
ප්‍රසංග වේදිකාවට එදා මෙදා තුර නැතුවම බැරි ගායන ශිල්පියෙකි ධනපාල උඩවත්ත.වසර පනස් දෙකක් පුරාවට ඔහුගේ හඬ,රුව නොමැති ප්‍රසංගයක් මෙරට පැවැත්වෙන්නේ නොමැති තරම්.ඒ තරමටම කාර්ය බහුල ගායකයෙක් තමයි ධනපාල උඩවත්ත.බයිලා ගායනයෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි මේ ප්‍රවීණ ගායකයාගේ වැඩිමහල් පුතු ගයාන් සංගීත් උඩවත්ත ද පියාගේ අඩිපාරේ ගමන් කරන තවත් තරුණ ගායකයෙක්, වගේම ශබ්ද පරිපාලන ශිල්පියෙක්. මොවුන් දෙදෙනාම කලාවේ කොතරම් කාර්ය බහුලවුවත් මෙවර සඳවට රන්තරු විශේෂාංගය හා එක්වූයේ සතුටෙන්.
• මොනවද මේ දවස්වල අලුත් තොරතුරු..
මේ දවස්වල අවුරුදු කාලය නිසා දිනපතාම වාගේ ප්‍රසංග වේදිකා සඳහා ආරාධනා ලැබෙනවා. කියන්න සතුටුයි කොච්චර අලුතෙන් ගායකයන් බිහිවුවත් මට ලැබෙන ආරාධනාවල අඩුවක් නෑ.
*මෑතකදී ඔබ ගායනාකළ අලුත් ගීතයක් ඇසුණේ නැත්තේ ඇයි..
පසුගිය දිනවල අලුතෙන් ගීතයක් කළා.'මං ඉතාලියේ තනිවුණා' ගීතය. එම ගීතයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි.එම ගීතයේ පද රචනය මගේ. සංගීතවත් කළේ පුතා ගයාන්. එම ගීතය මේ වනවිටත් ලක්ෂ ගණනක් යූ ටියුබ් හරහා රසවිඳ තිබෙනවා.
• ඔබේ පුතා ගයාන් ගායනයට, වාදනයට මෙන්ම සංගීතඥයෙක් ලෙසත් දැන් රසිකයන් අතර ජනප්‍රිය චරිතයක් වෙලා, ප්‍රවීණයෙක් ලෙස ඔහුගේ හැකියාව ගැන මොකද හිතෙන්නේ...
මගේ පුතා නිසා කියනවා නෙමෙයි ඔහු විවිධ දක්ෂතා රැසකින් හෙබි දරුවෙක්. ගායනය වගේම ශබ්ද පරිපාලනයටත් ඔහු දක්ෂයි. එයාගේ පරපුරේ සිටින අනෙක් තරුණ ශිල්පීන් සියලු දෙනාම දක්ෂයන්. නමුත් එක දෙයක් කියන්න ඕන කලාවේ රැඳී සිටින්න නම් තමන්ගේ කියා නිර්මාණ කළ යුතුයි.මම එම කාරණය මගේ පුතාටත් නිතරම කියනවා. ඇතැම් නවකයන් මම ඉන්න තැනම මගේ ගීත ගායනා කරනවා.ඒ අයට කියන්න තියෙන්නේ කලාෙව් දීර්ඝ කාලීනව රැඳී සිටින්න ඕනෑ නම් තමන්ට කියා නිර්මාණ කළ යුතුයි. අපි එහෙම ස්ථාවර වු නිසා තමයි වසර පණස් දෙකක් පුරා අදටත් එක රෑට ප්‍රසංග තුන හතර ලැබෙන්නේ.
• ඔබේ පුතා ඔබේ ගීත ගායනාකරනවට ඔබ කැමැතියිද...
මගේ ගීත පුතා ගායනා කරන්නේ නැතිව කාට දෙන්නද? අනිවාර්යයෙන්ම ඔහු මගේ ගීත ගයන්න ඕනෑ. නමුත් හැම වෙලේම මම පුතාටත් කියන්නෙ කලාවේ රැඳෙන්න නම් තමන්ට ආවේනික දෙයක් කරන්න කියා.
• අපි අසා ඇති පරිදි ඔබට ඔබගේ ආදරණීය බිරිඳව හමුවන්නෙත් ප්‍රසංගයකදි..
ඒක හරිම රසවත් සිද්ධියක්. ඇය ශිරෝමි දමයන්ති ද සිල්වා. ගම අම්බලන්ගොඩ, බටපොළ. එහි පැවැත්වුණු සංගීතයකට ගිය අවස්ථාවක මම වේදිකාව අසල සිටිනවිට ගැහැණු ළමයෛක් ඇවිත් කිව්වා ඈ නීල වරල පීරලා ගීතය ගයන්න කියා. මම එම ගීතය ගායනාකළා. පසුව අපි දෙදෙනා හිතවත්වී ලියුම් ගනුදෙනු කළා කාලයක්ම. පසුව මිතුරුකම ආදරයකට පෙරළී විවාහය දක්වා ආවා. ඉන් ලැබුණු දිනුම් දෙක තමයි ලොකු පුතා ගයාන් සංගීත් උඩවත්ත සහ පොඩි පුතා සමීන් උඩවත්ත.
