ටොම් බෝයි හෙවත් කලා­බර චූටිගේ අන්තිම සටන | සිළුමිණ

ටොම් බෝයි හෙවත් කලා­බර චූටිගේ අන්තිම සටන

කලට වේලාවට වැඩ කිරීම සහ කොතෙක් වැඩ අධික වූවත් චුරු චුරුවෙන් තොරව කාටත් උදව් උපකාර කිරීමට ඉදිරිපත්වීම නිසා කලා විනෝදනී පිල්ලේ කොයි කවුරුන් අතරත් ජන්ප්‍රියත්වයට පත්ව සිටියාය. දෙමළ කතෝලික පියකුට සහ සිංහල බෞද්ධ මවකට දාව උපන් ඇයගේ මුල් ළමා විය ගෙවුණේ කොළඹ 15 මට්ටක්කුලියේය. පවුලේ එකම දරුවා ලෙස ඉතා නිදහස් නාගරික පරිසරයක හැදී වැඩීම නිසාදෝ ඇගේ ළමාවිය වාර්ගික සහ ආගමික දෘෂ්ටිවාදී අගතීන් අතින් කිළිටි වූයේ නැත.

එහෙත් හැමවිටම ඇය වෙතින් කැපී පෙනුණේ නාහෙට නාහන කොල්ලකු බඳු ඇවතුම් පැවතුම් රටාවකි. ඇගේ මුහුණට 'කලා ' යැයි අමතන බොහෝ දෙනෙක් ඈ නැති තැනදී 'ටොම් බෝයි ' ලෙස හැඳින්වූයේ ඇගේ ඇඳුම් පැළඳුම් ගමන බිමන සහ කතා කෙරුම් ආදී සියල්ලම පාහේ කොල්ලකුගේ මෙන් වූ නිසාය. තවත් සමහරුන් විසින් ඇය හදුන්වනු ලැබූයේ ' කලාබර චූටී ' යන විකට නාමයෙනි.

උදේ පාන්දරින් මව සහ පියා සමඟ කිරි කොක් සුදු පාසල් නිල ඇඳුමින් සැරසී විනීත බාලිකාවක මෙන් ගෙදරින් පිටත්ව යන ඇය හරියටම පස්වරු 01.30 වනවිට පෙරළා පැමිණෙයි. ඒ වනවිට ඈ පිළිගැනීමට නිවෙසේ සිටින්නේ බ්‍රවුන් ඇලීසා නම් සුනඛ ධේනුව පමණි. කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලාවේ සේවය කළ ඇගේ මව සහ පියා රාජකාරි නිමවී නිවෙසට පැමිණෙන්නේ ගොම්මන් කළුවර මැදිනි.

පාසල නිමවී මහල් නිවාස සංකීර්ණයේ තරප්පු පෙළ නැග දෙවැනි මහලට ඇය පිවිසෙනවාත් සමඟ ම දැනෙන ඉව නිසා බ්‍රවුන් ඇලීසාගේ දෙනෙත් බබළන්නට ගනී. ඉදිරි සහ පසුපස ගාත්‍රා දිගු කොට සෙල්ලම් අශ්වයකු බඳු ස්වරූපයකට පත්වන ඌ ඉදිරියටත් පසුපසටත් රිද්මයානුකූලව චලනය වෙමින් ඇඟමැළි කඩමින් ව්‍යායාමයේ යෙදෙන්නේ උගේ නිම්හිම් නැති ප්‍රීතිය ප්‍රකට කරවන ඉරියව්වකිනි. ඇය දුටු සැණින් ඇලීසා පසුපස ගාත් දෙකෙන් සිට ගෙන ඉදිරි ගාත් විහිදා බදා ගන්නට මෙන් ඉදිරියට පනිනු ඇත.

ඉන්පසුව උගේ ග්‍රහණයෙන් මිදී ම ලෙහෙසි නොවේ. පාසලින් ලැබුණු 'ඇදිහැස ' විස්කෝතු කිහිපය එකින් එක ඌට කැවීමෙන් අනතුරුව උගේ හිස සහ සිරුර පිරිමදින ඇය ලද අවසරයෙන් නාන කාමරයට පැන ගනී. ඇය ඉන් නික්මෙන විටත් ඇලීසා දොරකඩ සිටගෙන පුල පුලා බලා සිටින්නේ කලා සමඟ එක්ව ඊවිනිංග් වෝක් හෙවත් කලාගේ අම්මා නිතරම දොස් කියන පරිදි 'රෝන්දේ ගැසීමට ' යෑමටය.

