
මිහිමඩලේ චමත්කාරය, සොබාදම් රුවැත්තියගේ පින්සල් තුඩගින් රත්පැහැයෙන් සිතුවම් කෙරෙනා අපූර්වතම කාලය එළඹ තිබේ. රත් එරබදු යායක සුන්දරත්වය කැටිවුණු අපූරු පරිසරය ගී හඩින් රස ගන්වමින් නැගෙන කෝකිල නාදය, සොබාදහම වෙත ගෙනෙන්නේ සොඳුරුතම පණිවිඩයකි.
“එළඹ ඇත්තේ භාග්‍යවතුන්ගේ මාසයයි. සිංහල මාස ක්‍රමයට “බක්“ මස හෙවත් භාග්‍යවත් මාසය නමින් හැඳින්වෙන බක් මාසය ගස් වැල් ඵල බර වූ, කෙත්වතු සරු සාර වූ, සශ්‍රීකත්වයෙන්, ඉසුරෙන් පිරුණු මාසයකි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙමින් ඇරඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පුරාම සොබාදහම අප වෙත ලබා දෙන චමත්කාරය ජීවිතයට නව ජීවයක් ගෙන දෙයි.
ලොව ශ්‍රේෂ්ඨතම ඉතිහාසයක් සහිත අභිමානවත් සංස්කෘතියකින් සුසැදි ශ්‍රී ලාංකීය සමාජය, සංස්කෘතික හරපද්ධතීන් හා සබැදි ප්‍රෞඩ උරුමයන් හා පිවිතුරු බව සුරුකි සමාජයකි. ඒ සමාජය තුළ බැඳුණු සංස්කෘතිය සමගින් ඉදිරියට ගමන් කරන සිංහල අලුත් අවුරුද්ද සඳහා ජන සමාජයෙන් හිමිව ඇත්තේ සුවිශේෂී වටිනාකමකි. ඒ වටිනාකම තුළ සොබාදහම සමගින් අප සැම ගොඩනගාගෙන ඇති බැඳීම වෙනත් කිසිවක් හා සමකළ නොහැකිය. සත්‍යවශයෙන් කියනවානම් සොබාදහමෙන් තොර පැවැත්මක් පිළිබඳව සිතන්නටවත් අප වෙත අවකාශයක් නැත. එවන් පරිසරයක ජීවිතය පුරාම සොබාදහමේ නිමාවන් දයාවෙන් විඳින්නට අප වෙත අවකාශ සැලසී ඇති අතර, ගහට, කොළට, මලට, ගඳ දියට ආදරය කරන්නටත්, එහි සුන්දරත්වය විඳින්නටත් අප වෙත ලැබී ඇත්තේ සුවිශාල භාග්‍යයකි. සොබාදහම මෙලෙසින් අප ජීවිතවලට ඉතාම සොඳුරු ලෙස සම්බන්ධව වන අපූරුතම කාල වකවානුව ලෙස බක් මාසය හැඳින්වීම ඉතාම නිවැරදිය. බක් මාසය තුළ සොබාදහම අපට විඳින්නට සලසවන්නේ සුවිශේෂී අත්දැකීම් සමුදායකි. බක් මස එළඹුම ගැන පණිවිඩය අප වෙත ගෙනෙන්නේ කෝකිල නාදයයි. පරිසරය රත් පැහැ එරබදු මලින් පිරී යන අතර, එහි සුවඳ හා සුන්දරත්වය සිත් සතන් වෙත ගෙනෙන්නේ පුදුමාකාර මිහිරකි. ගස්වැල් ඵල බරව, කෙත්වතු සරු සාරව, අස්වනු නෙලනා අපූරු අලුත් සහල් මංගල්ලයට සැරසෙන්නේ ද මේ අපූරු බක් මාසයේ උදාවත් සමගය.
