අහසත් පොළොවත් පිරෙන්නට සහසක් නිමැවුම් | සිළුමිණ

අහසත් පොළොවත් පිරෙන්නට සහසක් නිමැවුම්

නිවාස ආරක්ෂක පද්ධතිය

නිමැවුම් සහසක් දැයට උරුම කිරීම අරමුණු කර ගනිමින් සය වැනි වතාවටත් පවත්වනු ලැබූ සහසක් නිමැවුම් නව නිර්මාණ ප්‍රදර්ශනය පසුගියදා කොළඹදී පැවැත්විණි. දින තුනක් පුරා පැවති මේ ප්‍රදර්ශනයට දිවයිනේ දස දෙසින් නව නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. පාසල් අංශය, විවෘත අංශය, විශ්ව විද්‍යාල සහ තෘතියික අධ්‍යාපන අංශය මෙන්ම ව්‍යාපාරික අංශය යනුවෙන් අංශ හතරක් යටතේ නව නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙහිදී නව නිපැයුම්කරුවන් වෙත ලබා දි තිබිණි.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ මේ ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ එහිදී සෑම අංශයකින්ම හොඳම නව නිපැයුම තෝරා ගනු ලැබීමය. එපමණක්ද නොව ප්‍රදර්ශනයට ඉදිරිපත් කර ඇති නව නිර්මාණ සඳහා වාණිජමය වශයෙන් වටිනාකම් හිමි කර ගැනීමේ අවස්ථාද මේ ප්‍රදර්ශනය මගින් නව නිපැයුම්කරුවන්ට ලබා ගත හැකිය.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි පිරිස අතරින් බහුතරය පාසල් සිසුන් වූ අතර එය ඉතා ධනාත්මක පූර්ව ලක්ෂණයක් සේ සැලකිය හැකි වන්නේ රටේ අනාගත පරපුර නව නිර්මාණ බිහි කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම රටේ සංවර්ධනයට ඉතා හිතකර වන බැවිනි.

එසේම පාසල් අංශය යටතේ දිවයින පුරා පාසල් ගණනාවක සිසුන් නව නිර්මාණ ඉදිරිපත් කර තිබූ අතර දෙමවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි කිපවීම මත ඔවුන් ප්‍රදර්ශනය සඳහා තම නිර්මාණ ඉදිරිපත් කර තිබෙනු දක්නට හැකි විය. මේ අතරින් ඇතැම් පාසල් සිසුන් දිවයිනේ ඈත කොනේ සිට පැමිණ සිටි බවද සඳහන් කළ යුතුමය. පේරාදෙණිය ශ්‍රී පුෂ්පදාන ආදර්ශ මහා විද්‍යාලයේ සිට සහසක් නිමැවුම් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් වූ ශෙෂාන් රසික සිසුවා නිර්මාණය කර තිබුණේ තේ දළු නෙළීම සඳහා යොදා ගත හැකි යන්ත්‍රයකි. එහ බැලූ බැල්මට සරල ආවරණයකින් සහ මිටකින් යුක්තය. එහි කෙළවර තියුණු තල අඩංගුවට අතර එම තල මගින් තේ ගසේ උස්ව නැගෙන දල්ල පමණක් සියුම් ලෙස කපා ලෝහ ආවරණය තුළට දැමීමක් සිදු වේ. කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ ගනුක ප්‍රගීත් ඉදිරිපත් කර තිබු ටියුබ් රහිත ටයරවලට හුළං ගැසීමේ යන්ත්‍රයද ඉතා අගනා නිර්මාණයක් ලෙස සැලකිය හැකි අතර එය වාණිජ මට්ටමින් අලෙවි කිරීම සඳහා දියුණු කළ හැකි, එමේ කිරීමෙන් හොඳ අලෙවියක් ලබා ගත හැකි යන්ත්‍රයක් ලෙසින්ද දිස් විය.

අලුත්ගම ඤාණීස්සර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සෙනුර දෙව්මිණ ඉදිරිපත් කර තිබුණේ පහසුවෙන් කොප්පරා කපා ගත හැකි යන්ත්‍රයකි. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා සූර්ය බලයෙන් ක්‍රියා කරන ආරක්ෂක උපකරණයක් නිපදවා තිබූ අතර එය ගෑස්, ආර්ද්‍රතාව, උෂ්ණත්වය, චලනය යනාදිය මුල් කර ගනිමින් ඇතිවිය හැකි අනතුරුවලට සංවේදී වෙමින් නිවාස සහ ගබඩා ආරක්ෂා කිරීමට යොදා ගත හැකි වීම විශේෂත්වයක් විය.

