කෙළි-සැණකෙළි සහ නැකත් කෙළි | සිළුමිණ

කෙළි-සැණකෙළි සහ නැකත් කෙළි

අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ නායකයා සූර්යයා ය. විශ්වයේ පියා හැටියට ද සැලකෙන සූර්යයා පිළිබඳ වැදගත් අවස්ථාවක් නිමිති කරගෙන දොළොස් මසකට වරක් යෙදෙන මහෝත්සවය සූර්ය මංගල්‍යය නම් වේ.

ලෝ වැස්සන් විසින් යම් යම් කරුණු අරබයා පවත්වනු ලබන උත්සව පුරාණයේ හැඳන්වුනේ 'කෙළි' නමිනි. උත්සව (කෙළි) දෙවර්ගයකි. එනම් නැකැත් කෙළි හා සැණකෙළි නම් විය. ලෝ වැස්සන්ට වැදගත් වූ කරුණක් පිළිබඳ සුබ නැකැත් යොදාගෙන ඒ අනුව කරනු ලබන උත්සව නැකැත් කෙළි ගණයට ගැනේ.

දඹදිව පැවැති නොයෙක් සැණකෙළි පිළිබඳව ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ. රසමසවුළු කමින් මත්වතුර බොමින් රිසි නන් වෙස් ගනිමින් නැටුම් ගැයුම් කරමින් කරනු ලබන්නේ සැණකෙළියයි. අප විසින් පවත්වනු ලබන සූර්ය මංගල්‍යය කිසිසේත් සැණකෙළියක් නොවේ. නැකැත් කෙළියකි.

සිංහල අවුරුද්ද නම් වූ නැකැත් කෙළිය පිළිබඳ දින වකවානු නැකැත් ආදිය මාධ්‍ය මඟින් අනාවරණය කර ඇත. අපට ඇත්තේ ඒ නැකැත් වේලාවන් අනුව නිවැරදිව අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමය.

මනා සංයමයකින්, මනා සූදානමකින්, වත් පිළිවෙත් පිළිපදිමින් නැකැත් කෙළි පැවැත්විය යුතුය. එහෙත් අද බොහෝ දෙනා අවුරුදු නැකැතේ වත් පිළිවෙත් හරිහැටි පිළිපදින හැටි නොදනිති. කාර්ය බහුල ලෝකයක සිටින ජනතාවට අවුරුදු චාරිත්‍ර විධි අමතක වීස ස්වාභාවිකය. අප ජනතාවට දොස් නගනවා නොවේ. තමන් එම වත් පිළිවෙත් නොදන්නවා නම් දන්නා කෙනෙකුගෙන් අසා හෝ ඒවා නිවැරදිව ඉටු කළ යුතු ය.

සූර්ය මංගල්‍යයේ වැදගත්ම නැකැත් චාරිත්‍ර කොටස වන්නේ නොනගත කාලය ගතකිරීම, සුබ නැකතට ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, අලෙවිකිරීම් වැඩ ඇල්ලීම යන කරුණු ය. අවුරුදු උත්සවය ගැන මහ උනන්දුවක් තිබුණත් වැදගත් අවුරුදු චාරිත්‍ර ගැන උනන්දුවක් සැලකිල්ලක් නොදැක්වීම අප විසින් අපට ම කරගන්නා විනයක් බව ඔබට සිහිපත් කළ යුතුය.

ගෙවී යන වසරේ ඉතාම අශුභ කාලපරාසය වන අවසාන පැය කීපය (පැය 6ක්) නොනගත වේලාවයි. ඒ කාලය තුළ ‍අපේ කටයුතු සියල්ල නවතා ආගමික වතාවත්වල යෙදීම ඉතා හොඳ බව ජ්‍යෝතිෂ මතයයි. නොනවත්වා වැඩ කරන යන්ත්‍රයකට වුවද යම් විවේකයක් දිය යුතුය. නොනගත වේලාවේ අපේ ගතට හා හිතට එබඳු විවේකයක් ලබා දිය යුතුය.

අපේ වැදගත් චාරිත්‍ර විධියක් නම් තම නිවෙසට පැමිණෙන නෑ නොනෑ සියලු දෙනාම සුහදව පිළිගෙන හැකි උපරිම ආකාරයෙන් සංග්‍රහ කිරීමය. නොනගත වේලාවේ එම චාරිත්‍රය නවත්වා ඇති බැවින් අන්‍ය නිවාසවලට යාමෙන් වැළකී සිටීමට කවුරුනුත් ඉටා ගැනීම ඉතා වැදගත්ය. ‍නොනගත කාලයේ අන් නිවෙසකට යාම එම නිවෙසින් සංග්‍රහ ලැබීඹ එම නිවෙසේ අය විසින් සංග්‍රහ කිරීම යන මේ කවර කරුණක් වුවද අවුරුදු චාරිත්‍ර වරද්දා ගැනීමකි. එබැවින් වැඩිහිටියන් නොනගත වේලාවේ නිවෙසින් පිටතට යෑමෙන් වැළකී සිටිය යුතුය. ඒ චාරිත්‍ර විධි නොදන්නා කරුණ දූ පුතුන් ළමයින් යන අයට ද වැඩිහිටියන් උපදෙස් දිය යුතුය. ඇතැම් මාපියවරු, විශේෂයෙන් පියවරු, නොනගතය වේලාව තමනට ඉතා හොඳ කාල පරාසයක් සේ සිතිණි. කුමක් සඳහා ද ගෙදරින් බැහැරව සිටීමටය. ඔවුන් නිවෙසින් බැහැරව ගත කරන්නේ කොහිද? පාපමිත්‍රයන් ඇති තැනක් හොර සුරා තිප්පොළක් සූදු පිටියක් සමාජ ශාලාවක් වැනි තැනකය. ආහාරපාන ගැනීමෙන් වැළකී සිටිය යුතු වේලාවේ ඒ පියවරු මතුවතුර බොති. කටගැස්ම (බයිට්) කති. දුම්වැටි මත්කුඩු උරති.

