
ශ්‍රී ලාංකේය සිංහල සිනමා වංශ කතාවට එක්වූ අලුත්ම චිත්‍රපටය ‘සීමා නෑ ආකාසේ ‘ පසුගියදා තිරගත කිරීම ආරම්භ කෙරුණා.නව පරපුරේ සම්මානනීය නළු පුබුදු චතුරංග සමඟ නවක නිළියන් දෙපළක් වන අරුණි මල්ලවාරච්චි සහ ධනංජි තාරකා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය හඳපාන ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළ තිස්ස බාලසූරිය ආරච්චිගේ නිෂ්පාදනයක් වන අතර නිහාල් ප්‍රනාන්දුගේ කුළුඳුල් අධ්‍යක්ෂණයයි.
ප්‍රශ්න හමුවේ ජීවිතයෙන් පලායන වත්මන් තාරුණ්‍යයට පණිවුඩයක් ලබාදෙන කතාවක් තේමා කරගනිමින් නිර්මාණය වුණු ‘සීමා නෑ ආකාසේ‘ පිළිබඳව නිහාල් කරන හෙළිදරව්වයි මේ.
මෙය ඔබේ පළමු අධ්‍යක්ෂණය
ඔව් සීමා නෑ ආකාසේ තමයි මම මුල් වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය.මීට පෙර මම ටෙලිනාට්‍ය පිටපත් රචකයෙක් ලෙස තමයි කටයුතු කර තියෙන්නේ. මේ වනවිට ටෙලි නාට්‍ය 18 ක් පමණ තිර රචනා කර තිබෙනවා. ආදරණීය පූර්ණිමා, අරුන්දතී, සසර නිම්නය මේ අතරින් කිහිපයක්. මම තිර රචනය කළ වඩාත්ජනප්‍රිය වුණු ටෙලි නාට්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යාංශය නිෂ්පාදනය කළ ‘ අඟුරු සටහන්‘. මෙයට රාජ්‍ය සම්මාන උළෙලේදී කුස
ලතා සම්මානයක් හිමිවුණා.
ඊට අමතරව චිත්‍රපට තිර නාටක රචකයෙක් විදිහට මම මුලින්ම කළ නිර්මාණය වී. සිවදාසන් මහතාගේ ‘දකින දකින මල්‘ චිත්‍රපටය.මෙය 2010 දී තිරගත වුණා.ඊට පස්සේ තවත් චිත්‍රපට දෙකක් තිර රචනා කරලා තිබෙනවා සිවදාසන් මහතාටම තවම ඒවා ප්‍රදර්ශනය වෙලා නැහැ. සීමා නෑ ආකාසේ චිත්‍රපටය තමයි ඊළඟට මම තිර රචනය කරලා අධ්‍යක්ෂණය කළේ.
මෙහි කතා සංකල්පයත් ඔබේ.
මගේ ආදරයත් තිබෙන චිත්‍රපටයක් තමයි පතිරාජ මහත්මයාගේ අහස්ගව්ව චිත්‍රපටය. එයින් කියැවෙන්නේ තාරුණ්‍යයේ ගැටලු. මට එහෙම ප්ලොට් එකක් තමයි ආවේ. මම කරන්න හැදුවේ එහෙම එකක්. නමුත් මට පසුව හිතුණා ලෙනින් මොරායස් සහ නීල් රූපසිංහ අනුගමනය කරපු වාණිජ සිනමාව වෙනුවෙන් කළ ගීතමය ජවනිකා සහිත බොලිවුඩ් වල සහ ලංකාවේ ජනප්‍රිය ශෛලියට මේ තේමාව අනුව චිත්‍රපටය නිර්මාණය කරන්න.ඒ අනුව මෙය සංගීතමය චිත්‍රපටයක්.
තාරුණ්‍යයේ ගැටලු ගැන කියැවෙන මෙහි කතාව මොන වගේද?
