෙක මං අශ්ව රේස් පැද්දෙ ප්‍රසිද්ධ තරග ගණනාවක් ජයග්‍රහණය කළේ කුසලාන දිනාගත්තෙ, ආතා තියපු ඒ ආරම්භයෙන්.
ඒත් ඔච්චර පුරුදු කාරයෙක් වෙච්චි මං 1989 අවුරුද්දෙ දවසක පාර්ලිමේන්තු පාරේ අශ්වයා පදිද්දි, සීනි බැහැලා කලන්තෙ දාලා වැටුණා. එදා තමයි පළමු වතාවට දැනගත්තෙ මට දියවැඩියාව ඇවිත් කියලා.
එදා අන්තිම දවසෙත් ගෝල් ෆේස් එකේ ආතා අශ්වයො පදින්න ගිහින් තියෙන්නෙ උදේට නොකා, දියවැඩියාවට ගහන ඉන්ජෙක්ෂන් එකත් අරන්.
“ආතා එක්ක එදා පොලිස්පතිවරයාත් ඉඳලා. අපි ටිකක් හයියෙන් යමු...” ආතා කියලා. වයසට ගියත් එයා බොහොම ජවසම්පන්නයි. ආතා අස්සයා පිටින් වැටුණු එක ගැන මිනිස්සු එක එක කතා කිව්වට මට නම් හිතෙන්නෙ සීනි අඩුවෙලා කලන්තයක් එන්න ඇති. එහෙම නැතුව නම් එයාව අස්සයා පිටින් වට්ටන එක ලේසි නැහැ. එයා වැටුණු පාරෙට බෙල්ලට, සුසුම්නාවට හුඟක් හානිවෙලා තිබුණා.
ආතගෙ ඩ්‍රයිවර් මිස්කින්, මාව ඉස්කෝලෙට ඇවිත්, සෙන්ට්‍රල් හොස්පිට්ල් එකට එක්ක ගියා. මං දැක්කා ආතා මහා සද්දෙට හුස්ම ගන්නවා. කවුදෝ ඩොක්ට කෙනෙක් පිටරටින් එනකල් හැමෝම බලාගෙන හිටියා. ඒත් පහුවැනිදා, ඒ කියන්නෙ මාර්තු 22 දා ආතා නැතිවුණා... ආතගෙ ඇඟිල්ලෙ තිබුණු දියමන්ති ගලක් ඔබ්බවපු රන් මුද්ද අද පලඳින්නෙ මං. ඒ මුද්ද මට ලෝකයක් වටිනවා.”
හෙමි හෙමින් මතක් වන අතීතය දේවින්ද පෙළ ගස්වන්නෙ සීරුවට.
“බෝතලේ කුස්සිය හුඟක් ලොකුයි. දර පෝරණුම හතර පහක්. පොල් ලෙලි, හනසු, හොඳ දර... මේවා පුරවපු ගමන්. ඒ තරමට කෑම ඉව්වා. අදත් හොඳට තියෙන ස්පේටර් මුත්තා හදවපු වී පෙට්ටියෙ ගමටම වුණත් කන්න දෙන්න පුළුවන් තරමට හාල් තිබුණා. ආතා ආසා කළේ කොස් පොළොස් අල බතල කොළ මැල්ලුම්වලට. ආතා එක්ක, ගමේ කෑම දර ලිපේ උයලා කාපු ඒ පුරුද්දට අදත් මට ඕනෙ දර ලිපේ උයාපු ගමේ කෑම. අපේ ගෙදර ඒ කටයුත්ත නම් මගේ නෝනාගෙන් අත්හැරෙන්නෑ...”
දේවින්ද කියන්නෙ සතුටින්.
අම්මලා බයට කෑගැහුවට ආතා ඉන්න වෙලාවට මට ඕනෙ තරම් ගස් ගල් නගින්න අවසර ලැබුණා.
“කෑ නොගහා ඉන්න, ඔහේ නැගපුවාවේ, නැගලා බහීවිනේ, පිරිමියෙක් වුණොත් හැදෙන්න ඕනෙ එහෙම තමයි...”