• ඔබ ගීත ගායනයට ප්‍රවිශ්ඨ වී දශක පහක් ගතවුණා. මතකයිද ඒ අතීතය..
මගේ ගම මොරටුව එගොඩ උයන. පාසල් ගියේ එගොඩඋයන ශ්‍රි සුනන්දෝපනන්ද විද්‍යාලයට. පාසල් කාලයේදි රුක්මණී දේවිය සහ ඉන්ද්‍රානි විජේබණ්ඩාර වැනි ගායිකාවන්ගේ ගීත ගායනා කළා. පසුව තරුණ වයසට එනවිට ගායකයන්ගේ ගීත ගායනාකරන්න පටන් ගත්තා. ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ බයිලා ගායකයෙක් ලෙස තේරුණේ අසූ අට දෙනකු අතරින් ප්‍රථම ස්ථානය ලබමින්.එහි විනිශ්චයට හිටියේ රුක්මණී දේවිය,සී. ටී ප්‍රනාන්දු සහ රූපසිංහ මාස්ටර්. මුල් කාලයේ බයිලා ගායන ශිල්පීන් සමග කරට කර ගීත ගායනා කළා. පසුව මට හිතුණා මගේම කියා ගීතයක් ගායනා කරන්න ඕනෑ කියා. ඒ අදහස තමයි 1968-70 කාලයේ මුල්ම සංගීත තැටිය බිහිවෙන්නේ. එහි තිබූ ගීතයක් තමයි සමන් චන්ද්‍රනාත් වීරසිංහ විසින් ලියන ලද ලාල් තේනබදු සංගීතවත් කළ 'කියයි මිහිරි කතා- නිතර රසට ගොතා' ගීතය. වසර පනහක් ගතවීත් එම ගීතය අදත් රසිකයන් අතර ජනප්‍රියයි.
• ඉන් පසුව ගැයු ගීත විශාල ජනප්‍රියත්වයක් ලැබුවා නේද..
ඔව්. 1970දී ගායනාකළ ඈ නීල වරල පීරලා ගීතය. 1980දි ගායනාකළ 'මා ආදරණීය මගේ අම්මා වෙතටයි'ගීතය මුල්ම රණවිරු ගීතය. එහි එන ඔබේ බාල පුතත් හමුදාවට බාර කරන්න කියන පද පේළිය අහල මෙරට යුද්දයට දරුවෙක් නොයවපු අම්මෙක් නැති තරම්. එහෙම ගීතයක් ගායනා කළා කියා කිසිම රජයකින් මාව ඇගයීමට ලක්කර නැහැ. පසුව අරන්තලා සටන, හසලක ගාමිණී ආදි ලෝකයේ සිදුවු විශේෂ සිද්ධි සෑම එකක්ම වාගේ ගීතයට නගා ගායනාකළා.
• මෙරට ආන්දෝලනාත්මක සිද්ධි ගීතයට නගා ගායනාකරන විට විවිධ බලපෑම්වලට මුහුණ දෙන්න සිදුවු අවස්ථා තිබෙනවාද..
අපෝ එවැනි සිදුවීම් බොහොමයි. වරක් රටේ භීෂණය තිබූ කාලය. මට ලැබුණු ආරාධනයකට ගියා ප්‍රසංගයකට. මගේ අවස්ථාව ලැබෙනතුරු පැත්තකට වී සිටින විට තරුණයෙක් මගේ ළඟට ඇවිත් අන්න ඔයාට සහෝදරයෙක් එන්න කියනවා කීවා. මමත් බයෙන් ගැහි ගැහි එතනට ගියා. එවිට ඔවුන් කියනවා මා ආදරණීය මගේ අම්මා වෙතටයි ගීතය හැර අනෙක් ඕනෑම ගීතයක් ගායනා කරන්න කියා. මමත් ඉතින් බයට එම ගීතය ගායනා කළේ නෑ. තවත් අවස්ථාවක ලෙබනන් වලදි . එහි තිබෙනවා පුංචි යාපනය කියා ප්‍රදේශයක් එහිදී මා ස්ටේජ්එක උඩ සින්දු කියනකොට බෝතල් ප්‍රහාරයකට ලක්වුණා.
• ප්‍රසංග වේදිකාවට ඔබට මේ තරම්ම ඉල්ලුමක් ඇයි...
මම වයසට ගියාට මට තවම ජවය තියෙනවා. දිනපතාම වාගේ ප්‍රසංග තුනකට පමණ සහභාගි වෙනවා. රටවල් විසි ගණනකට සහභාගි වී තිබෙනවා ප්‍රසංග සඳහා.