අපේ තරුණ කාලයේ අපට තිබුණු ගැටලු වගේම අද තරුණ පරපුරටත් ගැටලු තිබෙනවා. ආදරය පිළිබඳව ඇති ගැටලු මේ අතරින් විශේෂයි. නමුත් එදාට වඩා අද තිබෙන ගැටලු වල ස්වරූපය වෙනස්වෙලා. සමහර විට අද ති
බෙන සංස්කෘතිමය ගැටලු එදාට වඩා සංකීර්ණයි.විභාග ගැටලු වැනි ඒවා වැඩියි. අද කාලයේ ප්‍රේමය කියන්නේ හරිම ලිහිල් දෙයක්. අද තරුණ තරුණියන්ට හැබෑ ප්‍රේමය සොයාගෙන යෑම ගැටලුවක්. මෙහි කතා නායිකාව මෙවැනි ගැටලුවකට මැදි වූ කෙනෙක්. මම තුළ මම සොයාගන්න බැරිව මේ තරුණිය සිර වෙනවා.අන්තිමට ගෙදරින් සහ සමාජයෙන් එන බලපෑම තුළ ඇයට කරන්න දෙයක් නැතිවීමෙන් ඇය දිවි නසාගන්න තීන්දුවක් ගන්නවා. ඇය සියදිවි නසාගන්නට සූදානම් වෙන ස්ථානයේදී ඇයට තරුණයෙක් මුණ ගැසෙනවා. මේ තරුණයා නූතන සමාජයේ තිබෙන වටපිටාවත් එක්ක සමාජශාලාවලට යන්නට පුරුදු වෙලා ගත කළ කෙළිලොල් ජීවිතය නිසා ණය කාරයෙක් බවට පත්වූ කෙනෙක්.අන්තිමට රැකියාව පෙම්වතිය යහළු මිත්‍රයෝ පවා අහිමිවෙලා මානසිකව ඇදවැටෙන ඔහුත් සියදිවි නසාගන්න යනවා. මේ දෙදෙනා මුණ ගැසෙන තැන සිට තමයි මේ චිත්‍රපටය ආරම්භ වෙන්න
අපේ රටේ තාරුණ්‍යයේ සියදිවි නසාගැනීම් වැඩියි. ඔබ එවැනි තරුණ තරුණියන්ට දෙන පණිවුඩයක්ද මේ චිත්‍රපටය.
අපි මේ තුළින් කියන්නට උත්සාහ කරන්නේ දිවි නසා ගැනීම් වලට පසුබිම් වුුණු කාරණා ගැන අපි කොච්චර දුරට අවධානයට ලක් කරනවද? වැඩිහිටියො වශයෙන් ගත්තම මේ සමාජය ඇතුළේ අද තිබෙන ඔය කියන යොවුන් ගැටලු වලට අපි එදාටත් වඩා අඩුලෙස තමයි ප්‍රතිචාාර දක්වන්නේ සහ ඒ ගැන අවධානය දක්වන්නේ.වැඩිහිටියන් ලෙස අපි කළයුතු යුතුකම්, සහ කළ යුතු දේ මඟ හරිමින් තාරුණ්‍ය යට චෝදනා කරන එක තමයි කරන්නේ. අපි දෙමාපියන් සහ සමාජය විසින් වගකීම් පැහැර හැරීම තුළ තාරුණ්‍යය අතරමංවීම නිසා මේ වගේ පටු තීරණවලට ගමන් කිරීම හැර විකල්පයක් නැහැ කියලා ඔවුන් සිතනවා. නමුත් මේ වගේ ප්‍රශ්න හමුවේ ජීවත්වෙන්නට උත්සාහ කරන තවත් තරුණියක් තුන්වැනි පාර්ශවයක් හැටියට මෙහි ඉන්නවා. මේ චරිත තුන කේන්ද්‍ර කරගනිමින් වත්මන් තාරුණ්‍යයට සහ වැඩිහිටියන්ට ප්‍රබල පණිවුඩයක් මෙයින් ලැබෙනවා.
