
සත්‍යය වෙනුවට එතැන පවතින්නේ නිශ්ශබ්දතාවය නම් නිහඬතාව බොරුවක් බව රුසියානු ලේඛක ( Yevgeny Yevtushenco) යෙව්ජෙනි යෙව්තුෂෙන්කො පැවසුවේ අපට යැයි සිතූ ඔවුන් නිහඬතාව බිඳ දැමීය. ඒ හඬ එක් අයකුගේ හෝ දෙදෙනකු ගේ නොව, ලිංගික හිංසනයට ලක් වන ලොව පුරා කාන්තා පරපුරේම ය. සියල්ල නිහඬව දරා ගැනීමට පුරුදු වූ කාන්තාව දිනපතා මුහුණ දෙන ඉතා කටුක අත්දැකීම එයයි. ලොව හතර අත වෙසෙන කාන්තාවන් ලිංගික හිංසනයට ලක් වන්නේ තැනක් නොතැනක්, තරාතිරමක් නැතිවය. එය සේවා ස්ථානයේ දී, මහමග දී, පොදු ප්‍රවාහන සේවාවල දී මෙන්ම ඇතැම් විට සිය නිවසේදී ද විය හැකිය. වාර්තා වලට අනුව 1998 වසරේ සිට කාන්තාවන් 17,700,000ක් ලිංගික හිංසනයට ලක් වී තිබේ.
අප හිතන්නේ මේ තත්ත්වය වැඩියෙන්ම පවතින්නේ නොදියුණු රටවල කියාය. අඩු ආදායම් ලබන සුළු රැකියාවල නියුතු වූවන් අතර කියාය. එහෙත් මේ වන විට එය සාවද්‍ය මතයක් බවට පත් කරමින් සංවර්ධිත රටවල ප්‍රසිද්ධ හා ඉහළ තනතුරු දරන කාන්තාවෝ සිය හඬ අවදි කරති. මේ අතර නළු නිළියෝ, සෙනෙට් සභිකයෝ, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, ප්‍රධාන විධායක නිලධාරීන්, වෛද්‍යවරුන්, කළමනාකරුවන් මෙන්ම ගායක ගායිකාවෝ ද මාධ්‍යවේදීන් ද මෙකී නොකී සෑම ක්ෂේත්රයකම වැඩකාරයෝ ද වෙති. තරාතිරමක් නොමැතිව ලිංගික හිංසනයට ලක් වූ ඔවුන් ලද අවස්ථාවේ දී තම තරාතිරම නොබලාම සිය අමිහිරි මතකය සිහිපත් කරයි.
ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන මාලාවක් සම්බන්ධයෙන් හොලිවුඩයේ බලගතු නිශ්පාදක හාවි වයින්ස්ටීන්ට බරපතල චෝදනා එල්ල වන්නේ ඒ හඬ අවදි වීමත් සමගය. ඒ හඬින් සන්නද්ධ වූ මිලියන ගණන් කාන්තාවෝ තමන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික අතවර හෙළිදරව් කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. ඒ #MeToo හෑෂ් ටෑගය යටතේය. 'මයිස්පේස්' සමාජ ජාලය හරහා #MeToo නිර්මාණය කරන්නේ ටරානා බර්ක් නම් සමාජ ක්‍රියාකාරිණියක හා සමාජ සංවිධායිකාවක විසිනි. පළමු පැය 24 තුළ මිලියන 12ක් උඩුගත කිරීම් තුළින් මෙම හෑෂ් ටෑගය මිලියන 4.7කට වැඩි පිරිසක් භාවිතා කර තිබේ. මෙහි අසන්නට ලැබෙන ඔවුන්ගේ කටුක අත්දැකීම් සැබැවින්ම ශෝචනීය ය.
බීබීසි වාර්තාකාරිනියක වන රාජිනි වෛද්‍යනාදන් #MeToo හෑෂ් ටෑගය යටතේ සිය හඬ අවදි කරන්නට පසුබට නොවූවාය. උතුරු ඇමෙරිකානු රාජිණි එදින පැමිණ තිබුණේ නිව්යෝර්ක් නුවර පැවති රිපබ්ලිකන් පක්ෂයේ වාර්ෂික සමුළුව වාර්තා කිරීම සඳහාය. රාජිනී එම කණ්ඩායමේ තරුණ නිෂ්පාදකවරියක විය.
" ඒ වෙන කොට මට අවුරුදු 25 ක් විතර ඇති. වාර්තාවක් ඉවර කරලා, අපි නිව්යෝක් නුවර ඉතාලි භෝජන ශාලාවක ආහාර ගනිමින් හිටියා. වැඩේ ඉවරවෙලා අපේ කණ්ඩායමේ හැමෝම වගේ ආපහු ගියා. මාත් එක්ක හිටියේ එක්කෙනෙක් විතරයි.
