අපේ ගමේ ගව සම්පත | Page 2 | සිළුමිණ

අපේ ගමේ ගව සම්පත

සෑම ගමකටම ‘ගවයා’ අත්‍යවශ්‍යම සම්පතකි. ගමේ ප්‍රධාන ජීවන වෘත්තිය වූ ගොවිතැන් බිම් සැකසීමේ සිට අස්වනු ලබා ගෙට තුළට ගැනීම දක්වාම උපකාරි වන්නේ ගවයාය. ගොවිපළට පොහොරත් ලබා දී පදිංචි ගෙදර ගොමමැටි ගෑමටත් දායක වෙයි; කුසට කිරි ඇතුළුව පස්ගෝ රසයම කෑම සපයයි; අවසානයේදී ඇඟ මස්ද ඇතමුන්ට කෑමට දන් දෙයි.

“වැවට ලස්සනයි ඔලු මල් පිපෙන කොට

වෙලට සල්සනයි හී කැට නැගෙන කොට

පතට ලස්සනයි දී කිරි බෙදන කොට

ගමට ලස්සනයි වස්සන් අඬන කොට”

එළ, මී ගවයන් දෙවර්ගයටම අපේ ඇත්තෝ එක සේ සැලකූහ. පුරාණයේ ප්‍රවාහන කටයුතු හා වෙළෙොමටද ගවයන් යෙදූ හැටි ‘ගැල් සත්තු’ කතාවලින් කියවෙයි.

එදා එසේ වුවද අද බීමට කිරි සපයාගැනීමට රටේ බරපතළම ගැටලුවකි. මේ උතුම් සත්ත්වයා හින්දු ආගමිකයෝ පූජනීය වස්තුවක් ලෙසද සලකති. අපේ පුරාණ ගම්වල ‘ගවයා’ හා බැඳුණු සිරිත්-විරිත් අදද යම් පමණකට නොනැසී පවතී. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවලදී හිසතෙල් ගාන විට ගවයන්ගේද තෙල් ගෑවේ ඒ නිසාය. වැඩ අරගෙන වයසට පත් වන විට හරකා ‘පිංගොනා’ ලෙස පිනටම ඇරියහ. ගවයන් තම දරුවන් ලෙසින්ම, පවුලේ සමීපතමයන් වූ නිසා ඔවුහු ‘ගවදරුවෝ’ යැයි ඇමතූහ. වැඩපළ ගැනීමේදී ගවයන්ට තැළීම පිළිකුල් කළහ. මෙහිදී ගවයාට තුවාල සිදු නොවන රිදුම් ඇති වන ‘කූරටියා’, ‘කරපිංචා’ වැනි ‘කෙවිටි’ පාවිච්චි කළහ. බොහෝ විට දෙපරැන්දෙන් කෙවිට යවා කිති කවා ගමන ඉක්මන් කළහ. ගවයන් එළවිස්සා, හඳයා, පුල්ලියා, අංකූරා වා‍ගේ නම් පටබැන්දහ. ගැල් කවි, අඬ හැර රාගද ඇල්ලුවේ කතා කර වැඩ-පළ ගැනීම මුල් කොටගෙනයි.

“මුදුනේ යන මයෙ අප්පා - ඊළඟ යනවයි රප්පා

වට දුවනා කිරි අප්පා - කොළ මැඬ දුන් බුදු අප්පා”

වී අදින විට ප්‍රමාණයට ඉක්මවා බර දැමීම කරත්ත හිමියා නොඉවසුවේද ගොන් බානට දැක්වූ අපමණ ආදරය නිසාය. එබඳු අවස්ථාවලදි ඇයි-හොඳයිකම් නිසා කාරිය කර දුන්නේ තෝන් කාඩුවෙන් ගවයාට ආදරයද පාමින්ය.

