කුරුලු ගීත සාගරේ-හඬ නොනැඟේ රැළි නැඟේ | Page 2 | සිළුමිණ

කුරුලු ගීත සාගරේ-හඬ නොනැඟේ රැළි නැඟේ

දීර්ඝ සංගීත චාරිකාවක නියැළුණු අයිවෝ ‍ඩෙනිස් මහතා අද ගත කරන්නේ ජීවිතයත්, මරණයත් අතරින් සටනක් කරමිනි. දැඩි ‍ලෙස රෝගාතුරුව නිවෙසේ ගත කරන ඔහුගේ ප්‍රතාපවත් කටහඬ අද සම්පූර්ණයෙන්ම නෑසී ගොසිනි.

 

එකල සුනිල් සාන්තයෝ මතභේදයක් නිසා ගුවන්විදුලියෙන් ඈත්ව කල් ගෙවූහ. කෙසේවෙතත්, කුමන හෝ දෛවෝපගත සිදුවීමක් නිසා, ගුවන් විදුලියේ 'ආධුනික පැය' නම් වූ වැඩසටහනට සවන්දෙමින් සිටියේ තම නිවෙසේ කටයුත්තක නියැළෙන අතර ය.

"වරෙන් හීන්සැරේ..." යනුවෙන් ඔහු ගැයූ ගීතයක් වාදනය ‍වන්නට විය. '‍ආධුනික පැය'ට තමන්ගේ ගීතයක් වාදනය වීම නිසා වඩාත් උනන්දුවෙන් අසා සිටි සුනිල් ශාන්තයෝ, ‍එය තම කටහඬට ඉතා සමීප ආධුනිකයකුගේ ගීතයක් බව තේරුම් ගත්හ. අවසානයේ නිවේදකයා නම කියවුයේ අයි‍වෝ ඩෙනිස් යනුවෙනි.

මේ ආධුනික ගායකයා දැක ගැනීමේ ආශාවක් පහළ වූ සුනිල් ශාන්තයන් තමා යටතේ සංගීතය හදාරමින් සිටි පැට්‍රික් දෙණිපිටිය මාර්ගයෙන් අයිවෝ ඩෙනිස් ව තමා හමුවට ගෙන්වා ගත්තේ ය. දෙදෙනා අතර සිදු වූ කතාබහ නිම වුයේ අයිවෝ ඩෙනිස් සුනිල් සාන්තයන්ගෙන් සංගීතය හැදෑරීමට පටන් ගැනීමෙනි. එකල සංගීතය වැනි විෂයක් හැදෑරීම සමාජ තත්ත්වය අනුව පිළිගැනීමට හේතු නො වුණත්, සුනිල් සාන්තයන් සමඟ ගොඩ නැඟුණු සම්බන්ධය මත අයිවෝ ඩෙනිස්ගේ සංගීත ගමනට පසුබිම වැටිණි. පසුව මරදානේ නිව්ටන් ස්ටුඩියෝහි උඩු මහලේ පැවැති forword acadamy බැඳුණු ඔහු දීර්ඝ සංගීත ගමනකට මඟ පාදා ගත්තේ ය. එතැන් පටන් මේ ගුරු ගෝල සුසංයෝගය මෙරට සංගීත ක්ෂේත්‍රය බබලවන්නට විය.

දීර්ඝ සංගීත චාරිකාවක නියැලුණු අයිවෝ ‍ඩෙනිස් මහතා අද ගත කරන්නේ ජීවිතයත්, මරණයත් අතරින් සටනක් කරමිනි. දැඩි ‍ලෙස රෝගාතුරුව නිවෙසේ ගත කරන ඔහුගේ ප්‍රතාපවත් කටහඬ අද සම්පූර්ණයෙන්ම ‍නෑසී ගොසිනි.

මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ ඔහුගේ පුත් තුසිත පින්සිරි පැස්කුවල් මහතා,

" තාත්තා පසුගිය ටිකේ හදිසියේම අසනීප වුණා. වැ‍ටිලා, ඔළුවේ ඔපරේෂන් එකකුත් කරන්න වුණා. දැන් කතා කරන්න බැහැ."

සුවහසක් රසිකයන් ඉදිරියේ කටහඬින් ඔහු ලොවක් ගොඩ නඟා‍ගෙන තිබිණි. අප ඔහු දකින්නට යනවිට ඔහු සිටියේ කිසිවක් කතා කරගත හැකි තත්ත්වයක නොවේ.

