ලෝකයේ ඉන්න වාසනාවන්තම බිරිය මමයි කියලා හිතෙනවා! | Page 2 | සිළුමිණ

ලෝකයේ ඉන්න වාසනාවන්තම බිරිය මමයි කියලා හිතෙනවා!

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නම් යුග පුරුෂයාට බිරිය වූ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය එතුමා සමඟ ගත කළ ජීවිතය හා අද දවසත් හෙට දවසේ අපේක්ෂා ගැනත් අප සමඟ සංවාදශීලි වූයේ මෙලෙසිනි.

• ඔබේ ළමාවිය ගැන කතා කරළම කතාබහ ආරම්භ කරමු?

මම පවුලෙ එකම දරුවා. මම දෙමවුපියන්ට ලැබිල තියෙන්නෙත් විවාහයෙන් අවුරුදු 20 කට පස්සෙ. ඒ නිසා මාව බොහොම ආදරයෙන් හදල තියෙනවා. දෙමවුපියන්ගෙ විශ්වාසයක් තිබුණා, මාව ශ්‍රී පාදයට, සමන් දෙවියන්ට බාර හාර වුණාට පසුවයි ලැබුණෙ කියලා. ඒ නිසා මට අවුරුදු 20 ක් විතර වෙනකල් ඒ බාරය ඔප්පුකරන්න ශ්‍රී පාදස්ථානයට ගියා.

• ගම් පළාත කොහෙද?

මම ඉපදුණේ කෝට්ටෙ එපිටමුල්ලෙ. පියාගෙ ගම මෙහෙ. මව වැලිකඩ. ඒ දෙදෙනා ම හොඳ බෞද්ධයො. වෙහෙර විහාර පන්සල් හදන තරම් ම බෞද්ධකම ඔවුන් තුළ තිබුණා. මං හැදුණෙත් ඒ පසුබිමේ. හැබැයි ඉගෙන ‍ගන්න ගියේ කෝට්ටේ මිෂනරි පාසලකට. ඒ දවස්වල සී.එම්.එස්. බාලිකාව කියල හැඳින්වූවේ, වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකාව කියල හඳුන්වන්නෙ ඒ පාසල.

වැඩිදුර අධ්‍යාපනයට නුගේගොඩ සමුද්‍රදේවි විදුහලට ගියා.

• නාට්‍ය කලාවට එක්වුණේ කොහොමද?

පාසල් කාලයේදී ම මම නාට්‍යවලට සම්බන්ධ වුණා. හැබැයි, පාසලේදී නාට්‍ය විෂයයක් ලෙස හැදෑරුවේ නෑ. මොකද ඒ මිෂනාරි පාසලක්. මුලින් ම රඟපෑවෙ ප්‍රේමරංජිත් තිලකරත්න මහත්තයගෙ “වගුරු බිම” නාට්‍යයේ. ඊළඟටත් ප්‍රේමරංජිත්ගෙම “වහලයක් නැති ගෙදර” නාට්‍යයේ. මේ නාට්‍යවල ටෝනි රණසිංහ. වික්‍රම බෝගොඩ, චන්ද්‍රා කළුආරච්චි වගේ රංගන ශිල්පි, ශිල්පිනියන් සමඟ රඟපෑවා. ඊළඟට මම සරච්චන්ද්‍ර මහත්මයා නිෂ්පාදනය කළ “පබාවතී” නාට්‍යයට සම්බන්ධ වුණා. එහි සීලවතී බිසවගෙ චරිතය රඟපෑවා. මේ අතරවාරයේ තමයි සරච්චන්ද්‍ර මහත්මයා හඳුනාගත්තෙ. වැඩිකල් නොයා මම එතුමා සමඟ විවාහ වුණා. එතැනින් උසස් අධ්‍යාපනය නතර කිරීමට සිදුවුණා.

• ඔහු වැනි පරිණත, රටම දන්න විශිෂ්ටයකු සමඟ ආදර සම්බන්ධතාවක් ඇතිවීම ඔබට එදා කොහොමද දැනුණේ?