මෙවර සහසක් නිමැවුම් ප්‍රදර්ශනය සඳහා ආරක්ෂක අංශවල සුවිශේෂී දායකත්වයක් ලැබී තිබෙනු දක්නට ලැබුණු අතර ශ්‍රී ලංකා යුද හමුදාව නව නිපැයුම් කිහිපයක්ම මේ සඳහා ඉදිරිපත් කර තිබිණි. ඒ අතරින් ප්‍රදර්ශන භූමියේ සුවිශේෂ ඉඩක් වෙන් කර ගනිමින් ප්‍රදර්ශනයට එක් වී තිබුණු මේජර් ඩබ්ලිව්.ඒ.එස්. ප්‍රසාද්ගේ ස්වයංක්‍රීය කඳවුරු ආරක්ෂණ පද්ධතිය අසල බොහෝ නරඹන්නන් එක්රොක් වනු දක්නට ලැබිණි.

ප්‍රසාද් මහතා තම නව නිපැයුම් මගින් මූලිකවම අපේක්ෂා කර තිබුණේ සටනකදී ජීවිත ආරක්ෂා කර ගනිමින් සතුරාට පහර දීමේ උපක්‍රමයක් නිපදවීමය. එ් අනුව ඔහු මේ ප්‍රහාරක පද්ධතිය සකස් කර තිබිණි. මේ ආරක්ෂණ පද්ධතිය සඳහා ගිනි අවි මෙන්ම බෝම්බද සම්බන්ධ කළ හැකි අතර කඳවුරේ ඉදිරි ආරක්ෂක වළල්ලටද ඉදිරියෙන් මේ ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කළ යුතුය. පද්ධතිය චලන හෝ උෂ්ණත්වය සංවේදක කර ගනිමින් ක්‍රියාත්මක විය හැකි පරිදි සකස් කළ හැකි අතර ඒ අනුව හදිසියේ කඳවුරට පහර දීමට සතුරු හමුදාවක් පැමිණේ නම් ඔවුන්ගේ සලනය සහ ශරීර උෂ්ණත්වය අනුව පද්ධතිය ක්‍රියාත්මක වී ස්වංයක්‍රීයව පහර එල්ල කරමින් කඳවුර ආරක්ෂා කරණු ඇත. මෙය ස්වයංක්‍රිය සහ මැනුවල් යන ක්‍රම දෙකෙන්ම ක්‍රියාත්මක විය හැකි පරිදි සකස් කළ හැකිය.

තම නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රසාද් මහතා පවසා සිටියේ සංවේදකද ඇතුළු සමස්ත පද්ධතියම රුපියල් 35000ක පමණ වැයකින් නිෂ්පාදනය කළ හැකි බවත් මේ පද්ධතිය ඉදිරි‍ අනාගතයේදී හමුදා කඳවුරු ආශ්‍රිතව භාවිත කිරීමට යොදා ගත හොත් ඉන් වඩා වැඩි ආරක්ෂාවක් ලබා ගැනීමට හැකි වනු ඇති බවත්ය. ඉදිරියේදී මිනිසුන් අතර ඇති වන්නේ තාක්ෂණික යුද්ධයක් බවත් එවැනි අවස්ථාවලදී මෙවැනි නව නිපැයුම් භාවිතයට ගත හැකි පරිදි සූදානමින් තැබීම කළ යුතුම දෙයක් බව ද ප්‍රසාද් මහතාගේ අදහස විය.

කොතලාවල ආරක්ෂක පීඨයේ ඉගෙනුම ලබන සිසුන් දෙනෙකු විසින් දිය යටදී සිදු කළ යුතු රූපගත කිරීම්, වෙල්ඩින් කිරීම් ඇතුළු ක්‍රියාවන් බොහොමයකට උපකාරී වන උපකරණයක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි.

රුහුණු සරසවියේ සිසුන් දෙනෙකු වන බී.වී.එම්.එස්. විජේසුන්දර සහ ඒ.ජී.පී.ඩී. අලහකෝන් වඩාත් වෙනස් ලෙස සිතමින් අපූරු නිර්මාණයක් ඉදිරිපත් කර තිබිණි. එය සූර්යයා නිරීක්ෂණය කිරීම වෙනුවෙන්ම සැකසූ ස්වංක්‍රීය ටෙලස්කෝපයකි. තත්පර දහයෙන් දහයට හිරු ඡායාරූප ගත කිරීමේ හැකියාවද මේ ටෙලස්කෝපයට ඇත. අනාගත අභ්‍යවකාශ විද්‍යා විෂයෙහි විශේෂඥයන් වීමේ අරමුණ සහිතව අධ්‍යාපනය ලබන්නා වූ මේ සිසුන් පවසන්නේ අභ්‍යවකාශය කෙරෙහි අප අවධානය යොමු කරන ප්‍රමාණය කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බවයි.

විවෘත අංශය යටතේ තම නිර්මාණය ඉදිරිපත් කර තිබූ බදුල්ලේ ඩී.එම්.සී. දිසානායකද ආරක්ෂාව සම්බන්ධව අවධානයක් දැක්වූවෙකි. ඔහුගේ නිර්මාණය වාහන, ජෙනරේටර් සහ රසායනික ගබඩා ආදිය ගංවතුර තත්ත්වයකදී ආරක්ෂා කර ගත හැකි ක්‍රමවේදයකි. එමෙන්ම ගින්නකදී වුවද මේ ක්‍රමය මගින් ආරක්ෂාව සලසා ගත හැකි බව ඔහුගේ අදහස විය.

යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ වෙනුර දිසානායකගේ නිර්මාණය ඉතාමත් ප්‍රායෝගික සහ අවශ්‍යතාව අතින් ඉදිරියෙන්ම සිටින උපකරණයක් ලෙස හැඳින්විය හැකිය. ඇස් නොපෙනන පුද්ගලයන් වෙනුවෙන් සිදු කර ඇති මේ නිර්මාණය ඉතා ප්‍රයෝජනවත් බව කිව යුතුය. මේ නිර්මාණය අත් ආවරණයකි. එහි ඇඟිලිවලට අදාළව සංවේදක සවි කර ඇති අතර එක් එකි සංවේදකය මගින් විදුලිය, ගින්දර, ශබ්දය, චුම්බක, ඇසිඩ්, ජලය, ලෝහ අලෝහ ආදිය හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම තමන් පසු කර යන්නේ පාසලක්ද, රෝහලක්ද පොලීසියද යන්න දෑස් නොපෙනන පුද්ගලයාට හඳුන්වාදීමටද මේ අත් ආවරණයට හැකි බව වෙනුර දිසානායක පවසා සිටියේය.

එමෙන්ම ගාල්ල ඔස්සෙන්ට්ස් විද්‍යාලයේ කලණ කවිශ්කගේ සුවිශේෂ සපත්තු කුට්ටම සම්බන්ධවද යමක් සඳහන් කළ යුතුය. මේ සපත්තු කුට්ටම ආරක්ෂක අංශවල සේවය කරන පුද්ගලයන් වෙනුවෙන්ම සකස් කරන ලද්දක් බව කලණ පවසා‍ සිටියේය. මේ සපත්තු යුගල බාහිරින් සාමාන්‍ය බූට් යුවළක් සේ පෙනුනද එහි වයිෆයි, ජීඑස්පී, ජංගම දුරකථනය සහ චාජරය, මාලිමාව, එම්පී3 මෙන්ම හිමේ ගමන් කිරීමට අවශ්‍ය නම් අදාල තහඩු ඇතුලු තවත් පහසුකම් රාශියක් අඩංගුය. මේ සපත්තුව වැඩි දියුණු කිරීමෙන් ආරක්ෂක අංශවල අයට භාවිතයට ගත හැකි බව කලණ පවසා සිටියේය.

දෙණියායේ දසුන් තිවංක අති සාර්ථක මෙන්ම ඉතා ප්‍රයෝජනවත් උපකරණයක් නිපදවා තිබිණි. එය පේනුවක් හෙවත් ප්ලග් එකකි. එහි විශේෂත්වය වන්නේ සෙසු සාමාන්‍ය ප්ලග් සඳහා අර්ත් සම්බන්ධය වෙනුවෙන් ඇති සිදුරට පෑනක් වැනි යමක් භාවිත කළ යුතු වුවද මේ ප්ලග් එකේ එසේ නොවීමය. එහිදී කළ යුත්තේ පේනුවේ වම් පස ඇති කූර මදක් තදින් එබීම පමණකි. එවිට ස්වයංක්‍රීයව අර්ත් සම්බන්ධය සහිත සිදුර විවෘත වේ.

මේ සඳහන් කළ නිර්මාණ හැර තවත් ඉතා විශිෂ්ට යැයි පැවසිය හැකි නිර්මාණ රාශියක්ම ප්‍රදර්ශනය පුරා දක්නට ලැබුණු බවද සඳහන් කළ යුතුමය.

සහසක් නිමැවුම් ප්‍රදර්ශනයේ සහ නව නිපැයුම් තරගයේ සංවිධනය සහ මෙහෙයවීම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමය මගින් වන අතර එහි කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අන් කිසි අවස්ථාවකදී මෙතරම් සාර්ථක නිර්මාණ දක්නට නොලැබුණු බවයි. ආරම්භක අවස්ථාවේ රට පුරා සෑම ප්‍රදේශයකින්ම ඉදිරිපත් වූ නව නිපැයුම් දෙදහසකට ආසන්න සංඛ්‍යාවකින් ‍තෝරා ගත් නව නිපැයුම් හාරසීයකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ බවත් ඒ මහතා පවසා සිටියේය. මේ ප්‍රදර්ශනයෙන් තෝරා ගනු ලබන ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරි නැමීම ඔක්තෝබර් මස 26 වැනි දින එනම් ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී සිදු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.

අප රටේ දියුණුව උදෙසා නව නිපැයුම්කරුවන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් දිනෙන් දින නව නිපැයුම්කරුවන් වැඩි වැඩියෙන් බිහිවන බව මෙවැනි ප්‍රදර්ශන හරහා තහවුරු වන බවත් එය ඉමහත් සතුටට කාරණයක් බවත් ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Comments