
අලුත් ආරච්චි මහත්යෙක් ගමට ඇවිදින් සිටින බව ඇඹිලියා මේ වන විටත් නොදැන සිටීම ගමටම අරුමයකි. ආරච්චි පණිවිඩේ ලැබුණහම කොයි කවුරුත් ඉස්සෙල්ලාම යන්නේ පන්සලට බව හැමෝම දන්නා කරුණකි. එහෙම ගිහිල්ලා ලොකු හාමුදුරුවන්ගෙන් පිරිත් ටිකක් කියාගත්තහම තමයි සේරොක්කොම හරියන්නේ කියලයි කාගෙත් පිළිගැනීම.
අලුත් පත්වීම ලැබුණාම ඇඹිලියා අලුත් ආරච්චි මහත්තයා බලන්න යන්නේ මුංකැවුම් හදාගෙන. ඒ විතරක් මොකද, හොඳට කිරි දාලා හදාගත්ත කිරිබතක් සමඟ හදාගත් කට්ට සම්බෝලයක් එක්ක. කවුරු නිලතල නොදුන්නත් ඇඹිලියාට ආරංචි කීමේ උපන් හපන්කමක් තියෙන බව නොරහසකි. වෙනදා වගේම මේ ඇත්තොත් බලන්න ඇඹිලියා වේලස්සනින්ම ලකලෑස්ති වුණා.
කොහොම වුණත් අලුත් කෙනෙක් ආවම අල්ලාගෙන ඇගේ වැඩ ටික කරගන්න-එක ඇඹිලියාගේ රාජකාරිය. ඇඹිලියා වෙළෙඳාමට කළේ පලතුරු විකිණීම. පලතුරු වට්ටියක දමාගෙන ඔළුව උඩ තියාගෙන ගම වටේ යන නිසා ගමේ වෙන සෑම දෙයක්ම දැන ගන්න ඇඹිලියාට පුළුවන්.
මේ දවස්වල සන්තියාගුවාගේ පොඩි කෙලී ගමට ඇවිල්ලා. ආයිත් රට යන්නේ නැහැලු. ඒ විතරක්ද, සියාතු අලුතින් ට්‍රැක්ටරයක් අරගෙන. හත්දෙයියනේ! අගුණයාගේ කෙලී කසාද මිනිහ එක්ක තරහ වෙලා ගමේ ඇවිල්ලා. අනේ දෙවියනේ මලීගේ යසට තිබුණ කොණ්ඩේ! කොහෙද ඉතින්, සිදාදියේ රස්සාවට ගියාට පස්සේ කපලා. මේ වගේ වයිවාරණ විස්තර ඇඹිලියාගේ කතාවල තිබුණා. හැම ආරච්චිලාටම මේ වගේ පණිවිඩ ගෙනියන්නේ ඇඹිලියා. සමහර දේවලට මිනිස්සු ආරච්චි මහත්තයා ළඟට හදිසියේම කැඳවනව.
‘කෝ අලුතින් ගත්ත ගොන් බාන?‘ එහෙම ඇහුවම ඒ ඈයෝ උඩ යනව. ඇඹිලියා තමයි මේ හැම වැඩකම පිටු පස්සෙන් ඉන්නේ, කියලා හැමෝම බැන බැන යනව ඇරෙන්න මොනවා කරන්නද? ගමේ රස්සාව කරනවා විතරක් නෙවෙයි, ඇඹිලියා ගෙදර මනුස්සයත් ආණ්ඩු මට්ටු කරගෙන ඉන්නේ. ඇඹිලියා නිසා සියාතු නොවිඳිනා දුක් වින්දා.
ඒත් ඉතිං මක් කොරන්නද? බැඳගත්ත බෙරේ ගහන්නම එපායැයි කියලා දීගේ පවත්වාගෙන ගියා. ඇඹිලියාගේ දුව සිදාදියට ගියේ අඩු වයසින්. ඒ මොක්කටවත් නෙවෙයි, රස්සාවකට.
අපේ කෙල්ල දැන් ඉන්නේ සිදාදියේ කියලා ඇඹිලියා මහ උජාරුවට කිවුවට මොකද හිටියායින් බාගෙයක්වත් කෙල්ලගේ නැහැ. සුමේ කරලා ඉවරයක් නැති තැන කෙල්ල ගමේ දුවගෙන එනව. ඒ ආවත් ඇඹිලියාගෙන් හරිම කරදරේ. ‘මේ කෙල්ලේ, මේ ආව නම් වැඩ ගොඩක් තියෙනවා. අත-පය බැදගෙන නම් මෙහේ ඉන්න බෑ. මට ගොඩක් වැඩ තියෙනවා. උඹලාට වගේ නෙවෙයි. සේරොක්කොම ජීවත් කරන්නේ මගේ කකුල් දෙකකයි, කටයි... තේරුණාද? උඹලාගේ තාත්තා හිටියාට කිසිම දේක ගනිච්චියක් නැහැ. මං ම හොයලා බලලා කරනකං උඹලාටත් හොඳයි. ඒත්, හිතන්න එපා මට මේ උඹලාගේ වැඩ විතරක් තියෙනව කියලා. මට මේ දාහක් වැඩ තියෙනව. මං මේ ගමේ නමක් තියාගෙන ඉන්න කෙනා වෙච්චි. මට මොන දේවල් කරන්න බැරි ද බං?‘ ඇඹිලියා එහෙම කියාගෙන කියාගෙන යනව. ගෙදරට විතරක් නෙවෙයි, ඇඹිලියා ගමේ ඈයන්ට එහෙමයි. පණිවිඩ කීම කෙළවරක් නෑ. ඒක කියන ආකාරය එකකට එකක් වෙනස්. ඒකෙත් කලාවක් තිබුණ. අකුරු සෑස්තරේ නොදන්නවාට, ඒකෙත් හොඳ කලාවක් කියලා දන්නෝ දැනගෙන හිටියේ.
අලුත් ආරච්චි මහත්තයා නම් නම්මා ගන්න එක ඒතරම් පහසු වුණේ නැහැ.
ඇඹිලියා ඒත් අතහැරියේම නැහැ. කිරි බත් කන්න කැමැතියි කියලා දැනගත්ත එක වාසියක් වුණා. මේ නිසා සතියකට දෙවතාවක් වත් කිරිබත් හදාගෙන ආරච්චි මහත්තයා බලන්න ගියා. මේ වෙලාවට කාගේ හරි වංහුං දෙකක්-තුනක් ඔහේ කියලා දානව. කොහොම වුණත් නිකං කියලා දාන දේවලින් කාගේ හරි බෙල්ල හිර වුණා.
මං මේ උත්තමයාගේ හොඳට කියන්නේ කියලා, පටන් ගත්තහම ආයිත් කෙළවර කරන තැන ඇඹිලියාටවත් හිතාගන්න බෑ. අලුත් ඇත්තොත් ඇල්ලුවේ ඒ විදිහටමයි.
ඇත්තටම හරිම හරිම දෙයකට වුණත් ඇඹිලියා බලපෑම් කරනව. මේක හත්කොරළේ හාරිස්පත්තුවේ ඇත්තන් දැනගෙන හිටියත් කරන්න දෙයක් තිබුණේම නැහැ.
ගමේ යමින්-එමින් ගමන් දැනගන්න හැම ආරංච්චියක්ම කිසිම සෝදිසියකින් තොරව ඇඹිලියා ආරච්චි මහත්තයාගේ කනේ තිබ්බා. මේ අතර දවසක් ගමට සිදාදියෙන් මහත්තුරු ටිකක් ආවේ නොදන්නාමයි.
මේ අය ආවේ අලුතින් පාරක් හදන්න කියලා ඇඹිලියා දැනගත්තේ පස්සේ. ‘ඇඹිලියා මට පණිවිඩ හරියට කියන්න ඕනේ!‘ ආරච්චි මහත්තයා එහෙම කිවුවා. ‘හා... හා...‘ කියලා ඔළුව වනලා භාර ගත්තා කිව්වහම ඒකේ පුදුමයක් නැහැ. පාර මොකද්දෝ එකකින් හිල් කරමින් හාරනවා ඇඹිලියා දැක්කේ එක පාරට. පණිවිඩේ අරගෙන ආරව්වි මහත්තයා හම්බු වෙන්න ගියා. ‘අනේ... උත්තමයෝ... ලොකු කොට්ටෝරු හොටකින් අපේ ගම විදින්න ඇවිල්ලා!‘ හැමෝම කලබල වෙලා ගියත්, අලුත් යන්තරේ දැක්කම හැමෝම පුදුම වුණා. මවලා කියනව කියලා දැනන් හිටියත් හැමෝම ඇඹිලියාගේ කතාවලට කලබල වුණා.