
රටක අධ්‍යාපන ක්‍රමවේදය සකස් කිරීමේදී පර්යේෂණ හා සංවර්ධන අරමුණු කෙරෙහි සැලකිලිමත් විය යුතුය. සංවර්ධනය මත ඍජුවම බලපාන්නේ රටේ පවතින අධ්‍යාපන න්‍යායයි. අධ්‍යාපන ක්‍රමය සකස් කිරීමේ දී තාවකාලිකව දේශපාලන විසඳුම් සෙවීමට එය මෙවලමක් කරගතහොත් ඉන් රට අගතියට යෑමක් මිස සංවර්ධනයක් සිදු නොවේ.
අවුරුදු දෙදහස් පන්සීයක ඉතා ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකිකයන්ට ස්වාභාවික සම්පත් ඇසුරෙන් පොහොසත් භූමියක්ද හිමි බව අමතක කළ යුතු නැත. එපමණක් නොව පුරාණ රජවරුන්වූ අපේ මුතුන් මිත්තන් විසින් සිදු කර ඇති යෝධ නිර්මාණ ගැන අපට උදම් ඇනිය හැකිය. මහ පොළොවෙන් ලැබී ඇති සාක්ෂි අනුව අපේ මුතුන් මිත්තන්ට ඉංජිනේරු විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව පිළිබඳව හසළ දැනුමක් තිබී ඇත. වර්තමානයේ මේ දැනුමට කුමක් වීද?
රටක් සංවර්ධනය විමට නම් ආර්ථික හා සමාජීය යන අංශ දෙකෙන්ම සංවර්ධනය විය යුතුය. එසේ වීමට නම් පුද්ගල සංවර්ධනය විය යුතුය. පුද්ගල සංවර්ධනය සිදුවන විට රටද සංවර්ධනය වේ. මේ නිසා පුද්ගල සංවර්ධනය කෙරෙහි බලපාන සාධක මුවහත් කළ යුතුව තිබේ. බුද්ධිමය සංවර්ධනය, සමාජීය සංවර්ධනය පෞරුෂ සංවර්ධනය මෙයින් විශේෂ වේ.
එහෙත් අප රටේ අධ්‍යාපන දර්ශනයට සමගාමීව පුද්ගල සංවර්ධනයක් සිදු නොවන බව පෙනෙන්නට තිබේ. බුද්ධිමය සංවර්ධනය යනුවෙන් දක්නට ලැබෙන්නේ විභාගවලට කටපාඩම් කර උත්තර ලිවීම පමණි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන මිනිසුන් රටේ සංවර්ධනයට කෙසේ දායක වී ඇති ද යන්න ගැටලුවකි. වර්තමාන පාසල හොර තක්කඩි මැරයන්, අශීලාචාර සාරධර්ම නොමැති කුහක මනුෂ්‍යයන් බිහිකරන තරගකාරී විභාග කර්මාන්ත ශාලා ද යන්න ගැටලුවකි. අද වෘත්තිකයන් වෘත්තිකයන් යැයි කීමට නොහැකි තරමට පිරිහීගොස් තිබෙන්නේ පවතින අධ්‍යාපන ක්‍රමය තුල ආකල්ප, සාරධර්ම හා සංවර්ධනය පිරිහී ගොස් තිබෙන නිසා ය. පවතින පන්ති කාමරය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනස් නොකළහොත් පන්ති කාමර දරුවන් ගැන අනාවැකි කිව හැක්කේ කාටද?
දැනුම පොවන අධ්‍යාපන ක්‍රමයක ආකල්ප කුසලතා සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබේ. අතිශයින්ම තාක්ෂණික ලෝකයේ විද්‍යාව ඉගෙන ගන්නා දරුවාට තාක්ෂණය අමතක කොටවිද්‍යාව ඉගෙන ගන්නට සැලසුවහොත් මනස තුළ සංකල්ප බිහි කිරීමේ ගැටලුවට මුහුණ පෑමට සිදුවේ. කුඩා කල සිටම සිසුනට විද්‍යාව විෂය තුළ තාක්ෂණික කුසලතා දීමට සැලසුම්කරන්නන් ක්‍රියාත්මක විය යුතුය. පන්ති කාමරය දැක නැති අධ්‍යාපනඥයන් විෂය නිර්දේශ සකස් කිරීමේ දී එවැනි අඩුපාඩු බොහෝ විට සිදුවන බව පර්යේෂණ විද්‍යාඥයන්ගේ මතයයි. 1 වසරේ සිට 13 වසර දක්වා කුසලතා හා ආකල්ප විද්‍යා හා තාක්ෂණික විෂය තුළින් ලබා දීමට අධ්‍යාපන ක්‍රමවේද සැලසුම් කරන්නන් සැලසුම් කළ යුතුය.
හාවර්ඩ් ගානර්ගේ බහු බුද්ධි න්‍යාය අනුව උපතින් මනුෂ්‍යයන් උරුම කරගෙන ආ බහු බුද්ධිය යුණු කිරීමට පාසල තුළ පවතින ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අසමත් වී තිබීම කනගාටුවට කරුණකි. පළමුවන පන්තියේ සිට සර්පිලාකාර විද්‍යා විෂය නිර්දේශයක් සකස් කොට දැනුම, කුසලතා සහ ආකල්ප ගොඩ නැංවීමට අධ්‍යාපනය සැලසුම් කරන බලධාරීන් කටයුතු කළ යුතුය. දැනට රටේ පවතින අර්බුදයට විසඳුම් වශයෙන් අසමත් වන සිසුන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීම කනගාටුදායක කරුණකි. පවතින විභාග ක්‍රමය වෙනස් කොට නවතම ක්‍රමයක් සැලසුම්කර දැනුමට අමතරව කුසලතා හා ආකල්ප අගයන ක්‍රමයක් සොයා ගත යුතුව ඇත.
විද්‍යාව හා තාක්ෂණය විෂය කුඩා කාලයේදීම හඳුන්වාදීමෙන් පංති කාමරය තුළ සිදුවන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා එම වයසේදී ලබා දිය යුතු කුසලතා බුද්ධියට ගැළපෙන පරිදි තීරණය කිරීම වැදගත්ය. ඉගෙන ගන්නා තාක්ෂණවේදය මිනිසාගේ එදිනෙදා ජීවිතයට කොපමණ ප්‍රයෝජනවත් ද යන්න සොයා බැලිය යුතුය. එහෙත් වෘත්තිය තාක්ෂණය සහතිකයට පමණක් සීමා වේ නම් එය කොපමණ රටට හා පුද්ගලයාට වැඩදායක ද?
අධ්‍යාපනයට මේ තරම් මුදලක් වැය කරන විට එම අධ්‍යාපන ක්‍රමය යටතේ විභාග අසමත් වන සංඛ්‍යාව වැඩි වීම රටට පාඩු ගෙන දෙන ක්‍රියාවලියක් නොවේද? පන්ති කාමරය සහ පාසල සම්පූර්ණයෙන් විසි එක් වන සියවසට ගැලපෙන ක්‍රියාකාරකම්වලින් පිරුණු ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා දියුණු කරන, නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගී වන, දැනුම පමණක් නොව කුසලතා හා ආකල්ප දියුණු කරන ස්ථානයක් විය යුතුය.
ආචාර්ය ලක්ෂ්මන් නෝනිස්