සෑම දෙයක්ම නිෂ්පාදනය කරන්නෝ හා අලෙවි කරන්නෝ සිටිති. සෑම දෙයක්ම ආනයනය කරන්නෝ හා අපනයනය කරන්නෝ සිටිති. එහෙත් දුක හෝ සතුට නිර්මාණය කරන්නෝ නැත. කළ හැකි අය ද නැත. දුක හා සතුට හැර අන් හැම දෙයක් ම තියෙන තැනක් බවට අප සමාජය පත්ව ඇත්තේ එසේය. අනෙක් සියල්ල ම තිබුණත් දුක හෝ සතුට නැති සමාජයක් මොකටද? ජීවිතයක් මොකටද? එහෙත් එයට ජීවිතය යැයි කීමට හා එය ජීවිතය යැයි සිතීමට අප පුරුදු වී සිටිමු. මෙතරම් දුකක් තවත් තිබිය හැකිද?
අපට දුක හිතෙන දෙයක් ලිවීමට නොහැකිය. අපට සතුට හිතෙන දෙයක් ලිවීමටත් නොහැකිය. අද අපේ ජීවිතය දුක හෝ සතුට නැති ලුණු නැති හොද්දක් වැනිය. අපේ රටේ ඇති ලොකුම ප්‍රශ්නය දූෂණය පැතිරීම හෝ නාස්තිය වැඩිවීම නොව ජීවිතය තුළ දුක හෝ සතුට නැතිවීම විය හැකිය. අනිත් අතට දුක හෝ සතුට නැති ජීවිතය ද එහෙම පිටින් ම නාස්තියකි. දුක හෝ සතුට නැති ජීවිතය ඒ වෙනුවට නාස්තියෙන් දූෂණයෙන් අපරාධ හා වෙනත් දෑවලින් පිරී ඇතැයි ද සිතේ.
දුක හිතෙන දෙයක් සිදුවූ වහාම එය ෆේස්බුක් දැමීමෙන් එහි දුක නැති වී සතුටක් බවට පත්වේ. සතුට හිතෙන දෙයක් සිදුවූ වහාම එය ෆේස්බුක් දැමීමෙන් එහි සතුට නැති වී දුකක් බවට පත්වේ. අපේ ඇත්තේ දුක හෝ සතුට ලුහුබඳින ජීවිතයකි. අපට ඇත්තේ දුක හෝ සතුට දඩයම් කිරීමට පුරුදු වූ ජීවිතයකි. දුක හෝ සතුට සමඟ ජීවත් වීමට අපි නොදනිමු. මෙයටත් වඩා නාස්තියක් තිබිය හැකිද? මෙය අප ලබා ඇති ජීවිතය එහෙම පිටින් ම දූෂණයට ගොදුරු කිරීමක් නොවේ ද?
දුක නොසිතෙන හා සතුට නොදැනෙන සමාජයක් හුස්ම නොගන්නා සමාජයක්යැයි ද පැවසිය හැකිය. එවන් සමාජයක් කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ සංශෝධනය කළ හැකිද?
සෑම දෙයක්ම නිෂ්පාදනය කරන්නෝ හා අලෙවි කරන්නෝ සිටිති. සෑම දෙයක්ම ආනයනය කරන්නෝ හා අපනයනය කරන්නෝ සිටිති. එහෙත් දුක හෝ සතුට නිර්මාණය කරන්නෝ නැත. කළ හැකි අය ද නැත. දුක හා සතුට හැර අන් හැම දෙයක් ම තියෙන තැනක් බවට අප සමාජය පත්ව ඇත්තේ එසේය. අනෙක් සියල්ල ම තිබුණත් දුක හෝ සතුට නැති සමාජයක් මොකටද? ජීවිතයක් මොකටද? එහෙත් එයට ජීවිතය යැයි කීමට හා එය ජීවිතය යැයි සිතීමට අපි පුරුදු වී සිටිමු. මෙතරම් දුකක් තවත් තිබියහැකිද?
දුකින් මිදිය යුතු බව ද සතුට අත් හළ යුතු බව ද ආගම ධර්මයේ සඳහන් වේ. දුක ගැන සිතා ගැනීමට නොහැකි සිතකට දුකින් මිදීම ගැන සිතිය හැකිද? සතුට ගැන සිතා ගැනීමට නොහැකි සිතකට සතුට අත්හැරීම පිළිබඳ සංකල්පයකට සමීප විය හැකිද? මෙවන් ජීවිත නාස්තියෙන් හා දූෂණයෙන් පිරීයෑම අරුමයක් ද?
අනිත් අතට සතුට හා දුක ඇති තැන නාස්තියට හා දූෂණයට ඉඩක් නැති බව ද කිව හැකිය. මේ අනුව නාස්තිය හා දූෂණය පිටුදැකීම පිළිබඳ ගැටලුව සතුට හා දුක ඇතිකර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ද වේ.