ඒක ආදරයමත් නෙවෙයි. ගෞරවයක් ඇති වුණේ. එතුමාට ඒ වෙනකොට අවුරුදු 50යි. මට අවුරුදු 20යි. විවාහ වෙද්දි අවුරුදු 30ක වයස් පරතරයක් මුලින් ගෙවල්වලින් විරුද්ධ වුණා.

• ආදරය සහ ගෞරවය අතර ඔබ දෝලනය වුණා?

මෙහෙමයි. ඒක ආදරය නෙවෙයි, ඔය තරම් මහ පඬිවරු ආදරය ගැන එහෙම එකවර කතා කරන එකකුත් නෑ. ඩොක්ටර් මගෙන් ඇහුවෙ කැමැති ද කියලා. මං කිව්වා ගෞරවයක් ඇති වුණේ කියලා. කල්පනා කරල ටික දවසකට පසුව මම උත්තරයක් දුන්නා කැමැතියි කියලා. ඒක සංසාරගත බැඳීමක්. මේ ආත‍්මෙදිත් මුණගැසුණා. ඒක තමයි වුණේ.

• එතැනින් එහාට සරච්චන්ද්‍ර සමඟ ඔහුගේ කටයුතුවලට ඔබ සම්බන්ධ වුණේ කොහොම ද? දරු තිදෙනෙකුත් සමඟ මොන විදිහට ද ඒ සියල්ල කළමනාකරණය කර ගත්තේ?

කවමදාකවත් පවුල් ජීවිතය ‍ඩොක්ටර්ගෙ වැඩවලට බාධාවක් වුණේ නෑ. මං එහෙම බාධාවක් වෙන්න ඉඩ දුන්නෙත් නෑ. නමුත් අපට, දරුවන්ට ඩොක්ටර්ගෙ තිබුණු ආදරය, සෙනෙහස හරි ම බලවත්. පුතා එහෙම ඉස්කෝලෙ එක්කරගෙන ගියා. දරුවන්ගෙ වැඩවලට එන්න කිව්වාම අනෙක් දෙමවුපියො වගේ ම ගිහින් ඒ කටයුතුවලට සම්බන්ධ වුණා. පියෙක් විදිහට කරන්න ඕන හැම යුතුකමක් ම ඩොක්ටර් ඉෂ්ට කළා. දරුවන්ට ලෙඩක් දුකක් හැදුණොත් එළිවෙනකල් ම නිදාගන්නෙ නෑ. එයාලා දිහා බලාගෙන ඉන්නවා. දරුවන්ට හොඳ නරක ගැන යහපත් දේවල් ගැන කියල දුන්නා. ගහන්න බණින්න ගියේ නෑ. හරි බුද්ධිමත් පියෙක්. ආදරයත් එක්කම අධ්‍යාපනයත් ඉතා සංයමයකින් දරුවන්ට දුන්නා. දරුවන්ට හරිම ආදරෙයි. මට වුණත් හරිම ආදරෙයි. අපට විතරක් නෙවෙයි තිරිසන් සතකුට වුණත් එහෙමයි. එහෙම ආදරයක්, කරුණාවක් මනුස්සයකුට පිහිටන්න පුළුවන්ද කියලා මට වෙලාවකට හිතෙනවා. දරුවො හැදුණෙත් එවැනි පරිසරයක. එවැනි පියකුගේ සෙවණේ.

• සරච්චන්ද්‍රයන්ගේ සමකාලීනයන් සමඟ එතුමාට තිබූ ඇසුර ගැන ඔබට මතක ද?

මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය එම්.බී. ආරියපාල, මහාචාර්ය සිරි ගුනසිංහ වගේ අය. හැම නමක් ම මට මතක් වෙන්නෙ නෑ. එතුමාගේ සමකාලීනයන් සමඟ සමීපව කටයුතු කළා. ඔවුනුත් එතුමාගේ කලා කටයුතුවලදී සහාය දැක්වූවා.

• ඔබ මේ දිනවල අධ්‍යාපනය කටයුතුවල නිරත වෙනවා කියලා ආරංචියි?

ඔව්. ඩොක්ටර්ගේ නාට්‍යවල ඇඳුම් නිර්මාණ සිදු කළේ මම. ඩොක්ටර්ගෙ හැම නාට්‍යයකට වගේ වෙස් නිර්මාණ කළෙත් මම. ඒක අදටත් එසේමයි. ඒ විෂයයට මම හුඟාක් ප්‍රිය කරනවා. දැන් මම පී.එච්.ඩී. එක කරමින් ඉන්නෙත් මේ ක්ෂේත්‍රයේමයි.

