මගියෙකු සේ වෙස්වළා ගෙන සිටි රජතුමාට ගෙවිලියගේ උපදෙස් මාලාවෙන් පසු ප්‍රතිජනනාත්මක සිතිවිලි ගලාගෙන එන්ට වූයේය. රජවාසලට වහා පැමිණි රජතුමා මෙම උපදෙස් පරිදි සේනා සංවිධානය කළේය. සමගි සම්පන්නව හා බල සම්පන්නව සටනට පිවිසුණු රජතුමා යුද්ධයෙන් ජයග්‍රහණය කළේ ඕලන්ද බළකොටු සමතලා කරමිනි. රජතුමා මෙයින් උද්දාමයට පත්වූයේ ය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රට හා ජාතියටත් සම්මා සම්බුද්ධ ශාසනයටත් අතිවිශිෂ්ට සේවාවක් කළ නරපතියෙකි. සියම් දේශයෙන් උපාලි ස්වාමින් වහන්සේ උපසම්පදා විනයකර්ම කරවා සම්බුද්ධ ශාසනය චිරස්ථායි කළේය. වැලිවිට සරණංකර හිමිපාණන් වහන්සේ උපසම්පදා කරවා ගෙන සංඝ රාජ තනතුරට ද පත්කොට එතැන් සිට සිරිලක බුදු සසුන බැබළ වූයේත් එතුමා ය.
පෘතුගීසීන් ලංකාවේ හැම තැනම කුළු බඩු එකතු කරමින් හා විශාල වශයෙන් රටේ සම්පත් විනාශ කරන විට රජතුමා ලන්දේසීන්ගේ සහාය පැතීය. ඔවුහු ද පහතරට බලය සම්පූර්ණයෙන් ම අල්ලා ගෙන පාලනය කළහ. පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහාය ගැනීම ඉඟුරු දී මිරිස් ගත්තා වැනි යැයි කීවේ ඒ නිසාය. අනතුරුව රජු අල්ලා ගැනීමට ලන්දේසීන් පැමිණීමත් සමඟ එතුමා හඟුරන්කෙත රජ වාසලට වැඩම කළහ.
හඟුරන්කෙත වැඩ වාසය කරන කාලයේ දිනක් වෙස්වළාගෙන රජතුමා තොරතුරු සොයන කැමැත්තෙන් ඇතුළු නුවරට ගියේය. තැන් තැන්වල ආරක්ෂා සංවිධාන තරයේ ශක්තිමත්ය. රජුට ඉතාම සතුටුයි. ඒ නිසා ආපසු හැරී රජවාසලට එමින් සිටියේය. ඒත් මොන ඒමක්ද? මගියාට හරිම බඩගිනියි. දොර වහල තිබුණු ගෙදරකට තට්ටු කළේය. දොර පියන ඇරුණි. මැහැලි කාන්තාවක් එළියට ආවාය.
ළඟට ගිය මගී වෙස් ගත් රජතුමා අම්මේ! මට හරිම බඩගිනියි. කෑමට මොනවා හරි දෙන්නයි ඉල්ලා සිටියේය. “පුතේ ඔහොම ඉඳගනින්. ඉක්මනට කිරිබත් ටිකක් හදලා ගෙන එන්නම්.” ඇය මුළුතැන් ගෙට ගියාය. මොහොතින් තැටියක දමාගෙන ආ කිරිබත මගියාට පිළිගැන්වූවාය. උණු කිරිබත් කන්ට ගොස් රජු අමාරුවේ වැටුණේය. තැටියට එබු එබු හැම පැත්තෙන් ම කිරිබතින් රජුගේ අත පිච්චුණේය. කටට ගත් විගස කටද පිළිස්සුණේ ය.
රජු කිරිබත් කන්ට ගොස් අත කට පුච්චා ගන්නා අයුරු මහලු ගෙවිලිය බලා සිටියාය. “පුතේ උඹේ කිරිබත් කෑමත් හරියට අපේ රාසිං දෙයියන් ගේ යුද්ධ කිරීම වගේ යැයි කියමින් උපහාසාත්මකව සිනා සුනාය.
