
කිසිදු රෝගයක් නොවැළඳුණු පුද්ගලයකු මිහිමත සිටි ය නොහැක. ඒ හේතුවෙන් වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ඖෂධ වඩාත් වටින්නේ ය. වෛද්‍යවරයෙකු විසින් නියම කරන ලද ඖෂධ නිසි අවබෝධයකින් යුක්තව කල්පනාකාරීව භාවිතා කිරීම වඩාත් වැදගත් ය. එසේ නොවුණහොත් මරණයට පවා පත් වීටම පුළුවන. එහෙයින් ඖෂධ නිසි පරිදි භාවිතා කරන අන්දමත් ඖෂධ භාවිතයට ගැනීමේ දී සුලභව මුහුණ දෙන්නට සිදු වන ගැටලු පිළිබඳවත් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සමඟ සිදු කළ සාකච්ජාවකි.
වෛද්‍යතුමියනි, පැනඩෝල් සහ පැරසිටමෝල් අතර පවතින වෙනස කුමක් ද?
පැරසිටමෝල් යනු වේදනා නාශක ඖෂධයේ ඖෂධීය නාමය වේ. ඕනෑම ඖෂධයකට ඒ ඹෟෂධය හැදින්වීම සදහා ඹෟෂධීය නාමයක් ඇත. . මුළු ලෝකයේ ම තිබෙන ඖෂධ හදුන්වනු ලබන්නේ එම ඖෂධීය නාමයෙනි. පැරසිටමෝල් ඖෂධයට නොයෙකුත් වෙළෙද නාම තිබේ.පැනඩෝල් යනුවෙන් හදුන්වන්නේ එක් වෙළෙඳ නාමයකට ය. ලෝකයේ Paramol, maxmol, paracetol, astamol, pyrol යනා දී වශයෙන් පැරසිටමෝල් ඖෂධයෙහි වෙළෙදනාම 30-40 පමණ ප්‍රමාණයක් පවතී.ඕනෑම රෝගියෙක් තමන් ගන්නා ඖෂධය ඖෂධීය නාමයෙන් දැනගෙන සිටිය යුතු ය.
ඖෂධ භාවිතා කිරීමේ දී රෝගීන් විසින් මතක තබා ගත යුත්තේ මොනවාද?
ඖෂධ භාවිතයට ගැනීමේ දී අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු ප්‍රධානතම කරුණු පහක් තිබේ. ඖෂධ වර්ගයේ නම කුමක්ද?,එම ඖෂධය ගන්නේ කුමක් සඳහා ද?.එම ඖෂධය ගන්නා මාත්‍රාව,එම ඖෂධය කී වරක් ගත යුතු ද?, එමෙන් ම එම ඖෂධය ගැනීමේ දී පිළිපැඳිය යුතු අනෙකුත් උපදෙස් යනාදිය වශයෙන් එම කරුණු පහ දැක්වීමට පුළුවන. මෙම ප්‍රධාන කරුණුවලට අමතරව එම ඖෂධය ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ,එම ඖෂධය ගබඩා කර තබා ගත යුතු ද?නැද්ද?( ශීතකරණයෙහි දැමිය යුතු ද? නැද්ද) ,එමෙන් ම එම ඖෂධය කොපමණ කාලයක් භාවිතා කළ යුතු ද?නැතහොත් දිගු කාලීනව ගන්නා ඖෂධ නිසි අධීක්ෂණයකින් යුක්තව කල්පනාකාරීම ගත යුත්තේ කෙසේ ද? යන කරුණු ඖෂධ භාවිතා කරන රෝගීන් පෙර සදහන් කරුණුවලට අමතරව දැන සීටීම වැදගත් වේ.
