සක්ව­ලින් එපිට | Page 2 | සිළුමිණ

සක්ව­ලින් එපිට

මේ කාලයේ හූනියම් කිරීම, පේන සහ අංජනන් බැලීම සහ, යකුන් මෙන්ම භූතයන් සමඟ කතා කරන්නට ඉගෙන ගන්නෙමි. ඒ අනුව භූතයෙක් හා කළ සාකච්ඡාවක් මෙසේ විය.

භූතයා:- අපි කාල්පනික අවස්ථාවක් ගැන සිතමු. ධනවත් විශ්‍රාම ලත් ‘සරත්’ නම් මනුස්සයෙක් කිලෝ වොට් දහයක, බැටරි බලය භාවිතා නොකරන සූර්ය බල පද්ධතියක් ස්ථාපිත කරනවා යයි සිතමු. එහෙත් ඔහු නෙට් මීටරින් ක්‍රමය භාවිතා කරයි.

මම :- මොකක්ද බං, නෙට් මීටරින් කියන්නේ ?

භූතයා :- ඕක දන්නේ නැද්ද? ඒ කියන්නේ සූර්ය පැනල වලින් දහවලට විදුලිය අරගෙන, බෝර්ඩ් එකට හෙවත් මණ්ඩලේට දෙනවා. රෑට උඹට ඒ බලය පාවිච්චි කරන්න පුළුවන්. මාසේ අන්තිමට එක්කෝ උඹෙන් වැඩිය බලයක් මණ්ඩලේට යනවා. නැත්නම්, ඒ මණ්ඩලෙන් ගත්ත වැඩි හරියට ‘විතරක්’ ගෙවනවා.

මම :- හරි මචං. …ඊළඟට ?

භූතයා :- “ඉතින් සරත් පුරුදු වෙලා ඉන්නේ යුරෝපයේ ජපානයේ හෝ, මැද පෙරදිග සැප පහසු ජීවිතේට”… “මිනිහ මුළු ගෙදරම වායු සමීකරණය කරලා තියෙන්නේ”…”උයන පිහන හැම දෙයක්ම අර මණ්ඩලේ කරන්ට් එකෙන් කර ගන්නේ”…” මේ මිනිහට සහ එයාගේ පවලට, විදුලි වාහන හතරක් තියෙනවා”…

මම :- “භූතයා, …ඉතින් උඹට පාන්ද මචං? ඌ මහන්සිවෙලා ඉගෙන ගෙන වැඩ කරලානේ, ඕක කරන්න සල්ලි හොයන්න ඇත්තේ?

භූතයා :- “කරදර කරන්න එපා, අහගනින්”…” දැන් මෙයාගේ පද්ධතිය, අර ඔක්කොම ලෝර්ඩ් එක අදින්න ඇති. ඒ වුනාට මණ්ඩලය නැතිව, මිනිහට ඒ වැඩේ කරගන්න බැහැ. බැරි වෙලාවත්, මණ්ඩලේ කරන්ට් නැති වුනොත් මිනිහා අඳුරේ. මිනිහා රටේ නැහැ. ලෝකේ වටේ ඇවිදිනවා. ඒ කාලේ මිනිහගේ ගෙදර ඇති වටිනා ලී බඩු වගේ ඒවා ආරක්ෂා කරන්න දවසේ පැය 24 ම ඒ. සී. දාලා තියෙන්නේ. මිනිහා පෙට්‍රල් වාහන පාවිච්චි කරන්නේ නැති නිසා, මණ්ඩලේ හරහා තමා ඔක්කොම කර ගන්නේ. හැබැයි මිනිහාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සූර්ය බලය මණ්ඩලේට දෙනවා. මිනිහා රුපියල් කීපයක්, එයාගේ මීටරේ වෙනුවට මණ්ඩලේට දෙනවා”.

මම :- “දැන් උඹේ ප්‍රශ්නය මොකක්ද ?

භූතයා :- “යකෝ තේරෙන්නේ නැද්ද ? ඌ කොච්චර ලකීද ?

මම :- “මේ ඒක නොවේ” …” උඹ භූතයෙක් වුනේ කොහොමද ?…”කොහේ ඉඳන්ද මේ කතා කරන්නේ ?

භූතයා :- “කාටවත් කියන්න එපා, ..මම භූතයෙක් නොවේ”…” මළ පෙරේතයෙක්”…”පොදු වැසිකිළියේ මේ දවස්වල ඉන්නේ”…! “ඒවා වැඩක් නැහැ”… “කතාව අහගනින් …!