“බරවැඩි කරපු ගොන් බණ්ඩගෙ වැරැද්දට

තඩිබාලා උඹ දැක්කුවෙ ඉස්සරට

උණ මේ මුළා කියමුද මම දැන් කාට

තරහ බෝය ඇදපන් ගම් මණ්ඩියට”

අපේ කොටුගම්වල හැම ගෙදරකම පාහේ ගවයන් සිටි නිසා එම ගව රැළට රාත්‍රී කාලයේ ගත කිරීමට ‘ගාලක්ද’ තිබිණි. ගාල, ගෙන් මඳක් දුරින් උස් බිමක ඉදි විය. බොහෝ විට වරුෂාවකදී ගවගාල සේදී වෙල්යායට යා වන ලෙස තනා තිබිණි. සමහර ගම්වල මේ ගාල පොදුවේ ඉදි විය. දවල් කාලයේ ගවයන් තණ බිමකට දක්කාගෙන යෑම කළේ ඔවුන් බලාගන්නා කෙනෙකි. ඔහු ගොපල්ලාය. මේ ගව රංචුව ‘පට්ටිය’ නමින් හැඳින්විණි. ගවයන් දෙතුන් දෙනා සිටින විට ඔවුන් අඩි තුන-හතර උසැති ‘කණුමදු’ සිටුවා ගැටගසාගති. ඒ කීපයක් ඇති තැන ‘කණු පොළ’ ලෙස නම් විය. රට ර‍ාජ්‍ය කරවූ ඇත්තන් විශාල ‘ගව පට්ටි’ නඩත්තු කර ඇත. සත්තු ගාල කඩා ගත් විට සී සී කඩ පිට වී යති. ‘ගාල කඩාගත්තා’ වාගේ යයි ප්‍රශ්තා පිරුළුද එසේ බිහි විය.

ගවයන්ගේ ළමා වහු පැටවුන් ආරක්ෂා කළේ ග‍ාලේ කොටසක් කණු සි‍ටවා ළඟින් මාවර බැඳ සෑදු ‘බණ්ඩිගෙයට’ දැමීමෙනි. හීං වහුපැටවුන්ගේ කරට රෙදි පටිවලින් ඇඹරූ ලණු දැමීය. වැහි කාලයට බණ්ඩිගෙයි නොතෙමෙන්ට වහලයක් සාදා පුළුල් තල අතු වැසීය. පැටවකු දෙන්නකු සිටින විට අටු පල්ලේ කණු මදුවල ගැට ගහ රැක්කේය. දඩ බල්ලන්, නරියන් හා දිවියන්ගෙන් වන හානි වළකාගත්තේ බෙහෙත්තුවක්කු අතැතිව මුර කිරීමෙනි.

ගවයින් බෝ කරගැනීම ගාල තුළ ‘පට්ටි වැද්දීමෙන්’ සිදු විය. තවද මහ වනයේ ගාල් සාදා කුළු ගවයන් ගාලට වද්දා කෑම වතුර හිඟ කර හීලෑ කරගෙන තම පට්ටියට එකතු කරගත්තේය. තමාට කීකරු ‘දඩ මීමකුගේ’ (ගවයකු) කරේ බැඳගෙන කුළු සතුන් ගමේ පට්ටියට ගෙනාවේය. ‘දඩයා බැඳ කුළා මුදාහැරියා ව‍ාගේ’ යන උපහාස ප්‍රස්තා පිරුළ ඇති වූයේද එබඳු වරදකිනි. ගවයන් නිදැල්ලේ හැරීමද,කෑම සොයා දුර යන සතුන් ‘කර ලණු’ දමා ‘දිගේලි කිරීම’ ද සිදු විය. අතීතයේ එකට ගැවසුණු ගවයන් අඳුනාගැනීමට ‘හණ/ කුරි’ පිච්චුවේ ගිනි යම් කළ යකඩයකනි. ගම සහ නමේ අකුරු කීපයක් පිච්චුවේය. රජ කාලේ ඒ ඒ වෘත්තීන්හි යෙ‍දුණු කුලයන්ට නියමිත ලාංඡන තිබිණි. නුවරකලාවියේ වන්නි උන්නැහැට (ප්‍රධාන පාලක) ‘නෙළුම්මල’, ගොවිතැන් කළ අයට ‘ගල’, ආදිවාසි ගම් හිමියන්ට ‘දුන්න ඊතලය’, මැටි කරුමාන්තය කළ අයට ‘පත්ත’ ආදි වශයෙන් ‘හණ නීවරණ’ කළහ.