• අධ්‍යාපනයට වයස බාධාවක් නොවේද?

දැන් මගේ වයස අවුරුදු 75 ක්නෙ. මම තවමත් ඉගෙන ගන්නවා. මැරෙනකල් ම ඉගෙන ගන්න තියෙනවා. ඩොක්ටර් වරින්වර කියපු ශ්ලෝකයක තේරුම මට මතකයි. මාරයා ඇවිත් ඔළුවෙන් අල්ලලා සොලවලා උඹ දැන් මැරෙන්න ඕන කියනකල් ම ඉගෙන ගත යුතුයි කියලා. ඩොක්ටර්ත් ඒ වගේ. සිතාර් වාදනය ඉගෙන ගත්තෙ අන්තිම කාලයේ. ගුරුවරයෙක් ගෙන්නගෙන ඉගෙනගත්තා.

• සරච්චන්ද්‍රයන් සමඟ නාට්‍ය කිරීමේදී ලැබුණු අත්දැකීම් කෙහොමද?

මනමේ, සිංහබාහු වගේ නාට්‍යවල මුල් නිෂ්පාදනයේ මගේ සම්බන්ධයක් නෑ. 1965 දී විවාහ වුණාට පසුව ඒ දෙවැනි නිෂ්පාදනවලටත් අනෙක් නාට්‍යවලටත් මං සම්බන්ධ වුණා. ඇඳුම් නිර්මාණය සහ නළු නිළියන්ගේ කෑම බීම සැපයීම වගේ දේවල් සොයා බලලා ඒ අවශ්‍යතා ඉටු කළා.

සමහර වෙලාවට නළු නිළියො ආවෙ නැති අවස්ථාවල කේන්ති ගිහින් ආවෙ. ඒක තුනී කරලා කොහොම හරි දිරිගන්වලා යවනවා. එතුමා එක්ක නාට්‍යක් කිරීම පහසු නෑ. ඒ විදිහට ම ඉන්න ඕන. හැමදේම පිළිවෙළට තියෙන්න ඕන. නිෂ්පාදන කටයුතුවලදි කාලය බිඳක්වත් අපතේ හැරියේ නෑ, වෙලාවට වැඩ කරන්න ඕන. මටත් ඒ ආභාසය ලැබුණා. දැන් අපතේ හරින්න කාලයකුත් ඉතිරිවෙලා නෑනෙ. නළු නිළියො වෙලාවට නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙ නැත්නම් ඒ අය අත්හැරල හරි ඉස්සරහට යනවා අනෙක් අයත් එකතු කරගෙන.

• සරච්චන්ද්‍රයන්ගෙ නාට්‍යවලට දෙස් - විදෙස් වශයෙන් ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්?

බොහොමයි. සෑම රාජ්‍ය නායකයකුම එතුමාගේ නාට්‍ය අගය කළා. ඒ ඒ මට්ටමින් අවශ්‍ය සහායත් ලබා දුන්නා. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ මව සරච්චන්ද්‍ර මහත්තයගෙ නාට්‍ය කටයුතුවලට සහාය දක්වපු කෙනෙක්. ඉතින් එතුමත් සරච්චන්ද්‍ර මහත්තයට හුඟක් සමීපයි. මනමේ කැසට් එක මුලින් ම එළිදැක්වුවෙත් නාලනී වික්‍රමසිංහ මහත්මියගේ උදව්වෙන්. මනමේ පොත මුද්‍රණය කළෙත් ලේක්හවුස් එකේ. අගමැති වශයෙනුත් වික්‍රමසිංහ මහත්තයා උදව් උපකාර කළා. මහින්ද රාජපක්ෂ ජනාධිතිතුමාත් එතුමාට සමීපව සිටියා. සම්මාන ඇගැයීම් කළා. සියවැනි ජන්ම සංවත්සරය උත්සවාකාරයෙන් කළා. නාට්‍ය කණ්ඩායම යුෙනස්කෝවට යැව්වා.