මෙය ගීතමය චිත්‍රපටයක් ලෙස ඔබ හැඳින්වූවා
මෙහි ගීත 6 ක් අඩංගුයි.මෙහි සංගීත අධ්‍යක්ෂ වරයා අලුත් එක්කෙනෙක්. ගීත රචනා කරන්නේ ගායනා කරන්නේ තරුණ පරපුරේ ඉන්න නවකයෝ. මම අධ්‍යක්ෂවරයා විදිහට පිටපත ඔවුන්ට දීලා ඊට අවශ්‍ය ගීත පිළිබඳව මගේ ආකෘතිය පැහැදිලි කළා. මෙයින් කතා කෙරෙන්නේ තරුණ පරපුරේ ගැටලු නිසා ඔවුන් හරිම අපූරුවට මෙහි ගීත රචනා කරලා සංගීතවත් කරලා නිර්මාණය කර තිබෙනවා. මෙහි ප්‍රතිරූපයක් ගොඩනගාගත් ගායිකාවකට ඉන්නේ ඉමේෂා මුතුකුමාරි විතරයි.විශේෂයෙන් මෙහි ක්ලබ් සෝං එක හරිම වෙනස්.බොහෝවිට අපි සිංහල හෝ හින්දි වැනි වෙනත් නිර්මාණයක ක්ලබ් සෝං එකක් බැලුවොත් සරාගී බවකින් යුතුව ඒවා නිර්මාණය කරලා තියෙන අන්දම දකින්න පුළුවන්. එහෙත් මෙහි එන ගීතය රචනා කරමින් ගායනා කරන්නේ කෞෂික් මලින්ද. ඔහු මෙහි පිටපත කියවලා ජීවිතයේ ගැඹුර දකින ආකාරය හරි අපූරුවට ලොකු මහන්සියක් අරගෙන නිර්මාණය කරලා තියෙනවා.
නවකයින් රැසක් පිරිවරාගත් මේ චිත්‍රපටයේ පුබුදු චතුරංගගේ චරිතය සුවිශේෂයි.
මම මේ චිත්‍රපටය කරන්න අදහස් කරගෙන පිටපත රචනා කරන අවදියේ සිටම පුබුදු චතුරංග මා සමඟ සම්බන්ධ වෙලා සිටියා. අපි දෙදෙනා තුළම තිබුණේ හොඳ චිත්‍රපටයක් කරන්න ඕන කියන අධිෂ්ඨානය.අපි මේ හොඳ පණිවුඩය මිනිසුන් අතරට ගෙනියන්නේ කොහොමද කියනදේ ගැන තමයි සාකච්ඡා කරමින් හිටියේ. ඒ අනුව තමයි මේ සරල ආකෘතිය පාවිච්චි කළේ. පුබුදු මෙහි රංගනයෙන් වගේම මේ චිත්‍රපටය යථාර්ථයක් බවට පත් කරන්න කැපවුණා. ඒ වගේම මෙහි අනෙක් ප්‍රධාන චරිත දෙක රඟපාන්නේ අරුණි සහ ධනංජි. අරුණි පුවත්පත් කලාවේදිනියක්. මෙය ඇගේ පළමු චිත්‍රපට රංගනය. ධනංජි ටෙලිනාට්‍ය නිළියක් වුණත් ඇගේත් පළමු චිත්‍රපට රංගනය මෙයයි.
අතිශයින් සුන්දර එහෙත් දහසකුත් එකක් බාධක කම්කටොලු පිරි යොවුන් ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුම් සොයාගොස් ජීවිතය සාර්ථක කරගන්නට හැකි බව කියන ධනාත්මක චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි ‘සීමා නෑ ආකාසේ‘ චිත්‍රපටය මෙරට යොවුන් පරපුරට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ නැරඹිය හැකිය. ඒ සඳහා මම ඔබ සියල්ලටම ආරාධනා කරනවා.‘‘