
ගෝලීය වශයෙන් ගත් කල ට්‍රම්ප් බරපතළ අර්බුද රැසක් නිර්මාණය කර තිබේ. විශේෂයෙන්ම ජෙරුසලම ඊශ්‍රායල් අගනුවර ලෙස පිළිගැනීම හා පලස්තීනුවන් බලහත්කාරයෙන් සාමයකට යොමුකරවාගැනීමේ ස්ථාවරය නිසා ඇතිවී තිබෙන අර්බුදය මේ අතරින් මුල් තැනක් ගනී. දෙවනුව ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකාවේ මුදල් බලය යොදවා පාලනය කිරිමට දරන ප්‍රයත්නයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙන අමෙරිකානු අරමුදල් කපා හැරීම හා අමෙරිකාවේ පිළිවෙතට විරුද්ධ රටවලට ලබාදෙන ආධාර කපාහැරීම වැනි ක්‍රියාමාර්ග ට්‍රම්ප් විසින් නිර්මාණය කරනු ලැබු අර්බුදකාරි තත්ත්වයකි.
“නිවියෝක් හිම සහ අධික සීතලකට ගොදුරු වෙලා, අපට ගෝලීය උණුසුම ඉහලයාම අවශ්‍යයි“ - ඩොනල්ඩ් ට්‍රම්ප් ( 2017 දෙසැම්බර්)
මේ අමෙරිකාව හෙවත් ලෝකයේ බලවත්ම රාජ්‍යය හා ගෝලීය රටාව මෙහෙයවන්නාගේ භූමිකාව නිරූපණය කරන රටේ රාජ්‍ය නායකයාගේ ප්‍රකාශයකි. සමස්ත ලෝකයම ගෝලීය උණුසුම හා එහි අහිතකර බලපෑම් නිසා දැනටමත් විවිධ රටවල විවිධ ස්වාභාවික ව්‍යසනයන් සිදුවෙද්දීත්, මානව ප්‍රජාව ඉතා බිහිසුණු ඉරණමකට ගොදුරු වෙද්දීත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය උණුසුමෙන් පීඩිත ලෝකය දෙසට හෙලන්නේ අතීතයේ ගිනිගන්නා රෝමය දෙසට වීණා වයමින් නීරෝ අධිරාජ්‍යයා හෙලූ ආකාරයේ සැහැල්ලු සරළ බැල්මකි. ඔහුගේ ආකල්ප වලට අනුව ගෝලීය උණුසුම යනු අමෙරිකාවට කිසිදු ප්‍රශ්ණයක් ඇති නොකරන්නකි. අනෙක් රටවලට කුමක් වුවත් තමාට කමක් නැත යන ස්ථාවරය එමඟින් ගෙනහැර දක්වයි. ගෝලීය උණුසුම පිටුදැකීමේ අවසන් ගෝලීය උත්සාහය ලෙස සැලකෙන පැරිස් ගිවිසුමෙන් කිසිදු වගවිභාගයකින් තොරව අමෙරිකාවේ දායකත්වය ඉවත් කරගන්නේ ට්‍රම්ස් සිය දැඩි ස්ථාවරය වඩාත් තහවුරු කරමිනි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේට සිය පදවියට පත්ව වසරක් සම්පුර්ණ කරයි. ඉහත ඡේදයෙන් සදහන් කළේ ගෙවී ගිය මාස 12 කට කාලයේදීඩොනල්ඩ් ට්‍රම්ප් නමැති ජනාධිපතිවරයා අනුගමනය කළ මතබේදාත්මක පියවර වලින් එකක් පමණි.
