ඉතිරි නොවූ මනු­ස්ස­කම | සිළුමිණ

ඉතිරි නොවූ මනු­ස්ස­කම

අද තමයි පුතේ මිනිස්සුන්ට පාට පක්ෂ විතරක් නෙවෙයි ජාතියත් ප්‍රශ්නයක් වෙලා. ඒ කාලේ අපි මේ කිසිම දෙයක් ගැන හෙව්වේ නෑ. අපිට තිබුණේ මනුස්සකම විතරයි. මනුස්සකම නැත්නම් වැඩක් නෑ. මට මතකයි දවසක් වේළුට අසනීප වුණා. ඒ වෙලාවේ ගමේ හැමෝම එකට එකතු වුණා. ඒ දවස්වල ගඟේ වතුර වැඩි කාළේ. අපි හැමෝම වේළුව කර තියාගෙන පාලම් පාරුවෙන් එගොඩ වෙන්න ගියා. ගඟ ළඟට වෙනකං ගොඩක් දෙනා හිටියා. ඒ විතර නෙවෙයි. හැමෝගේම ඇස්වල කඳුළු තිබුණා. ඒ කඳුළු තිබුණේ මනුස්සකම වෙනුවෙන්.

අත්තම්මා පසුගිය සති අන්තයේ අලුත් යමකට අත ගැසුවා. ඒක ඇයට භාර්යදූර්ය කාර්යක් වුවත්, අනිත් අයට නම් වස කරදරයක් වූ බව ඒ අයගේ කතාවලින් තහවුරු වුණා. ඇගේ පෙට්ටගම අස්පස් කිරීම හැරුණු විට අන් කිසිවක් ඇයට වැදගත් නොවන බව නම් සත්‍යයකි. ඇය සිතන තරමට එහි වටිනා දේවල් තිබුණ බව ඇත්තකි. ඒ පරණ ලිපි ලේඛනය. ඒවායින් සමහරක් ලංකාවේ නිදහස පිළිබඳය. තවත් ඒවා පරණ නාට්‍ය සහ කෝලම් පිළිබඳය. අත්තම්මා මේ සියල්ල පණ මෙන් ආරක්ෂා කළත් ඒවා යල් පැන යාමෙන් දුර්වර්ණ වී තිබුණි. ඒත් ඒ සියල්ල එකිනෙකට පිළිවෙලකට තබා තිබීම විශේෂත්වයකි.

මේ සියල්ල ඇය හැරුණු විට කිසිවෙක් කියවා නොතිබුණි. ඒ කාලේ අපේ ගමේ කෝලමකමක් හරි නාඩගමක් හරි පෙන්වනවා කියලා කිව්වාහම අපිට හරි වටිනව. තියෙන්නේ කෙහේ වුණත් අපි හැමෝම හොයාගෙන යනවා. ඇත්තටම හිතාගන්න බැරි තරමට අපි හැමෝම ඒවාට ආසා කළා. පුතාලා දන්නේ නැහැ.

ගොයම් කැපුවහම කමතේ නාඩගම් රඟ දක්වනවා. හැමෝම එතනට එනවා. ඒ කාලේ අද වගේ මැෂින් නැහැනේ පුතේ. ඒ හින්දා එළිවෙනකංම ගොයම් පාගන වාරත් තිබුණා.

මගේ මතකයේ හැටියට එදා හොඳට හඳ පායාලා තිබුණ දවසක්. එතකොට පුතාලාගේ අත්තත් ගජ ඉලන්දාරියා. සිමියොන්, ඇන්ටො, ජෙමා මේ ඈයොත් අපිත් එක්ක ගොයම් පාගන්න ආවා. ඒ විතරක් නෙවෙයි ඩේසි, සිල්වියාත් හිටියා. කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නැහැ.

ගොයම් පාගන දවසේ ඉවුජිනී නාඩගම පෙන්වනවා කියලා කතාවක් තිබුණා. අනේ ඉතිං මේ හැම චරිතයකටම ඇන්දේ අපේ කෙල්ලෝ කොල්ලෝ. හරිම අපූරුවට හැම දෙයක්ම සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි සෙලෙස්තිනා කවි කියන්න දක්ෂ කෙල්ල. එයා එක්ක කාටවත් කවි කියන්න හැරෙන්නවත් බැහැ. ‍ගොයම් පාගලා ඉවර වුණහම එයාගේ කවි අහන්න කමතට ගොඩක් දෙනා එනවා. ඒ විතරක් නෙවෙයි ගමේ කට්ටිය එකතු වෙලා කරන නාඩගම බලන්නත් කට්ටිය පිරෙනවා.

ඒ කාලේ තිබුණේ මැතිනිගේ ආණ්ඩුව. මැතිනිගේ ආණ්ඩුව කාලේ හැමෝම පෝලිම් කරදරේට මුහුණ දුන්නා.

ඒත් හැමදේම පෝලිමේ ඉඳලා ගන්න අපිට ඕනේකමක් තිබුණේ නැහැ. අපි කොහොමින් කොහොම හරි අපේ හාල් ටික හොයා ගන්න කුඹුරු වගා කළා. මගේ මතකේ හැටියට දරුවෝ ඒ කාලේ අපේ සමූපකාරේ හාල් ඇටයක් වත් තිබුණේ නැහැ. ඒත් අපි මේ අද වගේ කාටවත් දොස් කිව්වේ නැහැ.

ඒ මුරේම කෑවේ අල වර්ග. අල වර්ග කිවුවහම තමයි මට මතක් වුණේ අපේ ඉඩමේ හැම අල වර්ගයක් ම තිබුණා.

අනික අල කියන්නේ ශක්තිජනක ආහාරයක් නේ. මේ අල්ලපනල්ලේ අපේ ගමේ හැමෝම එකතු වෙලා පුරන් වුණ කුඹුරු වැව්වා. අපේ කුඹුරු වවන්න උදව් කළේ ඩිංගිරි මාමා.

වගා කළාට මොක ද උන්දෑ හොඳ වෙදා. ඉස්සර ගම හැමෝම යන්නේ ඩිංගිරි මාමා ළඟට. සර්පයෙක් කෑවත්, නිට්ටාවට කියන්න උන්දෑට පුළුවන්. උන්දෑ ඕනේම දෙයක් කරන්න රුසියා. ඒ කාලේ අපේ ගමේ තිබුණේ පාලම් පාරුවක්. හැමෝම එක ගමක ඉඳලා අනිත් ගමට ගියේ පාලම් පාරුවෙන්.

පාලම් පාරුවෙන් මිනිස්සු එගොඩ මෙහොඩ කළේ ඇලෙස්කා. ගොඩක් දෙනෙක් කිව්වේ ඇලෙස්කාගේ අම්මා සිංහල. තාත්තා ලන්සි කියලා. ඒත් ඉතිං ඇලෙස්කා හිටියේ අපේ විදිහට. හැබැයි ඉතිං හැමෝමත් එක් හිතවත්.

අද තමයි පුතේ මිනිස්සුන්ට පාට පක්ෂ විතරක් නෙවෙයි ජාතියත් ප්‍රශ්නයක් වෙලා. ඒ කාලේ අපි මේ කිසිම දෙයක් ගැන හෙව්වේ නෑ.

අපිට තිබුණේ මනුස්සකම විතරයි. මනුස්සකම නැත්නම් වැඩක් නෑ. මට මතකයි දවසක් වේළුට අසනීප වුණා. ඒ වෙලාවේ ගමේ හැමෝම එකට එකතු වුණා. ඒ දවස්වල ගඟේ වතුර වැඩි කාළේ.

අපි හැමෝම වේළුව කර තියාගෙන පාලම් පාරුවෙන් එගොඩ වෙන්න ගියා. ගඟ ළඟට වෙනකං ගොඩක් දෙනා හිටියා. ඒ විතර නෙවෙයි. හැමෝගේම ඇස්වල කඳුළු තිබුණා. ඒ කඳුළු තිබුණේ මනුස්සකම වෙනුවෙන්. කොහොම වුණත් වේළුව ගොඩ ගන්න බැරි වුණා.

වේළු මැරුණ දවසේ ගමේ හැමෝ ඇඬුවා. මං හිතන්නේ ඒ කාටවත් වේළුගේ ජාතිය මතක තිබුණේ නැහැ.

කාදර් කිවුවේ වේළු අපිලාට හොඳ සහෝදරයෙක් වුණා කියලා.

