
කුම්භයේ උපන් තැනැත්තෝ පිරුණු කළයක් සේ නිශ්චලය. ඉවසීම, නිශ්ශබ්දතාව, ආත්ම දමනය නොයෙක් දේ ගැන දැන ගැනීමේ ආශාව ඇත. මනුෂ්‍ය සිතිවිලි ගතිගුණ හොඳින් පිහිටා තිබේ. තමන් පමණක් නොව අන්‍යයන්ගේද දියුණුව දැකීමට කැමතිය.අන්‍ය අයිතිවාසිකම් ලබාදීමට ද උත්සුක වෙයි. දුප්පත් පීඩිත අය වෙනුවෙන් යමක් කිරීමට සිතයි.තෝරාගත් සීමිත මිතුරු පිරිසක් සිටියි.
හිතුණොත් දෝත පුරා දෙයි
නැතොත් දෙන්නේම නැත
නිහඬය නිසංසලය
එහෙත් පහරට පහර දෙයි
වතුර කළයක් අතින් ගත් පුරුෂයෙකුගේ විලාසය ඇති තාරකා සමූහකි.ප්‍රිය මුහුණක් ඇති මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් සහිත කාලවර්ණ හිසකේ ඇති කරුණාවන්ත ප්‍රිය උපදවන මුහුණක් ඇති රාශියකි.
කුම්භ රාශි චක්‍රයේ එකොළොස් වැන්නයි.පුරුෂ ලිංග,කෲර රාශියකි.විෂමය. මූල ස්වභාවයෙන් යුක්තය.තිර රාශියකි.වායෝ ධාතුය.දිවා කාලයේ බලවත්ය.ඔජ ගතියෙන් යුක්තය.පිඟුවන් පැහැ කළු වර්ණයෙන් යුතුය.
කුම්භයේ හිමිකරු ශනි වේ.එහි මුල් අංශක 20 ශනිට මූල ත්‍රිකෝණ බලය හිමිවේ.ඉතිරි අංශක 10 ස්වක්ෂේත්ර බලයෙන් යුක්තවෙයි.
ශනි ජන්ම සමයේ දී කුම්භයේ සිටියොත් ඔහුගේ මහ දශාවකදී විපත් නොපැමිණෙයි.පියා නිවසේ සිටියාක් මෙන් ආරක්ෂාව සපයයි.කුම්භයේ නවාංශක නවය ගණිනුයේ තුලා රාශියේ සිටය.පිළිවෙළින් තුලා,වෘෂ්චික,ධනු,මකර,කුම්භ,මීන,මේෂ, වෘෂභ,මිථුන දක්වා වෙයි.පළමු තෙර්කාණය කුම්භට හිමිය,දෙවැන්න මිථුනය.තෙවන තෙර්කාණය තුලාවට ය.කුම්භයේ පළමු කොටසේ උපන්නොත් රවි රාශි අර්ධ හෝරාව ද,දෙවන භාගයේ උපන්නොත් සඳු රාශි අර්ධ හෝරාව ද හිමිය.ශනිගේ මහ දශා කාලය වසර 19කි.ඔහුගේ පරම වෛරී ග්‍රහයා රවිය.රවි මිතුරු සඳු,කුජ,සමඟ ද ශනි වෛරීය.මේ හෙයින් කුම්භයට ඔවුන් අශුභ පල දෙයි.දෙවැන්න හා එකොළහ හිමි ගුරු ද ශුභයෙක් සේ ගණන් නොගැනේ. සිකුරු සුබපල ගෙන දෙන්නාය.
ලග්නය කුම්භ වී නවාංශක කුණ්ඩළිය ද එයම වුවොත් වර්ගෝත්ථම වෙයි.
කුම්භය තමාගේ හැටියට ලැබුණ දේ ආරක්ෂාකර ගන්නා ගති ඇත.දෙන්නට සිතුනු විට ප්‍රමාණය නොබලා බෙදුවද නොදෙන්නේ නම් කොහෙත්ම නොදෙයි.ලග්නාධිපති ශනිගේ ගතිගුණ ද මෙසේමය.
කුම්භයේ උපන් තැනැත්තන් පිරුණු කළයක් සේ නිශ්චලය. ඉවසීම,නිශ්ශබ්දතාව, ආත්ම දමනය නොයෙක් දේ ගැන දැන ගැනීමේ ආශාව ඇත.
මනුෂ්‍ය සිතිවිලි ගතිගුණ හොඳින් පිහිටා තිබේ.තමන් පමණක් නොව අන්‍යයන්ගේද දියුණුව දැකීමට කැමතිය.අන්‍ය අයිතිවාසිකම් ලබාදීමට ද උත්සුක වෙයි.දුප්පත් පීඩිත අය වෙනුවෙන් යමක් කිරීමට සිතයි.තෝරාගත් සීමිත මිතුරු පිරිසක් සිටියි.අත හැරිය යුතු අය කවුද ළංකරගත යුතු අය කවුද කියා තේරුම් ගෙන කටයුතු කරයි. කලක් ඇසුරු කළත් තමන්ට ගැලපෙන්නේ නැතැයි හැඟී ගියොත් අත්හැරීමට පසුබට වෙන්නේ ද නැත.
තමන්ට විරුද්ධව කතාකරන අය සමඟ අමනාප නොවේ.ඇහුම්කම් දීමේ ගතිය ඇත.කවුරු මොනදේ කිව්වත් තමා තීරණය කළ දේ හිතේ තබාගෙන කවදා හෝ එය ක්‍රියාත්මක කර ප්‍රතිඵල පෙන්වීමට සූදානම් වෙයි.තරහ ගියත් එසේම හිතේ තබාගෙන කටයුතු කිරීමට දක්ෂය.ගහන්න අවශ්‍ය යැයි සිතුනොත් කොයිතරම් කල් ගියත් ගහනවාමය.කවුද ගැහුවේ කියා සොයන්නට නොහැකිවන ලෙස එසේ කරයි.කුම්භ ලග්න හිමියන් තරහ කරගන්න එපා යැයි කීවේ මේ නිසාය.
