මැදපෙරදිග සාමයට ‘මරණයේ හාදුවක්’ බලහත්කාරයේ බිහිවුවද | Page 10 | සිළුමිණ

මැදපෙරදිග සාමයට ‘මරණයේ හාදුවක්’ බලහත්කාරයේ බිහිවුවද

ඊශ්‍රායලය නමැති රාජ්‍යය සම්පුර්ණයෙන්ම මකාදැමිය යුතු යැයි අන්තවාදින් හැර පලස්තීනුවන් හා සෙසු ලෝක ප්‍රජාව පවසා නැත. මේ බලහත්කාර රාජ්‍ය ස්ථාපන ක්‍රියාවලිය මගින් අසාධාරණයට ලක්වූපලස්තීන ජනතාවට ජීවත් විමට රටක් ලබාදිය යුතුය යන මතය අන්තර්ජාතික වේදිකාවලදී සම්මතවූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කරනු ලැබුවේ පලස්තීන හා යුදෙව්රාජ්‍ය දෙකක් අදාළ භූමිභාගයේ ස්ථාපනය කිරිමයි. 1993 ඊශ්‍රායල් පලස්තින සාම ගිවිසුමේද මුලික අරමුණ වුයේ එයයි.

“ජෙරුසලම ඕනෑම මොහොතක පුපුරා යා හැකි කාළ බෝම්බයකි“

- ජෝර්දානයේ අබ්දුල්ලා රජු

ජුදාස් නමැති අනුගාමිකයා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පාවා දෙනු ලැබුවේ රිදී කැබලි 30 කටයි. මේ පාස්කු සමය නොවුනද වසරේ නත්තල උදාවීමට ආසන්නව තිබියදී එවැනි මහා පාවා දීමක් ගැන අන්තර්ජාතික තලයෙන් අසන්නට ලැබේ.

මෙවර ජුදාස්ගේ භූමිකාවට පණ පොවන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඔහු පාවාදෙනු ලබන්නේ කිතු, ඉස්ලාම් හා යුදෙව් ආගමිකයන්ගේ ශුද්ධ භූමියක් වන ජෙරුසලම් නගරයයි. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බව ප්‍රකාශයට පත් කරමින් එය ඇමෙරිකාව විසින් පිළිගනු ලැබීමේ නිල නිවේදනය බදාදා රාත්‍රියේ නිකුත් කිරීමටත් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටත් ට්‍රම්ප් පියවර ගත්තේය. එය ගෝලීය භූ දේශපාලනය, අන්තර්ජාතික සබඳතා හා විවිධ ජාතින් හා ආගමිකයන්ගේ අයිතින් සම්බන්ධයෙන් සලකා බලා ගතයුතු භාරදුර තීරණයක් වුවත් සුපුරුදු පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදි කළේ තමන් කී දේ කිරීමකි. වෙනත් වචන වලින් කිවහොත් ජන්ද පොරොන්දුවක් ඉටු කිරිමකි.

එය තමාට ජනාධිපතිවරණය සඳහා වැඩිපුරම විදයම් කළ යුදෙව් ජාතික කැසිනෝ ව්‍යාපාරික රජු වන ෂැල්ඩන් ඇඩෙල්සන් හට ට්‍රම්ප් ලබාදුන් පොරොන්දුවකි. එමගින් අමෙරිකානු දේශපාලනයේ ලා ප්‍රබල භූමිකාවක් ඉටුකරන එරට යුදෙව් ප්‍රජාව සතුටු කිරීමටත් පලස්තීන ප්‍රශ්නයේදී ඊශ්‍රායලයට වඩාත් වාසිදායක තත්ත්වයක් අත්කර දීමටත් ට්‍රම්ප් ක්‍රියාකළේය.

ෂැල්ඩන් ඉකුත් අමෙරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට හා රිපබ්ලිකන් පක්ෂයට ජයග්‍රහණය උදෙසා වැයකර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන සියයකට එනම් කෝටි 10කට ආසන්න මුදලකි. එබැවින් ට්‍රම්ප් හා රිපබ්ලිකන්වරු කැසිනෝ ව්‍යාපාරික ප්‍රධානියාගේ අභිමතය ඉටුකළ යුතු වේ. එය මැතිවරණ සමයේ ණය යළි ගෙවා දැමීමකි.

මේ අනුව තම මිල සඳහා වැනිසියේ වෙළෙන්දා මෙන් උපරිම වටිනාකම් ලබාගැනීමට ෂැල්ඩන් සමත් වී තිබේ.

එසේම ඩොනල්ඩ් ට්‍රම්ප් ජුදාස්ගේ භූමිකාව ඉක්මවා යමින් රිදී කැබලි තිහක් වෙනුවට ජෙරුසලම් ගණුදෙනුවට වැඩි මුල්‍ය වටිනාමක් එනම් ඩොලර් කෝටි 10ක් තරම් ඉහළ අගයක් එක් කිරීමට සමත් වී තිබේ.

ඉතිහාසය යළි යළිත් පුනරාගමනය වේ යැයි කාල් මාක්ස් පවසා ඇත. ට්‍රම්ප්ගේ ගනුදෙනුව ලෝකයට නැවතත් සිහිපත් කරන්නේ වසර 2017කට පසු ඉතිහාසය යළි පුනරාගමනය වු බවකි. එහෙත් තමාගේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සමස්ත ලෝකයටම බලපාන හා බරපතල ලේ වැගිරීම් ගෝලීය මට්ටමින් ඇවිළවීමට තරම් තුඩුදෙන පියවරක් ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති අයිතිය කුමක්ද යන්න ගැන ජගත් ප්‍රජාව ප්‍රශ්න කරයි.

ජෙරුසලම යනු මධ්‍යධරණි මුහුදත් මළ මුහුදත් අතර පිහිටි ජුදෙයානු කඳුකර භූමි ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් නගරයකි. එය සර්ව ආගමික ඓතිහාසික කේන්ද්‍රයක් ලෙස හඳුන්වාදීම වරදක් නොවේ.

වසර 5000ක පමණ ඉතිහාසයක් ඇති මේ නගරය ක්‍රිස්තියානි, ඉස්ලාම් හා යුදෙව් ආගමික කොටස් එක හා සමාන වැදගත් කමකින් හා දිවි හිමියෙන් එහි අයිතිය තමන් වෙත පවත්වාගැනීමේ අභිලාෂයකින් කැපවීම් සිදු කරන භූමියකි. බයිබලයට අනුව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඇතිදැඩි වුයේ, දහම් දෙසුවේ, කුරුසිය මත දිවි කැපකළේ හා මරණයෙන් උත්ථාන වුයේ ජෙරුසලම හා ඒ ආශ්‍රිත භූමියේදීය. ඉස්ලාමීය ආගමික ඉතිහාසයට හා ශුද්ධ වු කුරානයට අනුව මහම්මද් නබි තුමා දෙව්ලොවට පිවිස දෙවියන් හමුවීමට ප්‍රථම ජෙරුසලමට පැමිණ තිබේ.

පෙරදා රාත්‍රියේ එතුමන් ජෙරුසලමට ගුවනින් රැගෙන විත් ඇත්තේ අල් බුරාක් නමැති දිව්‍යමය සත්ත්වයෙකු විසිනි. ජෙරුසලම මුසොල්මානුුවන්ගේ වන්දනීය ස්ථානයක් ලෙස නබි නායකතුමන් විසින් නම්කරනු ලැබ ඇත. ආගමික ඉතිහාසයට අනුව ජෙරුසලම යුදෙව් ආගමිකයන්ගේ කේන්ද්‍රස්ථානයයි. හීබෘෘ බයිබලයට අනුව එය යුදෙව් ආගමික මුලාරම්භකයා වන ඒබ්‍රහම් විසින් තම පුත්‍රයා වු ඉසාක් දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කිරීමට සැරසුනේ ජෙරුසලමේදීය. එය යුදෙව් ආගමික රජු වන ඩේවිඩ්ගේ රාජධානියේ අගනුවරයි.

ඔහුගේ පුත්‍රයා සොලමන් රජු ජෙරුසලමේ ශුද්ධ වු දේවමාලිගා තැනු බව හීබෘෘ බයිබලයේ දැක්වේ. අදටත් යුදෙව් ආගමිකයන්ගේ මුදුන් මල්කඩ වු නටබුන් දේව මාලිගය හා වැලපෙන පවුර පිහිටා ඇත්තේ පැරණි ජෙරුසලමේ හෙවත් නැගෙනහිර ජෙරුසලමේය.

ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වු අල් අක්සා දේවස්ථානය මෙන්ම කිතු බැතිමතුන්ගේ අතිශය පූජනීය වු සිද්ධස්ථාන කිහිපයක්ම එහි පිහිටා තිබේ. මේ නිසා ජෙරුසලම තමන් භාරයේ තබාගැනිමට යුදෙව් ක්‍රිස්තියානි හා මුස්ලිම් පාර්ශව ඉතිහාසය පුරා දිවි හිමියෙන් සටන් කළහ. තුර්කි ඔටෝමන් ඉස්ලාමීය ව්‍යාප්තියට එරෙහිව දෙවැනි අර්බන් පාප් වහන්සේගේ නියමය පරිදි ක්‍රිස්තියානි නයිට්වරු 1095දී කුරුස යුද්ධ ආරම්භ කළේ ජෙරුසලමේ අයිතිය වෙනුවෙනි. එංගලන්තයේ සිංහ රිචඩ් රජු (RICHARD THE LION HEART) තම සටන්කාමි දිවියෙන් වැඩි කොටසක් ගත කළේ ජෙරුසලමේ අයිතිය රැක ගැනීමට සඳහා සටන් කිරීමටයි. මේ නිසා ජෙරුසලම යනු වසර 5000ක් කල් ශුද්ධ භූමියක් මෙන්ම ආගමික ලේ වැගිරීම් සිදුවු ස්ථානයක් ලෙස පිළිගැනේ.

ජෙරුසලම සම්බන්ධ වත්මන් ප්‍රශ්නයට අඩිතාලම වැටෙන්නේ 1948දී ඊශ්‍රායලය නම් යුදෙව් රාජ්‍යය, ඉස්ලාම් ආගම අදහන පලස්තින නම් ජනකොටස ජීවත් වු ප්‍රදේශ ගනනාවක් ද බලහත්කාරයෙන් ඈඳාගනිමින් බිහිවීමත් සමගයි. හීබෘ බසින් ඊශ්‍රායල් යන්නෙහි අර්ථය දෙවියන් පවතී යන්නයි.

ඒබ්‍රහම්ගේ මුනුබුරා වු ජේකොබ්ගේ ආගමික නාමය වන ඊශ්‍රායල් යන්න පදනම් කරගනිමින් යුදෙව් රාජ්‍යෙය් නම ස්ථාපනය කෙරිණ. නව යුදෙව් රාජ්‍යයේ අගනුවර ටෙල් අවිව් නගරය ලෙස නම්කෙරුණත් තමන්ගේ ඓතිහාසික ආගමික අගනුවර ජෙරුසලම බවට ඊශ්‍රායලයේ පමණක් නොව ලොව සෑම තැනකම වෙසෙන යුදෙව්වන්ගේ විශ්වාසය විය.

1948 ඊශ්‍රායලය බිහිවීමේදි ප්‍රථමයෙන් ඈඳාගනු ලැබුවේ බටහිර ජෙරුසලම පමණි. එහෙත් 1967 ජුනි 5 සිට 10 දා දක්වා ඊශ්‍රායලය එක් පසෙකත් ඊජිප්තුව, ජෝර්දානය හා සිරියාව එක් පසෙකත් සිටිමින් සිදුවු “සය දින යුද්ධය“ නමින් අන්තර්ජාතික අධ්‍යයන වලදී හඳුන්වනු ලබන බිහිසුණු යුද්ධයේදී ඊශ්‍රායලය තම යුද ශක්තිය විදහා දක්වමින් ජෝර්දානය සතුව පැවති පැරණි නුවර ඇතුළු නැගෙනහිර ජෙරුසලම, පලස්තීන ගාසා තීරය හා බටහිර ඉවුර නැමති ප්‍රදේශ, ඊජිප්තුව සතු සිනායි කාන්තාරය, සිරියාව සතු ගෝලාන් කඳුකරයත් ග්‍රහණයට ගත්තේ ජුනි 11 වෙනිදා වනවිට පරාජිත අරාබි රටවල් සටන් විරාම ගිවිසුමක් සඳහා යොමුකරවමිනි. ඊශ්‍රායලය අනුන් සතු භූමිය අත්පත් කරගනිමින් තමන් ව්‍යාප්ත වීමේ කූඨ ක්‍රියාවලිය මුදුන්පමුණුවා ගත්තේ සයදින යුද්ධය තුළිනි.