තාත්තා කැමැති මම රැකියාවක් කරන ගමන් කලාවේ නියැළෙනවට
ගයාන් උඩවත්ත
පින්තාරු දෙව්ලියක වී ඔයා
මුළු හිතම සුවඳින් මත්කළා
මං දැකපු සිහිනයේ ඉඟිකෙරූ රූ ඔයා
සොඳුරී මගේ හිමි වුණා...
• ගයාන්ගේ පින්තාරු දෙව්ලිය ගීතය රසිකයන්ට අහන්න අවස්ථාව ලැබෙන්නෙ කවදා විතරද...
ජුනි මාසයේදි මේ ගීතය රසිකයන්ට රසවිඳීමට හැකියි. මෙහි පද රචනය වසුන්දරා හෙට්ටිආරච්චි,තනුව රුසිරු රූපසිංහ, සංගීතය සහ ගායනය මගේ.
• ගායනයට අමතරව ශබ්ද පරිපාලනයටත් ඔබ දක්ෂයි..
ඔව්. මගේ පාසල මොරටුව වේල්ස් කුමර විදුහල. සා.පෙළ දක්වා සංගීතය හැදෑරුවා. පසුව උසස් පෙළ කළේ වානිජ අංශයෙන්. ශබ්ද පරිපාලනය ගැන උපාධියක් කළා.ඒ වගේම සංගීතය විශාරද විභාගය දක්වා හැදෑරුවා.දැනටජිප්සීස් සංගීත කණ්ඩායමේ ශබ්ද පරිපාලන ශිල්පියා ලෙස වැඩ කරනවා. එයට අමතරව මමත් ගයාන් ගුණවර්ධනත් එක්වී ප්ලස් මයිනස් සංගීත කණ්ඩායම පවත්වාගෙන යනවා.
• ඔබේ පියා ධනපාල උඩවත්ත කැමතියිද ඔබ කලාවට සම්බන්ධවීම ගැන...
තාත්තා මටත් මල්ලිටත් පොඩි කාලෙ සිටම දුන් උපදේශයක් තමයි කලාව කළාට කමක් නැහැ රැකියාවක් කරන ගමන්. එහෙම නැතිව පූර්ණකාලීනව කලාව තෝරගන්න එපා කියා. මල්ලි ඒ උපදේශය පිළිපදිමින් රැකියාවක් කරනවා. මමත් කලක් බැංකුවකත්, තරුණසේවා සභාවේත් රැකියාවක් කළා. එහෙත් මට රැකියාවකට සිරවී කලාව කිරීම අමාරු නිසා පූර්ණ කාලීනව කලාවේ නිරත වෙන්න රැකියාවෙන් ඉවත්වුණා.
• ගයාන් පියා ගයන ගීතවලින් වඩාත් සිත්ගත් ගීත තිබෙනවාද...
තාත්තා ගයන හැම ගීතයකටම කැමැතියි. 'ඔය සිනා මුහුණ හැඩ හින්දා'කියන ගීතයට තමයි වඩාත් කැමැති. ඇතැම් අවස්ථාවලදි ප්‍රසංගවලට සහභාගිවු විට රසිකයන් මගෙන් ඉල්ලන්නේ තාත්තගෙ ගීත. මම කැමැති මටම ආවේණික ශෛලියක් ගොඩනගාගැනීමට. එම අවස්ථාවලදි මට ආවේණික ශෛලියකින් තාත්තාගෙ ගීත ගායනා කරනවා.
• ඔබේ පියා ගායන ශිල්පියකුවීම ඔබට කලාවේ රැඳී සිටීමට පහසුවුණාද...
තාත්තා ගායකයකු වීම නිසා කලාවේ රැඳී සිටීමට පහසු වුණා.රසිකයන් බලන් ඉන්නෙ අපි මොනවද කරන්නේ කියා. ඒ නිසා අපි වැනි කලාකරුවන්ගේ දරුවන්ට දෙමවුපියන්ගේ නම රැකගෙන කලාවේ රැදී සිටීමේ අභියෝගයකුත් තියෙනවා.
• කලාලොවේ කවුද ගයාන් ඇසුරු කරන්නේ..
නුවන් ගුණවර්ධනගේ පුතා ගයාන් ගුණවර්ධන. අප දෙදෙනාටම කලාවේ නව වෙනසක් කිරීමට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.අපේ ප්ලස් මයිනස් සංගීත කණ්ඩායමත් සමග පසුගිය දිනවලදී ගීතයක් කළා. එය ළඟදීම රසිකයන්ට අසන්නට ලැබෙයි. සනුක, නදිමාල්,කාවින්ද්‍යා,රඛිත වැනි අය මගේ හොඳ මිතුරන්.අපි හැමෝගෙම අදහස් සමානයි. අපි හැමදෙනාටම කලාවේ හොඳ දෙයක් කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා.