ජේ. ආර්. ජය­ව­ර්ධන ආර්ථික දාර්ශ­නි­කයා | Page 2 | සිළුමිණ

ජේ. ආර්. ජය­ව­ර්ධන ආර්ථික දාර්ශ­නි­කයා

නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ සුවිශේෂීතම චරිතය ලෙස හඳුන්වා දිය හැකි වන්නේ ජේ. ආර්. ජයවර්ධන චරිතය යි. ඔහු දේශපාලනයට පිවිසි දා පටන් නිදහස් සටන, ජාතික ධජය, ජාතික ගීය, ජාතික ඇඳුම, ජාතික ආර්ථිකය, කර්මාන්ත සංවර්ධනය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආණ්ඩුක්‍රමය, ව්‍යවස්ථාව, ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති තීරණය කිරීම යනා දී සෑම කාර්යයකම පුරෝගාමී චරිතයක් ලෙස ක්‍රියාකර තිබීම පමණක් නොව ඒ පිළිබඳ මහඟු ජයග්‍රහණ අත්පත් කරගෙන තිබීම එම සුවිශේෂීභාවයට හේතුවයි. වර්ෂ 1977 දී ඔහු ලද අතිප්‍රබල ජනවරම මෙහෙයවා බොහෝ දෙනෙකුට අද පවා ඇදහිය නොහැකි පරිදි ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිපත්තිය උඩු යටිකුරු කොට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සහ එමගින් අප රට ලබාගත් ආර්ථික ප්‍රබෝධය පසුපස වූ ජේ. ආර්. ජයවර්ධන ආර්ථික දර්ශනය ඔහුගේ 111 වෙනි ජන්ම දිනය සමරන මේ මොහොතේ සැකෙවින් සාකච්ඡා කිරීම මේ ලිපියෙහි අරමුණ වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම පිළිබඳ වගකීම ජේ. ආර්. ජයවර්ධනට මුලින්ම පැවරුනේ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමතිවරයා ලෙස පත්වීමත් සමඟය. ඔහු විසින් 1949 දී ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අයවැය ලේඛනය යි. නිදහස ලබාගැනීමෙන් පසු අප රට විසින් වහ වහා ජයගත යුතු අභියෝග ලෙස ජේ. ආර්. ජයවර්ධන මුදල් ඇමතිවරයා පෙන්වා දුන්නේ ආහාර හිඟය, ඌන ආදායම, සාක්‍ෂරතාව, විදේශ විනිමය හිඟය, තාක්‍ෂණික හා කාර්මික දැනුම, ව්‍යවසායකත්වය සහ පොදුවේ ගත්කළ සමස්ත දරිද්‍රතාවයි. සිය ප්‍රථම අයවැය ලේඛනය ඔස්සේ ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ අප රට මුහුණපා තිබූ සමාජ ආර්ථික අභියෝග පමණක් නොවේ. එම අභියෝගවලින් මිදීම පිණිස වන තිරසාර වැඩ පිළිවෙළක් ද ඔහු ඉදිරිපත් කළේය.

ඔහු සිය ආර්ථික වැඩපිළිවෙළට අඩිතාලම දමා තිබුණේ විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේය. එනම් එකළ ශ්‍රී ලංකාවේ ජනගහණය වේගයෙන් වර්ධනය වෙමින් පැවතීමත් නිෂ්පාදනය සහ වෙළඳාම ඊට අනුපාතිකව ප්‍රසාරණය නොවීමත් යන සංසිද්ධිය කරණකොට ගෙන අප රට ප්‍රබල අභියෝගවලට මුහුණපාන බව ඔහු පුරෝකථනය කළේය. ඊට සරිලන පරිදි ආහාර නිෂ්පාදනය පුළුල් කිරීම, රැකියා සුලබ වන පරිදි කර්මාන්ත අංශය පුළුල් කිරීම, ඒ සඳහා විද්‍යාත්මක, තාක්‍ෂණික හා කාර්මික ඥානය මෙන්ම ප්‍රාග්ධනය හා වෙළඳපොළ ද විදේශ මුලාශ්‍ර ඔස්සේ ලබාගැනීම, මූලික අවශ්‍යතාවන් වන අධ්‍යාපනය හා සෞඛ්‍යය පහසුකම් සෑම පුරවැසියෙකුටම ලබාගත හැකි වන පරිදි ප්‍රසාරණය කිරීම සහ නිවාස හා නාගරික සංවර්ධනය යනාදිය සිය ප්‍රථම අයවැය යෝජනා ඔස්සේ ඉදිරිපත් කොට තිබීම ඔහු තුළ වූ ආර්ථික ඥානය සහ ආර්ථික දැක්ම මොනවට ප්‍රදර්ශනය කරයි.