මේ ගමනේදී ජම්පටා වීදීයේ සැම්සන් සහ ජෙරාඩ් ද පල්ලිය පාරේ ඇනස්ලි සහ සමන් ද මෝදර පාරේ ලීනස් සහ සිගේරා ද නිතරම හොටු හූරන වෙරළ පාරේ රමේශ් ද අල බෝලේ යන විකට නමින් ප්‍රකට බඩ තඩි සුදේශ් ද යනාදී වශයෙන් වූ සම වයසේ කොලු රෑනක් මේ දෙදෙනා සමග එක්වෙයි. එල්ලේ පාපන්දු යන ක්‍රීඩා මෙන්ම ගස් නැගීම ලිස්සන බෝට්ටුවේ යෑම තරගෙට දිවීම ජිල් බෝල ගැසීම ආදීයෙන් නොනවතින ඔවුහු ඇතැම් දවසක රටකජු කමින් මෝදර මෝය බලන්නටත් යති. මේ සියලු තැනකදීම ඇලීසා; කලා අසලින්ම සිටින්නේ ආරක්ෂකයකු පරිද්දෙනි.

කුමක් කළත් කොහේ ගියත් හැන්දෑවේ හයහමාර පසුවන්නට පෙර කලා සහ ඇලීසා පෙරළා නිවෙසට පැමිණ අහිංසක පෙනුමක් ආරූඨ කැරගෙන සිටීන්නේ නිවෙසින් පිටතට අඩියක්වත් නොගිය වුන් පරිද්දෙනි. ' කලා ... කලා කෝ මේ ළමයා .. අදත් ගිහිං ඇති දෙන්නත් එක්ක රෝන්දේ ..! ' යි කියමින් ගෙට ගොඩවීම කලාගේ අම්මාගේ බෝවුණු පුරුද්දක් විය. මේ හඬ ඇසෙනවාත් සමගම අල්ප දයන්න මෙන් වකුටුවන ඇලීසා දෙනෙත් වසාගෙන වහා බොරු නින්දකට වැටෙයි. එවිටම කලාගේ අතට පොතක් හසුවෙයි.

' මට මගදිම ආරංචි වුණා ... අදත් ගියා නේද ..කොල්ලෝ රංචුවක් එක්ක ..රෝන්දේ ගහන්න .. ' යි කියමින් කලාගේ අතේ වූ පොතට උඩින් බලමින් අම්මා රවයි. ' මං කොහේවත් ...ගියේ නෑ ..ඔයාට පේන්නැද්ද .. මං මේ පොතක් බලනවා .. ඔයාගේ වැඩේම ඉතිං බොරුවට කෑ ගහන එකනේ ..' යි කලා නොරිස්සුමකින් උත්තර දෙයි. ' කාටද ඔය බොරු කියන්නේ ..ඈ ...පොත කියවන හැටි පේනවා ඒක අල්ලගෙන ඉන්න විදිහෙන්ම ... ' යි කී අම්මා කලාගෙ ඇගට කඩා පනී. තමා හදිසියට පොත අල්ලාගෙන සිටින්නේ එහි අකුරු උඩු යටිකුරු වන පරිදි බැව් එවිට කලා ට පෙනෙයි. ඒ දකින ඇලීසා ; කලා දෙස බලා ඔලොක්කුවට මෙන් ඇසක් ඇර බලා වහා හිස ඉවතට හරවා ගුප්ත කෙඳිරියක් නගන්නේ 'මෝඩ ළමයෝ ...ඔයා නිසා මාත් අමාරුවේ වැටෙනවා ' යි කියන්නාක් වැනි අභිනයකිනි. ඔවුන් දෙදෙනාටම පසුපස හරවා මවාගත් කෝපයෙන් ගස්සාගෙන යන අම්මාගේ මුවගද සිහින් සිනා ඉරක් මතුවෙයි. අන්තිමේදී තිදෙනාම එකිනෙකාට හොරෙන් හිනාවෙයි.

ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතියක නායකයකු වූ කලාගේ තාත්තා සාමාන්‍යයෙන් නිවෙසට පැමිණෙන්නේ රාත්‍රී නවයට දහයටය. ඒ වනවිට කලා නින්දට ගොසිනි. කලාගේ අම්මා රෑ කෑම මේසයේදී කටු කුටු ගාමින් කලාගේ තාත්තා සමග ඈ පිළිබඳ දවසේ ගතු කේළාම් කියන විට ඇලීසා උගේ කන් උල් කැරගෙන ඒ සියල්ල අසා සිටින්නේ බොරුවට නිදි බව පෙන්වමිනි. ' තව ටික දවසකින් කලා ළමිස්සියක් වෙයි .. ඒ වුණාට කිසි ගාණක් නෑ ... කොල්ලෝ එක්ක රට වටේ රෝන්දේ ගහනවා .. ' යි ඇය කියමින් සිටියදී තාත්තා සුපුරුදු ලෙස ඊට හරස් කපයි. ' මං ඔයාට හැමදාම කියනවා .. ඔය කෙහෙම්මල් 'රෝන්දේ ගහනව' කියන වචනේ පාවිච්චි කරන්න එපා කියලා .. ඔයා සිංහලෙන් සිංහල ඉගෙන ගත්තා වුණත් වචනවල තේරුම දන්නෑනේ ...මං සිංහල ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන් ...ඒ වුණත් දන්නවද ..රෝන්දේ ගහනව කියන්නේ " ස්ලෑං ටර්ම් " එකක් .. ඔයා කෝමද දුව හදා ගන්නේ ..ඔයාගේ කට හදා ගන්න බැරිව ... ' යි ඔහු ඇයටම දොස් පවරයි. එය අසා ප්‍රීතියට පත් වූවාක් මෙන් වූ ඇලීසා සිමෙන්ති පොළොව මත හඬ නොනගා තාලයට වලිගය නටවයි.

මැයි පළමුවැනිදා පාන්දරින්ම කලාගේ තාත්තා තද රතු කමිසයක් හැඳ සිටි අතර එහි කොළරය දෙපැත්තේ සහ ඉදිරිපස සාක්කුවේ කහ පැහැයෙන් දෑ කැත්ත සහ මිටිය ලාංජනය පින්තාරු කොට තිබිණ. ඔහුගේ හිස මත වූ තද රතු පැහැති කැප් තොප්පිය මතද එම ලාංජනය විය. එදින පාන්දරින්ම අවදි වූ කලා සහ අම්මා අතර උණුසුම් වාදයක් හට ගත්තේය. තාත්තා සමග එක්ව තමාට ද මැයි පෙළපාලියට යෑමට වුවමනා බවට කලා දිගින් දිගටම වාද කළ අතර ' එය නං කෙසේවත් කළ නොහැකි බව ' කියමින් අම්මා ඊට හරස් කැපුවේය.

අවසානයේදී පරාජය බාර ගැනීමට කලාට සිදුවිය. අම්මා සහ තාත්තා ගෙයින් නික්ම යනතුරු බලා සිටි ඇය ඔවුන් පිටත්ව ගිය වහාම ඇලීසා සමග පිටත්ව ගොස් තම පරිවාර කොලු රැළ මුණ ගැසුණාය. ඒ වනවිට ඇලීසා තම නළල වටා රතු පීත්ත පටියක් බැඳගෙන සිටි අතර ඇලීසාගේ කරවටා ද එබඳුම රතු පීත්ත පටියක් ගැට ගසා තිබිණ. ඇලීසා පෙරටුව දැන් ඔවුන් මට්ටක්කුලිය සිට හෙට්ටියාවත්ත දෙසට පුංචි සෙල්ලම් පෙළපාලියක් යයි. සැතපුමක්වත් යෑමට පෙර කොලු නඩයේ එකා එකා බැගින් පෙළපාලියෙන් හොරෙන්ම හැලී ගිය නමුත් ඇලීසා සහ කලා පමණක් දිගටම ගමන් කළහ.