උදාහරණ වශයෙන් දියවැඩියාව සඳහා Metformin ඖෂධය, කොළෙස්ට්‍රෝල් සඳහා Atorvastatin දියවැඩියාව ඇති රෝගියකු Metformin ගත යුත්තේ එක පෙත්තක් වශයෙන් නොව මිලි ග්‍රෑම් 500 ක් ද 750 ක් ද , යනා දී වශයෙන් ඖෂධ ගත යුතු මාත්‍රාව දැනගැනීම වැදගත් ය. ඖෂධ දවසට 2 වරක් ද , 2 වරක් ද එසේත් නැතිනම් පැය 8 කට වරක් ද යන්න පිළිබදව ද කල්පනාකාරී විය යුතු ය. ඒ වාගේ ම ඖෂධ භාවිතා කරන්නේ කෑමට පෙර ද පසු ද, එසේත් නැත්නම් හිස්බඩ ගත යුතු ද, යනා දී වශයෙන් ඖෂධ භාවිතයේ දී පිළිපැදිය යුතු අනෙකුත් උපදෙස් පිළිබඳව අවදානය යොමු කළ යුතු ය. ඖධෂවලින් ඇති විය හැකි අතුරු ආබාධ පිළිඳවත් උදාහරනයක් ලෙස දියවදියාවට ගන්නා ඖෂධ නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වීමේ දී කලන්තය ඇතිවීම, පසුවේ අමාරුවට දෙන දිව යටින් තබා ගැනීමට දෙන ඖධෂවලින් හිසරදයක් මුලදී ඇතිවිය හැකි බවත් ,ඉන්සියුලින් ඖෂධය ශීතකරණයේ ඇතුළත දමා තැබීමටත්( ශීතකරණයේ තටිටුවේ නොතබා), වෛද්‍ය උපදෙස් මත නියම කළ ඖධෂ වර්ග බෝතල්වල දමා ලේබල් කිරීමටත් හොඳින් මතක තබා ගැනීම වැදගත් ය.විශේෂයෙන් අධික රුධිර පීඩනය , දියවැඩියාව ඇති රෝගීන් මාසයකට වරක් හෝ අවම වශයෙන් මාස දෙක තුනකට වරක් රුධිර පරීක්ෂාවන් කළ යුතු ය . ඒ රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා රෝගීන් තමන් ගන්නා ඖෂධ පිළිබඳව ස්වයං අධීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.
පැරසිටමෝල් නිසි පරිදි භාවිතා කරන්නේ කෙසේ ද?
පැරසිටමෝල් නමැති ඖෂධය භාවිතා කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳව සෑම පුද්ගලයෙක්ම දැනුවත් වී සිටීම වැදගත් වේ. මෙය වෛද්‍ය අනුමැතිය නොමැතිව වුව ද උණ, හිසරදය වැනි තත්ත්වයන් හිදී භාවිතා කිරීමට පුළුවන.උණ අඩු කර ගැනීමසඳහා අප පැරසිටමොල් රෝගීන් සඳහා දෙනු ලබයි. වැඩිහිටියකුට අප එකවර පෙති දෙක බැගින් දවසකට තුන් වරක් පැරසිටමෝල් භාවිතා කළ යුතු ය. ඒ වාගේ ම අධික උණ, හෝ දැඩි ඇඟ පතෙහි වේදනාවට වරක් ඖෂධ රැගෙන අඩු නොවු අවස්ථාවලදී පැරසිටමොල් කලින් මාත්‍රාවම (පෙති 2 ) පැය 6 කට වරක් භාවිතා කළ යුතු ය. එක් වරක් පැරසිටමොල් එම මාත්‍රාව ගෙන පැය 6 ක් ගත වීමට පෙර නැවත එම මාත්‍රාව ගැනීම නොකළ යුතු ය. එසේ නොවීම සඳහා රෝගීන් නිසි අවධාණයෙන් සිටිය යුතු ය. කුඩා දරුවන්ට පැරසිටමෝල් ලබා දෙනු ලබන්නේ දරුවාගේ බර අනුව ය. බර කිලෝ ග්‍රෑම් 1 කට මිලි ග්‍රෑම් 15 ක් වන පරිදි, කිලෝ ග්‍රෑම් 20 ක් බර දරුවකුට මිලි ග්‍රෑම් 300 ක් අඩංගු පැරසිටමෝල් ලබා දිය යුතු ය.මෙවැනි අවස්ථාවක දී එක් පැරසිටමෝල් පෙත්තක මිලි ග්‍රෑම් 500 ක් අඩංගු වන නිසා දරුවකුට ලබා දෙන්නේ පැරසිටමෝල් පෙත්තෙන් භාගයක් වැනි ප්‍රමාණයකි. එම නිසා කුඩා දරුවන්ට පැරසිටමොල් පෙති වෙනුවට සිරප් එක ලබා දෙනු ලබයි. දරුවන් සහ වැඩිහිටියන් යන දෙපාර්ශවයම පැරසිටමෝල් භාවිතා කිරීමේ දී පළපුරුදු වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනිවාර්යයෙන් ම ගත යුතු වේ. එමෙන් ම වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ රැගෙන පැමිණි විට එම ඖෂධ බෝතල්වල දමා ලේබල් කිරීම වඩාත් යහපත් වේ. එමෙන් ම උණ,හිසරදය,ඇග පතෙහි වේදනාව වැනි තත්ත්වයන්වලට Paramol, maxmol, paracetol, astamol, pyrol ඖෂධ ගැනීම සඳහා වෛද්‍යවරයෙකු වෙත ගොස් ඖෂධ නියම කර ගැනීමේ දී එම ඖෂධ අතරට පැරසිටමොල් තිබේ ද යන්න පිළිබඳව එම අවස්ථාවේදීම වෛද්‍යවරයාගෙන් අසා දැන ගත යුතු ය. ඒ මන් ද යත් උණ,හිසරදය,ඇග පතෙහි වේදනාව, සඳහා පැරසිටමොල් ගත් රෝගියකුට වෛද්‍යවරයාත් පැරසිටමෝල් ගැනීමට නියම කර හොත් එය එපරිදි ගැනීම මඟින් රෝගියාට පැරසිටමොල් භාවිතය වැඩි වී අක්මාවට හානි විය හැකි ය. එසේ නෙදැනුවත් ව හෝ අධික ලෙස පැරසිටමෝල ගැනීමේන් ජීවිතය පවා හානි විය හැකි ය.