කෘෂිකර්මාන්ත සංවර්ධනය සාක්‍ෂාත්කොට ගෙන ආහාර අතින් ස්වයංපෝෂණය වීම, කාර්මික සංවර්ධනය උදෙසා විදේශීය තාක්‍ෂණය ලබාගැනීම, දේශීය ව්‍යවසායකත්වයේ හිඟය පියවීම පිණිස විදේශ ආයෝජන ඔස්සේ විදේශීය ව්‍යවසායකත්වය ලබාගැනීම, ඒ ඔස්සේම එම කර්මාන්තවල නිෂ්පාදන සඳහා අපනයන වෙළඳෙපොළ අවස්ථා සාක්‍ෂාත් කරගැනීම, එමගින් වෙළඳ ශේෂ සහ ගෙවුම් ශේෂ ගැටලු විසඳා ගැනීම මෙන්ම කොල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් ෙලබාදුන් නිදහස් ධනවාදී ආර්ථික ක්‍රමය බඳු ශක්තිමත් පදනමක් මත ව්‍යවසායකත්වය නගාසිටුවීම කෙරෙහි උපස්ථම්භක වන ඒකාබද්ධ වැඩපිළිවෙළක හැඩරුව තරුණ ජයවර්ධනගේ ආර්ථික දර්ශනය තුළින් මනාව පිළිබිඹු විය.

තවද, සිය මුදල් අමාත්‍ය ධුර කාලය තුළ දී නිමකරන ලදුව 1955 දී ප්‍රකාශයට පත්කරන ලද ඍජු ආයෝජන ප්‍රතිපත්තිය තුළින් ද ජේ. ආර්. ජයවර්ධනගේ දූරදර්ශි ආර්ථික පිළිවෙත ප්‍රදර්ශනය වේ. එම මුල් කාලීන විදේශීය ආයෝජන ප්‍රතිපත්තිය තුළ අඩංගු කරුණු අතර විදේශීය ආයෝජන සඳහා ලබාදෙන දිරිගැන්වීම්, බදු විසමතා ඉවත්කිරීම, ලාභ සහ ලාභාංශ සම්ප්‍රේෂණ පහසුකම් ලබාදීම, ප්‍රාග්ධනය සමප්‍රේෂණය කිරීමේ වරප්‍රසාදය ලබාදීම මෙන්ම අනාගත ව්‍යාපාර ජනසතු කිරීමේ අවදානමක් ඇතිවුවහොත් වන්දි ගෙවීමේ ක්‍රියා පටිපාටිය යනාදිය ද එහි දක්වා තිබිණ. ජේ. ආර්. ජයවර්ධන නූතන ඍජු ආයෝජන ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත කොන්දේසි සමුදාය එකලදීම මැනවින් අවබෝධකොට ගෙන සිටි බවට මෙය කදිම සාක්‍ෂියකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඍජු ආයෝජන ප්‍රතිපත්තියෙහි පියා ලෙස සැලකිය හැක්කේ ජේ. ආර්. ජයවර්ධන යි.