ඔවුන් දෙදෙනා තවත් මඳ දුරක් එසේ ගමන් කරමින් සිටියදී වරායේ පසුපස දොරටුවකින් ගමන් ආරම්භ කැර සිටි රතු කමිසකරුවන් සිය ගණනකගෙන් යුත් පෙළපාලියක් මහ හඬින් සටන්පාඨ කියමින් ඉදිරියට පැමිණෙමින් සිටියේ ඔවුන්ගේ ප්‍රධාන පෙළපාලියට එකතුවීම සඳහාය. රතු පීත්ත පටි පැළඳි කලා සහ ඇලීසා දුටු පෙළපාලිකරුවන් මහත් විනෝදයට සහ උද්දාමයට පත්ව ඔවුන් දෙදෙනා ද තම පෙළපාලියට කැඳවා ගත්තේය. සටන් පාඨ කියමින් ආමර් වීදීය දක්වා පෙළපාලිය පැමිණෙමින් තිබියදී කලා හොඳටම හෙම්බත්ව සිටි අතර ආපසු හැරී ගෙදර යා යුතු යැයි ඇයට සිතිණ.

ඇගේ සිතිවිලි වටහා ගත්තාක් මෙන් ඇලීසා ද උගේ හැසීරීමෙන් පෙන්නුම් කෙළේ ආපසු හැරී යා යුතුය යන සංඥාවකි. මහ පාරෙන් ඉවත්ව පදික වේදිකාව මතට ගොඩ වූ ඔවුන් දෙදෙනා තමන් පසුකැර ඉදිරියට ඇදෙන පෙළපාලිය දෙස බලා සිටියේය. එහෙත් එහි නිමාවක් නැත. මහ හඬින් සටන් පාඨ කියමින් රතු කමිසකරුවන් වැල නොකැඩී ඉදිරියට ඇදෙයි. /' සාදුකින් පෙළෙන වුන් ..දැන් ඉතිං නැගිටියව් ..මිහිතලේ අසරණුන් පිබිදියව් ....සෝයුරන් සොයුරියන් ..සටනට එළැඹීයව් ...ධනපතීන් අදමිටුන් සුන් කරව් ....සව් ලොවේ මේ හඬින් සැම ජතීන් එක්වි දැන් ....අන්තිම සටනට සැරසියව් ...අන්තිම සටනට ...අන්තිම සටනට ....අන්තිම සටනට ...සැරසියව් !.../ රතු කමිස කරුවෝ සිය දහස් ගණනක් අත් මිටි ගුලි ලෙලවමින් මහත් ගිගුම් දෙන හඩින් කරන්නා වූ මේ කාහල නාදය කලාගේ සිරුර විනිවිද ගියේය. ඇතැම් විටෙක එයින් ඇගේ සිරුර පුරා රෝමෝද්ගමනය සිදුවිය. රතු කමිසකරුවන් මහ හඬින් ගයන මේ වචනවලින් එකක්වත් කලාට නොවැටහෙයි. එහෙත් අන්තිම සටනට ...අන්තිම සටනට අන්තිම සටනට .. යන රිද්මයානුකූල සටන්කාමී තාලය නම් ඇගේ ඇඟ මසට ම සවි වී ගියේය.

කලා විනෝදනී පිල්ලේ කිසි දිනෙක නිවෙසින් පිටත මෙතරම් දුරක් තනිවම ගමන් කොට නැත. තමා මේ ඉන්නා ඉසව්ව කොහේදැයි කීමටවත් ඇය නොදනී. ඇරත් තම නිවෙසට යා යුත්තේ කුමන මගකින් දැයි පාරතොට ඇසීමටවත් නොහැක්කේ යා යුත්තේ කොතැනකටද යන්න පිළිබඳව ඇයට අංශු මාත්‍ර කල්පනාවක්වත් නොතිබූ හෙයිනි. දැන් හිරු බැස යෑමට ආසන්නය.

පෙළපාලියේ අවසන් පේළියද ඔවුන් දෙදෙනා පසු කැර ගොස් අවසාන හෙයින් බැලූ බැලූ අත නෙත ගැටෙන්නේ මිනිස් පුළුටක් නැති පාලුවට ගිය පරිසරයකි. ජීවිතයේ ප්‍රථම වරට ඇයට භීතිය සහ අසරණ බව දැනිණි. මේ සියල්ලටත් වඩා උග්‍ර ගැටලුව වූයේ අම්මා සහ තාත්තා නිවෙසට ඒමට පෙරාතුව ඇලීසා ද කැටුව තම නිවෙසට යා ගන්නේ කෙසේද යනුයි.

(ඉතිරි කොටස ලබන සතියේ)

Comments