සිනායි කාන්තාරය හැර අනෙකුත් සියලු භූමි භාග අදටත් ඊශ්‍රායල් පාලනය යටතේ පවති. ජෙරුසලමේ කොටස් දෙකම ඊශ්‍රායල් - යුදෙව් පාර්ශවය සතු වන්නේ සයදින යුද්ධයේ දීය. එය යුදෙව්වන් ඉතිහාසය පුරා අපේක්ෂා කළ තත්ත්වයකි.

අතීතයේ කළ වැරදි කාලය හා ගතවෙද්දී නීත්‍යනුකූල වීම හා බලහත්කාරී බව හා ගෝලීය බලවතුන්ගේ අසීමිත උදව් උපකාර මත බලය ව්‍යාප්ත කිරීම යන සාධක පදනම් කරගනිමින් ඊශ්‍රායලය ජෙරුසලම හා සෙසු අල්ලාගත් ප්‍රදේශවල තම අයිතිය තහවුරු කිරීමේ ක්‍රියාවලියේ යෙදුනේ සමස්ත ගෝලීය ජන මතයට පයින් ගසමිනි.

මේ අත්තනෝමතික ක්‍රියාවලියේදි ඊශ්‍රායලය ආරක්ෂා කිරිමට අමෙරිකාව නිරතුරුව කැපවී සිටියේය. ඒ නිසා අනුන්ගේ ඉඩම් බලෙන් අල්ලාගෙන ගෙවල් සැදීමට ගමේ මැරයා ක්‍රියාකරන ආකාරයෙන් ඊශ්‍රායලය පලස්තිනුවන්ගෙන් බලහත්කාරයෙන් අල්ලා ගත් බිම් වල යුදෙව් වැසියන් සඳහා ජනාවාස පිහිටුවමින් සිටියදී අමෙරිකාව ඇතුළු බලවත් රටවල් අන්ධ-ගොළු -බිහිරි ප්‍රතිපත්තිය අනුගමනය කළේ මැදපෙරදිග තම බලාධිකාරයේ නියෝජිතයා ඊශ්‍රයාලය වන බැවිනි. කෙසේ වෙතත් කිසිදු රටක් මේ දක්වා ඊශ්‍රායලයේ භූමි අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය අනුමත කිරිමට හෝ ඊට නීත්‍යානුකූල පිළිගැනීමක් ලබාදීමට උත්සුක වුයේ නැත. ඉතිහාසයේ මුල්වරට එම පාපකර්මයට දායක වුයේ හිතෙන දේ කියන කරන හා තමන් කියපු දේ කරන ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරයායි.

බලහත්කාරයේ බිහිවුවද ඊශ්‍රායලය නමැති රාජ්‍යය සම්පුර්ණයෙන්ම මකා දැමිය යුතු යැයි අන්තවාදින් හැර පලස්තීනුවන් හා සෙසු ලෝක ප්‍රජාව පවසා නැත. මේ බලහත්කාර රාජ්‍ය ස්ථාපන ක්‍රියාවලිය තුළින් අසාධාරණයට ලක්වු පලස්තීන ජනතාවට ජීවත් විමට රටක් ලබාදිය යුතුය යන මතය අන්තර්ජාතික වේදිකා වලදී සම්මත වු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කරනු ලැබුවේ පලස්තීන හා යුදෙව්රාජ්‍ය දෙකක් අදාළ භූමිභාගයේ ස්ථාපනය කිරිමයි. 1993 ඊශ්‍රායල් පලස්තින සාම ගිවිසුමේද මුලික අරමුණ වුයේ එයයි.

එතෙක් සටන්කාමී සංවිධානවලට පමණක් සීමා වී සිටි පලස්තීන නායකත්වය යසර් අර්ෆත් යටතේ වු පලස්තීන අධිකාරිය මගින් රාජ්‍ය පාලන ඒකකයක් බවට පත්වී අන්තර්ජාතික පිළිගැනීමක් ලැබීමත්, යම් භූමිභාගයක් සඳහා තම පාලන බලාධිකාරය පව්තවාගෙන යාමට අවසර හිමිවීමත් මේ ගිවිසුම යටතේ සිදුවිය.