දවසක් මං පුවක් ගහකට නගිනවා දැකලා අම්මා කෑ ගහද්දි ආතා කිව්වෙ එහෙමයි. මගේ කොණ්ඩෙ කපන්න, කොල්ලුපිටියෙ ගේබ්‍රියල් සැලුන් එකට නැත්නම් රෝයල් සැලුන් එකට මාව එක්ක ගියෙත් ආතා. කපල ඉවරවෙනකල් කකා ඉන්න මට රට කජු ගොට්ටකුත් අරන් දෙනවා. ඉවරවෙනකම් මගෙ ළඟටම වෙලා ඉන්නවා.
ඇත්තටම ආතා කැමැති වුණේ එයා වගේම මාත් දඩබ්බර වැඩ කරනවට. සත්තු ඇති කරනවට දැන් ඉන්නෙ මේ අශ්වයො දෙතුන් දෙනයි, ගිනි කුකුළො සහ මොනරුයි විතරයි.
මං ෆ්‍රෙෂ් මිල්ක් බොන එක නැවැත්තුවෙත් ආතා නිසා.
දවසක් ආතා මාව අඹේවෙල හරි බගවන්තලාව හරි ෆාම් එකට අරන් ගියා. ලොකු කිරි හරක් වර්ගයක් ගෙනැත් උන් බලන්න අපි ගියේ. එතැනදි ආතා මට කිව්වා, ඒ වෙලාවෙ දොවපු අමු කිරි බොන්න කියලා. පෙණ පිරුණු කිරි භාජනේට කට තියලා බිව්ව ගමන් මට මහා අප්පිරියාවක් දැනුණා. එදා ඉඳලා මං කිරි බොන එක අත්හැරියා.”
බෝතලේ වලව්ව මේ සියලු ගෘහ භාණ්ඩ DS මහත්තයා පාවිච්චි කළ දෑ කියා හිතුවත්, දේවින්ද කිව්වෙ ඒ උරුමයට අත්වුණු ඉරණම ගැන.
“රජයෙන් මියුසියම් එකේ තියන්න කියලා බෝතලේ වලව්වෙ තිබුණු ආතා පාවිච්චි කළ ඇඳන්, මේස පුටු ගණනාවක් ලොරි දෙකක් පුරවලා අරන් ගියා. හදපු DS මියුසියම් එකකුත් නැහැ. ඒ බඩු ටිකට වෙච්චි දේකුත් නැහැ. මේ බෝතලේ වලව්වේ දැන් වැඩි හරිය තියෙන්නෙ මං කොවුල්වැව වත්තෙ බංගලාවෙන් ගෙනාපු බඩු භාණ්ඩ.
අද නාරම්මල NLB ෆාම් කියන්නෙ ආණ්ඩුවට ගත්තු අපේ ඒ කොවුල්වැව වතුයාය සහ බංගලාව.
මට මතකයි ගොවියො හෙට්ටීන්ට කුඹුරු උකස් කරලා, අත මාරු අරගෙන අමාරුවෙ වැටුණම කුඹුරු ටික හෙට්ටීන්ටම සින්න වෙනව කියලා ආතා සෑහෙන්න දුක් වුණා. ඒකෙන් ගොවීන් බේරගන්න රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවක් පිහිටුවන්න ආතා යෝජනා කළා. අද ඒක ගෙවල් හදන බැංකුවක් විතරයි.”
කතා කළාට වැඩක් නොවෙන, මේ රටේ බොහෝ දෑ දෙස බලාගෙන අද දේවින්ද ගෙවන්නෙ නිස්කලංක සැඳෑ සමයක්.
කලෙක ව්‍යාපාර හැදූ, වර්ධනය කෙරූ ඔහු අද ඒ සියල්ලෙන් අත්මිදිලා. වලව්වට ගියවිට මුණ ගැහෙන සිය ආදරණීය සත්ව හුරතලුන්ගෙන් ඔහු ලබන්නෙ අස්වැසිල්ලක්.
ගේ ඉදිරිපිට දේවමදාරා ගහ යටින් යද්දී, ආතා තමන් වෙනුවෙන් සිටවූ අඹ ගස් හෙවණට යද්දී, නා ගහේ දලුලන රෝස පැහැ නා දලු දකිද්දී, ජීවිතයේ ගෙවී අවසන් වූ ආතා හා බැඳුණු ඒ සුන්දර දවස් ඔහුට සිහිවෙනවා ඇති.
බෝතලේ වලව් බිම පුරා ඇවිදිමින් සැරිසරමින් මං හොයන්නෙත් කිසිදා නොදුටු ඒ ප්රතාපවත් මිනිසාගේ නොමියෙන මතකය නොවෙද...