මේ අනුව භූතයාව, මෙතනින් එහාට මළ පෙරේතයෙක් සේ ඩිමෝර්ට් කළෙමි.

මළ පෙරේතයා :- “දැන් සරත්ට මෙන්න මේවා මණ්ඩලෙන් ලැබෙනවා”…” මූලික වශයෙන් මණ්ඩලේ, එහි යන්ත්‍ර සඳහා වියදම් කර තියෙනවා”… “ඒවාට සරත් ගෙවන්නේ නැහැ”…”සරත් ඒ බලය, දිවා රෑ උගේ අම්මගෙ අප්පගේ වගේ පාවිච්චි කරනවා”…! “අනෙක රෑට ඉර පායන්නේ නැහැ”… “ඉතින්, සරත්ගේ ගෙදරට කරන්ට් එක දෙන්න, මණ්ඩලේ යන්ත්‍ර වැඩියෙන් වැඩ කරන්න ඕනා”…” …”ඒ මදිවට උගේ ගෙදර වෝල්ටීයතාවය සහ සංඛ්‍යාතය, ඔක්කොම ගාණට තියා ගන්නේ, හරියට බලා ගන්නේ මණ්ඩලෙන් “… “ ඒ ඔක්කොම කෙරෙන්නේ අපේ සල්ලි වලින්”…

මම :- “පෙරේතයා, ඒ මිනිහා මණ්ඩලේ එක්ක කොන්තරාත් එකක් ගහලනේ ඒක කරන්නේ”…”ඉතින් උඹට කහනව, කහනව වගේද ?

මළ පෙරේතයා :- “සරත්ට, බැටරි බැක්-අප් එකක් තියේ නම් මට කමක් නැහැ බං.”…”මේක හරියට දුප්පත් මිනිසුන්ගෙන් හොරකම් කරලා, සල්ලි තියෙන උන්ට කන්න දෙනවා වගේ”..” …”කරුමය කවදා හරි පටිසන් දෙනවා”…

මම :- “මචං පෙරේතයා, .. උඹ පෙරේතයෙක් වුනේ මොනවා කරලද ?

පෙරේතයා :- “ගල් අඟුරු බලාගාරේ බොයිලේරුව හොරෙන් කැඩුවා”…” එතකොට පුද්ගලික විදුලිය විකුණන්න පුළුවන් නේ”..” මැරෙන කොට ඒක මතක් වුණා “

මේක කියමින්, භූතයා හඬමින් අන්තරස්දාන වූයේය.

අංජනම කරකවා තව භූතයෙක් ගෙන්නා ගතිමි. අලුත් භූතයා කියන්නේ වෙන කතාවකි.

මම :- “හලෝ මචං කොහොමද ? …”භූතයෙක් වුනේ කොහොමද ?

අලුත් භූතයා :- “ගල් අඟුරු බලාගාරේ ගාව අපේ ගේ තිබ්බේ”…”ගල් අඟුරු දුම පෙනහළු අස්සේ ගිහින් මළා”….”තරහට භූතයෙක් වුණා”…”මැරෙන කම් මූණු පොතේ ලිව්වා, ගල් අඟුරු බලාගාර එපා කියලා”…”කෝ එකෙක්වත් ඇහුවේ නැහැ”…” අන්න බලපන් දැන් ඉන්දියාවේ කරන්න ගිය ගිගාවොට් 13.7 ක ගල් අඟුරු බලාගාර, මේ මාසේ විතරක් වහන්න තීරණය කරලා…

මම :- “ඇත්ත, වෙන ගල් අඟුරු බලාගාර ඕනා නැහැ”…”හැබැයි, තියෙන එක රැක ගන්න ඕනා”…”ඒක නොවේ, මැරෙන්න ඉස්සර වෙලා උඹ කව්ද? මොකද කළේ?

අලුත් භූතයා :- “මමත් මැරෙන්න ඉස්සර, අරූ වගේම මණ්ඩලේ එකෙක් තමා”…”ඒවා වැඩක් නැහැ”…”මෙන්න මේක තේරුම් ගනින්”…! “ගමේ ඉන්න පොඩි මෑන්ස් කෙනෙක්, ඒකකයට රුපියල් 6ක් 10ක් ගෙව්වා, එහෙත් දැන් මිනිහට ඒකකයකට රුපියල් 23ක් ගෙවන්න වෙනවා”…”

මම :- “හෑ ??.. ඒ කවද ඉඳලද බං ?

