දුහුල් මලක් සමඟ විරාමය යළි පැමිණ ඇත | Page 6 | සිළුමිණ

දුහුල් මලක් සමඟ විරාමය යළි පැමිණ ඇත

මාධ්‍යවේදියකු හා බැංකුකරුවකු යනු හාත්පසින්ම වෙනස් වූ ක්ෂේත්‍ර දෙකක නියෝජිතයන් බව අපි දනිමු. එහෙත් ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක මේ කෙත් දෙකෙහිම වපුරන්නෙකි. ‘වැලිකතරින් හමු වූ ගැහැනියක්’ නවකතාවෙන් මීට වසර හතළිස් හයකට පෙර සිය ලේඛන දිවිය ආරම්භ කළ ඔහුගේ නවතම කෘති දෙක වන්නේ ‘විරාමය යළි පැමිණ ඇත’ මැයෙන් වූ කතා හතක් රැගත් කෙටි කතා සංග්‍රහය සහ ‘දුහුල් මලක් උණෙ ඇයි නුඹ මට’ නවකතාවය.

ඔහුගේ කෙටි කතා සංග්‍රහයේ පසු වදනේ සඳහන් වන ආකාරයට ‘අද දවසේ මේ මොහොතේ ඔබ අප මුහුණ දෙන ආර්ථික ජීවන අරගලය හා සමාජ ඛේදවාචක යථාර්ථයේ පැතිකඩක හැඩතල විවරණයක් මෙහි එන කතා හතෙහි අන්තර්ගතය. අප අවට මිනිසාගේ විවිධ විසම ලිංගික ආශා, නිරාශා, ඇවිටිලි, රැවටිලි, පැටලිලි, සටකපට මිනිස් නොමිනිස්කම් සමඟ දෛවයේ සරදම්ද ගුඪ ගුප්ත අඳුරු මනෝභාවයන්ද දැකීමට හා කියවීමට කතුවරයා මෙමඟින් ආරාධනා කරයි’ යනුවෙන්ද එහි සටහන් වේ. පළමුවැනි කතාවේ සිට අවධානය යොමු කළ හොත් කතුවරයා ඒ වෙනුවෙන් යම් ප්‍රයත්නයක යෙදෙන බවද දැකිය හැකිය.

‘සෙනසුරු මාරුව’ නම් වූ පළමුවැනි කෙටි කතාවේ දයාසේන වත්තුහේවා වසර තිස් පහක් රාජ්‍ය සේවයේ නියැලුණද දරුවන් තිදෙනාගේ අවශ්‍යතා මැනවින් ඉටු කිරීමට තරම් ආර්ථික ශක්තියක් නැත්තෙකි. ඇතැම්විට ඒ ඔහු වෘත්තීය සමිති නායයකයකු ද වූ නිසා විය හැකිය. දරුවන්ද වැඩි සාර්ථකත්වයක් අධ්‍යාපනය ආදියෙන් නොදැක්වූ නිසා ජ්‍යෝතිෂ්‍ය කරුණු මත තමන්ගේත් දරුවන්ගේත් දෛවය නිරීක්ෂණය කරන්නට ඔහු පෙලඹෙයි. බිරිය පුවත්පත්වල ඇති ජ්‍යෝතිෂ කරුණුවලට වඩා රූපවාහිනියේ සජීවීව දක්නට ලැබෙන ජ්‍යොතිෂකරුවන් කෙරෙහි විශ්වාසය තබයි. එය අද පවතින සමාජ යථාර්ථය පිළිබඳ යම් හෙළිදරව්වක් කිරීමට ආචාර්ය ජයතිලක ගන්නා උත්සාහයක් ලෙස පෙනේ. ඒ අතර ඔහු රූපවාහිනී නාළිකා පිළිබඳ විවේචනයකද යෙදේ.

“මොනව බලන්නද. මට ප්‍රවෘත්ති බැලිල්ල එපා වුණේ දැන්වීම් තොගේ නිසා. ටෙලි නාට්‍ය පෙන්නන්න බැරුව ගිය හේතුව ඔයා දන්නවානේ. දැන් තියෙන්නේ දැන්වීම් වැඩසටහන් ඇතුළේ ඉඳහිටලා නාට්‍ය කෑලි පෙන්නන එකනේ. ඉඳහිට දකින කෑලි වුණත් ජරාවනේ...”

