
ජගත් ප්‍රවෘත්ති හා ගොසිප් වෙබ් අඩවි ශ්‍රී දේවිගේ මරණය පිළිබඳ විවිධ කථාන්තර පළ කළහ. මියගිය සිනමාවේදිනියගේ චරිතයට හා පවුලට හානිකර විය හැකි ආකාරයේ අනුමානයන් පළකිරිමෙන් වළකින ලෙසට ඉන්දීය රජයට හා ශ්‍රී දේවිගේ පවුලේ සාමාජිකයන්ට, ජනමාධ්‍යයන්ගෙන් ඉල්ලීමක් කිරීමට සිදුවිය. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනයා සුසුම් හෙළමින් ශ්‍රී දේවිගේ අවමඟුල් පෙරහර රූපවාහිනියෙන් නැරඹුහ.
සිනමාව යනු සෑම විටෙකම දේශපාලනික කලාවකි යනුවෙන් පැබ්ලෝ ලැරේන් නමැති ලතින් අමෙරිකානු සිනමාකරුවා වරෙක ප්‍රකාශ කර තිබේ. රොනල්ඩ් රේගන් වැනි බටහිර සිනමාව ජයගත් දැවැන්තයෝ පසුකාලීනව ලෝකයේ මහ බලවත් නායකයා බවට පත්වෙමින් ඓතිහාසික භූමිකාවන් නිරූපණය කර තිබේ. බටහිර ලෝකයටත් වඩා සිනමාව හා දේශපාලනය අතර ඉතා සමීප සබදතාවක් පවතින්නේ අප අසල්වැසි භාරත දේශයේය. භාරත සිනමාව අද වනවිට ලෝකය ජයගෙන තිබේ. එහි සිනමා තාරකාවෝ ඉන්දීය ජනසමාජය තුළ පමණක් නොව ගෝලීය ප්‍රජාව තුළද දිදුලති. ගෙවීගිය දින කිහිපය තුළ ලෝකයේ සියලුම මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් වුයේ භාරතයේ ප්‍රථම සුපිරි තාරකා නිලි ශ්‍රී දේවිගේ හදිසි අභාවයයි.
ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇයගේ මරණය හා ඊට සම්බන්ධ තොරතුරු පිළිබඳ විමසිලිමත් වන අය සිටියහ. රූපවාහිනි නාලිකා සජීව විකාශ සිදු කළහ. ජගත් ප්‍රවෘත්ති හා ගොසිප් වෙබ් අඩවි ශ්‍රී දේවිගේ මරණය පිළිබදව විවිධ කථාන්තර පළ කළහ. මියගිය සිනමාවේදිනියගේ චරිතයට හා පවුලට හානිකර විය හැකි ආකාරයේ අනුමානයන් පළකිරිමෙන් වළකින ලෙසට ඉන්දීය රජයට හා ශ්‍රී දේවිගේ පවුලේ සාමාජිකයන්ට, ජනමාධ්‍යයන්ගෙන් ඉල්ලීමක් කිරීමට සිදුවිය.
ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනයා සුසුම් හෙළමින් ශ්‍රී දේවිගේ අවමගුල් පෙරහැර රූපවාහිනියෙන් නැරඹුහ. මේ සියලු සාධක වලින් පිළිබිඹු වන්නේ භාරතයේ සිනමාව අත්කරගත් අති ප්‍රබල ස්ථානයයි. එවැනි දැවැන්ත කර්මාන්තයක් හා බැදී සිටින තරු දැවැන්තයන් වන්නේද නිතැතිනි. ඒ අතරින් ඇතමුන් සිනමාවෙන් ලද ජනප්‍රියත්වය දේශපාලන ලෝකයට පිවිසීමේ දොරටුවක් ලෙස යොදාගනිති. එන් ටී රාම් රාඕ, රාජේෂ් ඛන්නා, හේමා මාලනී, එම් ජී රාමචන්ද්‍රන්, සත්රුගන් සිං, ධර්මේන්ද්‍ර, ජයලලිතා, ගෝවින්ද, විනෝද් ඛන්නා, අමිතාබ් භච්චන් හා ජයා බහදුරී හා ජයප්‍රදා වැනි දැවැන්ත සිනමාවේදීහු දේශපාලන ලෝකයට අවතීර්ණ වු ප්‍රබල චරිත වෙති. මේ අතරින් අපට වඩාත් ආසන්න හා වඩාත්ම බලපෑම්කාරී තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය ඉතා ශක්තිමත් අයුරින් සිනමා ලෝකය හා බැදී පවතී. මේ දීර්ඝ පූර්විකාව තුළින් මෙවර විදෙස් සටහන යොමුවන්නේ තමිල්නාඩු දේශපාලනයේ සිදුවෙමින් පවතින දේශපාලනික පෙරළිය පිළිබඳ කෙටි විග්‍රහයක් සඳහාය.
ශ්‍රී දේවිගේ මරණය පිළිබද පුවතින් යටපත් වුවද ඉන්දියාවේ දේශපාලනික මට්ටමින් මැවුනු පුවත වුයේ දකුණු ඉන්දීය සිනමාවේ පතාක යෝධයෙකු වන කමල් හාසන් දේශපාලනයට පිවිසීමයි.
සැබැවින්ම ඔහු සිය දේශපාලනික අභිලාෂයන් කලකට පෙර සිටම ප්‍රකාශ කර තිබුනද වැදගත් වූයේ ඔහු ඉකුත්දා තම අලුත් දේශපාලන පක්ෂය දියත් කිරීමයි. එය “මක්කල් නීධි මායියම්“ හෙවත් ජනතා යුක්ති සම්මේලනය යනුවෙන් නම් කර තිබේ. තම පක්ෂය තවත් දේශපාලන පක්ෂයක්ය යන හැඟීම වැළැක්වීමට කමල් හාසන් උපක්‍රමශීලි වී තිබේ.
බොහෝ පක්ෂ මෙන් “කච්චි“ හෙවත් පක්ෂය යන වදන වෙනුවට “මායියම්“ හෙවත් සම්මේලනය යන වදන යොදාගැනීමෙන් වඩාත් පුළුල් දේශපාලනික විවෘත භාවයක් කරා යොමුවන බව ජනතාවට ඇඟවීමට කමල් හාසන් උනන්දු වන බවක් පෙන්නුම් කරයි.
පක්ෂයේ මංගල රැළිය පැවැත්වීමට ඔහු යොදාගත්තේ තමිල්නාඩුවේ අගනුවර වන චෙන්නයි නගරය නොව දමිළ දේශපාලනයේ හා තමිල්නාඩු ග්‍රාමීය-නාගරික සංකලනයක් සහිත මදුරෙයි නගරයයි. එමෙන්ම දේශපාලනික චරිත වෙත යොමු නොවී ශ්‍රේෂ්ඨ තමිල්නාඩු පුත්‍රයකු හා රටේ පිළිගත් ගෞරවනීය නිර්දේශපාලනික චරිතයක් වූ හිටපු ජනාධිපති දිවංගත ආචාර්ය අබ්දුල් කලාම් පදනම් කරගනිමින් ඔහුගේ නිවසට ගොස් බුහුමන් දක්වා දේශපාලනික ගමන ඇරඹීමට කමල් හාසන් උත්සුක වුයේ ඔහු වෙනස් මුහුණුවරකින් දේශපාලනයේ නිරත වන බවට ඉඟියක් ජනතාවට දෙමිනි.
පක්ෂය දියත් කළ පසුගිය සතියේ බදාදා දිනයේ මාධ්‍යවේදින් පිරිවරා එහෙමෙහෙ යමින් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් උපරිම ප්‍රචාරක වාසියක් අත්කරගැනීමට කමල් හාසන් උත්සාහ ගත් ආකාරය ලෝකය හමුවේ විද්‍යමාන විය. නව පක්ෂයේ දියත්වීම දැවැන්ත සංදර්ශනාත්මක අංග ලක්ෂණ පෙන්නුම් කළේ රිදී තිරයේ පමණක් නොව දේශපාලනික වේදිකාවේද තමා ඉතා හොද චරිතාංග රංගධරයෙකුය යන පණිවුඩය ප්‍රතිවාදින්ට ලබාදෙමිනි. එහෙත් කමල් එක් වැදගත්ම දෙයක් අතපසු කළේය. ඒ සිය පක්ෂයේ දර්ශනය හා භූමිකාව නිසි පරිදි පැහැදිලි කිරීමට පියවර නොගැනීමයි. ඒ වෙනුවට ඔහු කළේ තම පක්ෂයේ ඉදිරි ගමන් මග පිළිබඳව කෙටි අදහස් දැක්වීමක් පමණි. ඔහු වැඩි ඉඩක් වෙන් කළේ වත්මන් තමිල්නාඩු දේශපාලනයේ අර්බුද හා දුර්වලතා ගැන කතා කිරීමටයි. එහෙත් ඒ ගැටළු සඳහා තම විසඳුම් පවතින්නේද එසේත් නැත්නම් විසඳුම් සෙවීමට තම නව පක්ෂයේ සැකැස්ම තුළ ඉඩකඩ පැවතීමක් පිළිබඳව කථා නොකළේය.
එමෙන්ම කමල් හාසන් දැනට තම දේශපාලනික ගමන්මග හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය එනම් සහෝදර නළු රජිනි කාන්ත් කෙරෙහිද විශේෂ අවධානයක් යොමුකර ඇති බවක් පෙනේ. රජිනි කාන්ත් මේ වසර ආරම්භයේදී කියා සිටියේ 2019 මහමැතිවරණය ඉලක්ක කරගනිමින් නව දේශපාලන පක්ෂයක් බිහිකරන බවයි. මෙය සෘජුවම කමල් හාසන්ගේ දේශපාලන ගමනට එල්ල වන ප්‍රධාන අභියෝගයයි.
කමල්ගේ මූලික පැහැදිළිකිරීම වුයේ තම නව දේශපාලන පක්ෂය ද්‍රාවීඩියානු දේශපාලනික සංකල්පය හා දෙමල ජාතිකවාදය පිළිගන්නා මධ්‍ය ගමන්මගක යෙදෙන දේශපාලනික ව්‍යාපාරයක් යන්නයි.
තමිල්නාඩු දේශපාලනයේ මූලික පදනම වන්නේ ද්‍රාවීඩියානු සංකල්පය හා දෙමළ ජාතිකවාදයයි. එම සංකල්ප දරා සිටින මූලික කුළුණ නම් දෙමළ භාෂාව හා ද්‍රාවීඩියානු භාෂා මත පදනම් වු දකුණු ඉන්දීය සංස්කෘතියයි. 1916 වසරේ බිහිවූ ප්‍රථම තමිල්නාඩු දේශපාලනික ව්‍යාපාරය වු “යුක්ති පක්ෂයේ“ ද මූලික සංකල්පය වුයේ ද්‍රාවීඩියානු දර්ශනය හෙවත් මූලික වශයෙන් බලය හිමිකර ගෙන සිටි බ්‍රහමින්වරුන්ට එනම් බ්‍රාහ්මණ වංශිකයන්ට එරෙහිව සාමාන්‍ය ද්‍රවිඩ ජනයාගේ බලවේගයක් නිර්මාණය කිරීමයි. 1944 වනවිට තමිල්නාඩු දේශපාලනයේ මුල් පුරුක ලෙස හැඳින්වෙන විනිසුරු ඊ. වී. රාමස්වාමි හෙවත් පෙරියාර් යුක්ති පක්ෂයේ බලය තහවුරු කරගෙන එය ද්‍රාවිඩ කළහම් යනුවෙන් නම් කළේය. එහි මූලික අරමුණ වුයේ දේශපාලනය නොව දෙමළ හා පසුකාලීනව ද්‍රාවීඩියානු බෙදුම්වාදයයි.
