බක් මහේ සුළඟ මුසුව මිතුරු දමේ සුවඳ ගෙනෙන සකු­රා­මල | Page 2 | සිළුමිණ

බක් මහේ සුළඟ මුසුව මිතුරු දමේ සුවඳ ගෙනෙන සකු­රා­මල

වසර පුරා ම කාර්ය බහුල ජීවිත ගත කරනා ජපන් ජාතිකයෝ නෑ මිතුරු සබඳතා වර්ධනය කර ගැනීමටත් සුහදශීලී ගුණය වඩවා ගැනීමටත් සකුරා නැරඹීමේ චාරිත්‍රය පවත්වති. ගං ඉවුරු දිගේ සකුරා මල්වලින් විසිතුරු වී ඇති දර්ශනයී ස්ථාන ‍තෝරාගෙන නෑ හිත මිතුරන්, පෙම්වතුන්, පවුලේ සාමාජිකයින්, අඹු සැමියන් ආදීහු මල් ගස් වටා රැස් වී කතා බහ කරමින් ප්‍රීතිවෙමින් දවස ගත කරමින් මිත්‍රත්වය පවත්වා ගනිති.

මේ සොඳුරු වසන්තය විසිතුරු කරන බක් මාසය යි. පැහැදිලි නිල්වන් අහස් තලය... සුළඟට ලෙළ දෙන ළා දලු... රුක් අත්තන, ඉද්ද, දෑ සමන්, වතු සුද්ද මලින් පිරි මනස්කාන්ත රුක් ගොමු...

මේ අසිරිය නෙතු ගැටෙන විට මම සිහි කැඳවෙන්නේ ජපන් රටට ආසිරි ගෙනෙන ‘සකුරා මල් සමය’ යි.

මා ජපානයට ගියේ සීතල දුරුත්ත නිමාවේ දී යි. ඒ දවස්වල ෂින්.. ෂින්... සිහින් හඬින් වැටී තිබුණු හිමපොද ගුලිවී ගන වී තැන තැන ඉතිරි වී තිබුණා. ක්‍රමයෙන් සීත කාලය නික්ම ගොස් දේශගුණය සෞම්‍ය වන විට ජපානයේ චෙරි මල් පිපෙන්න පටන් ගන්නවා. බක් මහේදි එක රොත්තට පිපුණා ම සකුරා මල් ඈතට දිස්වන්නෙ අහසේ පාවෙන වලාකුළු වගෙයි. ගං ඉවුරු දිගේ පිහිටි චෙරි ගස් යට වාඩි වී කමින්, බොමින්, නටමින්, වයමින්, ගයමින් ජපන් ජාතිකයින් චෙරිමල් නරඹන අයුරු මා දුටුවා. ඒ ගැන විමසා බලනවිට මට දැන ගන්නට ලැබුණු රසවත් හා අර්ථවත් ආදර්ශවත් තොරතුරු බිඳක් සටහන යි මේ.

ජපානය ලස්සන රටක්. ‘හිරු නැගෙන රට’ කියන්නෙත් ජපානයට නේ. වසන්තයේ උදාවත් සමඟ ම දුරුතු මාසෙ මැද දී ‘සකුරා මල් සමය’ ආරම්භ වෙනවා. එය නිමා වන්නෙ බක් මහේ අග දී යි. එරටේ සුන්දර ම මාසෙ තමයි අප්‍රියෙල්.

ගං ඉවුරු දිගේ සරුවට වැඩුණු චෙරි ගස්වල අතු මලින් බර වෙනවා. ඒ අතරින් පූජි (FUJI) කන්ද දිස්වෙන විට සිතට දැනෙන්නෙ අප්‍රමාණ සතුටක්. කන්දෙන් එහා අහස් තලය දීප්තිමත් නිල් පාට යි. ජපන් ජාතිකයින් මේ කාල සීමාව හඳුන්වන්නෙ ‘මනස්කාන්ත සමය’ කියා.

චෙරි මල්වලට ජපන් බසින් කියන්නෙ ‘සකුරා’ කියා. සකු (SAKU) කියන්නේ ‘පිපෙනවා’ නමැති ක්‍රියාවට යි. ඉතින් කවුරුත් මේ මල හඳුන්වන්නෙ ‘සකුරා නමැති මල’ (SAKURA NO HANA) කියා.

මේ ‘මනස්කාන්ත සමය’ ඉතා අර්ථවත්ව ගෙවීමට ජපන් ජාතිකයින් පුරුදු වී සිටිනවා. කුඩා දරු දැරියන්ගෙ මුල්ම පාසල් ගමන පටන් ගැනෙන්නෙත් රැකියා සඳහා ආයතනවලට අලුතින් සේවකයන් බඳවා ගන්නෙත් අප්‍රියෙල් මාසෙදි යි. එකල පැවැත්වෙන ආදර්ශවත් වූ ද සංස්කෘතිකමය වටිනාකමක් ඇත්තාවූ ද ප්‍රීති සම්භාෂණයකි ‘සකුරා නැරඹීම’ නොහොත් ‘හන මි’ (HANAMI) නමැති උත්සවය.

