
'නම්බර්පෑඩ්-එකක්' තිබෙන දුරකතනයක් වෙනුවට ලොකු ගාණක් දීලා 'ටච්' කරන්න පුළුවන් 'ස්මාර්ට්' දුරකතනයක් ගත්තාට ඉන් ඔබ උපරිම ප්‍රයෝජනය ගන්නේ නැත් නම් මේ ලිපි මාලාවෙන් ඒ සඳහා හොඳ අත්වැලක් ඔබට ලැබේවි...
පසුගිය කොටස අවසානයේ අපි කතා කළේ දුරකතනය ආරක්ෂා කරගන්න තිරය අගුළු දැමීමේදී ඒ සඳහා වඩාත් වැඩි ආරක්ෂණයක් ලබා දෙන්නේ කොහොමද කියලයි. අද අපි 'සෙටිංස් මෙනුවේ' තිබෙන අනෙකුත් දේවල් ගැන බලමු. මෙහි තිබෙන 'එකවුන්ට්ස්' (accounts) මත 'ටැප්' කළාම ඔබේ දුරකතනයේ තිබෙන බොහෝ යෙදුම් ඔස්සේ යොමු වී තිබෙන ගිණුම් සියල්ලම එක තැනකින් බලාගන්න හැකියාව තිබෙනවා. ඔබට අනවශ්‍ය ඒවා තිබේ නම් ඉවත් කිරීමත්, අලුතින් ගිණුම් ඇතුළත් කිරීමත් මෙතැනින්ම කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔබට ඊමේල් ගිණුම් දෙකක් හෝ ඊට වැඩියෙන් තිබෙනවා නම් ඒ සියල්ල මෙතනින්ම දුරකතනයට එකතු කරගන්න පුළුවන්.
ඉන් පසු දකින්නට ලැබෙන 'ඇප්ස්' (apps) හෝ ඇතැම් ඒවායේ 'ඇප්ලිකේශන්ස්' (applications) කියන මෙනු අයිතමයෙන් දුරකතනයේ ස්ථාපනය කර ඇති සියලු 'ඇප්ස්' ලයිස්තුගත කර දක්වනවා. මේ එකින් එකක් තුළට පිවිසීමෙන් ඔබට එම යෙදුම්වල තිබෙන තොරතුරු බලාගැනීමටත්, ඒවා අස්ථාපනය කිරීමට හෝ දත්ත මකා දමා අලුතින්ම ස්ථාපනය කළ එකක් වගේ සකසාගන්නටත් පුළුවන්. ඔබට අවශ්‍ය එකක් මත 'ක්ලික්' කළ විට 'අන්-ඉන්ස්ටෝල්' (un-install) නමින් බොත්තමක් දකින්න ලැබෙනවා. මේ මත ක්ලික් කිරීමෙන් ඔබට එම ඇප් එක ස්ථාපනය කරන්නට පුළුවන් වගේම මෙහි තිබෙන 'ස්ටෝරේජ්' (storage) යන්නෙන් එම යෙදුම හරහා ඔබේ දුරකතනය භාවිත වන අභ්‍යන්තර ධාරිතා ප්‍රමාණය දැකගැනීමට හැකි වනවා. එහි තිබෙන 'ක්ලියර් ඩේටා' (clear data) යන්න 'ක්ලික්' කිරීමෙන් ඒ සියල්ල
මකා-දැමිය හැකි වන නමුත්, මෙහිදී ඔබගේ ඒ ඇප්-එකට එකට අදාළ සියලු දත්ත මැකී යන බව සිහි තබාගත යුතුයි.
'සෙටිංස්' මෙනුවේ දක්නට ලැබෙන 'මෙමරි ඇන්ඩ් ස්ටෝරේජ්' (memory and storage) යන්නෙන් ඔබට දැනට දුරකතනයේ භාවිත වන අභ්‍යන්තර ධාරිතා ප්‍රමාණය සහ ඔබ 'චිප්-එකක්' ඇතුළත් කර තිබේ නම් එහි දත්ත භාවිත වී ඇති ප්‍රමාණය, දත්ත භාවිත වී ඇත්තේ කුමන ආකාරයේ ගොනු හරහාද යනාදි සවිස්තර වාර්තාවක් දැකගැනීමට හැකිවනවා. ඇතැම් දුරකතනවල මෙතැනින්ම අනවශ්‍ය ගොනු ස්වයංක්‍රීයවම ඉවත් කර ලීමටද පහසුකම් සලසා තිබෙනවා.
සෙටිංස්වල තිබෙන 'බැටරි' (battery) යන්න හරහා දුරකතනයේ දැනට බලය වැඩිපුර භාවිත කරන 'ඇප්ස්' මොනවාද සහ තවත් කොතරම් වේලාවක් දැනට තිබෙන බැටරි ප්‍රමාණයෙන් දුරකතනයට ධාවනය වීමට හැකියාව තිබෙනවාද ආදි විස්තර රැසක් දැකගන්නට පුළුවන්. දුරකතනයේ බැටරි බලය ඉතා අවම ප්‍රමාණයක තිබෙනවා නම් මෙතැන තිබෙන 'පවර් සේවිං මෝඩ්' (power saving mode) යන්න සක්‍රිය කිරීමෙන් භාවිත කාලය තවත් දීර්ඝ කරගැනීමට හැකියාව තිබෙනවා. අපි ඊළඟ කොටසින් මේ වගේ තවත් දේවල් ගැන සොයා බලමු.
තඹරු විජේසේකර