
මට සිටියේ පුතාලම දෙදෙනෙක්. එයින් වැඩිමල් පුතා ඔහුට වයස 31 දී රිය අනතුරකින් නැතිවුණා. මා මානසික ලෙස විශාල කඩා වැටීමකට ලක්වුණා. මා උපතින් ක්‍රිස්තියානි! පුතා නැති වුණාට පසුව මා මගේ සිත හදාගත්තේ බෞද්ධ දර්ශනය ඇසුරින්. දැන් මා බෞද්ධ. ඉන්නේ පොඩි පුතා ළඟ ඔහුටත් පුතාලා දෙන්නෙක් ඉන්නවා. සිය රංග කලා පෞරුෂත්වයෙන් දශක හතක් පුරා ශ්‍රී ලාංකේය රසික ජන සමාජය අමන්දානන්දයට පත් කළ, අපිට සිටින ජ්‍යෙෂ්ඨතම රංගවේදිනි අද පැහැසර හමුවට එක් කැර ගනිමු. සිංහල - ඉංග්‍රීසි ද්විභාෂාවන්ගෙන් හෙළ කලා කෙතේ රංගවේදය සුපෝෂිත කළ ඇය සිය ජීවන ගමන් මගේ ඉකුත් දා පසු කළේ නවවැනි දශකයයි. වේදිකාව, සිනමාව, රූපවාහිනිය සිය රංග ප්‍රතිභාවෙන් සොභාමත් කළ ඇය අයිරංගනී රොක්සානා මීදෙණිය හෙවත් අයිරංගනී සේරසිංහම වන්නීය.
උපන් දිනය?
1927 ජූනි 09
උපන් ගම?
මූදුගමුව රුවන්වැල්ල
උප්පැන්නයේ නම?
අයිරංගනී රොක්සානා මීදෙණිය
දෙමවුපියන්?
ජෝශප් හර්කියුලියස් මීදෙණිය මගේ පියා. මව වයලට් එල්ලාවල මීදෙණිය.
සහෝදර සහෝදරියන්?
අක්කා ඉන්ද්‍රානි, නංගි කාමනි, මල්ලි මහින්ද!
මුලින්ම අකුරු කළේ?
කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය
පසුව?
බිෂොප් විද්‍යාලය. එහිදී මා එස්.එස්.සී. සමත් වී ගෙදර ආවා.
එතකොට අධ්‍යාපනය?
ගෙදර ඇවිත් ඉන්න කොට හැඟුණා වැඩිදුර අධ්‍යාපනය ලැබිය යුතුයි කියලා.
ක්‍රියාත්මක වෙන්නෙ?
මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළුවීමෙන් එහිදී මා විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වෙනවා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ?
ඒ 1947 වසරයි. තාත්තගෙන් බොහොම අමාරුවෙන් අවසර අරගෙනයි විශ්ව විද්‍යාලයට ඇතුළු වුණේ.
එහිදී හැදෑරූ විෂයයන්?
ඉංග්‍රීසි සාහිත්‍ය, ඉතිහාසය හා ආර්ථික විද්‍යාව.
එතකොට රංගනවේදය?
එය පාසල් කාලයේ පටන් එන්නක් විශේෂයෙන් උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ.
විශ්වවිද්‍යාලයේ සමකාලීනයන් වුණේ?
හිටපු ඇමැතිවරුන් වෙන නිශ්ශංක විජේරත්න, රොනී ද මෙල් ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක වගේ අය.
විශ්වවිද්‍යාලයේදී රංගනයට බෙහෙවින් ම දායක වුණා?
ඔව්! සෑම වසරකම විශ්වවිද්‍යාලයේ නාට්‍යයක් කළා. හැබැයි ඉංග්‍රීසියෙන්. මම කළේ පිරිමි චරිත. (සිනා) ඒ නාට්‍ය මහනුවර යාපනය ආදී ප්‍රදේශවලත් පෙන්නුවා.
ඔබේ බාලවිය පිළිබඳ දැනගන්න කැමැතියි?
බාලවිය ගෙවුණේ ගමේ. හරිම සුන්දරයි. ගැමියන් අපට හරිම ආදරෙයි අපත් එහේමයි සතා සිවුපාවට ගහට කොළට අප ආදරය කරන්න ඉගෙන ගත්තේ ගමෙන්.
විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව?
මා ටික කලක් කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගැන්නුවා.
එහිදී ඔබ විවාහ වෙනවා?
ඔව්! එය මගේ පළමු විවාහය.
නම?
එස්.බී. දිසානායක කියලා විශ්වවිද්‍යාලයේ දැන හඳුනාගත් අයෙක්.
ගෙදරින් කැමැති වුණා ද?
නෑ! අම්මා කිව්වා ඒ විවාහය කරගන්න එපා කියලා.
ඇයි ඒ?
(සිනා) අම්මට තේරෙන්න ඇති නොගැළපෙන බව නේද....!
ඔබ ඔහු සමඟ එංගලන්තයට යනවා?
අපි කසාද බැඳපු අලුත ඔහුගේ වැඩිපුර අධ්‍යාපන කටයුතු සඳහා.
එහිදී ඔබ?
ලංකා විශ්වවිද්‍යාලයේ සිටි මහාචාර්ය ලූඩොවයික් මහතාගේ උපදෙස් මත මා එංගලන්තයේදී රංගවේදය හැදෑරුවා.
ඒක අලුත් දැකීමක්?
සත්තකින් ම! මා සිතාෙගන සිටියේ රඟපානවා කියන්නේ වේදිකාවේ එහා මෙහා ගිහින් දෙබස් කියවා කරන සුළු කටයුත්තක් කියලා. එය මොන තරම් ගැඹුරු ද කියා වැටහුණේ ඒ හැදෑරීමෙන්.
ඔබ වසර හතරක එංගලන්ත ජීවිතය නිමකර ලංකාවට එනවා?
ඒ වනවිට ලංකාව බොහෝ සෙයින් වෙනස්වෙලා.
ඒ කිව්වේ?
යන විට තිබූ ඉංග්‍රීසිය එනවිට රාජ්‍ය භාෂාව සිංහලය වෙලා.
මේ නිසා ඔබට රැකියාවක් සොයා ගැනීමේ අපහසුව දැනුණා?
ඔව්. පසුව මා ටෛයිම්ස් ආයතනයේ ඉංග්‍රීසි මාධ්‍යවේදිනියක් හැටියට පත්වීමක් ලබනවා. එහිදී මට ගොඩක් හිත මිතුරන් හඳුනාගන්න ලැබෙනවා.
ඔබ මේ අතරතුර නාට්‍යවලටත් සම්බන්ධයි?
අපොයි ඔව්! මා නාට්‍ය කීපයකට සම්බන්ධව සිටියා. එවකට ජනප්‍රිය ශිල්පියෙකුව සිටි වින්ස්ටන් සේරසිංහත් මේ නාට්‍යවල රඟපෑවා.
ඔබ ප්‍රසිද්ධ සිනමාවට පිවිසෙන්නේ?
1956 ලෙස්ටර්ගේ රේඛාවෙන්. එහි කතිරිනාහාමිගේ චරිතයට හොඳම නිළිය ලෙස දීප ශිඛා සම්මානය ලබනවා.
එතකොට ඔබට සිංහල උච්ඡාරණය අපහසු වුණේ නැතිද?
මොකද නැත්තේ මට පුංචි බයකුත් හිතේ තිබුණා.
ඔබට ඉංග්‍රීසි නාට්‍ය රංගනයේදී ඔබේ අනාගත සහකරු සේරසිංහ මහත්තයා හමුවෙනවා. ඔබේ පළමු ප්‍රසිද්ධ සිංහල වේදිකා නාට්‍ය?
හෙන්රි ජයසේනගේ ‘අපට පුතේ මඟක් නැතේ’ ඉන්පසුව ධම්ම ජාගොඩගේ ‘වෙස් මුහුණ’ ඇතුළු සිංහල නාට්‍ය ගණනාවක්.
රේඛාවේදී ඔබට විශේෂිත චරිතයක් හමුවෙනවා. ඒ චරිතය පසු කාලයේදී සිනමාවේ මහ දැවැන්ත චරිතයක්?
ආ... ඔබ කියන්නේ ගාමිණී ෆොන්සේකා ගැන...! ඔහු එතකොට පුංචි කොල්ලෙක් කාර්මික ශිල්පියෙකු ලෙසත් නිෂ්පාදන අංශයටත් දායක වී කටයුතු කළා.
ඔහු ගැන මතකය අවදි කළොත්?
ෂූටිංවලට අපව අවධි කරන්න එන්නේ ගාමිණී. අපි ඉතිං බැණලා එළවා ගන්නවා. ඔහු ළාබාල තරුණයෙක් සමහරවිට කැමරා ඩ්රොලිය පවා තල්ලු කරනවා.
පසු කාලයේදී ඔබ ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ රඟපානවා?
ඔව්! ඒ ‘සාගරයක් මැද’ චිත්‍රපටයේ.
එතකොට එම චිත්‍රපටයේ සමස්ත කතාව ඔබ දැනගෙන හිටියේ නෑ?
නෑ! මෙහි එක දර්ශනයක් රූගත කිරීම් කරන කොට මා දැක්කා සිරිමාවෝගෙ ඡායාරූපයක් බිත්තියේ එල්ලා තිබෙනවා. එතකොට මා ඇසුවා මොකක් ගැනද මේ චිත්‍රපටයේ කතා කරන්නේ කියලා.