අතීතයේ දී අපේ සංස්කෘතික ක්‍රමවේදය තුළ අපටම ආවේණික වූ ගොවිතැන් රටාව මගින් නිරෝගිමත් ජනතාවක් බිහි කරනා සුපැහැදිලි සුපෝෂිත පිළිවෙතක් ගොඩනැගී තිබුණි. සංස්කෘතිය මගින් නිර්මාණය වුණු විවිධ ක්ෂේත්‍ර අතර ඇඳුම් පැලඳුම්, සිරිත් විරිත්, ආකල්ප, සිතුම් පැතුම්, අභිචාර හා කලා ශිල්ප වැනි අංගයන්ගේ එකතුවක් තිබූ නමුත් වර්තමාන ජීවන රටාව තුළ අප ස්පර්ශ කරන්නේ ද අපට ස්පර්ශ කළ හැක්කේ ද එක්තරා සීමා සහිත කොටසක් පමණි. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රය තුළද එදා ශ්‍රී ලාංකික ජනතාව භුක්ති විඳි අලුත් අවුරුදු රටාවන් වර්තමාන සමාජය තුළ දකින්නට නොලැබෙයි. නවීකරණය වුණු සමාජයක හාත්පස දකින්නට ලැබෙන්නේ තාක්ෂණයේ බල මහිමයන් වන අතර, සැබෑ සිංහල අලුත් අවුරුද්දක් දකින්නට ලැබෙන්නේ අතිශය ග්‍රාමීය පරිසරයක් තුළදී පමණි. ගම අමතක කළ සිංහල අවුරුද්දක් පිළිබඳව අසන්නට නොලැබෙන්නේ එහෙයිනි. එදා අතීතයේ ගම ගෙදරක නව අවුරුදු උදාවට පෙර විවිධ ආහාර, රසකැවිලි, පිළියෙල වන මුළුතැන්ගෙයි මුං කැවුම්, අතිරස, අග්ගලා, පැණි කැවුම්, අළුවා, ආස්මි, කොකිස්, පැණි වළලු, ආදී රසවත් කැවිලිවල සුවඳ ගමින් ගමට එකලෙසින් පැතිරිනි. නගරයේ සුපිරි ආහාර රටාවන්ට අභියෝග කරමින් එදා පිළියෙළ වුණු රසවත් කැවිලි බොහොමයක් නිර්මාණය වූයේ සොබාදහමේ දායාදයන් සමගය. උදාහරණයක් ලෙස ගතහොත් ආස්මි පිළියෙළ කිරීමට ගහකොල ඇසුරින් පිළියෙළ කරගන්නා දවුල් කුරුඳු ශාකයේ සාරය හඳුවන්නට පුළුවන. කොන්ඩ කැවුම් වැනි කැවුම් පිළියෙල කිරීමට ගන්නා කිතුල් පැණි, සහල් පිටි, පොල් තෙල් මේ සියල්ල සොබා දහම අපට තිළිණ කරන ලද දායාදය. කොණ්්ඩ කැවුම් සැදීමේ දී කොන්ඩය සැදීමට භාවිතා කරන ඉරටුව පවා පොල් ගසෙන් ලබා ගැනීම සිදුවිණි. කෙතෙන් ලබා ගන්නා අලුත් සහලින් නැවුම් මැටි මුට්ටියක කිරිබත ඉදෙද්දී ගෙවත්තෙන් ලබා ගන්නා කෙසෙල් ගෙඩියක රස බලනන්ට ද අවකාශ ලැබුණි. වර්තමානයේ නව අවුරුදු වෙනුවෙන් කැවිලි ලබා ගන්නේ සුපිරි වෙළඳ සැලකින් හෝ නිවසේ පිළියෙල කරනවානම් කැවුම් අච්චුවක ආධාරයෙනි. පවුලේ සියලු දෙනා වෙත ගෘහනිය අතින් හැඩ කරමින් මැසූ ඇඳුම් පැලඳුම් අද නගරයේ සාප්පු සංකීර්ණයකට ගොස් සුළු මොහොතක් තුළදී ඉතා පහසුවෙන් මිලට ගත හැක. මේ සියල්ල නවීකරණය වුණු සමාජයක දකින්නට ඇතත්, එදා සිංහල අලුත් අවුරුද්ද සමරද්දී ගැමියා අත් විඳි සොබාදහමේ අසිරිය සුන්දරත්වය එකසේ විඳගන්නට වත්මන් පරපුරට අවකාශ නැත.