• ප්‍රංස තානාපති වශයෙන් එතුමා කටයුතු කළ අවදිය ගැන ඔබ කොහොමද සිහිපත් කරන්නෙ?

මැතිනියගෙ කාලයේ ඒ තනතුර දැරුවා. ප්‍රංසයේ තානාපති වශයෙන් සිටින අතර වතිකානයේ සහ ස්විට්සර්ලන්තයේ ඒ වගකීමත් දැරුවා.

ඒ කාලයේ විදේශ සේවයට ලොකු පහසුකම් දීමනා තිබුණේ නෑ. ඒක මැතිනියගෙ වරදක් නෙවෙයි, ඒකෙ ස්වභාවය. ඩොක්ටර් ඒ කාලයේ තමයි ‘විත් ද බෙගින් බෝල්’ පොත ලිව්වෙ. මේ කාලයේ වෙච්ච එක හොඳක් තමයි ඒ පොත ලියන්න තරම් කාලය සොයාගත හැකිවීම. ඒක ප්‍රසිද්ධ කෘතියක් වුණා.

• එතුමාගේ නාට්‍යවල රඟපාන නළු නිළියන්ගේ පැත්තෙන් බැලුවොත් ඔවුන් ලද අවස්ථාව ගැන ඔබට කොහොමද සිතෙන්නෙ?

මේ නළු නිළියො ඒවයෙ කතා කරන්නෙ වුණත් සරච්චන්ද්‍ර මහත්තයගෙ භාෂාවනෙ. පහත් වචන නෙවෙයි. ඒ අතින් බැලුවොත් පින්වන්ත නළු නිළියො ටිකක් මේවයෙ ඉන්නවා.

අවුරුද්දකට වතාවක් මේ හැමෝමත් එක්ක අපිත් එකතුවෙලා කොහේ හරි ගිහින් විනෝද වෙලා එන සිරිතකුත් එතුමාට තිබුණා. ඔවුන්ට ආදරයෙන් සැලකුවා.

• මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සමුගැනීමත් සමඟ ඔබ කොහොමද ඒ හැඟීම් දරා ගත්තෙ?

ඩොක්ටර් වයසට ගියාම අවසාන කාලයේදී මගේ දරුවකු වගේ තමයි හිටියෙ. මගේ බාල ම දරුවා. දෙවැනි ළමා අවදියට එතුමා පත්වුණා. නාවලා - කවලා රැකබලා ගත්තා. සමහර දේවල් ගැන මතකය ටික ටික ගිලිහුණා.

කෙටි කලක් රෝහල්ගතව සිටියා. වරින්වර හොඳ අතට හැරුණා. යළිත් අසනීප වුණා. දුක් නොවින්දත් ඩොක්ටර්ට ඒක දුකක් වෙන්න ඇති. මට කියලා තියෙනවා ගෙදර යමු කියලා. මං හිතන්නෙ මට ජීවිතය කියල දුන්නා කියලා. එතුමා ජීවිතයෙන් සමුගන්න ‍කොට වයස අවුරුදු 82.

ඩොක්ටර් සිටියදීත් එතුමාගේ වැඩ, නාට්‍ය වැඩ ආදිය සොයා බලා ඒ කටයුතු කළ නිසා මට ඒ අතින් ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් අප එක්වී සිදු කළ බුද්ධිමය සංවාද - සාකච්ඡා මට නැතිවුණා. ඒ තත්ත්වය දරාගැනීම මට හරිම අසීරු වුණා. ඒ නිසා මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙලා ජනසන්නිවේදන ඩිප්ලෝමාව කළා.

ඩිප්ලෝමාව සමත් වුණාට පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ම බාහිර උපාධියක් ලැබුවා. ඉන්පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සමත් වුණා. වැඩිදුර ඉගෙන ගන්න පටන් ගත්තෙ ඩොක්ටර් නැති වුණාට පසුව.

• සරච්චන්ද්‍රයන් වැනි මහ පුරුෂයකුට බිරිය වීම පිළිබඳ හැඟීම ඔබට කොහොමද දැනුණේ?