“කෝකටත් සතියේ මැද හරි සෙනසුරාදා හරි ටීවී එකේ යන කේන්දර වැඩසටහනක් බලන්නකො. මට හොඳටම විශ්වාසයි පත්තරේට ලියන අයට වඩා හොඳයි කියලා.”

විශේෂයෙන් සෙනසුරු මාරුව පිළිබඳ සමාජයේ පවතින අනියත බිය, ඒ බිය ඇති කිරිමෙන් ජ්‍යොතිෂකරුවන් හා පූජා පවත්වන්නන් ලබන අයුතු වාසි සහ ඒවාට අවිචාරාත්මක ලෙස ගොදුරුවන මිනිසුන් පිළිබඳ රසිකයාගේ විචාරාත්මක අවධානය දැඩිව යොමු කිරීම රචකයාගේ අපේක්ෂා අතර වන බව පැහැදිලිය. ඒ අතර රූපවාහිනී නාළිකාවල ජ්‍යෝතිෂවේදීන් තම ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම සඳහා යොදන කූට උපක්‍රම හෙළි කිරීමකද ඔහු නියැලෙයි. ජ්‍යොතීර්විද්‍යාව පිළිබඳ විරෝධයක් නැතත් බොරු කාරයින් මට්ටු කිරීමට සමාජය ගත යතුයැයි කතුවරයා අපේක්ෂා කරන පිළියම දයාසේන ලවා ඉටු කර ගැනීමට එම කෙටි කතාවෙන් පියවර ගෙන තිබේ.

‘විරාමය යළි පැමිණ ඇත’ කෙටිකතාව වැන්දඹු විශ්‍රාමිකයකු මුහුණ දෙන ආර්ථික සමාජ ගැටලු මෙන්ම කායික අවශ්‍යතා සපුරා ගැනීමේදී මුහුණපාන්නට සිදුවන අසරණබව පිළිබඳ විවරණයක් වැන්න. මුළු ජීවිත කාලයම පවුල් සංස්ථාව වෙනුවෙන් සහ සේවය වෙනුවෙන් කැප කොට අවසානයේ අවලංගු කාසි බවට පත්වන ඇතැම් විශ්‍රාමිකයන් ජීවිතය විඳින්නට දරන අසාර්ථක වෑයම මෙන්ම පවතින සමාජයේ ආර්ථික දුෂ්කරතා ජයගැනීමට උත්සාහ දරන ඇතැම් ගැමි තරුණියන් තම පවුල්වලට හොරෙන් නගරයේදී මුදලට තම ආත්මය පාවාදෙන ආකාරය පිළිබඳ වෙනස් අත්දැකීමක් ලෙස කතාව ගොඩනැඟී යයි.

“ප්ලීස් සර්, පොඩ්ඩක් ඉන්න මං වොෂ් එකක් ගන්නවා. විනාඩියෙන් එනවා. දන්න කස්ටමර්කෙනෙක් ඇවිත් දැනුයි ගියේ.”

නාන කාමරේ ඇතුළේ සිටි තරුණිය දොර මඳක් විවර කරමින් කීවාය. අමුතු ජවයක් සිතට ගෙන ආරි සැදී පැහැදී සිටියේ අලුත් අත්දැකීමකට නොබියව මුහුණ දීමටය...නැවත දොර මඳක් ඇරගත් තරුණිය කතා කළාය...

“සර් අදමද මෙහාට ආවේ”

“ඔව් ඇයි එහෙම ඇහුවේ”

“නෑ මට නිකං හිතුණා. සර් ඔතන තියෙන රැක් එකේ ගලවපු ඇඳුම් දාන්න පුළුවන්”

ආරි කමිසයේ උඩ බොත්තම් ගලවනවාත් සමඟම නාන කාමරයේ දොර විවර විය. ඉන් පිටතට ආවේ බාත් ටවල් එකකින් සිරුර බාගෙට වසාගත් සුරූපී තරුණියක් බව ආරි නොදුටුවේ එක්වරම ඔළුව උස්සා බලන්නට ඔහු තුළ වූ ලැජ්ජාව නිසාය. ඔහු හිස ඔසවා බැලුවේය.