1932 මැයි මස 28 වැනිදා සීදුවේදී උපන් ඔහු පැස්කුවෙල්ගේ දොන් ඔගස්ටින් අයිවර් ඩෙනිස් නම් විය. මූලික අධ්‍යාපනය ලැබුයේ සීදුව රෝමානු කතෝලික විදුහලිනි. පසුව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළත් වූ ඔහු උසස් පෙළ හැදෑරුවේ මීගමුව පෙරියමුල්ලේ නොයෙලා විද්‍යාලයෙනි. ඔහු කුඩා කල පල්ලියේ ගායක කණ්ඩායම මෙහෙයවුයේ ඔහුගේ පියා ය. එම නිසා පල්ලිය හා ඔහු අතර තිබුණේ ප්‍රබල බැඳීමකි. පාසල් අධ්‍යාපනය ලබන අවධි‍යේ පටන් ම, පල්ලිය සමඟ තිබූ බැඳීම ඔහු‍ගේ කටහඬ පෞරුෂය ගොඩ නැඟීමට හේතුවූ බව බො‍හෝ විචාරකයන්ගේ මතයයි.

1950 දශකයේ සුනිල් සාන්තයන් සමඟ ඇරඹෙන ඇසුරත් සමඟ ඔහු මෙරට සංගීත කේෂත්‍රයේ දිගු ගමනකට මඟ පාදාගත්තේය. මුල් යුගයේ සිටම සුනිල් ශාන්තයන්ගේ වැඩසටහන්වලට ඔහුව සම්බන්ධ කරගන්නා ලදී. 'රන්වලාව', 'මදුර මඳු', 'පංච මදුර' වැනි සුනිල් සාන්තයන්ගේ සෑම සංගීත වැඩසටහනකම ඔහුගේ සහභාගිත්වය දක්නට ලැබිණි. මේ වැඩසටහන්වලට සහභාගී වන අතරම, 'කුරුලු පාරාදීසයේ කුරුලු ගීත සාගරේ' නම් ඔහුගේ මුල්ම ගීයද ගායනා කිරීමට ඔහුට අවස්ථාව උදාවිය. තිලක සුදර්මන් ද සිල්වා විසින් ලියන ලද එම ගීතයට සංගීතය මුසු කළේ සුනිල් සාන්තයන් ය. 1968 වර්ෂයේදී පමණ අයිවෝ අන්තර් ජාතික ගායනා තරගාවලියකට එක්විය. ඒ නවසීලන්තයේ ABU අන්තර්ජාතික තරගාවලියයි. එහිදී එහුගේ ගීතයකට ප්‍රථම ස්ථානය හිමිවිය.

මෙකල ඔහු සමඟ සංගීතය හැදෑරූ පිරිස අතර කාන්ති වක්වැල්ල, ගිල්බට් ගුණරත්න, පැට්‍රික් දෙණිපිටිය වැනි අයද වූහ. මේ පිරිස අතර සුනිල් සාන්තයන්ගේ ප්‍රධානතම ‍ගෝලයා වුයේ අයි‍වෝ ඩෙනිස් ය. සුනිල් සාන්තයන් දායක වූ 'රේඛාව', 'සංදේශය' වැනි චිත්‍රපටවල ගායන කණ්ඩායම් සමඟ ඉන්දියාවේ සිදුවූ පටිගත කිරීම්වලට සහභාගීවූයේ ද අයිවෝ ඩෙනිස් ගේ ප්‍රධානත්වයෙනි.

ඉන් පසුව මකුලොලුව මහතා සමඟ ද එක්වන අයිවෝ ඩෙනිස් එතනින් වෙනස් මඟකට යොමුවිය. මකුලොලුව මහතාගේ ජන සංගීත වැඩසටහන්වලට දායක විය. 'හෙළ මිහිර', 'පහනින් පහන' ඒ අතරින් වූ වැඩසටහන් දෙකකි. අයිවෝ ඩෙනිස් මහතාගේ සංගීත දිවියේ සුවිශේෂ හැරවුමක් වන්නේ ‍ප්‍රේමසිරි ‍කේමදාසයන් හමුවීමත් සමඟ ය. කේමදාසයන්ගේ නිර්මාණ රැසකටම දායක වන ඔහු ටී.එම්. ජයරත්න සමඟ 'අඳුරු කු‍ටිය තුළ' ගීතයට සම්බන්ධ විය. තවද කේමදාසයන්ගේ 'පිරිනිවන් මංගල්‍යය' බෞද්ධ කැන්ටාටාවට ද සහභාගිවීය. බඹරු ඇවිත් චිත්‍රපටයේ 'උදුම්බරා හිනැහෙනවා' ඔහුගේ ජනප්‍රිය ගීතයක් විය. හිමකතර චිත්‍රපටයේ 'කන්දේ එහා වැස්ස වසින්නා' ගීතයට එම ව‍සරේ හොඳම ගායකයාට හිමි ජනාධිපති සම්මානය ද ලබා ගත්තේ ය. මෙලෙස අයිවෝ ඩෙනිස් ස්ව‍රයේ ගැබ්වී තිබුණු සුනිල් ශාන්ත මුද්‍රාව වෙනස් නොකර, එහි ආත්මීය ලක්ෂණ නො නසා, එයින් අර්ථ සම්පන්න වූද, භාවමය වූද නාද රටා ප්‍රතිනිර්මාණය කරන ලද්දේ කේමදාසයන් විසිනි.

සුනිල් සාන්ත, මකුලොලුව, ප්‍රේමසිරි කේමදාස වැනි අය සමඟ ඇතිවූ සම්බන්ධකම සහ කටහඬේ පෞරුෂය, මේ සියල්ල තිබුණ ද ඔහු විශාල ගීත ප්‍රමාණයක් ගායනා කළ ගායකයෙක් නොවේ. එසේ වුවත් සුවිශේෂ වාසනා ගුණයක් ද ඔහුට තිබිණි. ඒ තමන් ගායනා කරන ලද සීමිත ගීත ප්‍රමාණයෙන් තම ජනප්‍රියත්වය රැක ගැනීම ය. එමෙන් ම ඔහු සංගීතයේ වාණිජ පක්ෂය වෙත උනන්දුවක් දැක්වූයේ ද නැත.

කුමන මට්ටමේ ගමනක් ගිය ද ඔහු සුනිල් සාන්තයන් සමඟ පැවැති ගැඹුර බැඳීම නැති කර ගත්තේ නැත. මතභේද නිසා කේෂත්‍රයෙන් ඉවත් වුණු සුනිල් සාන්තයන් සමඟ ඔහු විටක සතිපොළවල කරක් ගැසූ බව ද අයිවෝ ඩෙනිස් ම වරෙක ප්‍රකාශ කළේය.

"ඒ කාලේ ගුරුතුමා ගුවන් විදුලියට යන්නේ නැහැ. මට මතකයි. ජා ඇළ පැත්තේ පොළවල්වල ගිහින්ලා රෙදි වික්කා. මාත් ගුරුතුමා සමඟ රෙදි වෙළඳාමේ ගියා. එතුමාට බෙංගාලි භාෂාවත් පුළුවන්. ඒ නිසා කොළඹ සාප්පු වලින් ‍හොඳ රෙදි එතුමාට හම්බ වුණා. හැබැයි මේ වෙළඳාම්වලින් නම් එතුමාට වාසියක් වුණේ නැහැ. හුඟ වෙලාවට නිකං වගේ තමයි රෙදි දුන්නේ"

ගුරුවරයකු වශයෙන් ද අයිවෝ ඩෙනිසුන්ගේ සේවය විශිෂ්ට වූවකි. 1959 රත්නපුර ගැටන්වල විද්‍යාලයට පත්වීම ලද ඔහු පසුව තිරිඹිගස්කටුව මහා විද්‍යාලය, මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලය, ශාන්ත ආනා විද්‍යාලය මෙන්ම සෞන්දර්ය අධ්‍යයන ආයතනය සහ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ ජන සංගීත උපදේශක ද විය. පල්ලිලෙන් ලැබුණු ඇසුර නිසා ඔහුගේ ගායන හැකියාව ඔප නැංවිණි. එමෙන් ම, ඔහුගේ ජීවන රටාවට ද පල්ලියෙන් ලැබුණු ආභාසය බලපාන්නට ඇත. ඒ අනුව ඔහු ගත කළේ බොහෝ සරල දිවි පෙවෙතකි. එමෙන්ම මත්පැන්වලින් වැළකුණු ඔහු මස් මාංශ අනුභවයෙන් පවා වැළකුණු අයෙක් වේ.

2006 වර්ෂයේ පැවැති වියපත් කලා ශිල්පීන්ට උපහාර දැක්වීමේ උලෙළකදී බොහෝ අයට කලාකරුවා අවශ්‍යවන්නේ ඔහුගේ ප්‍රතිරූපය ගොඩ නගාගැනීමට මිස, කලාකරුවා රැක ගැනීමට හෝ ඔවුන් රසවත් කරන ජනතා‍ව‍ගේ රසඥතාව වර්ධනය කිරීමට නොවේ යැයි ඔහු පවසා තිබිණි. අද අපට එය සත්‍යයක් බව පෙනෙන්නේ ඔහු දරුමල්ලන් අතරට පමණක් සීමාවී ඇති නිසාද?

 

Comments