අලුත් භූතයා :- “ඇයි උඹ දන්නේ නැද්ද? 2001 මාර්තු 01 දා සිට, පළවන යුනිට් තිහ යන තුරු යුනිට් එකට රුපියල් 3 යි. එතන ඉඳලා යන යුනිට් 30 ට රුපියල් 4යි. හැබැයි, එදා ඉඳලා උද්ධමනය ගණන් ගත්තෙත් නැහැ. හැබැයි, දැන් යුනිට් එකට වැඩියෙන්ම යන මුදළ රුපියල් 45 ක් වෙනවා. මෙහෙම වුණේ මේ ඊයේ පෙරේදා”…”පීක් නැති වෙලාවේ [22:30- 05:30] තෙක් ඒකකයට රුපියල් 13යි. දවල් වෙලාවේ [05:30 – 18:30] රුපියල් 25යි. රුපියල් 54 ක් පීක් [05:30 – 18:30] වෙලාවේ”…”ඒ මදිවට, නියත ගානක් වන රුපියල් 540ක් හැම මාසෙම ගෙවන්න ඕනා”…

මම :- “මේවා අපි දන්නෙවත් නෑනේ බං…! උඹලගේ භූත ලෝකේ කරන්ට් එන්නේ කොහෙන්ද ?

අළුත් භූතයා :- “ෆොසිල පුච්චලා පව් කරපු එවුන්, දුසිම ගානේ බොයිලේරු වලට දාලා පුච්චලා අපායේ කරන්ට් ගන්නේ”…”අරාබියෙක් දැම්මම දවස් දෙකක් කරන්ට් තියෙනවා”…” ඒවා වැඩක් නැහැ, මේක අහගනින්” …” ඉතින් ඔය කියන සරත්, සූර්ය පැනල වලට වියදම් කරලා, මණ්ඩලේ ලයිසොම අරගෙන, නෙට් මීටර් යන්නේ. “උබ හිතනවද මණ්ඩලේ ඔය වැඩේ පාඩුවට කරයි කියලා? අර මළ පෙරේතයා කියන්නේ බොරු”… “ දැන් සරත් කියන්නේ, ස්මාර්ට් පොරක්…! ඌ ගානට අර රුපියල් 54 අඩු කර ගන්නවා, නෙට් මීටරින් ගිහින්…!

මම :- මේක වෙනස් කරන්න විදියක් නැද්ද? …? …”ඒ කියන්නේ මණ්ඩලේට පාඩුව අඩු කරන්න විදියක් නැද්ද? ”

අලුත් භූතයා :- “මොකෝ බැරි? …?…” බැටරි බෑන්ක් එකක් හරි පම්ප් හයිඩ්රො ක්‍රමයෙන් ඔය වැඩේ වෙනස් කරන්න පුළුවන්” …”අනෙක මණ්ඩලේ, සරත්ගෙන් ලැබෙන යුනිට් එකකින් රුපියල් 40ක ආදායමක් ලබනවා”…”ඒ නිසා, ලංකාවට, ඒ එක ඒකකයකින් රුපියල් 27ක ඩීසල් ඉතිරි වෙනවා”…” ඒ කියන්නේ මධ්‍යම සහ දුප්පත් පවුල් වලට එයින් ඒ සහනය ලැබෙනවා”

මම :- “මාරයි නේ බං…? බොන්න ඕනා කේස් එකක්…”අපායේ මොනවාද හොඳ බොන්න දේවල් ඇත්තේ ?

අලුත් භූතයා :- “ලෝදිය තමා…” ලංකාවේ මණ්ඩලේ මාටියා ගහලා මෙහෙ ආපු එවුන්, ලෝදිය ගාණක් නැතිව බොනවා” … “යම පල්ලන්ට ලෝදිය හැළිය රත් කරන්න බැහැ”… “ඒ අස්සේ අපේ උන් ලෝදිය බොනවා”…”

මම :- “ඒ මොකෝ, යම පල්ලන්ට ලෝදිය හැළිය රත් කරන්න බැරි?

අලුත් භූතයා :- “යම පල්ලෝ, ලෝදිය හැළියට ගින්දර දාන්න නැවෙද්දී, අපේ උන්, උන්ට අරිනවා.

පසු වදන:- මුන් දෙන්නාම, සිංහල හෝ දෙමළ නොදන්නා කළු සුද්දන් හෙයින්, මිය ගියද කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. එහෙයින් උන් සමඟ කතා කරන්න වුනේ කඩ්ඩෙන් විය. මේ ඇත්තේ උන් එක්ක කල ඉංග්‍රීසි සංවාදය විය. 

 

Comments