ගාමිණී මොනවද කිව්වේ?
නෑ! නෑ!! කිසිම ප්‍රශ්නයක් නෑ සිරිමාවොත් මේ චිත්‍රපටයට කැමැති වෙයි කියලා කිව්වා. මොකද සිරිමාවෝ මගේ ළඟ ඥාති.
චිත්‍රපටය තිරගත වූවාට පසුව?
ෆිලික්ස් ඩයස්ගේ නැන්දම්මා ගේ චරිතයයි මා රඟපා තිබෙන්නේ ෆිලික්ස්ගේ නෝනා මාත් එක්ක තරහ වුණා. හැබැයි මා ෆිලික්ස්ගේ නැන්දම්මව ජීවිතයටවත් දැක තිබුණේ නෑ මා කළේ රංගන ශිල්පිනියක් හැටියට පිටපතට අනුව රඟපෑමයි.
ටෙලි නාට්‍යයට පිවිසෙන්නේ?
පරාක්‍රම නිරිඇල්ලගේ යශෝරාවයෙන්. මා එයට පළමුවෙන් ම බෑ කිව්වා. පසුව එකඟ වුණා. එය අතිශයින් ජනප්‍රිය වුණා. අදටත් මිනිසුන් ඒ චරිතයට ආදරය කරන බව පෙනෙනවා.
ඔබ රඟපෑ නාට්‍යය හා චිත්‍රපට සංඛ්‍යාව?
අනේ... හරියට මතක නෑ!
පවුලේ විස්තර ටිකක් කියන්න?
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කථානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ, ඔබේ ආයතනයේ (ලේක්හවුස්) නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මගේ මාමලා. ඔබට විශේෂයෙන් කිව යුතු දෙයක් තිබෙනවා.
කියන්න?
මට සිටියේ පුතාලම දෙදෙනෙක්. එයින් වැඩිමල් පුතා ඔහුට වයස 31 දී රිය අනතුරකින් නැතිවුණා. මා මානසික ලෙස විශාල කඩා වැටීමකට ලක්වුණා.
පසුව?
මා උපතින් ක්‍රිස්තියානි! පුතා නැති වුණාට පසුව මා මගේ සිත හදාගත්තේ බෞද්ධ දර්ශනය ඇසුරින්. දැන් මා බෞද්ධ. ඉන්නේ පොඩි පුතා ළඟ ඔහුටත් පුතාලා දෙන්නෙක් ඉන්නවා.
අද අපේ තරුණ පරපුර ගැන යමක් කියන්න?
ඉතාමත් දක්ෂ පිරිසක් ඉන්නවා ඒ අයට ජීවත්වෙන්න වෙලා තිබෙන්නේ වෙළෙඳ ලෝකයක.
එහි තේරුම?
අපේ අධ්‍යාපනයෙන් හදන්නේ රටට අවශ්‍ය මිනිසුන් නොවෙයි. මේ නිසා දරුවන් අතරමං වෙනවා! අසරණ වෙනවා!
තවත් පැහැදිලි කළොත්?
කවුද අද කුඹුරකට බැහැල වැඩ කරන්න කැමැති. කවුද අද පෙදරේරුවෙක් වඩු කාර්මිකයෙක් වෙන්න කැමැති. ඔහේ ඒ ඒ වැඩවලට වැටෙනවා මිසක් ඒ පිළිබඳ ක්‍රමවත් අධ්‍යාපනයක් තියෙනවද?
නව පරපුරේ ශිල්පීන් අද ප්‍රවීණයන්ට ගරු කරන්නේ නෑ කියනවා?
අනේ මට එහේම අය හමුවෙලා නෑ මට වගේ ම හැඟිලත් නෑ.
ඔබේ අද දවස ගෙවෙන්නේ?
මා පසුගිය කාලයේ පරිසරය වෙනුවෙන් කැපවී ක්‍රියාකාරකම් කළා. දැන් ඒවාට ශක්තියක් නෑ.
ඔබ දැඩි සේ පරිසරයට ආදරය කරනවා?
අනේ ඔව්. ගහකින් කොළයක් කඩා දැමීමක් පාපයක් හැටියටයි මා දකින්නේ?
නිවාඩු පාඩු වෙලාවට ටෙලිනාට්‍යයක් එහේම බලන්නේ නැතිද?
අවුරුදු 4 – 5 කින් බලලා නෑ. ඒ වෙලාවේ පොතක් බලන එක මට සැපක්. නැත්නම් රාත්‍රියේ අහස දෙස බලාගෙන ඉදීමත් සුවයක්.
අද සමාජයට මොකක්ද ඔබට කියන්න තියෙන්නේ?
අපි කවුරුත් ආදර්ශවත් ජීවිත ගත කළ යුතුයි.