අහංකාරකමක්, ආඩම්බරයක් නම් මට ඇතිවෙලා නෑ. නමුත් නිරන්තරයෙන්, එතුමාගේ බිරිය වීම නිසා මට පරෙස්සම් වෙන්න වුණා. මොකද, එතුමාගේ ආත්ම ගෞරවය ආරක්ෂා කළ යුතුයි. එතුමා මට පවරා ගිය එතුමාගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ඒක විශාල වගකීමක්.

• එතුමාගේ නිර්මාණ දායාද පෙරට ගෙනයාමට ලැබීම ගැන...?

මං හිතන්නෙ ඒක වාසනාවක්. මේ තරම් වස්තුවක් අයිති කරල දීල කිසි මනුෂ්‍යයෙක් මිය යන්න නැතිව ඇති. එහෙම බැලුවොත් ලෝකයේ ඉන්න වාසනාවත්තම බිරිය මම. එතුමාගේ නාට්‍ය 35ක්, පොත් පත් මේ සියල්ල සම්පත්. මේවා ඉදිරියට පවත්වාගෙන යාවි කියන විශ්වාසයෙන් ඒ සියල්ල මට පවරලා තමයි එතුමා නික්මුණේ. ඒ අතින් නම් මට ආඩම්බරයි. මේ මිල කරන්න පුළුවන් වස්තුවක් නෙවෙයි. නිර්මාණ මිල කරන්න බෑ, මේවා අනාගතයටත් දායාද කිරීම තමයි මට තියෙන අභියෝගය. මගේ දරු තිදෙනා මේවට මට හුඟක් සහාය වෙනවා. විදේශගතව සිටියත් මේ දේවල් ගැන සොයා බලනවා. මං නැති කාලයක ඔවුන් මේ දේවල් ඉදිරියට රැගෙන යාමේ වගකීම භාර ගනීවි.

• පොතක් ලියන්න අදහසක් නැති ද?

කටුසටහනක් වගේ පිළියෙල කරගෙන යනවා. එතුමා සමඟ ගත කළ ජීවිතය ගැන ඒ පොත ලියැවේවි.

• මේ දිනවල ඔබ කරමින් ඉන්නෙ?

අගෝස්තු 16 වැනිදාට ඩොක්ටර් නැතිවෙලා අවුරුදු 22 ක්. එතුමාගේ එදා සිට ම තිබුණු අදහසක් තමයි අඩු මුදලට ප්‍රවේශපත්‍ර නිකුත් කරලා මිනිස්සුන්ට මේ නාට්‍ය පෙන්වන්න ඕන කියන එක. ඉතින් එතුමාට පිං පිණිස අගෝස්තු 10 වැනිදා සිට 19 වැනිදා දක්වා සවස 6.30 ට බොරැල්ල වයි.එම්.බී.ඒ. හිදී මනමේ, සිංහබාහු, මහාසාර, හස්තිකාන්ත මන්තරේ, රත්නාවලී, පේමතෝ ජායතී ශෝකෝ, වෙල්ලවැහුම්, එලොව ගිහින් මෙලොව ආවා, කදාවළලු කියන නාට්‍ය 10 රු. 100/- ප්‍රවේශපත්‍ර නිකුත් කරලා අපි ප්‍රදර්ශනය කරනවා. පසුගිය වසරවලත් අපි මේ කටයුත්ත කළා. මෙවරත් එය කිරීමටත් මේ දිනවල සූදානම් වෙනවා. අනුග්‍රාහකයන්ගෙන් තොරව මේ දේවල් කරන්න අමාරුයි. ඒත් ඉල්ලන්න ගියෙත් නෑ. ලැබුණෙත් නෑ. කොහොම වුණත් එතුමාට පිං පිණිස අපි එකතුවෙලා මේ කාර්යය කරනවා. මේ නාට්‍ය උලෙළ සංවිධානය කරන්නෙත් මම විසින්මයි.

• ඉදිරි බලාපොරොත්තු ගැන යමක් කිව හැකි ද?

සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තිබුණොත් එකම බලාපොරොත්තුව, මනමේ නාට්‍යයේ දෙමළ පරිවර්තනය නිෂ්පාදනය කිරීම. එම පරිවර්තන කාර්යය පසුගිය කාලයේ අවසන් කරලයි තියෙන්නෙ.

සේයා රූ - තුෂාර ප්‍රනාන්දු

Comments