එහෙත් එම සාම වැඩපිළිවෙල කඩා වැටීමට මූලික සාධක වුයේ 2000 වසරේදී එවකට සිටි අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ මැදිහත්වීමෙන් ඊශ්‍රායල් අගමැති එහුද් බරාක් සහ පලස්තීන නායක යසර් අර්ෆත් අතර කෑම්ප් ඩේවිඩ් නිවාඩු නිකේතනයේ පැවති සාකච්ඡා වලදී මුලික වශයෙන් ජෙරුසලමේ අයිතිය හා පලස්තීන සරණාගත ප්‍රශ්නයට විසදුම් සෙවීමට නොහැකි වු නිසාවෙනි. එදා සිට අඩපන වු ඊශ්‍රායල් පලස්තීන සාම වැඩපිළිවෙල යළි පණගැහෙන තත්ත්වයක් කිසිදු ආකාරයකින් වර්තමානයේ පවා නොපෙන්වයි.

ඊශ්‍රායලය ඉතිහාසයේ මුල සිටම ගෝලිය ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ ජෙරුසලම ඊශ්‍රායල් අගනුවර ලෙස පිළිගෙන ඊට නීත්‍යනුකූල මුහුණුවරක් දෙන ලෙසයි.

එහෙත් අමෙරිකාවද ඇතුළුව අන්තර්ජාතික ප්‍රජාව කිසි කළෙකත් ඊට එකග නොවුයේ එය ඊශ්‍රායලයේ බලහත්කාරිබවට නීත්‍යනුකූලතත්ත්වයක් ලබා නොදිය හැකි බැවිනි. ට්‍රම්ප්ගේ පියවර තුළින් ජෙරුසලමේ අයිතිය නීත්‍යානුකූලව තමන් වෙත පවරා ගැනීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට ඊශ්‍රායලයට හැකි වෙයි. එය ඉතිහාසයේදී අසාධාරණයට ලක්වු පලස්තීනුවන්ට එල්ල කරන මරු පහරකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග සාමයට “මරණයේ හාදුවක්“ ලබා දී ඇතැයි පලස්තීන පාර්ශවය පවසන්නේ එබැවිනි. එහෙත් යුරෝපා සංගමය ඇතුළු කිසිදු රටක් ට්‍රම්ප්ගේ තීරණය පිළිගන්නේ නැත.

එහෙත් ට්‍රම්ප් කළේ යුදෙව්වන් වෙනුවෙන් “ගල්ලෙන බිඳ ලෙන්දොර හැරීමකි“. එය තම මැතිවරණ ව්‍යාපාරයට මුදල් වැය කළ යුදෙව් මිතුරා වෙනුවෙන් ට්‍රම්ප් කළ විශාල කැපකිරිමකි. ඒ හමුවේ මැදපෙරදිග සාමය ගැන ට්‍රම්ප් කරන ප්‍රකාශ හුදු ප්‍රලාප බවට පත්වෙයි.

ට්‍රම්ප් පලස්තින රාජ්‍යයක් සඳහා එකඟ වන්නේ ඒ සඳහා ඊශ්‍රායල් පලස්තීන දෙපාර්ශවයේම අනුමැතිය ලැබෙන්නේ නම් පමණක් බව ධවල මන්දිරය ප්‍රකාශයේදී සඳහන් කර තිබේ. එය ඇමෙරිකාව පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් දැක්වු වඩාත්ම බරපතල උදාසීන භාවයයි. එහෙත් ට්‍රම්ප් තම පියවරට එරෙහි විරෝධතා කිසිවක් කිසිවක් ගණන් ගන්නා බව පෙනේ. ලෝකයට කොතරම් අයහපතක් ගෙන දුන්නත් අමෙරිකාවට වාසියක් වන ක්‍රියාමාර්ග අනුගමය කිරිමෙන් වලකින්නේ නැතැයි යන පණිවුඩය ට්‍රම්ප් නැවතත් ලෝකයට ලබාදී තිබේ. 

Comments

පිටු