මේ කරුණුවලින් පෙන්නුම් කරන්නේ ඇතැම් පියවරුන් අවුරුදු නැකැත් චාරිත්‍ර වරද්දා ගන්නා බවය. පවුල්වල තරුණ පුත්තු ද අවුරුදු චාරිත්‍ර කඩ කරති. ඒ අශුභ වේලාවේ ඔවුන් නිවෙසින් බැහැරව යහළුවන්ගේ නිවෙස්වලය. වැඩිහිටියන් සිහිබුද්ධියෙන් යුක්තව සිටී නම් දරුවනට හොඳ නරක කියා දෙන්නට හැකිය.

ගෙදර ප්‍රධානියා වූ පියාත් දරුවනුත් නොනගත වේලාවේ ගෙදරම රැඳී සිටි‍තොත් ළිප ගිනි දැල්වීම ආහාර පිසීම මවට ම නොපවරා ඒ කටයුතුවලට උදව් දී පහසුකම් සැලසිය හැකිවේ.

යම් යම් අතවශ්‍ය සේවාවන්හි නියුක්ත අයට අලුත් අවුරුද්දට ගෙදරදී ආහාර අනුභවයට ඉඩ ‍නොසැලසේ. ගෙදර සිටින සියලු දෙනාම ආහාර අනුභව කරන නැකැතට ගෙදර සිටිය යුතුය. අපේ ගම්බද අවුරුදු කෑම මේසයේ චාරිත්‍ර ඉටු කෙරුණු සැටි අපට මතක ඇත. කෑම මේසය සූදානම් කර නැකැත් වේලාවට කවුරුත් එතැනට ළං වෙති. කාගේත් පිඟන්වලට කිරිබත් ඇතුළු ආහාර වර්ග බෙදන ලදී. නැකැත් වේලාවට පළමුවෙන්ම ආහාර අනුභව කෙළේ ගෙදර ප්‍රධානියාය. ඉන්පසු ඔහුගේ පිඟානෙන්ම බත් කටක් කවන ලදී.

ඉන්පසු ගෙදර ප්‍රධානියා විසින් කාටත් ආහාර පිඟන් පිළිගන්වන ලදී. කවුරුත් ඉතා සතුටින් ආහාර අනුභව කළහ. ඉන් පසුව සිදු වූයේ ගනුදෙනු කිරීමය. 'අත අලෙවි කිරීම' නමින් ද එම චාරිත්‍රය හැඳින්විණි. අපේ ගෙදර එම චාරිත්‍රය ඉටු වූ සැටි මතකය. ආහාර අනුභවයෙන් පසු අපේ පියා මුදල් නෝට්ටුවක් හා කාසියක් බුලත් කොළයක ඔතා අම්මාගේ අතට දුන්නේය. අම්මා තාත්තාගේ දෙපා නැමද ඉන්පසුව ඒ තුටු පඬුර පිළීගත්තාය.

දරුවන් වූ අප හැමදෙනාටම තාත්තා තුටු පඬුරු පිළිගැන්වීය. අම්මා කළ සැටියෙන්ම අපිත් තාත්තාගෙන් තුටු පඬුරු පිළිගතිමු. තාත්තා කාගේත් අත අලෙවි කිරීම කළ නමුත් ඔහුගේ අත අලෙවි කිරීමක් නොවීය. අම්මා ඇය ළඟ තිබී නෝට්ටුවක් හා කාසියක් ගෙන බුලත් කොළයක ඔතා මහත් භක්තියෙන් තාත්තාට දී නැවතත් තාත්තාට වැන්දාය. තාත්තා මවගේ අතින් ඒ තුටු පඬුර පිළිගත්තේ මසුරන් පොදියක් අතට පත්වූ තරම් සතුටිනි.

ආහාර අනුභවය හා ගනුදෙනු කිරීමෙන් පසුව "ගේ අලෙවි කිරීමේ චාරිත්‍රය" යෙදේ. අලුත් අවුරුද්දේ තම පවුලට ඉත සිතින් ආශිර්වාද කරන සත්පුරුෂ කෙනෙකුට අලුත් අවුරුද්දේ මුල් වරට තම නිවෙසින් සංග්‍රහ කොට ඔහුගේ අතින් තුටු පඬුරක් ලබා ගැනීම මේ චාරිත්‍රයේ අරමුණයි. අප කල් ඇතිව ආරාධනා කර තිබුණත් ආරාධිත අමුත්තා අප නිවෙසට එන්නේ තම නිවෙසේ අවුරුදු චාරිත්‍ර විධි ඉටු කිරීමෙන් පසුවය. ඒ සඳහා නැකැත් වේලාවක් නැත. තම නිවෙසේ චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු ඔහු ආරාධිත නිවෙසට ගොස් එය ඉටු කරනු ඇත.

Comments