ඉක්මන්කාර කම,කඩිසර කම මොවුන් පිළිනොගනී.සෙමින් අධිෂ්ඨානයෙන් හරියටම යමක් කරයි. ඉගෙනීම ද උඩින් පල්ලෙන් නොකරයි.ඉගෙන ගන්නා දේ අස්සක් මුල්ලක් නෑර සොයා සිතේ ධාරණය කර ගැනීමේ දක්ෂය.විශේෂයෙන් ජ්‍යොතිෂය,ගුප්ත විද්‍යාව,වෙදකම,තාරකා ශාස්ත්‍රය වැනි ශාස්ත්‍ර ඉගෙනීමට ආශාකරයි.ඒවායෙහි ඇති බොරු අදහස් අතහැරීමට ද බිය නොවේ.ශාස්ත්‍රයෙන් බඩ වඩා ගැනීම අප්‍රිය කරයි.මනුෂ්‍යයාගේ අභ්‍යන්තර සිතිවිලි ,ගති පැවැතුම් ආදිය සෙවීමට ආශාකරයි.ඕපදූප නොව මෙලොව ,පරලොව ජීවිතය,ආධ්‍යාත්මය,ආගම දර්ශනය ආදිය මෙසේ සොයන්නට කැමත්තක් දක්වයි.
තමන් විශ්වාසකරන ධර්මය පමණක් නොව අන්‍ය ආගම් පිළිබඳවද සෙවීමට කැමතිය.මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතය ද උසස්කර ගැනීමට ඒ පිළිබඳ අදහස් පිළිපැදීමට සූදානම් ය.අන්‍යයන්ට හිරිහැරක් කිරීම ප්‍රතික්ෂේප කරයි.නිස්කලංකව විවේකීව සිටීමට ප්‍රිය කරයි.අල්පේඡ්ඡ ගතියෙන් යුක්තය.නානා ඇඳුම් සුවඳ විලවුන් ආදී විච්චූරණ කටයුතු කිරීමට අකමැතිය.ඕනෑම ඇඳුමක් ඇඳ රජගෙදරට හෝ යයි.ආහාර ගැනීම ද එසේමය.රස මසවුළු නොසොයයි.ප්‍රියතාවයක් දක්වන්නේ ද නැත.බඩගිනි ඉසිලිය හැක.
වැඩකට ඉදිරිපත් වන්නේ කලාතුරකිනි. නමුත් වැඩක් බාර ගත්තොත් සර්ව සම්පූර්ණයෙන් කරයි.තමන්ගේ අතින් වියදම් කරගෙන හෝ කරන්නට පසුබට නොවේ.ඕනෑම දෙයක් කළ හැකිය.සභාවට යාම,සංගීත සංදර්ශන චිත්‍රපටි බැලීම ආදියට එතරම් ප්‍රිය නොවේ.බණ ඇසීමට බොහෝ කැමති වුවත් කාලීන බණට වඩා පරලොව,දර්ශනය ගැන කියන බණ ඇසීමට කැමැත්තක් දක්වයි.මෙලොව දියුණුව එතරම් නොසලකයි.
සමහර කුම්භ ලග්න කාරයින් කපටි අන්‍ය දියුණුව නොරිස්සන අයය. බල පුලුවන්කාරකම යොදවන එවලේම ආපිට හැරී පහරදෙන්නට නොහැකිනම් නූල් සූත්තරෙන් හරි පහර දීම මේ ලග්නකාරයින්ගේ අඩුපාඩු ලෙස දැකිය හැක.කොහොමත් තමන්ගේ දියුණුව ගැන ,ආහාරපාන ගැන,ඇඳුම පැළඳුම් ගැන දක්වන සැළකිල්ල අවමය.තම අසනීප පිළිබඳ සෙවීම ද අඩුය.
මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇති මසින් පිරුණු මුහුණු ඇති ස්වරූප ඇත්තේය.ආවේගශීලී නොවේ.
හෘදය රෝග,සමේ රෝග,ඇස් රෝග,මුඛ රෝග,සන්ධි ඉදිමුම්,වේදනා ආදියෙන් පීඩා විඳී.
කුම්භ රාශියේ ග්‍රහ පිහිටීම් අනුව මේ ගති සොබා වෙනස් විය හැක.රාශි අධිපති ශනි හෙවත් සෙනසුරු එහි පිහිටන අයුරු හා ඔහුගේ නෛසර්ගික බලය අනුව මෙහි බොහෝ වෙනස්කම් ඇතිවන බව සිහි තබා ගත යුතුය.
උදාහරණයක් ලෙස - ශනි උච්චව පිහිටීමෙන් නොබිය බව,අත් නොහැරීම,සසර අධිෂ්ඨානය ඇතිවෙයි.
ශනි නීච නම් කපටි,වංක,නූල් සූත්තරවල ඇති ඉහ වහා ගිය ගතිය,සියලුදේම කෙරෙහි සර්ව අශුභවාදී බව පිහිටීම දැකිය හැක.
මේ සියලු කාරණා අනෙකුත් ග්රහයින්ගේ පිහිටීම් දෙස හොඳින් බලා පලාපල කථනය කළ යුතුබව සිත තබා ගන්න.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න රාජ්‍ය සම්මානලාභී
මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී