
ලංකාවේ මහජනතාව ඡන්දයෙන් පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කර ගන්න බව ඇත්ත. ඒවායේ ආදිපත්‍ය යටතේ තෝරාගත් නිලධාරී පැලැන්තියකින් මේ රට පාලනය කරන බවත් ඇත්ත. ඒත් නැවතත් මම නීති තර්කයක් ගොඩ නඟනවා ලංකාවේ මිනිසුන්ට ඡන්දය දීලා ආණ්ඩු පිහිටුවන්න ඡන්ද බලය දුන්නේ කවුද? අර නීත්‍යානුකූල නොවූ, හිතුවක්කාර පාලනයක් ගෙන ගිය බ්‍රිතාන්‍ය පාලකයන්. එහෙම නම් ඔවුන් දුන් ඡන්ද බලයත් වලංගු නෑ. හරි විදිහට මේ රටේ රටවැසියන්ට ඡන්ද බලය ලැබිය යුත්තේ, සිංහලේ වැසියන්ට පාලන බලය ලැබුණු පසු ඔවුන්ගෙනුයි. එහෙම නොවන ඡන්ද බලය ලබා දීම නීති වරෝධියි. නීති විරෝධි ඡන්ද බලයක් භාවිත කිරීමත් නෛතික වටිනාකමින් තොරයි.
රටක සැබෑ නිදහස යනු අධිරාජ්‍යවාදී පාලනය මත නොයැපෙන මුත් ඔවුන් විසින් පටවනු ලැබූ පාලන ක්‍රමයක, නීති රීති පිළිපදිමින්, ඔවුන් හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමයේ එල්බී ආර්ථික, සමාජ, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් නව්‍ය යටත්විජිතවාදයේ මූලිකාංග කරපින්නාගෙන සිටීමද? ආචාර්ය සූරිය ගුණසේකරයන් මෙසේ ප්‍රශ්න කරන්නේ 1818 කැරැල්ලට අවුරුදු 200ක් පිරෙන මේ වසරේ නිදහස් දිනය වෙනුවෙනි. එයට ඔහු ගෙනෙන තර්ක විතර්ක පිළිබඳ අප මෙසේ ඔහුගෙන් පෙරළා විමසුවෙමු.
• දශක හතක් පුරා අප සමරන්නේ සැබෑ නිදහස නොවේ යැයි සමහරු කියනවා?
නිදහසට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆ්‍රීඩම් කියලා. ඉන්ඩිපෙන්ඩන්ස් කියන්නේ not depending on එහෙමත් නැත්නම් 'තවත් දෙයක් මත නොයැපෙන' යන තේරුමයි. මේ වචනවල වෙනස අපි තේරුම් ගන්නට ඕනා.
ලංකාවට වෙනම පාර්ලිමේන්තුවක් දුන්නා. ඒ 'වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව' මත යැපෙන්නේ නැති ඉන්ඩිපෙන්ඩන්ට් පාර්ලිමේන්තුවක්. (not depending on Westminster Parliament) ඒ නිසා තමයි සුද්දා කීවේ ඉන්ඩිපෙන්ඩන්ස් දුන්නා කියලා. එහෙම නැතුව ෆ්‍රීඩම් දුන්නා කීවේ නෑ. අනෙක මෙය ඩොමීනියන් වර්ගයේ පාර්ලිමේන්තුවක්. එහිදීත් අපට ඉංග්‍රීසි අර්ථය බොහොම වැදගත්. ඩොමීනියන් කියන්නේ dominated by somebody else. එතකොට මේ පාර්ලිමේන්තුවේ අධිපතීත්වය තිබෙන්නේ බ්‍රිතාන්‍යයන්ට. ඒ නිසා 04 වැනිදා නිදහස දුන්නේ නෑ ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දුන්නා මෙන්න මෙහෙම රට කරපල්ලා කියලා. ව්‍යවස්ථාදායකය, විධායකය අධිකරණය කියන බ්‍රිතාන්‍ය අච්චුවයි දුන්නේ. ඒ ගොල්ලන්ගේම ක්‍රමවේදය අප ක්‍රියාත්මක කළ යුතු ආකාරය තමයි මේ පෙබරවාරි 04 වැනිදා දීලා ගියේ. 'නිදහස' එය නෙවෙයි.
• එහෙනම් 'නිදහස' කුමක්ද?
ඉන්ඩිපෙන්ඩන්ස් කියන වචනය නිදහස කියලා රජය විසිනුත්, ඒ යුගයේ තිබුණු පුවත්පත් කලාවෙනුත් ප්‍රකාශ කරලා 'දැන් අපි නිදහස්' කියලා ජනතාව රැවටුවා. එයට ඔවුන් පාවිච්චි කළේ ජනතාවට ඡන්ද බලය තිබීම. ඡන්දය දෙන්නේ නිදහස් මිනිසුන් කියලා, 'පූර්ණ නිදහස් ඩොමීනියන් ආණ්ඩුවක්' බිහි වුණා කියලා සතුටු වුණා. අපි ඒ කාලෙ ඩොමීනියන් කියන දේ තේරුම දැනගෙන හිටියේ නෑ. නිදහස් මිනිහෙක් නිතරම අහන්නේ යමක් හරිද කියලා. වහලා අහන්නේ ව්‍යවස්ථානුකූලද කියලා. මිනිසකුට හරි දේ හා වැරැදි දේ තීරණය කිරීමට අවස්ථාව දීමයි නිදහස කියන්නේ.
• ඔබ මෙසේ පවසන්නේ කුමන හේතු සාධක පදනම් කරගෙනද?
1815 මාර්තු 02 වැනිදා උඩරට ගිවිසුමක් ඇති වුණා මහනුවරදී. පළමුවැනි පාර්ශ්වය එංගලන්තයේ iiiවැනි ජෝජ් රජු, දෙවැනි පාර්ශ්වය සිංහලේ රට වැසියන්. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා, ජෝජ් රජුගේ නියෝජිතයා හැටියටත්, අධිකාරම්වරුන් සහ දිසාපතිවරුන්, සිංහලේ රටවැසියාගේ නියෝජිතයන් හැටියටත් අස්සන් කරලයි මේ ගිවිසුම ඇති වුණේ. ගිවිසුමේ නිමිත්ත, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරන ලද පාලනය තුන්වැනි ජෝජ් රජ්ජුරුවන්ට පවරා දීම. මෙතැනදි අපි හොඳට මතක තබා ගත යුතුයි රට නෙවෙයි පවරා දුන්නේ 'ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ පාලන වගකීම් ටික' විතරයි.
ගිවිසුම අස්සන් කෙරුණු දා සිට බලාපොරොත්තු වුණ ආකාරයට වැඩ කෙරුණේ නෑ. ඒත් ගිවිසුමේ වාක්‍යයක් තිබෙනවා මේ 'සියලු රජ සිරිත් නොකඩවා ඉටු කරන්න ඕනෑය' කියලා. උදාහරණයක් හැටියට රාජසිංහ රජුගේ කාලේ පෞද්ගලික නොවන ඉඩම් රජුගේ ඉඩම් (crown lands) වුණේ නෑ. ගිවිසුමෙන් පසුදා ඉඳන් ලංකාවේ සියලු ඉඩම් කිරීටෙට යටත් නිසා තමතමන්ගේ ඉඩම් ඔප්පු හදාගෙන වෙන්කර ගන්න කීවා. මේ වගේ සිංහල රජ සිරිත්වලට විරුද්ධ වැඩ කිරීම නිසා 1817-18 වෙල්ලස්ස නිදහස් අරගලය ඇති වුණා. ඒ අරගලය මැඩපවත්වා ගත්තට පස්සේ 1818 නොවැම්බර් 21 වැනිදා 'ඩික්ලරේෂන්' කියලා විශේෂ ප්‍රකාශයකින් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලිඛිතව කීවා මේ ගිවිසුම කඩනවා කියලා. ඒ අනුව ඔවුන් පරමාධිපත්‍යයත්, සිංහලේ රට වැසියෝ යටත් විජිත වාසීනුත් වුණා.
• ඒත් එයින් ගිවිසුම අහෝසි වුණේ නෑනේ?
ඔව්. ගිවිසුම අවසන් වුණා නම් පාලන බලය ආපසු අපට ලැබෙන්න ඕනෑ. එහෙම වුණේ නෑ. එතැන් සිට අවුරුදු 130ක් ඒ කියන්නේ 1948 වනතුරු ඒ අය නීති විරෝධී, හිතුවක්කාර, දළදඬු, අමානුෂික පාලනයක් මේ රටේ කරගෙන ගියා. ආර්ථිකය, සමාජය, සංස්කෘතිය, පාලන තන්ත්‍රය ආදී සියල්ල සම්පූර්ණයෙන් වෙනස් කළා, යටත් විජිතයකට ගැළපෙන අන්දමට. ඊළඟට 1948 පෙබරවාරි 04 රට බාර දීලා ආපසු යන්න ගියා. ඒත් ආපසු දුන්නේ සිංහලේ රට වැසියන්ට නෙවෙයි. ඒ අය විසින් ගෙනැවිත්, ඉඩම් දීලා පදිංචි කළ දෙමළ, මුස්ලිම් අයද ඇතුළත් ඉහළ මධ්‍යම පන්තියකට. එහෙමත් නැත්නම් ඔවුන් විසින් නිර්මාණය කළ කොම්ප්‍රදෝරු පන්තියකට. එදා ඉඳන් අද වන තුරුත් අර ඉංග්‍රීසි ආඥාපනත්, ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය ආදී ක්‍රම මඟින් මේ කොම්ප්‍රදෝරු පන්තිය පාලනය අරගෙන ඇවිත් තිබෙනවා. ඒ නිසා 2018 පෙබරවාරි 04 වැනිදාටත් අපට මේ රටේ 'නිදහස' ලැබිලා නෑ.
• ඔබ එසේ කීවත් අද අපි සියලු දෙනා ස්වකැමැත්තෙන් මැතිවරණවලදී ඡන්දය භාවිත කරනවා?
ලංකාවේ මහජනතාව ඡන්දයෙන් පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කර ගන්න බව ඇත්ත. ඒවායේ ආදිපත්‍ය යටතේ තෝරාගත් නිලධාරී පැලැන්තියකින් මේ රට පාලනය කරන බවත් ඇත්ත. ඒත් නැවතත් මම නීති තර්කයක් ගොඩ නඟනවා ලංකාවේ මිනිසුන්ට ඡන්දය දීලා ආණ්ඩු පිහිටුවන්න ඡන්ද බලය දුන්නේ කවුද? අර නීත්‍යානුකූල නොවූ, හිතුවක්කාර පාලනයක් ගෙන ගිය බ්‍රිතාන්‍ය පාලකයන්. එහෙම නම් ඔවුන් දුන් ඡන්ද බලයත් වලංගු නෑ. හරි විදිහට මේ රටේ රටවැසියන්ට ඡන්ද බලය ලැබිය යුත්තේ, සිංහලේ වැසියන්ට පාලන බලය ලැබුණු පසු ඔවුන්ගෙනුයි. එහෙම නොවන ඡන්ද බලය ලබා දීම නීති වරෝධියි. නීති විරෝධි ඡන්ද බලයක් භාවිත කිරීමත් නෛතික වටිනාකමින් තොරයි.
• නීත්‍යානුකූල වීම සඳහා ගත හැකි පියවර?
ලංකාවේ ජනතාවට පරමාධිපත්‍යය තිබෙන බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඊට පටහැනි වගන්තියක් තිබෙනවා. පරමාධිපත්‍යය හිමි වුණාට අපට රට පාලනය කරන්න අයිතියක් නෑ. ඒ මොකද? පාලනය කරන්නේ නියෝජිතයන් ලවායි. අපි ගත්ත තීරණයක් නෙවෙයිනේ පාර්ලිමේන්තු, පළාත් සභා ආදියෙන් පාලනය විය යුතුයි යන්න. මුලින්ම නිදහස හරියට දීලා බලන්න එපැයි සිංහලේ රට වැසියා පාලනය කරන්න බලාපොරොත්තු වන්නේ මොන ක්‍රමයටද කියලා. ඒ නිසා මුලින්ම සිංහලේ රට වැසියා හඳුනාගෙන වර්තමාන කොම්ප්‍රදෝරු පන්තියෙන් පාලනය ඔවුන්ට බාර දෙන්න ඕනා.
• එදා සිංහලේ රට වැසියා සහ අද සිංහලේ රට වැසියා සමානද?
එය පාරම්පරිකව දරු මුණුපුරන් හැටියට එන දෙයක්නේ. සිංහලේ රට වැසියා කියද්දී ඒ කාලේ එකම එක ක්‍රිස්තියානි ලබ්ධිකයෙක්වත් උඩරට රාජධානියේ සිටියේ නෑ. හැබැයි පහත රට හිටයා. බලහත්කාරයෙන් පහතරට පාලනය කරගෙන හිටියට ඒ අයත් තුන්සිංහලේ රටවැසියන්. වරායවල තාවකාලික සේවයට ඇවිත් හිටිය දෙමළ මුස්ලිම් අය මිසක් පහතරටත් ඒ අය සිටි බවට වාර්තා ඇත්තේ නෑ. 1830 ජනවාරි 28 වැනිදා යාපනයේ දිසාපති කෝල්බෲක් කොමිසම ඉදිරියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා තිබෙනවා, යාපනය කැලෑවක්, එහි ජනගහනයක් නෑ, රජයෙ ඉඩම්, පෞද්ගලික ඉඩම්, ගොවිතැන් කියලා දෙයක් නෑ. ස්ථිර ජන කොට්ඨාස නෑ සංක්‍රමණිකයින් පමණයි ඉන්නේ ඒ නිසා ජන සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්න බෑ කියලා. මේ තත්ත්වය යටතේ 1815 ගිවිසුම අස්සන් කරන වෙලාවේ සිංහලේ රට වැසියන් කවුද යන්න සොයා ගන්න ක්‍රම තිබෙනවා.
• ඒත් රාජසිංහ රජු වඩුග රජ කෙනෙක්?
ඒ කාලේ පිළිගැනීම තිබුණේ රජ පෙළපතක කෙනකුට පාලනය බාර දිය යුතුයි කියලායි. රොබට් නොක්ස් ගේ ලිබරල් ඇහෙන් බලා 'මඩ සෝදාගත් කල' යටිනුවර ඕන කෙනෙක් රජකමට සුදුසුයි කීවට අපි ඒක පිළිගත්තේ නෑ. රාජ ලේ උරුමය තිබෙන නිසයි ජෝජ් රජුටත් පාලනය දුන්නේ. අපි විශ්වාස කළා රජවරු ගිවිසුම් කඩ කරන්නේ නෑ කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ ඒ විශ්වාසය කඩ කළ නිසයි රජකමට නුසුදුසු වුණේ.
• එතකොට ජෝජ් රජු ඒ පිළිවෙත් පිරුවේ නෑනේ?
ඔවුන්ට යුද බලය තිබුණා. අපට බැරි වුණා ඒ කොන්දේසියට යටත් කරගන්න. ඒ වගේම ලෝකය ගැන තිබුණු දැනීම මඳ නිසාත් ගිවිසුම නිසාත් අපි විශ්වාස කළා වඩිග රජවරු වගේම මේ රජුත් අපේ පිළිවෙත් අනුව යයි කියලා. ඒ පොරොන්දුව කඩ කළ නිසයි යළිත් අරගලයකට ගියේ.
කැරැල්ලක් කියන්නේ බොහෝ විට බලහත්කාරයෙන් බලය ලබා ගන්න කරන සටනක්. ඒත් මේ කළේ අවි ආයුධ දරා කළ විරෝධයක්. එහි දී වෙනත් රජ කෙනකු පත් කිරීමට අරමුණක් තිබුණේ නෑ. දොරේසාමි තමන් රජ පෙළපතේ කියලා හැංගි හැංගි හිටයා මිස ඔහු රජ කරවන්න නොවෙයි මේ සටන කළේ. ඉංග්‍රීසි වාර්තාවල රජ කළ බව සටහන් වුණත් සංඝයා වහන්සේ ඔටුණු පළඳවා රජ කරවූ බවට කිසිම වාර්තාවක් නෑ. අනෙක යටත්විජිතවාදීන් කොහොමත් සමකාලීන තොරතුරු තමන්ට ඕන විදිහට ලේඛනගත කරලා සිදුවීම් විකෘති කළ ආකාරය බොහෝ තැන්වල දකින්න පුළුවන්.
• එහෙනම් වෙල්ලස්සේ කැරලිකරුවන් රාජ ද්‍රෝහීන් කියා නම් කළේ?
පත් වීම් ලිපි දෙනවිට රජයට අවනතබව ප්‍රකාශ කළ යුතුයි අද වුණත්. ආණ්ඩුකාරයාගෙන් දිසාවේටත්, දිසාවේගෙන් රටේ රාළලාටත්, ඔවුන් ආරච්චිලාටත් ආදී වශයෙන් ඉංග්‍රීසීන්ට පක්ෂපාතීත්වය ඇතිව කටයුතු කරන්න පත්වීම් ලිපි දුන්නා. එය උල්ලංඝනය කිරීමක් හැටියටයි මේ විරෝධය සුද්දා බාරගත්තේ.
හැබැයි නීත්‍යානුකූල තත්ත්වය තමයි අපිට රට දිය යුතුයි ඒ නොදීමට විරුද්ධව අපි සටන් කළා. ඔවුන් අවි බලය පාවිච්චි කර එය මැඩ පැවැත්වූවා. අද දවසේ වචනයෙන් හඳුන්වනවා නම් ඒ අය විමුක්තිකාමීන්. අපි ඔවුන් ද්‍රෝහීන් කියා හඳුන්වනවා නම් ඒකෙ තේරුම තවමත් ඒ ගැසට් එක අපි පිළිගන්නවා කියන එකයි.
අපි ඩොමීනියන් තත්ත්වයෙන් මිදුණා කීවේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිසාත්, ත්‍රිකුණාමලය වරායත්, කටුනායක ගුවන් තොටුපොළත් පවරා ගැනීමෙන් පසුවයි. ඒත් ශ්‍රී ලංකා කියලා ලස්සන නමක් රටට දාගෙන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් පිහිටෙව්වටත් පස්සේ අපි ඉංග්‍රීසි ආඥා පනත් ටික ක්‍රියාත්මක වෙනවා, අධිකරණ ක්‍රමය, පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. තේ, රබර්, පොල් ආර්ථිකය තමයි අදටත් පවතින්නේ. ඉතින් කෝ නිදහස?
• කොහොමද පූර්ණ නිදහස් ලබන්නේ?
මේකට උත්තර දුන්නා ප්‍රංශ විප්ලවයෙන්. 1789 ජූලි 14 වැනිදා රාජාණ්ඩුව බිඳ වැටුණා. මුළු පැරීසියෙම මිනිස්සු ඇවිත් පාලනය කරන්න ගත්තා. ගිරෝන්ඩිංග්ස්ලගේ ආණ්ඩුව පැවතුණේ අවුරුදු තුනයි. ජැකොබිල් ඇවිත් කීවා ඔක්කොම මිනිසුන්ට ප්‍රංශය පාලනය කරන්න බෑ, ඒනිසා අද පවතින ඡන්ද ක්‍රමය, කිසියම් ජනතාවක් හෝ භූමි ප්‍රදේශයක් වෙනුවෙන් එක නියෝජිතයෙක් පත් කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒත් 1818 වෙද්දී ගම්සභා ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වුණු ලංකාවේ හොඳ පාලනයක් තිබුණා. රජු කළේ බුදු සසුනයි, වාරි පද්ධතියයි, රටේ ආරක්ෂාවයි මෙහෙයවීම පමණයි. එයට ඇහැලේපොල වගේ නිලමෙ කෙනෙක් පත් කරගන්න තිබුණා.
• අද අපට පුළුවන්ද ඒ තැනට යන්න?
ජනතාව කැමති නම් පුළුවන්. අකමැති නම් බෑ. 'වහලා කල් යෑමේදි වහල් බැමිවලට ඇලුම් කරයි' කියලා ඒබ්‍රහම් ලිංකන් කියපු දේ ඇත්ත. අපි 1970 සංවර්ධන යුගය පැමිණෙන තෙක් බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය පිළිගත්තා. ඉන්පසු සංවර්ධන යුගයේදී නව යටත්විජිතවාදය පිළි අරගෙන ඒකට කැමැත්තෙන් යටත් වී ඉන්නවා. මෙයට හේතුව අප දැන් නිදහස ගැන නොදැන සිටීමයි. ගම්සභා ක්‍රමය යටතේ ස්වයං පෝෂිත ක්‍රමයේ තිබුණු නිදහස ඒ ක්‍රමය නැති වීමත් සමඟ අහිමි වුණා. මිනිසුන් රස්සාවලට ගියාට පස්සේ මුදලට ශරීරය බැඳිලා, ශ්‍රමය විතරයි ඉතිරි වන්නේ. තමන් මහ පොළොවෙන්, නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වුණා. සමාජ ක්‍රමය වෙනස් වුණා. එය මිනිස්සුන්ට තේරුණේ නෑ. පන්තිකාමර අධ්‍යාපනයෙන් අපේ ඔළුවලට දැම්මා 'මේ තමයි නියම දියුණුව' කියලා. දැන් අපි යන්නේ ඒ දියුණුවට. ආණ්ඩු බලයට එන්නෙත් සංවර්ධනය කරනවා කියලා පොරොන්දු පිට. ඒත් ඒක වැරැදියි. සංවර්ධනය කියන්නේ මහා විනාශයක්. ඒ බව අපි හරියට තේරුම් අරගෙන නෑ.
• හොඳයි. අපට කළ මේ දෙයට යටත් විජිතවාදීන් වන්දියක් ගෙවිය යුත්තේ කෙසේද?
සිංහලේ රටවැසියන්ට ආණ්ඩුව ලැබුණට පස්සේ අපට පුළුවන් හේග්වල අන්තර්ජාතික අධිකරණයට යන්න. එහිදී අපට ඔප්පු කරන්න ඕනෑ තරම් ලිඛිත සාක්ෂි තිබෙනවා. ඒ අනුව අපට ඉල්ලීමක් කළ හැකියි වන්දියක් ගෙවන්න. ඒ විදිහට නවසීලන්තයේ මයෝරිවරුන්ටත්, ඕස්ට්‍රේලියාවේ ඇබරොජියන්වරුන්ට සහ කැනඩාවේ කොටසකටත් හේග්වලින් දැනටත් ගෙවනවා ලොකු වන්දියක් කොටස් වශයෙන්. ඒ වගේම රටවැසියන්ගේ ආණ්ඩුවට පුළුවන් ලෝක බැංකුව ආදියෙන් කලින් ආණ්ඩු ගත් ණය නොගෙවා ඉන්න. එතකොට අපට ආර්ථික තහංචි පනවයි. ඒක ලොකු ආශීර්වාදයක් අපේ රටට. 1818 ඉඳන් අද වනතුරු ක්‍රියාත්මක වන්නේ ජොජ් රජුගේ ගිවිසුමමයි පාර්ලිමේන්තු ආණ්ඩුව හැටියට. මේ වෙනකොට අවරුදු 200ක් අපි වහල් බවේ ඉන්නවා. තවදුරටත් අපට වහල් බවේ ඉන්නත් බෑ. නොදන්නා අයට වහල් බැමි ප්‍රිය කරන්න දෙන්නත් බෑ. ඒ නිසා අද සිංහලේ රටවැසියන් අතර උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නවා මේ බව අන් අයටත් පහදා දී කටයුතු කළ හැකි. අප නොදන්නවාට අපේ ස්වාභාවික සම්පත් ස්වයංපෝෂිත සෞභාග්‍යමත් රටක් බිහිකරන්න හොඳටම ප්‍රමාණවත්. මේ බවට අපට ප්‍රභාකරන්ගෙන් හොඳ සාක්කියක් ලැබී තිබෙනවා. උතුරු පළාත කියන්නේ ලංකාවේ ඉතාම දුෂ්කර කර්කශ පළාත. 87න් පසු කිසිදු පහසුකමක් නැති වුණා කියලා කන්න නැතුව මිනිස්සු මැරුණද? නෑ. වවාගෙන කන්න පුරුදු වුණා. ඒ නිසරු ප්‍රදේශයට ඒ දේ කරන්න පුළුවන් වුණානම් සරුසාර පළාත්වල කොහොම කරන්න බැරිද? ආර්ථික තහංචි පැනවුවොත් අපට මහත් ආධාරකයක් අපේ පොළොවේ සාරයෙන් ස්වයංපෝෂිත ආර්ථිකයක් බිහි කරන්න.
• නූතන ශ්‍රී ලාංකිකයා ඔබේ මේ යෝජනාවට කැමති වෙයිද?
පන්තිකාමර අධ්‍යාපනයෙන් බටහිර පැත්තට ඔළුව හැරුණු අය බයයි පිටරටින් එන දේවල් නැති වුණොත් කන්න නැතිව මැරෙයි කියලා. එහෙම වෙන්නේ නෑ. හොඳම උදාහරණය රජරට වකුගඩු රෝගය නිසා රසායනික පොහොර නැතිව වගා කරන්න බෑ කියූ අය දැන් කොහොම හරි දේශීය වී වගා කරනවා. මුල් අවස්ථාවල දුකක් විඳින්න වෙයි. හැබැයි ඔය කියන ගෝලීයකරණය, විශ්ව ගම්මාන වැනි මායාවන්ට ගහන්න පුළුවන් හොඳම අතුල් පහරත් රට ස්වයංපෝෂණය වීමයි.
• කවුරුන් හෝ කීවොත් මේ ආපසු කරත්ත යුගයට යෑමක් කියලා?
නෑ. මේ ආපසු සොබා දහම වෙත යෑමක්. ලෝකෙම අද කතා කරන්නේ පරිසර සංරක්ෂණය ගැන. ඉතින් අපට පුළුවන් වුණොත් ඒ සඳහා පුරෝගාමී පියවර ගන්න පරිසරය සමඟ අත්වැල් බැඳගත්, තෘප්තිමත්, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාව ලෝකයේ ආදර්ශමත් රට වේවි.
• ලෝක ගෝලයේ අබ ඇටයක් තරම් රටක ඒ වෙනස ලෝකෙට දැනේවිද?
ඔය ඉංග්‍රීසි කාරයා දීපු අධ්‍යාපනයනේ. මේ අබ ඇටයක් තරම් රටට තමයි පූර්ව ඉතිහාස යුගවලදී සංස්කෘතික අධිරාජ්‍යයක් හැසිරවීමට පුළුවන් වුණේ. අපේ හෙළ යුගයේ අසුර කියන සංස්කෘතික අධිරාජ්‍යයක් තිබුණු බව අමෙරිකානු ඉතිහාසඥයින් සොයාගෙන තිබෙනවා. මෙය වරද්දා ගත්තේ රාවණ රජු විසින් එය දේශපාලන අධිරාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කිරීම නිසයි. චීනය සහ රුසියාව වගේ අපේ රට වටේත් යකඩ තිරයක් දාගෙන අපි මේ ගමන ගියොත් එතැනදී විදේශිකයන් ඇවිත් ආයෙත් බලයි කොහොමද මේ රට මේ තරම් වෙනස් වුණේ කියලා. එය නිවර්තන ලෝකයේ වෙනසට බල පා පසුව ලෝකයේම අවධානයට ලක් වෙයි.
• එක මිසයිලයකින් මේ ගමන වළක්වන්න උත්සාහ නොදරයි කියා හිතනවාද?
මිසයිලවලින් ඒ ගමන නවත්වන්න බෑ. මොකද අපි හිතනවා ද්‍රව්‍යමය බලය විතරයි ලෝකේ තිබෙන්නේ කියලා. ඒත් ශක්ති විශේෂ ලොකේ තිබෙනවා. ඒවා මඟින් තුලනය කරද්දී නිවැරැදි දේට හානි කරන්න අමාරුයි. මිසයිලය එවන්න හිතන කෙනාගේ සිත කියන්නෙත් ශක්තිය. ඒ ශක්තිය විශ්ව ශක්තිය විසින් මැඩ පවත්වනවා. ලෝකයේ පැවැත්මටයි ශක්තීන් කටයුතු කරන්නේ. විනාශයට නොවේ.