සිංහල නාට්‍ය විශාල ප්‍රමාණයක් නරඹා ඇති මගේ මිතුරෙකුට අනුව ලංකාවේ හොඳම නාට්‍යය දයානන්ද ගුණවර්ධන මහතාගේ ‘මධුරජවනිකා’වේ. තවත් වැඩිහිටි මිතුරෙකු වරක් මා සමඟ පැවසුවේ දයානන්ද ගුණවර්ධන මහතාගේ හොඳම නාට්‍යය ‘ගජමන්පුවත’ බවය. කෙසේ හෝ මේ නාට්‍ය දෙකම පාසල් විෂය නිර්දේශවල නැත. මගේ මිතුරා පැවසූවේ ‘මධුරාජවනිකා’ වැනි නාට්‍ය රජයේ වියදමෙන් හෝ රඟ දැක්විය යුතු බවයි. එච්. ආර්. ජෝතිපාල මහතාමෙන් ම දයානන්ද ගුණවර්ධන මහතා ද මේ රටේ සංස්කෘතික සම්පතකි.
ඔහුගේ වටිනාකම ද කල් යන්නට යන්නට වැඩිවේ. මා මෙයට ඉහත ලිපියක පැවසූවේ විජයනන්දසිරි මහතාගේ ජනප්‍රියභාවයට හේතු වූ ඔහුගේ නාට්‍ය හා සිනමාරංග ශෛලිය දයානන්ද ගුණවර්ධන මහතාගේ නාට්‍ය ශෛලිය තුළින් ගොඩනගා ගත් එකක් බවයි. දුක හා සතුට හඳුනන හා දුක හා සතුට නිර්මාණය කළ හැකි සමාජයකට දයානන්ද ගුණවර්ධන මහතාගේ නිර්මාණ ද බෙහෙවින් උපකාරවේ. ඒ නයින් නාස්තිය හා දූෂණය පිටුදැකීමට ද දයානන්ද ගුණවර්ධන මහතාගේ නාට්‍ය උපකාරී වනු ඇත.
නාස්තිය හා දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් මෙවැනි ප්‍රවේශයක් නොමැතිවීම ද මේ රටේ නාස්තිය හා දූෂණය දුරලීමට බාධාවකි. නාස්තිය හා දූෂණය අතින් ජීවිතයේ අර්ථය සෙවීමට උත්සාහ කරන අය බහුතරයක් අයත් වන්නේ ජෝතිගේ ගීත මගින් දුක හා සතුට විඳීමට නොහැකි අය අතරට යැයි මට සිතේ. නාස්ති හා දූෂණ ක්‍රියා මගින් රටට වින කරන යම් අයකු වේ නම් ඔහු දුක හා සතුට නොහඳුනන පුද්ගලයකු වීමට හොඳටම ඉඩ තිබේ. හිතින් සුවපත් පුද්ගලයන් ගේ අඩුව සමාජයේ සෑම තැනකම අඩුපාඩු ඇතිවීමට ප්‍රබල හේතුවක් වී තිබේ.
සතුට හා දුක යනු ද දෙකක් නොවේ. එකකි. එනම් සතුට අහිමිවීම දුක යැයි විස්තර කළ හැකිය. එසේම දුකින් ගැලවීම සතුට යැයි ද විස්තර කළ හැකිය. සතුට හඳුනන හිතක් තමන් උපන් ගමට රටට කිසිදු අයහපතක් කරන්නේ නැත. ජෝතිගේ ගීත හා දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය දූෂණ හා වෙනත් එවන් ක්‍රියාවන්ගෙන් තොර සමාජයක් බිහි කිරීමට උපකාරී වන්නේ එසේය. අවසාන වශයෙන් මට කියන්නට ඇත්තේ අපේ ජීවිත නාස්තියෙන් හා දූෂණයෙන් නොව දුකෙන් හා සතුටෙන් පුරවමු කියාය. දෙකම එකය. එකක් හඳුනන තැනැත්තා අනෙක ද හඳුනයි.
අවසාන වශයෙන් මා ජෝති හා දයානන්ද ගුණවර්ධන මහතා ගැන පමණක් සඳහන් කළත් එවන් ගණයේ සියලූ නිර්මාණකරුවෝ නාස්තියෙන් හා දූෂණයෙන් තොරපුද්ගලයන් වනවා පමණක් නොව එවන් සමාජයක් බිහිකිරීම සඳහා වටිනා මෙහෙවරක් ඉටුකරන්නෝ ද වෙති. දේශපාලනයෙන් පමණක් එය කළ නොහැකිය.