පමණට වඩා පැරසිටමොල් භාවිතා කිරීමෙන් ඇතිවන අතුරු ප්‍රතිඑල මොනවාද?
ප්‍රමාණයට වඩා පැරසිටමෝල් භාවිතා කිරීම මඟින් අක්මාවට දැඩි බලපෑමක් විය හැකියි. අක්මාවට හානි සිදු වී එහි ක්‍රීයාකාරීත්වය අඩු වී අකර්මණ්‍ය වන්නට පුළුවන. ඒ වාගේ ම වකුගඩුවලටත් හානි වීමට පුළුවන. සුරක්ෂිත ඖෂධයක් වුවත් ඕනෑම පුද්ගලයෙකු පැරසිටමෝල් භාවිතා කිරීමේ දී පැය 6 කට වරක් පමණක් භාවිතා කිරීමට වග බලා ගත යුතු වේ. එක් වරක් පැරසිටමෝල් භාවිතා කර පැය 06 ක් ගත වීමට පෙර යළිත් භාවිතා කළහොත් අධි මාත්‍රාවක් දින දෙක තුනක් ඇතුලත ශරීරයට එකතුවීම නිසා ජීවිත හානියක් පවා සිදුවිය හැකි ය. වීමට සිදුවේ. ඒ සදහා උදාහරණක් ලෙස මිග්‍රේන් රෝගය තිබු පුද්ගලයෙක් පැය 2-3 කට වරක් නැවත නැවත ඒ පරිදිම පැරසිටමෝල් භාවිතා කිරීමෙන් මරණයට පත් වු අවස්ථාවක් වාර්තා වී ඇත.
පැරසිටමෝල් ගත යුත්තේ කුමන රෝග සදහා ද?
ශරීරයේ වේදනාව සහ තද උණ තත්ත්වය අඩු කිරීම මෙන් ම හිසරදය සඳහා වේදනා නාශකයක් වශයෙන් පැරසිටමෝල් ඖෂධය භාවිතයට ගැනීමට පුළුවන.
ඩෙංගු රෝගීන්ට පැරසිටමෝල් පමණක් ගන්න කියන්නේ ඇයි?
ඩෙංගු රෝගය වැළදී ඇති රෝගියෙකුට අධික උණ ගතිය, හිසරදය, ඇඟපතෙහි වේදනාව වැනි රෝග ලක්ෂණ සඳහා පැරසිටමෝල් වේදනා ඖෂධය දෙනු ලබයි. මීට අමතරව NSAID ( Non Steroidal Anti Inflammatory Drugs) යන වේදනා නාශක ඖෂධ කාණ්ඩයට අයත් වන ඖෂධ බොහෝ ප්‍රමාණයක් ඇත.ඒ කාණ්ඩයට අයත් වන වේදනා නාශක ඖෂධ අතරින් කිහිපයක් පමණක් Aspirin,Ibuprofen,Diclofenac,piroxicam, mefenamic acid යනාදී වශයෙන් හදුන්වා දීමට පුළුවන. NSAID කාණ්ඩයේ වේදනා නාශක ඖෂධ මඟින් අමාශයේ තුවාල ඇතිවීමට හැකි නිසා ඩෙංගු රෝගයේදී ලේ වහනයක් සිදුවිය හැකි බැවින් එසේ වුව හොත් අමශයේ තුවාල වලින් භයානක ලේ ගැලීමක් සිදුවිය හැකියි. ඩෙංගු වැළදුණු රෝගියෙකුගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවේ. ඒසේ වු විට ලේ කැටි ගැසීම වැනි තත්ත්වය . උග්‍ර විය හැකි ය .මේ බව පර්යේෂණ මගින් දැන් සනාථ වී තිබේ. NSAID කාණ්ඩයේ වේදනා නාශක ඖෂධ මඟින් ලේ ගැලීමේ තත්ත්ව වර්ධනය වීමේ අවධානම නිසා ඩෙංගු රෝගීන් සඳහා පැරසිටමෝල් වේදනා නාශක ඖෂධය පමණක් ගැනීම සුදුසු යැයි අප නිර්දේශ කර තිබේ.