කරුණාපාල කිව්වේ අමතක වෙන්නේ නැති මනුස්සයෙක් කියලා. ඒ විතරක් නෙවෙයි ඇලෙස්කාගේ කතාව ඊට වඩා වෙනස්. වේළු අපේ මනුස්සකම අරං ගියා කිවුවා. ඒ මොකද කියලා මං දන්නේ නැහැ. ඒත් පුතේ පුතාලාගේ අත්තා තමයි මට ඒක තේරුම් කරලා දුන්නේ. ඇයි අපි හැම වැඩකදීම එකතු වුණේ වේළු නිසා.

ඒ කාලේ කුඹුරුවල ගොයම් කපන කොට වේළු අපේ උදව්වට එනවා. ඒ විතරක් නෙවෙයි, වේළු තමයි අපේ කෝලම් නාට්‍යවල පොතේ ගුරු.

කුඹුරු වපුරනකොට වේළු ඇවිල්ලා අපේ කුඹුරුවලට ආශිර්වාද කරනවා. අපි ඒ ආශිර්වාදය අහන්න හරිම ආසයි. ගොයම් පාගලා වී ටික ගෙට ගත්ත ගමන් අපි අලුත් සහලින් දෙවියන්ට කිරි බත් පූජාව තියෙනවා. ගමේ කට්ටිය සිරිමහ බෝධියට යන්නත් දවසක් ලෑස්ති කරගන්නව. එදාට වේළුත් අපිත් එක්ක යන්න එනවා. වේළු හැම ගාථාවක්ම වරද්දන්නේ නැතිව කියනව.

දවසක් අපි වේළුගේ කෝවිලට ගියා. එදා පූජා පවත්වන කොට මට මතකයි වේළු කරුණාපාල අයියාගේ ලෙඩ සුව වෙන්න කියලා කිව්වා. අපි මිනිස්සු කියලා වේළු හැම වෙලාවේම කිවුවා. ඇත්තට වේළු අපේම කෙනෙක්.

මැෂින් ටික ගමට ආවට පස්සේ ගම විතරක් නෙවෙයි හිතත් වෙනස් වුණා. මිනිස්සු තාක්ෂණයට හැමදෙයක්ම උගස් කළා. ඒ කාලේ නොතිබුණ මායිම් මිනිස්සු අද ගහගෙන.

එක පාටක් එනකං එක කට්ටියක් බලං ඉන්නවා. ඒ වගේම අනිත් පාට අය අනිත් අයගෙන් පලි ගන්න බලනං ඉන්නවා. මිනිස්සු හරියට තිරිසන්නු වෙලා. මට හිතාගන්න බැහැ. එදා නිල්වලාව ගලන කොට අපි ඔය වෙන් කෙරෙලි බැලුවේ නැහැ.

හැමෝටම අපේ ගෙදර විවෘත කළා. සිරිවිතාන මන්ත්‍රී තුමා හැමෝටම සහල් සලාක බෙදුවා. එතුමා ගැන ගමේ හැමෝටම තිබුණේ භක්තියක්.

සිංහල මුස්ලිම් දෙමළ කියලා වෙනසක් තිබුණේ නැහැ. ඒත් අද ඒක ඉතිරි වෙලා නැහැ. මේ තියෙන්නේ අපි සහල් බෙදන්න ගිය දවසේ පත්තරෙන් ගත්ත පොටෝ එක.

අත්තම්මා මට පරණ වුණ පත්තර කෑල්ලක් පෙන්නුවා. ඒ කාලේ අත්තම්මා හරි තරුණයි.

ලස්සනට ඔසරියක් ඇඳලා මුතු පොටක් බෙල්ලේ දාලා හිටිය නිසා ලස්සන තවත් වැඩියෙන් පෙනුණා. අත්තම්මා හරි ලස්සනයි කියලා මං කිව්වාහම අත්තම්මා කිව්වේ ආදරය කරුණාව නිසා මිනිස්සු ලස්සන වෙනවා කියලා.

ඒත් අද හන්දියක් හන්දියක් ගානේ බියුටි සැලුන්. හැමදෙයක්ම කෘතීම වෙලා.

එයාගේ කතාව හරිම ලස්සනයි. ඒත් ඉතිං ගොඩක් වෙලා එයා ළඟ රැඳෙන්න මට වෙලාවක් තිබුණේ නැහැ.

 

Comments