“තා...ත්...තා”

පාපමිත්‍ර සේවනය නිසා තම දරුවන් ඉදිරියේ මව්පියන්ද, මව්පියන් ඉදිරියේ දරුවන්ද නූතන ඊඩිපස්හි චරිත බවට පත්වන ආකාරය ‘විරාමය යළි පැමිණ ඇත’ කෙටි කතාවේ මෙන්ම ‘ඉන්ටනෙට් විමෝචනය’ මඟින් ද හෙළි කිරීමට කතුවරයා වෑයම් කොට ඇත. නවීන තාක්ෂණයද විටෙක පාපමිත්‍රයකු බවට පත්වන අයුරු සහ එයින් සදාචාරාත්මක සීමා මැඩගෙන චිත්තාවේගයන්ට ගොදුරුවන පරම්පරා දෙකකට අයත් ගැහැනුන් සහ පිරිමින් පිළිබඳ ‘ඉන්ටනෙට් විමෝචනය’ කතා කරයි.

‘කසුන් පුංචි අම්මා දෙස බැලුවේ විමතියෙනි. ඈ කිසිදු අමුත්තක් නැතුව මොනිටරයේ පෙන්වන දේ බලා සිටියාය. කසුන් පුටුවෙන් නැඟිට පුංචි අම්මා ළඟින් සිට ගත්තේය. දෙදෙනාම තත්පර ගාණක් රූප රාමු දිහා බලා සිටියදී කසුන්ට ක්ෂණික වියරුවක් හැදුණේය. ඔහු පුංචිව බදා ගත්තේය...’

සිව් වැනිව ඇති ‘මහතුන් අම්මා දැක්කේය’ කතා සිරසින් ම කතාව හෙළි වීම රසිකයාගේ කුතුහලය හීන වී යෑමට හේතු වේ යැයි සිතේ. ගමෙන් පැන විත් යාචකයන් යොදවා මුදල් උපයන ව්‍යාපාරයේ ලොක්කකු බවට පත්වන මහතුන් සිය මව වෙනත් ලොක්කකු යටතේ වියපත් යාචක ගොන්නේ මුදල් සොයන්නියක ලෙස සිට තමන් ළඟට අහම්බෙන් එන අයරු විස්තර වෙයි. මෙතෙක් කතා සියල්ලේම පාහේ ඇත්තේ මෙවැනි අහඹු හමුවීම්ය. ‘අනතෝ ජටා බහි ජටා’, ‘එළියක් නැතුව ජීවිතේකුත් නෑ...’ ගොඩ නැඟෙන්නේද අහඹු සිදුවීම් මතමය. ‘කතා දෙකක් මැද කතාවක්’ ජන සන්නිවේදනය පිළිබඳ විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකුගේ දේශන කීපයක් පදනම් කරගෙන ගොඩ නැඟුණු කතාවකි. එය කථිත භාෂාවෙන්ම ලිවීම දේශනය පාඨකයාට වඩා සමීප කිරීමට කෙටිකතාකරුවා යෙදූ උපක්‍රමයක් වැනිය. එහෙත් කෙටිකතාවද යම් දුරකදී පාඩමක් බවට පත්වීම මෙරට පුවත්පත් කලාවේ ඉතිහාසය සහ රසමුසු තැන් පිළිබඳ අදහසක් ඇති පාඨක පිරිසකට අපූර්ව අත්දැකීමක් නොවීමට බොහෝ ඉඩ කඩ තිබේ. එසේම කථිකාචාර්යවරයා මඟින් පුවත්පත්වල වියරණ හා අක්ෂර වින්‍යාස දෝෂ පිළිබඳ විවෙචනය කරන ආචාර්ය ජයතිලකගේ කෙටිකතා සංග්‍රහයේ මෙන්ම නවකතාවේද භාෂා දෝෂ පිළිබඳ ඔහුගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එහි පූර්ණ වගකීම කතුවරයාට පමණක් නොව ප්‍රකාශකයා වෙතද පැවරී ඇති බව සඳහන් කළ යුතුය. ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතනවල වෘත්තීය සෝදුපත් පිරික්සන්නන් විසින් එම ආයතනය මඟින් මුද්‍රණය කරන සියලු පොත පතෙහි භාෂා දෝෂ නිවැරැදි කරනු ලබන බව කවුරුත් දන්නා කරුණකි. එය යහපත් මට්ටමින් සිදු නොවන්නේ කුමන හේතුවක් මතද යන්න මෙහිදී සියලු පොත් ප්‍රකාශකයන්ගේ අවධානයට යොමු වන්නේ නම් වඩාත් සුදුසුය.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ඉදිරිපත් කෙරුණු චාර්ල්ස් ඊ. මේ නමැති විචාරකයාගේ මතයට අනුව කෙටිකතාව නම් ශානරය හැකිතාක් විවෘතව තැබීම සුදුසු ය. එනිසා ආචාර්ය නිහාල් රංජිත්ගේ කෙටිකතා පිළිබඳ විවෘත මනසකින් බැලීම සුදුසුය. එහෙත් ඔහුගේ කෙටිකතා සාම්පදායික ලක්ෂණවලින් හෙබි බවද පැවසිය යුතුමය. එනම් කෙටි, කාටත් තේරුම්ගත හැකි මුල මැද අග කලණ වූ ගලායෑමක් සහ අවසානයක් සහිත යථාර්ථවාදී රීතියෙන් ලියැවුණු කෙටිකතා හතකි.