වසර පුරා ම කාර්ය බහුල ජීවිත ගත කරනා ජපන් ජාතිකයෝ නෑ මිතුරු සබඳතා වර්ධනය කර ගැනීමටත් සුහදශීලී ගුණය වඩවා ගැනීමටත් සකුරා නැරඹීමේ චාරිත්‍රය පවත්වති. ගං ඉවුරු දිගේ සකුරා මල්වලින් විසිතුරු වී ඇති දර්ශනයී ස්ථාන ‍තෝරාගෙන නෑ හිත මිතුරන්, පෙම්වතුන්, පවුලේ සාමාජිකයින්, අඹු සැමියන් ආදීහු මල් ගස් වටා රැස් වී කතා බහ කරමින් ප්‍රීති වෙමින් දවස ගත කරමින් මිත්‍රත්වය පවත්වා ගනිති. ජපන් ජාතිකයින්ගේ පාරිශුද්ධ භාවයත් නිර්භීත භාවයත් සකුරා මලින් ප්‍රදර්ශනය වෙතැයි ඔවුන් තුළ විශ්වාසයක් පවතී.

‘හනමි’ නොහොත් ‘සකුරා නැරඹීම’ චාරිත්‍රයට දිගු ඉතිහාසයක් තිබේ. ‘හෙයියන්’ (HEIAN (794-1191) සමයේ ‘උමෙ’ (UME) නමැති මල් නැරඹීම චීනයේ චාරිත්‍රයක් වී තිබේ. මෙම චාරිත්‍රය යි ජපන් රටට පැමිණ ඇත්තේ. මුලින් ම මෙම සිරිත රජ පවුල්වලට පමණක් සීමා වී තිබුණත් පසුව සමාජයේ විවිධ ජන ‍කොටස් අතර ව්‍යාප්ත වී තිබේ.

එකල කවීන්, ගායකයින්, ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින් අදීන් එක් රැස් වී කා බී විනෝද වුණු බව සැල වේ.

‘එදෝ’ [EDO (1603-1867) සමයේ දී සාමාන්‍ය වැසියා අතර ද මේ සිරිත ජනප්‍රිය වී තිබේ. මේ නිසා රට තුළ චෙරි ගස් වැවීමට රජය මඟින් ජනයා උනන්දු කරවූ බව පැවසේ.

‘මෙයිජි’ [MEIJI (1868-1912) සමයේ මෙම චාරිත්‍රය අන්‍යොන්‍ය මිත්‍රත්වය අලුත් කර ගැනීම සඳහා යොදා ගත්හ. වර්තමාන පරම්පරාව මහත් ගෞරවනීයත්වයෙන් පැරන්නේ සිට පැවත එන මේ වටිනා සිරිත පවත්වා ගෙන යනු පෙනේ.

ජපන් චාරිත්‍ර බොහෝ විට බුදු දහම හා බැඳී පවතී. පෙති විදහා පිපී, සුන්දරත්වයේ උපරිමය දක්වා පැමිණ ක්ෂණිකව පර වී පොළොව මත පතිත වන සකුරා මල ඇති වී නැති වී යන ජීවිතය හා සමකර සිතීමට ඔවුන් පුරුදු වී ඇත්තේ එබැවිනි. ඒ බව මෙනෙහි කරමින් ගං ඉවුරු දිගේ ඇවිදීමෙන් ඔවුහු ගතට නව ජීවයක් ලබා ගනිති.

යහපත් අනාගතයකට ආශිර්වාදයක් ලෙස ද ආදරයේ සංකේතය ලෙස ද සැලකෙන සකුරා මල ජපන් කලාව ද සුපෝෂණය කරන බව ඇඳුම්, ලිපි ද්‍රව්‍ය, පිඟන් බඩු ආදියෙහි යොදා ඇති සකුරා මල් මෝස්තරවලින් පෙනී යයි.

සකුරා නොහොත් චෙරි ගස්වල පත්‍ර හොඳ රසකාරකයක් ලෙස ද යොදා ගන්නා බව සැල වේ.

ජපන් ජාතිකයන්ට අතීතයේ හිරෝෂිමා බෝම්බ සිද්ධිය, ගිනි කඳු පිපිරීම්, ත්සුනමි ව්‍යසන ආදී බිහිසුණු ඛේදවාචකයන්ට මුහුණ දෙමින් ‘සකුරා මල් පිපුණු ජය මාවතකට පිවිසෙන්නට ඉඩ ලැබුණේ ඔවුන්ගේ ජීවිතය වෙළාගෙන ඇති චර්යාධර්ම මුසු ජීවන රටාවයි.

යහපත් චර්යාධර්ම පිළිබඳව ඔවුන් කෙතරම් සැලකිලිමත් වන්නේදැයි කිවහොත් ජපන් භාෂාව අධ්‍යයනයේදී ‘අයිසත්සු’ (AISATSU) යනුවෙන් විශේෂ පාඩමක් මුලින් ම ඉගැන්වේ.

එහි දැක්වෙන ඔවුන් ගේ යහපත් චාරිත්‍ර ගැන දැන ගැනීමෙන් අපේ සමාජයට ද මහත් ආදර්ශයක් ගෙන දෙනු නොඅනුමාන ය.

 

Comments