දෙමළ බස කතාකරන තමිල්නාඩුව හා පසුව ආන්ද්‍රා, තෙළෙන්ගානා, කේරළ හා කර්ණාටක යන දකුණු ඉන්දීය ප්‍රාන්ත හා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ යාකරමින් බිහිවන ද්‍රාවිඩනාඩුවක් පිහිටුවීම පෙරියාර්ගේ අපේක්ෂාවයි. පක්ෂයේ දෙවැනි ප්‍රධාන නායකයා වූ සී. එන් අන්නාදොරෙයි, පෙරියාර් සමග ඇතිකරගත් මතබේදයකින් පසු 1949 දි ද්‍රාවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂය හෙවත් ඩී එම් කේ පක්ෂය බිහිකළේය.
පක්ෂ දෙකේම අරමුණ වුයේ වෙනම දෙමළ රාජ්‍යයකි. එහෙත් අග්‍රාමාත්‍ය ජවහල්ලාල් නේරුගේ නායකත්වයෙන් යුත් ඉන්දීය මධ්‍යම රජය 1963දී ඉන්දියාව බෙදා වෙන්කිරීමේ බෙදුම්වාදි මතවාද හා දේශපාලනය තහනම් කරමින් පනතක් සම්මත කළ පසු ද්‍රාවිඩනාඩු ව්‍යාපෘතිය අත්හළ පක්ෂ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනය කරා යොමුවිය. මෙහිදි පෙරියාර් ගේ ද්‍රාවිඩ කළහම් පක්ෂය ක්‍රමයෙන් දුර්වල වූ අතර අන්නදොරෙයි ගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂය තවදුරටත් ශක්තිමත් විය. එම පක්ෂයෙන් බිහිවු ප්‍රථම මහඇමතිවරයා වීමේ වරම අන්නදුරෙයිට හිමිවිය.
එහෙත් 1972 වනවිට එවකට දෙමළ සිනමාවේ පතාක යෝධයෙකු වූ එම් ජී රාමචන්ද්‍රන් ඩී එම් කේ පක්ෂයෙන් වෙන්වී සමස්ත ඉන්දීය අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කළහම් හෙවත් ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂය බිහිකළේය. ඉන් පසුව මේ දක්වා තට්ටු මාරු ක්‍රමයට තමිල්නාඩුව පාලනය කළේ ඩී එම් කේ හා ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂ දෙකයි. 1969 ඩී එම් කේ පක්ෂ නායකත්වයට පත් සිනමා තිර රචක මුතුවෙල් කරුණානිධි ද එම් ජි ආර් හෙවත් රාමචන්ද්‍රන්ද ඔහුගේ අභාවයෙන් පසු සුප්‍රකට දෙමළ නිලි ජයලලිතාද මාරුවෙන් මාරුවට තමිල්නාඩු මහඇමති පදවියට පත්වුයේ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ, මූලික වශයෙන්ම ඉන්දීය කොංග්‍රසයට තමිල්නාඩුවේ ක්‍රියාත්මක වීමේ ඉඩකඩ අහුරාලමිනි. ඊට අමතරව තමිල්නාඩුවේ ක්‍රියාකාරි දේශපාලනඥයන් වන වයිකෝ හෙවත් ගෝපාලස්වාමී, නෙදුමාරන්, තොල් තිරුමාවලන් වැන්නවුන් කුඩා පක්ෂ ඔස්සේ දේශපාලනයට අවතීර්ණ වුවද ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ දෙකට කිසිදු බලපෑමක් කිරීමට ඔවුන්ට නොහැකි විය.
කමල් හාසන් මෙන්ම රජිනි කාන්ත් දේශපාලනයට පිවිසෙන්නේ කල්යල් බලා හොඳම කාලයේදී බව පැහැදිළි වෙයි. 1970 දශකයේ සිට තට්ටුමාරු ක්‍රමයට තමිල්නාඩුව පාලනය කළ ඩී එම් කේ හා ඒ අයි ඒ ඩී එම්කේ පක්ෂ බෙහෙවින් දුර්වල වී ඇති මොහොතකයි.
93 හැවිරිදි මුතුවෙල් කරුණානිධි තවමත් ඩී එම් කේ පක්ෂ නායකත්වය දරන අතර ඔහු වියපත් හා දුර්වල මට්ටමක සිටියදී පක්ෂයේ නායකත්වයට ඔහුගේ පුතුන් වන ස්ටාලින් හා අලගිරි මෙන්ම සෙසු ඇතැම් නායකයන් අතරද සීතල යුද්ධයයක් පවතී.
ජයලලිතා අභාවයට පත්වීමත් ඇගේ අන්තේවාසික සසිකලා සිරගතවීමත් සමග ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂයේ දැඩි නායකත්ව අර්බුදයක් හටගෙන තිබේ. මේ අනුව තමිල්නාඩුවේ පවතින්නේ නායකත්ව රික්තකයකි. එම රික්තකය තුළට රිංගා ගැනීම රජිනි කාන්ත් මෙන්ම කමල් හාසන්ගේ ද අපේක්ෂාවයි. එහෙත් ප්‍රධාන ප්‍රවාහයේ පක්ෂ දෙකට වැඩි නැඹුරුවක් තිබීම තමිල්නාඩු දේශපාලනයේ විකල්ප බලවේගයක් ලෙස ඉදිරිපත් වන සුපිරි නළු දෙපළ හමුවේ ඇති අභියෝගයයි.
රජිනි කාන්ත් දේශපාලනයට පිවිසේ යැයි තමිල්නාඩුව තුළ දිගුකාලීන අපේක්ෂාවක් විය.
ඔහු තම දේශපාලන අරමුණු පැහැදිළි කරමින් කියාසිටියේ තම නව පක්ෂය 2021 ප්‍රාන්ත මැතිවරණයේදී කොට්ඨාස 234ටම තරග වදින බව හා 2019 පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීම ගැන සළකාබලමින් සිටින බවයි.
රජිනිකාන්ත් වියපත් වුවද සිනමා තාක්ෂණය ඔස්සේ පැරණි රුව මවාගනිමින් රසිකයන් අතර ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ පසුවෙයි.
කඩවසම් පෙණුමකින් යුක්ත වුවද කමල් හාසන් රජනි තරම්ම ජනප්‍රියත්වකට හිමිකම් නොකියන බැවින් ඔහු කල්තියා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගොස් පක්ෂය ලියා පදිංචි කළේ රජිනිකාන්ත් ට පෙර කඩිනම් භූමියේ සටනක් සඳහා යොමුවීමේ ඉඩකඩ තබාගනිමිනි. තමිල්නාඩු මාධ්‍ය ප්‍රකාශ කළේ කමල් හාසන් සහ රජිනිකාන්ත් අතර රහස් සාකච්ඡාවක් පැවති බවයි. වෛරී දේශපාලනයෙන් බැහැර වීමට දෙදෙනා එකඟවූ බව වාර්තා වේ.
තමිල්නාඩුව යනු ශ්‍රී ලංකාවට සැතපුම් 30 ක දුරින් පිහිටි ඉන්දියාවේ අපට සමීපතම ප්‍රාන්තයයි. එහි දේශපාලනික හැල හැප්පීම් වල උණුසුම අවස්ථා ගණනාවකදී අපට බලපෑ බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි. එම නිසා තමිල්නාඩු දේශපාලනය කෙරෙහි අවධානයෙන් හා අවබෝධයෙන් පසුවීම ශ්‍රී ලාංකිකයන් වන අපගේ හිතසුව පිණිස වන්නේය.