භෝජනාගාරයේ ඔවුන් දෙදෙනා රාත්‍රී ආහාරය ගන්නා අතරවාරයේ ඇය කම්පනයට පත් කරමින් ඔහු පවසා ඇත්තේ "මට හිතාගන්න බැරි තරම් මම ඔයා ගැන ලිංගිකව ආකර්ෂණය වෙලා. මට ඔයා ගැන නොහිතෙන වෙලාවක් නෑ"
ඒ මොහොතේ ස්පැගටි ද සමග තම අතේ තිබූ ගෑරුප්පුව බිම වැටුන බව රාජිනී වෛද්‍යනාදන් පවසයි.
"එයා මට වඩා දෙගුණයක් විතර වැඩිමල් කෙනෙක්. අපි බොහොම ගරු කරන කෙනෙක්. අනික එයාට පෙම්වතියකුත් ඉන්නවා."
සේවා ස්ථානයේ දී බොහෝ පුරුෂාධිපතිවාදී හැසිරීම්වලට ගොදුරු වී තිබුණ ද එවැනි සෘජු හිරිහැරයකට ඊට කලින් තමන් මුහුණ දී නොතිබූන බව ඇය සඳහන් කරයි. එම කතා බහ පිළිබඳව පිළිකුලක් දැනුන ද ලිංගික හිරිහැරයක් පිළිබඳව පැමිණිලි කළ හැකි මට්ටමේ කිසිවක් ඔහු පැවසුවේ දැයි එදා තමන්ට පැහැදිලි හැඟීමක් නොතිබුන බවයි රාජිණී පවසන්නේ.
හාවි වයින්ස්ටීන් සම්බන්ධ හොලිවුඩ් පුරවරයේ ලිංගික හිංසන ආන්දෝලනයත් සමගම බලගතු පුරුෂයන්ගේ අධිපතිවාදී හැසිරීම ගැන මෙන්ම පිළිගත හැකි සහ පිළිගත නොහැකි හැසිරීම් කවරක් දැයි යන්න පිළිබඳව පුළුල් සංවාදයක් මතු වී තිබෙන බවත් ඇය පෙන්වා දෙයි.
ලිංගික හිංසනයක් කළ බව සැලකෙන්නේ ඔහු ඔබේ ශරීරය ස්පර්ශ කළේ නම් පමණක් ද? ඒ පුද්ගලයා ඔබේ මිතුරෙක් නම් එවිට මතු වෙන තත්වය කුමක්ද? එවිට එහි අවසානය කවරක්ද? - බොහෝ දෙනාට පැණ නගින ප්‍රශ්නයි.
තවත් අයුරකින් තමන් ලිංගික හිංසනයට ලක් වන බව නොදැන, එහෙත් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ලක් වන බව වත්මන් කාන්තාව නොදනී. ඒ අන්තර්ජාලය ඔස්සේය. සයිබර් බුලින් වත්මන් කාන්තාව මුහුණ දෙන බරපතලම ලිංගික හිංසනයයි. එසේම පොදු ප්‍රවාහන සේවා වලදී තරුණියන් ලිංගික අතවරවලට ලක් වීම ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බව පසුගියදා අනාවරණය විය.
මහමග දී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන සහ අත්දැකීම් වාර්තාකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පිනී එලීසා හැච් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් හඬ අවදි කරන්නීය. එවන් අත්දැකීම් සහිත කාන්තාවන් ඇයගේ කැමරා කාචයට හසු කර ගනිමින් ඇය " චියර් අප් ලව්" ඡායාරූප මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රබල ව්‍යාපෘතිය දියත් කරන්නීය.
මේ අතර විරාලි මෝදි ලිංගික අතවරවලට ලක්වන ආබාධිත කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම ඔවුන් සඳහා වන පහසුකම් වෙනුවෙන් ද සිය හඬ අවදි කරයි. ඉන්දියාවේ දුම්රියකට ඇතුළු වීම සඳහා දුම්රිය සේවකයින් ගේ සහාය පැතූ ඇය ලිංගික හිංසනයට ලක් වූවාය.
"මුම්බායි නගරයේ දුම්රිය ස්ථානයක දී මාව හිංසනයට ලක්වුණා. අවස්ථා තුනක දී දුම්රිය සේවකයන් මා අයුතු ලෙස ස්පර්ශ කළා.
දුම්රියට මාව උස්සා තබන්න සේවකයන් දෙදෙනෙකුගේ සහාය ලබා ගන්න මට සිදුවුණා. ඒ වෙලාවේ එක් සේවකයෙක් මගේ පසුපසින් අල්ලලා මගේ පපුව වටේ අත දාලා පහස ලබන්න උත්සාහ කළා" යැයි විරාලි සිය අසහනකාරී අත්දැකීම හෙළිදරව් කරන්නීය.