ඔහුගේ වසරක පාලන කාලය වෙනත් කිසිදු අමෙරිකානු ජනාධිපතිවරයෙකු මුහුණ නොදුන් හා සිදු නොකළ ආකරයේ හැල හැප්පීම්, මතබේද, අවුල් වියවුල් හා අත්තනෝමතික තීන්දු තීරණ මෙන්ම ක්‍රියාකාරකම්ද බහුල විය. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් යුගයේ ආරම්භය පමණ. අවසානය කෙසේ වේදැයි අනුමාන කළ නොහැකි තරම්ය. ට්‍රම්ප් සිය එක් අවුරුදු පාලන සංවත්සරය සැමරීම ආරම්භ කළේ අපූරු මාධ්‍ය සම්මාන වැඩසටහනක් ගැන තම ට්විටර් අඩවිය මඟින් විශේෂ හැදින්වීමක් කරමිනි. බ්‍රහස්පතින්දා දිනයේ ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාජ පුවත් මැවීමේ ප්‍රමුඛයන්ට තමා සම්මාන දෙන බවයි. ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන කිහිපයක් නම් කර තිබිණි. ඒ CNN, WASHINGTON POST, NEW YORK TIMES යන මාධ්‍ය ඒ අතර ඉදිරියෙන්ම වෙයි. මේ සිද්ධිය හරහා පිළිබිඹු වන්නේ ට්‍රම්ප් හා අමෙරිකාවේ ප්‍රධාන මාධ්‍ය අතර ඇති දිගුකාලීන ගැටුමයි. ඉහත දැක්වු මාධ්‍ය ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් නිරන්තරයෙන් දරන්නේ දැඩි විවේචනාත්මක ස්ථාවරයකි. ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් එම මාධ්‍ය ආයතන ගැන දරන්නේද ඉතා දැඩි ප්‍රතිවාදි ස්ථාවරයකි.
මෙය රාජ්‍ය නායකයෙකු වශයෙන් සිදුකරගන්නා ඉතා බරපතල අවදානම් ක්‍රියාවලියකි. ඒ මන්ද මාධ්‍ය හා සදාකාලිකව ගැටෙමින් පාලනය මෙහෙය වු ප්‍රජාතන්ත්‍රවාදි රටවල ඇතැම් රාජ්‍ය නායකයන්ගේ ඉරණම පිළිබදව ඕනෑ තරම් උදාහරණ ගෙනහැර දැක්විය හැකි බැවිනි.
සමීක්ෂණ වාර්තාවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් යනු සිය පාලනයේ පළමු වසර තුලදී අමෙරිකානු ඉතිහාසයේ අඩුම ජනප්‍රසාදයක් ඇති ජනාධිපතිවරයාය. මේ බව තහවුරු කෙරෙන්නේ ඔහුගේ පළමු වසර සම්බන්ධයෙන් GALLUP නමැති සමීක්ෂණ ආයතනය පැවැත්වු සමීක්ෂණයක් මඟිනි. එහිදි ඔහු ලබා ඇත්තේ 39%ක ජනතා අනුමැතියක් පමනි. බරක් ඔබාමා ජනාධිපතිවරයා සිය පළමු වසර තුළදී 50%ක අනුමැතියක්ද බිල් ක්ලින්ටන් 54% ක අනුමැතියක්ද ජෝර්ජ ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරයා 83%ක ජනතා අනුමැතියක්ද හිමිකරගෙන සිටි බව අතීත සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. එම වාර්තා මගින් ට්‍රම්ප්ගේ පාලනයට සෘජු බලපෑමක් කළ නොහැකි වුවද එය ඔහුට එරෙහිව ඉස්මතුවෙමින් පවතින අයහපත් වාතාවරණය තවත් ඉහල නංවයි. ඒ මන්ද ජනතා අප්‍රසාදය ඉහල යාම ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටද අතිශයින් අවාසි සහගත තත්ත්වයක් ඉස්මතු කරයි. වඩාත්ම බරපතල ගැටලුව වන්නේ ට්‍රම්ප්ගේ ඡන්ද පදනමද ක්‍රමයෙන් ගරාවැටෙන බවද සමීක්ෂණය මගින් විද්‍යමාන වීමයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද පදනම වුයේ සුදු ජාතික මධ්‍ය ආදායම් ලාභී අමෙරිකාවේ මධ්‍යම කොටසේ වෙසෙන ජනකොටස්ය. විශේෂයෙන්ම සුදු ජාතික පිරිමින් අතර ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහත වැටෙමින් පවතින බව හෙළිවී තිබේ.