මෙම ආර්ථික පිළිවෙත සැබවින්ම දීර්ඝ කාලීන ඉලක්ක අරමුණු කොට ගන්නා ලද්දකි. එසේ වුව ද ඩී. අස්. සේනානායක අගමැතිවරයාගේ හදිසි අභාවයත්, ඉන් පසු අගමැති ඩඩ්ලි සේනානායකගේ ඉල්ලා අස්වීමත්, අගමැති ජෝන් කොතලාවල 1956 දී පරාජයට පත්වීමත් යළි 1960 දී ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ගිලිහී යාමත් වැනි කටුක ඉරණමකට මුහුණ දීමට සිදුවූ එක්සත් ජාතික පක්‍ෂයට ජේ. ආර්. ජයවර්ධන හඳුන්වා දුන් දිර්ඝ කාලීන ආර්ථික ප්‍රතිපත්තියෙහි පිහිටා ක්‍රියාකිරීමට තරම් වාසනාවක් නොලැබිණි. අනෙක් අතට 1956 සිට 1965 දක්වා වසර දහයක කාලයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයන් විසින් අනුගමනය කරන ලද අදූරදර්ශී ප්‍රතිපත්ති තුළ සිරවූ ආර්ථිකයක ජේ. ආර්. ජයවර්ධන අපේක්‍ෂා කළ ආර්ථික සංවර්ධනය සාක්‍ෂාත් කරගැනීමට ඉඩකඩක් නොවීය.

යළිදු 1965 දී එක්සත් ජාතික පක්‍ෂ රජයක් බලයට පත්වන විට අධික ලෙස වර්ධනය වෙමින් පැවැති ජනගහණය රැකියා හිඟයෙන්ද, ආහාර හිඟයෙන්ද, විදේශ විනිමය හිඟයෙන්ද, වෙනත් අනේකවිධ හිඟයන්ගෙන්ද මිරිකී හෙම්බත් වී දරිද්‍රතාවේ පතුලටම වැටී තිබුණි. එතැන් පටන් 1970 දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂ රජය විසින් සහනාධාර ව්‍යාපෘති, කෘෂිකර්මාන්ත ව්‍යාපෘති, මහවැලි ව්‍යාපෘතිය, භෝග විවිධාංගිකරණය, සංචාරක කර්මාන්තය, ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, ශ්‍රී ලංකා ආධාර කණ්ඩායම ආරම්භ කිරීම යනා දී ප්‍රතිපත්ති සහ වැඩසටහන් හඳුන්වා දුන් අතර ඒ සඳහා එවකට රජයේ දෙවැනි පෙළ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධනගේ මගපෙන්වීම නොඅඩුව ලබන්නට ඇතැයි විශ්වාස කළ හැක. නිදහස් ශ්‍රී ලංකාවේ ඉහළම ආර්ථික වර්ධන වේගය අත්පත් කරගැනීමට ද එම කාලය තුළ දී හැකියාව ලැබිණි. එහෙත් 1970 දී එක්සත් ජාතික පක්‍ෂය යළි පරාජය වීම නිසා ප්‍රතිපත්ති පෙරළියක් නිර්මාණය විය.

මෙම ප්‍රතිපත්ති පෙරළිය විසින් පෙර නොවූවිරූ තරමේ අහිතකර ප්‍රතිවිපාක නිර්මාණය කළේය. සිරිමා බණ්ඩාරනායක රජය 1970 සිට 1977 දක්වා මුළුමනින්ම සෝවියට් මොඩලයේ කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයක් දක්වා ගමන් කළේය. ඉන් පෙර ශ්‍රී ලකා නිදහස් පක්‍ෂ රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද පුළුල් ජනසතු කිරීමේ වැඩ සටහනේ අවසාන කොටස ලෙස වැවිලි කර්මාන්ත ජනසතු කිරීම, ඉඩම් ජනසතු කිරීම, ව්‍යාපාර ජනසතු කිරීම යනාදිය නොපැකිළව මෙකල සිදු කරන ලදී. එමෙන්ම මිල පාලනය, බෙදාහැරීම පාලනය, පරිභෝජන පාලනය, ආනයන පාලනය, විදේශ විනිමය පාලනය, ව්‍යවසායකත්ව අවස්ථා පාලනය යනා දී අනේකවිධ පාලන ක්‍රම ඔස්සේ එම සත් වසර තුළ ආර්ථිකය හසුරුවන ලදී. එහි අවසාන ප්‍රතිඵලය වූයේ මන්දපෝෂණය, දරිද්‍රතාව, අසහනය, රැකියා හිඟය, භාණ්ඩ හිඟය, විනිමය හිඟය යනා දී ජීවන ගැටලු සහ හිඟයන්ය.