දූදරුවන් විවාහ වන අවස්ථාවල ත්‍යාග ලෙස ඒ දරුවන්ගේ නමට හරක් බානක් දෙකක් ‘හණගසා’ දුනි. ගම්වල ‘බටු හරක්’ පමණක් නොව පිටරට හරක්ද වූහ. කින්නියාවෙන් කරත්ත බැඳීමට හැඩි-දැඩි සතුන් ගෙන්වූහ. උන් ගෙජ්ජි බැඳ ‘අංකොපු’ දමා කකුල්වලට ලාඩං ගසා ඉහළ මට්ටමකට පත් විය. තිරික්කල, බරබාග, අඹරාව බැඳි කරත්ත, බර කරත්ත, අතර තරග වැදීම (රේස්) ද තිබිණි.

“රෝද දෙකට තෙල් දාපන් කැරකෙන්ඩ

ගොන් බානට මිණි බැදපන් නඳ දෙන්ඩ

අං ජෝඩුවට කොපු දාපන් දිලි හෙන්ඩ

දක්කාපන් අපෙ ගම රට ජය ගන්ඩ”

හරකුන්ට හැදෙන ලෙඩ-දුක් රෝගවලටම වෙදකම් කරන ‘ගව වෙදරාල’වරුද සිටියහහ. කුර ලෙඩ, මුඛ රෝග සේම වසංගතවලට වෙදකමට වඩා කෙම් පහන් කළහ. අනතුරු, ඉරිහැර ආදියෙන් තුවාල සිදු වී පණු ගෙඩි හැදුණත්, කතා නොකර ගුරකු ලවා මතුරාගත් අඹටිකක් හරක‍ාගේ ස්වරූපය (අඩයාලම) කියවා ළිපට දමා පිපිරවීමෙන් රෝග සුවපත් විය. ගවයන් ‘මේචල් කිරීම’ යනු රැක-බලාගැනීමයි.

අනෙක් අලි අතුන්, අශ්වයන් විවිධ කුලවලට බෙදා ඇති ලෙසින්ම පුරාණේ සිට පැවත එන ‘ගවරත්නය’ නමැති ගව වෙද පුස්තකයේද ගවයින් වර්ග (කුල) හතකට බෙදා දැක්වෙයි.

වෙළෙඳ ගොන් ඇත්, බෝසත්, හෙට්ටි, බ්‍රහ්මණ, රජ යනුවෙන්ය. ගවමස් කෑම ‘ගෙරිමස් කන්නා’ යැයි නිගරු කොට වරි‍ගයෙන් පිට කළේය. ගවයාට ඉතිහාසයේ ගෞරවනීය තැනක් හිමි විය. එළාර (දෙමළ) රජු සිය පුතා අතින් වසු පැටව් මිය ගිය නිසා පුතුට මරණ දඬුවම නියම කළේ ඒ නිසාමය. මෙලෙසම වේවැල්කැටි සෙල්ලිපියේද ගව ඝාතකයන්ට දැඩි දඬුවම් දුන් හැටි කියවෙයි.

නුවරකලාවියේ ගවයන්ට අදාළ දෙවිවරු වූයේ ගොපළු දේවතාවා, වරමන්ද, පොල්ල අතගත් ඉලන්දාරි, මංගල ආදි දෙවිවරුනය.

කුළු හරකුන් ඇල්ලීමට හපන් වූයේ ‘මරිකාරයෝ’ය. ඔවුහු යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම්ද දන්නෝද වූහ. වරමදු ඇඹරීම, හරකුන් පය තැබීම, එසේම ඒවා වැළකුම් කිරීම ආදිය වෙනම කතා කළ හැකි දිගුවකි. අපේ ගම්වල හරකුන් ආරක්ෂාවට පට්ටියේ කිරි ඉතුරුම් මංගල්‍යය වාර්ෂිකව සිදු විය.

 

“කලා බළලු වැව විල් හත මින්නේරිය සිටිති මුරේ

‍ලොලා වඩන රන් දුන්නද ගනිති අතට සෑම වරේ

සලා දිදී හත්දුවේ ගව රැල එන තැනට පිරේ

බලා‍ සොඳට කිරි ඉතිරුම් බුලත්යහන් තේව කෙරේ”

 

එදා මෙන්ම අදටත් ගව සම්පත රැකගත හොත් පිරිපුන් සංවර්ධනයක් ලැබෙනු නියතය.

Comments