ඔහුගේ නව කතාවද ඊට වඩා වෙනස් රීතියක් අනුගමනය කරන්නේ යැයි කිව නොහැකිය. ‘දුහුල් මලක් උණෙ ඇයි නුඹ මට’ උත්තම පුරුෂයෙන් ලියැවුණු බැංකුකරුවකුගේ ආත්ම කථනයක් ලෙස හැඳින්වුවද වරදක් නැත. එහි පසුවදනේ ප්‍රියන්ත නම් වූ කතානායකයා පිළිබඳ මෙසේ හැඳින්වීමක් වෙයි. ‘ඔහු හැත්තෑව දසකයේ බුද්ධිමත් සමනලයෙකි. සරසවි බිමේදී පිපි මල් සෙව්වෙකි. පෙති නොරිදා රොන්සුනු ගත්තෙකි. වෘත්තිකයකු විලසද සමනල සිරිත අත් නොහැරියෙකි.’

ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක තමන්ගේත් සමකාලීනයන්ගේත් සරසවි අත්දැකිම් එකම කෝවක බහා තම නිර්මාණය පෝෂණය කර ගැනීමට අත්දැකීම් ළඟා කර ගත් බව නම් නිසැකය. විටෙක විරාගයේ අරවින්දගේ ලක්ෂණ පෙන්වන ප්‍රියන්ත තවත් විටෙක අතිශයින්ම සරාගී තරුණයෙකි. ඒ අන්ත දෙකෙහි ඔහු සැරිසරන්නේ ඔහුට ස්ව මනාපයක් ඇති නිසාය. තමන්ට උපකාර කරන සරසවි මිතුරා වන සුගත්ගේ පතිනිය වූ නිලූ සමඟ ප්‍රියන්ත ආලිංගනයේ යෙදෙන්නේ මිත්‍රද්‍රෝහියකු බවට පත්වීම නිසා නොවේ. එසේම අකමැත්තකින්ද නොවේ. ප්‍රියන්ත බලාපොරොත්තු වන කාන්තා රුව නිලූ සතුය. නිලූගේ අපේක්ෂා ඉටු කරන්නට ප්‍රියන්ත සමත්ය. ඔහු යථාර්ථය පැහැදිලිව හඳුනයි. එහෙත් කාලය ඔහුට අවකාශය තනයි.

‘නිලූ ඇවිත් හිටියේ නයිටිය පිටින්. මට පුදුම බයක් දැනෙන්න ගත්තේ...නිලූ එකපාරටම මගේ ඇඳේ දිගා වෙලා මං දිහා බලාගෙන ඉන්නවා. මගේ ඇඟ වෙව්ලන ගතියක් මට දැනුණා.

“හොරු අල්ලන්න දාපු මහලොකු වීරයා. බයේ වෙව්ලනවා...” එහෙම කියපු නිලූ එකපාරට ඇඳෙන් නැඟිටලා මාව ඇඳට ඇදලා ගත්තා. මං ඉක්මනට නැඟිට්ටා.

“පිස්සුද ඔයාට නිලූ. සුගත් දැනගත්තොත්. ඊට හපන් මැණිකා ඇහැරිලා ආවොත්. දූ ඇහැරිලා කෑගැහුවොත්. හොඳට හිටියි. ප්ලීස් නිලූ යන්න මට බෑ සුගත්ට ද්‍රෝහි වෙන්න.”