“පුෙත් උණු කිරිබත් කන්ටත් ක්‍රමයක් තියෙනවා. එක කිරිබත් ගුලියක් ගෙන තැටිය වටේ තියපන්. ඊළඟ ගුලිය ඊළඟට තියපන්. මෙසේ වටේට කිරිබත් ගුලි තියාගෙන පලයන්. ඊට පසුව නිමිල තියෙන පළමු ගුලියේ පටන් කාගෙන පලයන්. ඒ විදියට කෑවාම පුතේ උඹට පිච්චෙන්නේ නැතිව බඩ පිරෙනකන් කිරිබත් ටික ගිලදමන්ට පුළුවන්” යැයි කීවාය.
ගෙවිලියගේ උපදෙස් පරිදි කිරිබතින් බඩකට පුරවා ගත් රජු ‘මගේ කිරිබත් කෑමත් රාසිං දෙවියන්ගේ යුද්ධ කිරීමත් එක වගේ වන්නේ කෙසේදැයි?’ ඇසීය.
“පුතේ! අපේ රාසිං දෙවියන් සෙනඟ ටිකක් එකතු කර ගෙන ලන්දේසි සේනාව ළඟට ගොස් සටන් කරල පැරදිලා එනවා. ආයෙත් කුඩා භට පිරිසක් අරගෙන යනවා. පරදිනවා. ආයෙත් යනවා. පරදිනවා. එනවා. උඹ උණු කිරිබත් කෑවා වගේ තමයි. උඹ උණු කිරිබතට ඇඟිල්ල තියනවා. ආපහු ගන්නවා. ආයෙ තියනවා. ආයෙ ගන්නවා. අත කට පුච්ච ගන්නවා විතරයි. එහෙම නොවෙයි පුතේ රජ්ජුරුවන්ට තියෙන්නේ මම කිරිබත් ගුලි පිඟාන වටේට තියන්ට කීවා සේ හැම පැත්තෙන් ම බළකොටු සංවිධානය කරන එකයි. පසුව නිවුණ බත්ගුලි එක හුස්මට ගිලදමා ගෙන ගියා සේ එක එක ස්ථානවල බැඳගත් ලන්දේසි කඳවුරු විනාශ කර දමන එකයි.”
මගියෙකු සේ වෙස්වලා ගෙන සිටි රජතුමාට ගෙවිලියගේ උපදෙස් මාලාවෙන් පසු ප්‍රතිජනනාත්මක සිතිවිලි ගලාගෙන එන්ට වූයේය. රජවාසලට වහා පැමිණි රජතුමා මෙම උපදෙස් පරිදි සේනා සංවිධානය කළේය. සමගි සම්පන්නව හා බල සම්පන්නව සටනට පිවිසුණු රජතුමා යුද්ධයෙන් ජයග්‍රහණය කළේ ඕලන්ද බළකොටු සමතලා කරමිනි.
රජතුමා මෙයින් උද්දාමයට පත්වූයේ ය. යුද්ධය ජයග්‍රහණය සඳහා තමාට මූලික උපදෙස් දුන් ගෙවිලිය වහාම රජවාසලට කැඳවා ගෙන එන ලෙස රාජ භටයින් පිටත් කළේය.
රජවාසලට පැමිණි ඇය සිංහාසනාරූඪ වූ රජුන් ඉදිරියේ භයින් තැති ගත්තා ය. ඔබගේ ගෙදරට පැමිණි දුගී මගියාට උණු කිරිබතක් සංග්‍රහ කිරීම මතක දැයි විමසීය. “ඒ මගියා මම වෙමියි” කියන විට ම ඇය දිගා වී අවසර බුදු වන්ට මට සමාවන සේක්වායි වෙව්ලන්ට වූවාය.
“තමා ඊට බය නොවන්න. මට එදා දුන් උපදේශය අනුව මම සටන් කළා. යුද්ධයෙන් ජයග්‍රහණය කළා. මගේ ප්‍රණාමය ඔබට පුද කරමි” රජු සතුටු කඳුළු වැගුරුවා ය.
මේ ගෙවිලිය සම්පූර්ණ ස්ත්‍රී ආභරණ වලින් සරසා මහා පෙරහරකින් ගමට පිටත් කළේය. තෑගි භෝග, ගම්වර හා රාජ සම්මාන ද පිරිනැමූ රජතුමා ඉහළ ම රාජ ගෞරව දැක්වීය.