වේදනා නාශක භාවිතා කිරීමේ දී වෛද්‍ය උපදෙස් පිළිපැඳිය යුතු ද?
ඔව්, පැරසිටමෝල් නමැති වේදනා නාශක ඖෂධය ඕනෑම කෙනෙකුට ඖෂධාගාරයකින් වෛද්‍ය උපදෙස් නොමැතිව වුව ද මිල දී ගැනීමට පුළුවන.එසේ වුව ද වේදනා නාශක ඖශධ නිසි ලෙස භාවිතා කළ යුතු අකාරය දැනගෙන පමණක් මෙම ඖෂධ භාවිතා කළ යුතු ය. . එමෙන්ම දීර්ඝ කාලීනව යම් පුද්ගලයෙකුට වේදනාකාරී තත්ත්වයක් තිබේ නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් යහපත් ය.
දිගු කාලීනව බෙහෙත් ගන්න රෝගීයෙකුට පැරසිටමෝල් භාවිතා කිරීම සුදුසු ද?
පැරසිටමොල් අනෙක් ඖෂධ සමඟ දැඩි අන්තර් ක්‍රීයාවක් සිදු නොකරයි. ඒ නිසා දීර්ඝ කාලීනව බෙහෙත් භාවිතා කරන රෝගීයෙකුට තම වේදනාවන් සමනය කර ගැනීම සඳහා පැරසිටමෝල් භාවිතා කිරීමේන් එතරම් ගැටලුවක් ඇති නොවේ. එහෙත් නිසි ලෙස paracetamol භාවිතා කරන අයුරු දැනගෙන භාවිතා කළ යුතු ය.
අතපය වේදනාව සඳහා ඇතැම් පුද්ගලයින් වෛද්‍ය නිර්දේශයකින් තොරව විවිධ බාම් වර්ග ආලේප කරනවා.එවැනි පුද්ගලයින්ට ඔබ දෙන උපදේශය කුමක් ද?
සාමාන්‍ය ෙයන් මිනිස් සිරුරේ අවයවවලට බාහිරින් බාම් වර්ග අලේප කිරීමෙන් ඇතිවන අතුරු අබාධ අඩු ය. බාහිරින් ආලේප කරන නිසා සමට අවශෝෂණය කර ගන්නා ප්‍රමාණය අඩු වේ. ඒ වුවත් දීර්ඝ කාලයක් දිගින් දිගටම බාම් වර්ග ආලේප කරන්නේ නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගත යුතු වේ. සමහර අවස්ථාවලදී අතපය වේදනාවන් ආතරයිටිස් රෝගයේ ලක්ෂණයක් ලෙස මතු වන්නටත් පුළුවන . එසේ නොමැතිව දවසක් හෝ දෙකක් වැනි කාලයක් බාම් වර්ග ආලේප කිරීමෙන් හානිකර බලපෑමක් ඇති නොවේ.
කොත්තමල්ලි වැනි ආයුර්වේද අත්බෙහෙත් සමඟ පැරසිටමෝල් භාවිතා කිරීම සුදුසු ද?
සුරක්ෂිත ආයුර්වේද බෙහෙතක් වශයෙන් කොත්තමල්ලි ලෙස හැඳින්විය හැකි ය. ඒ හේතුවෙන් කොත්තමල්ලි සමඟ පැරසිටමෝල් භාවිතා කිරීමෙන් වරදක් සිදු නොවේ. උණ සෙම්ප්‍රතිෂ්‍යාව වැලඳුණු අවස්ථාවක අප විසින් රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු නොලැබේ. එසේ ලබා නොදෙන්නේ එම රෝගී තත්ත්වයන් වෛරසයක් මඟින් වැළදෙන රෝග නිසාවෙන් ය. ඒ හේතුවෙන් උණ, සෙම්ප්‍රතිෂ්‍යාව වැනි රෝගී තත්ත්වයන්ගෙන් යුක්ත පුද්ගලයින්ටකොත්තමල්ලි සමඟ පැරසිටමෝල් භාවිතා කළ හැකි ය.
(දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතාගේ උපදෙස් ලබන සතියේ බලාපොරොත්තුවන්න.)
මදාරා මුදලිගේ