නිෂ්පාදන ක්‍රම ඇනහිටීම හේතුවෙන් 1977 වන විට රැකියා වියුක්තිය 25% ඉක්මවා ගොස් තිබුණි. මිල පාලනය හේතුවෙන් පැනනැ‍ඟී තිබුණු දැඩි කළු කඩ මිල සැලකිල්ලට ගතහොත් මිල මට්ටම් දැරිය හැකි මට්ටම ඉක්මවා ගොස් තිබිණ. නිදර්ශනයක් ලෙස ගතහොත් සලාක ක්‍රමයට සමූපකාරයෙන් සත 72 ට අලෙවි කරන ලද සීනි රාත්තල මිල දී ගත් විගස රුපියල් පහකට කළු කඩයට අලෙවි කළ හැකි විය. එවකට සෑම වයස් මට්ටමකටම දැඩිසේ බලපා තිබුණු මන්දපෝෂණය සහ අහාර හිඟයේ තරම පෙන්වා දීමට සමූපකාර කඩවල වූ හිස් බක්කි, මඤ්ඤොක්කා පෝලිම්, පාන් පෝලිම් සහ දොරදොර ඇසෙන ළමා හාමත්වීම නිදර්ශන ලෙස ගත හැකිය.

ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පනවා තිබූ තහංචි සහ රාජ්‍ය ඒකාධිකාරය හේතුවෙන් පුද්ගලයෙකුට හාල් සේරු දෙකක් සහ වියළි මිරිස් රාත්තලක් දක්වා පමණක් රැගෙන යාමේ සීමා පනවා තිබිණ. පාන් රාත්තලක්, සුවඳ සබන් කැටයක්, බයිසිකල් ටයරයක්, සිමෙන්ති කොට්ටයක්, ලොසින්ජරයක්, චීත්තයක්, සරමක්, පමණක් නොව සෑම සියලූ භාණ්ඩයක්ම කළුනික මෙන් දුර්ලබ විය. ඉතා සුලබව දක්නට ලැබුණේ ඉහවහා ගොස් තිබුණු නිලධාරිවාදයත් දරිද්‍රතාවත් පමණි. අදූරදර්ශී, වැරදි, අයෝග්‍ය ආර්ථික ප්‍රතිපත්තිය කරණකොට ගෙන 1970-77 කාලයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2% ට පමණ සීමා වී තිබුණි. නිදහස ලබන සමයේ ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ආසියානු කලාපයේ ඉහළ ඒක පුද්ගල ආදායමකට හිමිකම් කී අප රට 1977 වන විට ඇමෙරිකානු ඩොලර් 270 ඉක්මවා යා නොහැකිව සමස්ත ආර්ථික ක්‍රමයම අබ්බගාත වී අඳුරු අනාගතයක දොරටුව අබියසට පැමිණ සිටියේය.