සියලු චාරිත්‍ර වාරිත්‍ර අභාවයට ගියද අද වන විටත් ඉතිරිව ඇති අවුරුදු චාරිත්‍ර ඉදිරියට ගෙනයාම අප සැමගේ යුතුකම හා වගකීමය. නව හිරු උදාව ඇරඹි තැන් පටන් නැකත් චාරිත්‍රානුකූලව කටයුතු සිදු කෙරෙන අතර සොබාදහමට අනුකූලව නැකත් නැති අවස්ථාව වන නොනගත කාලයේ දී පුන්‍ය කටයුතුවල යෙදීම සිංහල සිරිතය. නැකතට වැඩ ඇල්ලීම සිදු වන්නේ ළිඳ සමග ගනුදෙනු කිරීමෙනි. ජලය සොබාදහමේ සම්පතකි. බොහෝ ගම ගෙවල් තුළ සිදු කළ ගෙබිම ගොම මැටියෙන් පිරියම් කිරීම වර්තමානයේ කලාතුරකින් සිදු වුවද එදා ගෙබිම පිරියම් කරනු ලැබූවේ නිවසේ ඇති කළ ගවයාගේ ගොම යොදා ගනිමිනි. පරිසරයෙන් ලබා ගත් සම්පත් අලුත් අවුරුද්දේ සෑම කටයුත්තකදීම අත්‍යාවශ්‍ය අංගයන් විය. විශේෂයෙන්ම දෙමාපිය වැඩිහිටියන් ගුරු දෙගුරුන් , නෑදෑයින් නමදින්නට භාවිතා කරනා බුලත් හුරුල්ලට නව වසර තුළ ප්‍රමුඛත්වයක් හිමිව ඇත. හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ දී ශාක ඹෟෂධ භාවිතා කරන අතර, වසර පුරාම නිරෝගී සුවය ලබා දීම මෙමගින් අපේක්ෂා කෙරේ. අවුරුදු සිරිතට අනුව ලිප ගිණි මෙළවීම සිදු වන්නේ ද නිවසේ මුළුතැන්ගෙය තුළ දර ආධාර කරගනිමිනි. වර්තමානයේ මේ සඳහා විදුලිය හෝ ගෑස් යොදා ගැනීම සිදු කළ ද මේ සියලු කාරණා සැලකීමේ දී පෙනී යන්නේ සොබාදහමෙන් තොර වූ සිංහල අලුත් අවුරුද්දක් සැමරිය නොහැකි බවකි. සුනු පිරියම් කළ නිවෙස් වෙනුවට නව වර්ණාලේපයෙන් හැඩකළ නිවෙස් පිරිසිදු කරමින්, ඒ සඳහා නවීණ ගෘහ භාණ්ඩ එක් කර ගනිමින් නිවෙස් කළ එළි වන මේ කාලය නෑගම් යන්නටත්, හිතමිත්‍රාදීන් හමුවන්නටත්, සියලු තරහා අමනාපකම් අමතක කරන්නටත් සුදුසු කාලයයි.
එකමුතුකමේ, සහයෝගයේ අගය විදහා දැක්වෙන අපූරු ජන ක්‍රීඩා රැසක් නව අවුරුදු උදාව සමග අපට අත්විඳින්නට හැකියාව ඇත. මේවර කෙළිය, ඔංචිලි වාරම්, ලිස්සන ගස, කොට්ටා පොරය, කවඩි සෙල්ලම, ලී කෙළිය, මට්ට කෙළිය, වළකජු ගැසීම, වැනි ක්‍රීඩා අදත් එදා වගේම ජනප්‍රිය ක්‍රීඩාවන්ය. මෙම ක්‍රීඩා අපේ සංස්කෘතික උරුමයන් බවට පත්ව ඇති අතර, එය පොදු ජන සාමූහිකත්වය, ඔවුන්ගේ විශ්වාසය, සමාජ රටාව පදනම් කරගෙන උත්පාදනය වූවකි. එමෙන්ම විනෝදය, බුද්ධිය පදනම් කරගත් ක්‍රීඩාවන් වන පංච කෙළිය, දොළහෙ කෙළිය, ඔළිඳ කෙළිය, චතුරංග කෙළිය, දාම් ඇදීම, වැනි ක්‍රීඩා ද අද දකින්නට ලැබෙන්නේ සංකේතාත්මකවය. මේ අතර දෙවියන් මූලික කරගත් ජනක්‍රීඩාවන් ද තිබූ අතර, ආගමික සිරිත් විරිත් පදනම් කරගත් ක්‍රීඩාවන් ද තිබුණි. අං කෙළිය, පොර පොල් ගැසීම, මල්ලව පොර, හා ඌරා ළිඳේ අංගම් කෙටීම වැනි ක්‍රීඩා මේ අතරට ගැනෙයි. සිංහල අලුත් අවුරුද්දේ අප අත්විඳින මේ අපූර්වත්වය ඉදිරි අනාගත පරපුරටත් එකසේ දායාද කළ යුතු වන අතර එය අපේ සංස්කෘතියේ හා සදාචාරත්වයේ කැඩපත වනු ඇත. විශේෂයෙන්ම එකම මොහොතක එකම නැකත් චාරිත්‍රයක් අනුව ලිප ගිණි මෙලවීමේ පටන් සියලු චාරිත්‍ර සැමරෙන අලුත් අවුරුද්ද ලක්වාසීන් වෙත රුගෙන එන්නේ සෞභාග්‍යයේ පණිවිඩයකි.
සොබාදහම මේ සියල්ල එකට කැටි කොට අප ජීවිත ශක්තිමත් කරද්දී, ජීවිතය නැවුම් බවට පත් කරද්දී අප සැම විටම නැවුම් විය යුතුය. යහපැවැත්මත්, ගුණගරුක බවත්, වැඩි වර්ධනය කරගනිමින් සමගිය, සමාදානය ඇතිකරගත යුතුය. එවිට සොබාදහමේ ආශීර්වාදය නව අවුරුදු පැතුම් සමග එක්වෙමින් යහපත් රටක අභිමානවත් පුරවැසියන් වීමේ අවකාශය අප වෙත උදාකරනු ඇත.
කඩුවෙල සමූහ