දේශපාලන නිරික්ෂකයන් ට්‍රම්ප්ගේ භූමිකාව දකින්නේ බටහිර ලෝකයේ ආධිපත්‍යට අභියෝග කරමින් අමෙරිකාව එහි නායකත්වයෙන් ඉවත්කර හුදෙකලා ගමනකට යොමුකරන රාජ්‍ය නායකයෙකු වශයෙනි. එලෙස හැදින්වීමට ප්‍රධාන හේතුව වන්නේ යුරෝපය හා ට්‍රම්ප් අතර ඇතිවු මතබේදකාරී වාතාවරණයයි. ගෝලීය උණුසුම ඉහළ යෑම හා පැරිස් සම්මුතිය, මානව හිමිකම්, සරණාගත ප්‍රශ්නය, එක්සත් ජාතීන්ගේ භූමිකාව, ඉරාන ප්‍රශ්ණය ආදි කරුණු රැසක් සම්බන්ධයෙන් අමෙරිකාවත් - එනම් ට්‍රම්ප් පාලන අවධියේදී, යුරෝපා සංගමයත් අමෙරිකාවත් අතර ප්‍රතිවිරුද්ධ මත නිර්මාණය විය. වෙනදා මෙවැනි අර්බුද වලදී බොහෝ විට එක පෙළට හිටගන්නා යුරෝපය හා අමෙරිකාව මේ වනවිට ට්‍රම්ප් පාලනයේ ස්වභාවය මුල්කරගනිමින් එකිනෙකා දෙස හෙලන්නේ එක්තරා ආකරයක සැකමුසු බැල්මකි.
කෙසේ වෙතත් ට්‍රම්ප් බටහිර මතධාරිත්වය ඉක්මවා යමින් අමෙරිකානු මතධාරිත්වය වඩාත් තහවුරු කිරීම ට්‍රම්ප්ගේ ස්ථාවරය මෙහිලා කැපී පෙනෙයි. ට්‍රම්ප් නිරන්තරයෙන් උත්සහ දරන්නේ ඔහුගේ මැතිවරණ ප්‍රකාශණය තුලින් එළිදැක්වු “ AMERICA GREAT AGAIN“ නමැති සංකල්පය තම ධුරකාලය තුලදී වඩාත් තහවුරු කිරීමට ප්‍රයත්න දැරීමයි. ගැටළු පවතින්නේ එහිලා ඔහු අනුගමනය කරන ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙනි.
ට්‍රම්ප් සිය පාලනයේ මුල් සතිය තුලදීම දේශිය වශයෙන් මහත් ආන්දෝලනාත්මක අනපනත් ගනනාවක් ප්‍රකාශයට පත් කළේය. මූලිකම කාරණය ඔහු මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් දැරූ නොපහන් ස්ථාවරයයි. ට්‍රම්ප් මුස්ලිම් රටවල් 6කින් පැමිණෙන සියලු පුද්ගලයන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් පැනවු නියෝගය අධිකරණය මගින් නවත්වා පසුව වෙනත් මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ සැලසිණ. පොදුවේ සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග හදුන්වාදී ඇත. විශේෂයෙන් මෙක්සිකෝව හරහා එනම් ලතින් අමෙරිකානු කලාපයෙන් අමෙරිකාවට ඇතුළු වන සංක්‍රමණික ප්‍රවාහය මැඩපැවැත්වීම ට්‍රම්ප්ගේ මුලික අරමුණකි. ඒ සදහා අමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ උස තාප්පයක් ඉදිකිරීමටත් ඒ සදහා යන වියදම මෙක්සිකෝවෙන් අයකර ගැනීමටත් ට්‍රම්ප් කළ යෝජනාවට මෙක්සිකෝවේ පමණක් නොව අමෙරිකාවේ දැනට ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේද දැඩි විරෝධයට හේතු වී තිබේ.
එල් සැල්වදෝර් රාජ්‍යෙය් මහා භූමිකම්පාවෙන් පසු සහනශීලී පදනමක් මත අමෙරිකාවට ගෙන්වා ගනු ලැබූ සැල්වදෝර් වැසියන් 2019 වනවිට යළි පිටමං කිරීමටත්, නීතිවිරෝධිව අමෙරිකාවට පැමිණුණත් දක්ෂතා ඇති තරුණ කොටස් වලට අමෙරිකාවේ පුරවැසි බව ලබාගැනිමට තිබු ඩකා නැමැති වැඩපිළිවෙල නවතා දැමීමටත් ට්‍රම්ප් පිඹුරුපත් සකසා ඇති මුත් එය අධිකරණය හා අමෙරිකානු අභ්‍යන්තර දේශපාලනය හමුවේ අභියෝගයට ලක්ව තිබේ.