තමන් වැනි ආබාධිත කාන්තාවන් සහ තම ප්‍රජාව වෙනුවෙන් ඇති පහසුකම් ඉහළ නැංවීම සඳහා ව්‍යාපාරයක් දියත් කිරීමට ඇය පෙළඹෙන්නේ එම සිදුවීමෙන් ලද අමිහිරි අත්දැකීමෙන් ලද පන්නරයෙනි.
" මට වටිනාකමක් නැහැ කියලා ඒ වෙලාවේ දැනුණා. මට විතරක් නෙවෙයි, ඉන්දියාවේ වෙසෙන ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් හඬක්, වටිනාකමක් නැහැ කියලා මට දැනුණා"
විරාලි මෝදි 2014 වසරේ ඉන්දියාවේ පැවති ආබාධිත රූ රැජින තරගයේ දෙවන ස්ථානය දිනා ගත් තැනැත්තියයි.
බ්‍රිතාන්‍ය ප්‍රවාහන සේවාවන් හිදී ලිංගික අතවරවලට ලක් වන කාන්තාවන් සංඛ්‍යාව 2016- 2017 අතර කාලය තුළ පමණක් 1448 ක් බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලීසියේ සංඛ්‍යා ලේඛන වල දැක්වේ. සාදයක් අවසානයේ යළි සිය නිවෙස වෙත යාම පිණිස දුම්රියට නැගුනු තරුණියකට එම දුම්රියේදී තරුණයන් දෙදෙනෙකු විසින් ලිංගික අතවර කළ අවස්ථාවක් පිළිබඳව මෑතදී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
ඇමෙරිකාවට, බ්‍රිතාන්‍යට, ඉන්දියාවට පමණක් නොව මෙය අද ලොව පුරා පොදු ලක්ෂණය වී ඇති බව එක්සත් ජාතීන් ද අවධාරණය කරයි.
" හැමදාම වගේ මොකක් හරි හිරිහැරයක්. එක දවසක් මම කෝච්චියේ අල්ලගන්න තැනක් නැතිව දෙපැත්තට විසිවෙනකොට මගේ දෙපැත්තේ හිටපු මිනිස්සු දෙන්නෙක් මගේ පියයුරු අල්ලනවා" මේ ඉන්දීය සාගරයේ මුතු ඇටයෙන් නැගෙන හඬයි. ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන නමුත් ලිංගික හිංසනය යනු දඬුවම් කළ හැකි වරදක් යයි බොහෝ දෙනා නොදන්නා බව එක්සත් ජාතීන් ගේ සංවිධානය අනාවරණය කළේය.
ටයිම් සඟරාවේ දෙසැම්බර් 18 වැනිදා කලාපයේ වසරේ පුද්ගලයා ලෙස කවරය සැරසීමට යොදා ගත්තේ මෙම නිහඬතාව බිඳින්නියන් ගේ ඡායාරූපයකි.
තමන්ගේ නිහඬ බව බිඳීම පිළිබඳව ටයිම් සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් #MeToo හි සඳහන් කිරීම් ගැන මෙසේ ඉදිරිපත් කර තිබිණි.
" මා මුල්ම සංගීත වේදිකාවට ගොඩ වන්නේ විශාල බරක් හිතේ දරා ගෙනයි. එම බර සැහැල්ලු කරන්නට මට වසර ගණනාවක් යන තුරු බැරි වුණා. නමුත් අවසානයේ මම මගේ ජීවිතය තෝරා ගත්තා"
ජනප්‍රිය ගායිකා මෙන්ම ගීත
රචිකාවියක වන ටේලර් ස්විෆ්ට්
"මට කළ නොහැකි වූ දෙයක් මගේ දුව වෙනුවෙන් කරන්න පුළුවන්. මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා"
මාධ්‍යවේදිනියක වන මෙගින් කෙලී
"මම දන්නවා පාර දිර්ඝ සහ අපහසු බව, නමුත් අවසානයේ එය නිවැරදියි"
මාධ්‍යවේදිනී සැන්ඩ්‍රා මුලර්
"අනෙක් අය මා විවේචනය කළාට කමක් නෑ. මට වූ දේම සිදු වන අන් අයට උදව් කළ හැකියි"
ස්ට්‍රෝබෙරි නෙළන්නියක වන
ඉසබෙල් පැස්ක්වෙල්
"අපි වෙහෙසට පත්ව සිටිමු. නිකරුණේ ගත කිරීමට කාලය නෑ"
කලාකාරිනි සහ ක්‍රියාකාරිනියක වන රෝස් මැක්ගොවන්
"මම ඔහුට විරුද්ධ වුණොත් මා පැහැර ගෙන පෑනකින් ඇස් උගුල්ලා හඩ්සන් ගඟට විසි කරන බව ඔහු පැවසුවා "
නිළියක වන සෙල්මා බ්ලෙයාර්