නිලූ ඒ පාර මගේ අතින් ඇදලා ගත්තේ බොහොම සියුමැලි විදිහට. ඈ නිදහසේ හැසිරෙන්න ගත්තා. මං බාධා කළේ නෑ... මේක හීනයක්ද. විදුලි පහන් එළියට ඈ මට පෙනුණේ වීනස් දෙව්දුව වගේ. සීමා බන්ධන කඩාගෙන යන තරමට හැඟීම් පිබිදෙන්න ගත්තා. ඇගේ සිහින් හඬ මට තදින් දැනුණා.

“මට තේරෙන්නේ නෑ ඇයි මට මෙහෙම වුණේ කියලා. සුගත්ට ද්‍රෝහි වෙනවා නෙවෙයි ප්‍රියා. සුගත්ට මං ආදරෙයි... මාත් ආසාවල් හැඟීම් තියෙන ගෑනියෙක්. මාව තේරුම්ගන්න.” (91-92 පිටු)

ආසියාතික බිරින්දෑවන් වෙසෙසින්ම හැත්තෑව දශකයේ අපේ කාන්තාවන් මුහුණ දුන්නා සේම අදටත් ඇතැම් සාම්ප්‍රදායික ගැහැනුන් විඳවන ගැටලුවක තතු ඔහු එයින් කියා පෑමට උත්සාහ කරයි. තමන්ට වසරක් වැඩිමල් ප්‍රියංකා, මාමාගේ සංකර දුව අනෝමා, නිලූගේ නංගි ගංගා මේ සියලු දෙනා ප්‍රියන්තගේ දෛවය තීරණය කිරීමට උරදුන් අය වෙති. එහෙත් ඔහු අවසානයේ අවනත වන්නේත් ගුරුහරුකම් ලබා ගන්නේත් සරසවි මිතුරු බන්දුගෙනි. සුජාතාගේ ආදරණීය ස්වාමි පුරුෂයා ලෙස පෙනී සිටියද නිලූගේ අතේ සිටි අලුත උපන් කිරිකැටි පුතා දකින විට ප්‍රියන්ත තිගැස්සේ. එහෙත් සතුටක් ද දැනේ. කළුත් නැති සුදුත් නැති චරිත ඔස්සේ එවක සමාජයේ සැඟවුණු ඉසව්වක් හෙළි කිරීමට කතුවරයා ගත් උත්සාහය අවසන් කරන්නේ ඉක්බිති සියල්ලෝ සතුටින් වාසය කළහ යන ආස්ථානයකට පාඨකයා රැගෙන යමිනි.

ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක නිදහස් මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කළ නිසා ඔහුගේ ශෛලිය යථාර්ථවාදී ස්වරූපය ඉස්මතු කරයි. එනම් වික්ටෝරියානු ලේඛන ශෛලිය හා මාධ්‍ය වාර්තාකරණය මුසු වූ ආඛ්‍යානයක ස්වරූපයයි. එය වාර්තාමය නාටකවල මුල් අවස්ථාව වැන්න. සැබෑ ලෝකය ප්‍රතිනිර්මාණය කරමින් කතාව කීම කෙටි කතා පොතේත් නව කතාවේත් පොදු ලක්ෂණය වන්නේ ඒ නිසාය.

එහි තම සිතිවිලිවලට මෙන්ම මිනිස් මනසේ හැඟීම් වෙනස්වන අයුරුත් ඒ හා අන්තර්ක්‍රියා කරන ආශාවන්, අපේක්ෂාවන්, පෙලඹවීම් මෙන්ම භීතිය හා වෙනස් වන හැඟීම් ප්‍රියන්ත ප්‍රමුඛ චරිතවලින් නිරූපණය වන්නේ යථාවාදි ලක්ෂණ තවත් තහවුරු කරමිනි. මීට පෙර ඔහු ලියූ ‘කඩියා’ කෙටි නවකතාවේ මෙන් ‘විරාමය යළි පැමිණ ඇත’ කෙටි කතා සංග්‍රහයේත් ‘දුහුල් මලක් උණෙ ඇයි නුඹ මට’ නවකතාවේත් කූටප්‍රාප්තියට එලඹෙන ආකාරය හා එහිදී චරිතවල හැසිරීම, වචන හැසිරවීම පිළිබඳ තවදුරටත් කතුවරයා අවධානය යොමු කළේ නම් එය වඩ වඩාත් රසවත්ව දනවන්නට හැකියාව තිබිණිදැයි සැකයක් මේ ග්‍රන්ථ දෙකම අප තුළ ඉතිරි කරයි.

Comments