දර්ශනවාදීන්ට සහ බුද්ධිමතුන්ට ගෝලාකාර නියපොතු තිබේලු ! | සිළුමිණ

දර්ශනවාදීන්ට සහ බුද්ධිමතුන්ට ගෝලාකාර නියපොතු තිබේලු !

සාමුද්‍රිකා ශාස්ත්‍රයේ සඳහන් පුද්ගල හස්තයේ ඇඟිලි,ඇඟිලි පුරුක්,නියපොතු,නිය වර්ණය හා නිය මල් ආදී බොහෝ දේ පදනම් කරගෙන ජන්මියා සතු නොයෙකුත් සුබ අශුභ ගති ගුණ පැවසිය හැක.

නිය පිළිබඳ කතා කිරීමේ දී දස ආකාරයක නියපොතු පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ හැක.‍නිය පිහිටා ඇති ආකාරය පිළිබඳ මෙහිදී අප වැඩි අවදානයක් යොමුකර කතා කරමු.

*කෙටි ඇතුළට එබුණු නියපොතු

*පළල් පිටතට නෙරාගිය නියපොතු

*චතුරශ්‍රාකාර නිය

*මොට වූ කෝණාකාර නිය

*ත්‍රිකෝණාකාර නිය

*ඝඨාකාර නියපොතු

*ගෝලාකාර නිය

*කෙටි අඩ සඳවන් නිය

*කෙටි ඍජු කෝණාකාර නියපොතු

*අසාමාන්‍ය දිග නියපොතු

නියපොතු අනුව පුද්ගල ගති හඳුනාගනිමු

කෙටි ඇතුළට එබුණු නිය

මේවැනි නිය පිහිටි ස්ත්‍රිය හෝ පුරුෂයා දැඩි හිතුවක්කාර ගති පෙන්නුම් කරයි.ඉවසිලි රහිත, බුද්ධි හීන අයෙකි. මොවුන් ලද දෙයින් සතුටු නොවේ. ජීවිතයේ සුබ කටයුතු වලදී මොවුන් සමඟ කටයුතු කිරීමට හෝ ව්‍යාපාරවලට සහභාගිකර ගැනීම කරදරවලට අත වැනීමකි. මෙවැනි නිය හිමියන් නිතර අසනීපවලින් පෙළීම දැකිය හැක.සමස්ථයක් ලෙස මෙවැන්නෝ තම ජීවිතයම අවුල් කර ගනිති.

පළල් පිටතට නෙරා ආ නිය

යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට මෙවැනි නියපොත්තක් ඇත්නම් ඔහු හෝ ඇය නිර්මාණශීලී මෙන්ම ප්‍රා‍යෝගික පුද්ගලයන්ය. මොවුන්ගේ ජීවිතයේ මුල් අවධිය කටුක වන අතර පසු අවධිය බොහෝ සාර්ථක වේ.නමුත් මේ පුද්ගලයින් අනුන් කෙටවීමට දක්ෂ භයානක ගති ඇත.ඇසුරට සුදුසු නැති පුද්ගලයන්ය.මෙවැනි හැඩයට නියපොතු ඇති පුද්ගලයින් කාර්මික අංශයට දක්ෂය.

චතුරශ්‍රාකාර නිය

කාර්ය ශූරයෝය. තීක්ෂණ බුද්ධිය හොඳින් සිතා තීරණ ගැනීමේ හැකියාව තාර්කික,අත්දැකීම් වලින්ම බොහෝ විට තීරණවලට පෙළඹේ. ආත්ම අභිමානය හා ආත්ම ශක්තියෙන් පිරිපුන්ය.ත්‍යාගශීලී සිත් ඇති මොවුන් උසස් වෘත්තීන් වල නියැළේ. මේ අයට මිතුරන් අඩුය.