දේශීය වශයෙන් ගත්කල අමෙරිකාවේ ආර්ථිකය ට්‍රම්ප් පාලනය යටතේ යම් සාධනීය මුහුණු වරක් ගෙන තිබේ. එහෙත් පාලනයට වසරක පමණක් ගතවීම නිසා තවමත් ඒ පිළිබඳ ගෞරවය ට්‍රම්ප්ට ලබාදීමට කල්වේලා වැඩි බව ආර්ථික විශේෂඥයන්ගේ ස්ථාවරයයි. කෙසේ වෙතත් සියලු සාධක අමෙරිකානු ඇතුළාන්තයට යොමු කිරීමේ ට්‍රම්ප් පිළවෙත රටේ ආදායම ඉහළ නැංවීමට හේතුවන එක් සාධකයක් විය හැකි බවට යම් යම් සාධක ලැබී තිබේ.
උදාහරණ වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඇපල් පරිගණක හා ජංගම දුරකථන නිෂ්පදාන ආයතනය ඩොලර් කෝටි 3800ක බද්දක් අමෙරිකානු රජයට ගෙවිමට පියවර ගත්තේය. එය එම සමාගම විදේශයන්හි ව්‍යාපාර මගින් ඉපැයු ආදායමට පැනවු බද්දකි.
ට්‍රම්ප් ප්‍රකාශ කළේ අමෙරිකාවේ රැකියා උත්පාදනය නොකර විදේශයන්හි ආයෝජන මඟින් උපයන සමාගම් වලට දැඩි බදු ගෙවීමට සිදුවන බවයි. බදු ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක වු මේ වැඩපිළිවෙළ ගැන ඇපල් සමාගම පවසා ඇත්තේ තමන් මේ බද්ද ගෙවන අතරම අනාගයේ අමෙරිකාව තුල රැකියා අවස්ථා බිහිකිරිම සදහා දැඩි කැපවීමකින් ක්‍රියාකරන බවයි. එය ට්‍රම්ප්ගේ දැඩි පිළිවෙත් ලැබු එක් ජයකි. එහෙත් එය හුදෙක්ම අමෙරිකාවේ සුබසිද්ධිය සදහා පමණක්ම වේ. ගෝලීය වශයෙන් ගත්කල ට්‍රම්ප් බරපතළ අර්බුද රැසක් නිර්මාණය කර තිබේ. විශේෂයෙන්ම ජෙරුසලම ඊශ්‍රායල් අගනුවර ලෙස පිළිගැනීම හා පලස්තීනුවන් බලහත්කාරයෙන් සාමයකට යොමුකරවාගැනීමේ ස්ථාවරය නිසා ඇතිවී තිබෙන අර්බුදය මේ අතරින් මුල් තැනක් ගනී. දෙවනුව ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකාවේ මුදල් බලය යොදවා පාලනය කිරිමට දරන ප්‍රයත්නයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙන අමෙරිකානු අරමුදල් කපා හැරීම හා අමෙරිකාවේ පිළිවෙතට විරුද්ධ රටවලට ලබාදෙන ආධාර කපාහැරීම වැනි ක්‍රියාමාර්ග ට්‍රම්ප් විසින් නිර්මාණය කරනු ලැබු අර්බුදකාරි තත්ත්වයකි.
එමෙන්ම අප්‍රිකානු රටවල් අසුචි වළවල් ලෙස හඳුන්වමින් ගෙනයනු ලබන දැඩි වර්ගවාදි පිළිවෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් අමෙරිකාවෙන් යැපෙන කූඩැල්ලන් සේ සලකා ක්‍රියාකිරීමට ට්‍රම්ප් තුළ ඇති ස්ථාවරයත් ඔහුගේ පාලනයේ දෙවැනි වසරට නව අර්බුද රැසක් නිර්මාණය කරදෙනු ඇත. ප්‍රධානතම අවධානය යොමුකළ යුතු සාධකය වන්නේ රැසියාන සබඳතා ප්‍රශ්නය මුල්කරගනිමින් අමෙරිකාවේ පැවැත්වෙන අභ්‍යන්තර පරික්ෂණ ට්‍රම්ප්ගේ ඉදිරි පාලනයට කොතරම් දුරට බලපානු ඇද්ද යන කරුණ පදනම් කරගත් තත්ත්වයයි.