මොට වූ කෝණාකාර නිය

සංවේදී බොහෝ ආදරය බලාපොරොත්තු වන චරිතය.සරාගී බවෙන් යුක්තය.ලස්සනට අඳින පළඳින සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන අයෙකි. ලද දෙයින් සතුටු වේ. ජීවිතයේ ඇතිවන ගැටලුු විසඳීමට කාලයාට බාර දේ. වගකීම් හා යුතුකම් පැහැර හැරීම නිසා විවාහ ජීවිතය අසාර්ථක‍ වේ.

ත්‍රිකෝණාකාර නියපොතු

සංවේදී පුද්ගලයන්ය. පෞරුෂයෙන් අඩුය. මනෝ ලෝකයක ජීවත්වේ. උත්සාහ නොකර වාසනාව තමා වෙත එනතුරු බලා සිටියි. අධික ලෙස අනුන් විශ්වාස කරයි. එනිසාම රැවටීම්වලට හසුවේ. වැඩි කථා බහක් නැති ගුප්ත පුද්ගලයන්ය.කලාත්මක හැඟීම් ඇත. තමන් ජීවත්වන පරිසරයට මහත් සේ ආදරය කරයි. නිතර හදිසි තීරණ ගනී. එම තීරණ අයහපත් ඒවා බැවින් සමාජයෙන් නිතර ගැරහුම් ලැබේ.

ඝඨාකාර නිය

මෙවන් නියපොතු සහිත ස්ත්‍රියක් ‍හෝ පුරුෂයකු සමාජ සම්මතයට වැඩ කරන, සමාජයෙන් හොඳ නම බලාපොරොත්තු වන අය වේ. ඉවසිලිවන්ත, ආචාරශීලී කතාවිලාසය නිසා නිතර සමාජයේ පැසසුමට ලක්වේ.ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන මොවුන් කාර්මික බර රැකියාවල නියැළේ. තම දරුවන්ට හෝ පවුලට නොසලකයි. ආත්මාර්ථකාමීය. බො‍‍‍හෝ නපුරු දැඩි සිතක් ඇති මොවුන් කිසිවෙකුට කරුණාව නොදක්වයි.

ගෝලාකාර නිය

ලෝකෝත්තර සැපයට ආශාකරන දර්ශනවාදී,බුද්ධිමතුන්ට මෙවැනි නියපොතු ඇති බව දැකිය හැක. අයුක්තියට එරෙහිව නැගී සිටින්නෝය.නීතිගරුකය.අනුන් හෙළා දකී. එනිසාම සතුරන් ඇති වේ. මොවුන්ට තරහ යෑ‍මත්,තරහ නැති වීමත් එක ලඟ සිදුවේ. සමාජයෙන් ඈත් වී හුදකලාව ජීවත්වීමට ප්‍රිය කරයි.

කෙටි අඩ සඳවන් නිය

මොවුන් නිතර සමාජයේ හාස්‍යයට ලක් වේ.පෞරුෂත්වයෙන් අඩු අය ය. සාමාජීය දැනුම නැත. කටට එන දේ වග විභාගයකින් තොරව කතා කරයි. අසාර්ථක ජීවිතයක් ගතකරයි. විහින් අමාරුවේ වැටේ. කෙටි ඍජු කෝණාකාර නිය මේ වර්ගයේ නියපොතු හිමියන් ඉතා අවාසනාවන්තය.තමන්ගේ වළ තමන් විසින්ම කපා ගන්නා අය වේ.පෞරුෂයෙන් ඉතා අඩුය.කට මැත දොඩවන මොවුහු අසරණ ජීවිත ගතකරන අය වේ.

අසාමාන්‍ය දිග නිය

මේ අය කලාවට බරය. සැහැල්ලුවෙන්,හුදකලාව ජීවිත් වේ.ප්‍රේමය ජීවිතය කර ගන්නා මොවුන්ට විරුද්ධ ලිංගික‍යන්ගේ ආකර්ෂණය වැඩිය. සමාජයට අනුව හැඩ ගැසේ.

Comments