එම අඳුරු යුගයේ සමාජ ආර්ථික තත්ත්වය මැනීමට ආර්ථික නිර්ණායකවලට වඩා 1977 මැතිවරණ ප්‍රතිඵලය ප්‍රබලය. ඩඩ්ලිගේ අභාවයෙන් පසු විපක්‍ෂ නායකයා ලෙස 1973 පටන් සිය දේශපාලන සහ ආර්ථික සැලසුම් සකසමින් සිටි ජේ. ආර්. ජයවර්ධන නායකත්වය දුන් එක්සත් ජාතික පක්‍ෂයට 1977 දී හයෙන් පහක මැතිවරණ ජයක් ලබාගත හැකි විය. ජේ. ආර්. ජයවර්ධනට 1949 දී නිසිලෙස ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වූ ආර්ථික සැලසුම කලඑළි බසින්නේ එම ජයග්‍රහණයත් සමඟය. අවුරුදු තිහකට පෙර ඉදිරිපත් කරන ලද සංවර්ධන සැලසුම ඔහු අපේක්‍ෂා කළ පරිදි ක්‍රියාත්මක කරගැනීමට හැකි වූවා නම් 1977 වන විට අප රටට ඉමහත් සංවර්ධනයක් සාක්‍ෂාත් කරගැනීමට හැකියාව තිබිණ. එහෙත් ජේ. ආර්. ජයවර්ධනට වඩා දැන් හොඳ දේශපාලන වටපිටාවක් නිර්මාණය වී තිබේ. එම වාසි දායක දේශපාලන වාතාවරණයෙන් මනාකොට ප්‍රයෝජන ගනිමින් ඔහු සිය නව ආර්ථික සංවර්ධන සැලසුම ඉදිරිපත් කළේය.

ඒ වූකලී සිය මුල් සැලසුමට වඩා සංකීර්ණ වූත් විස්තීර්ණ වූත් ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලසුමක් විය. එහි අන්තර්ගත වූ වැඩසටහන්වලට ඉලක්ක නියම කර තිබීම මගින් එම සංවර්ධන සැලසුම කොතෙක් සියුම්ව සහ ප්‍රායෝගිකව සකස්කර තිබුණි ද යන්නත් නැගෙනහිර ආසියාවේ එවකට ශීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කරගනිමින් සිටි දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව යන රටවල සංවර්ධන සැලසුම්වලින් ආභාසය ලබාගෙන තිබුණි ද යන්නත් ප්‍රදර්ශනය විය. ජේ. ආර්. ජයවර්ධන සිය සංවර්ධන සැලසුම මැනවින් අවබෝධ කොටගෙන සිටි බවත් ඒ වෙනුවෙන් කැපවී සිටි බවත් එමගින් ලැබිය හැකි නිශ්චිත ප්‍රතිඵල කෙරෙහි විශ්වාසය තබා සිටි බවත් පෙන්වාදිය හැකිය. තරුණ ජයවර්ධනට වඩා මුහුකුරා ගිය පරිණත පුද්ගලයකු වශයෙන්ද, මුදල් ඇමතිට වඩා දේශපාලන වශයෙන් බොහෝ බලවත් විධායක ජනාධිපතිවරයකු වශයෙන්ද, නැගෙනහිර ආසියාතික රටවල ආර්ථික සංවර්ධන අත්දැකීම්වලින් වටිනා පාඩම් උගත් අයකු වශයෙන්ද, කොමියුනිස්ට්වාදී මොඩලයේ ආර්ථික ක්‍රමයක අනිටු විපාක පසක් කොටගත් අයකු වශයෙන්ද, ලෝක නිෂ්පාදන හා වෙළඳ රටාවන් සහ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මනා අවබෝධයක් තිබුණු අයකු වශයෙන්ද, ශ්‍රී ලංකා ආර්ථිකයෙහි අනාගත ගමන්මඟ පිළිබඳව ජේ. ආර්. ජයවර්ධන මනා වැටහීමක් ලබාගෙන තිබුණි.

ආවෘත ආර්ථික ක්‍රමය බොහෝ ආර්ථික ගැටලුවල හේතුකාරකය ලෙස හඳුනාගත් බැවින් ද ලෝක ආර්ථික ක්‍රමය විවෘත ආර්ථික දිශානතියක් ගෙන තිබුණු බැවින් ද රටවල් රැසක් ඒ ඔස්සේ සංවර්ධන ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටි බැවින් ද එතෙක් පැවැති ආර්ථික හුදකලා භාවයෙන් මි දී ලෝක ආර්ථික ක්‍රමය හා බද්ධ වී ක්‍රියාකිරීමට අත්‍යවශ්‍ය පසුබිම ලෙස විවෘත ආර්ථික ක්‍රමය ජේ. ආර්. ජයවර්ධන විසින් පළමුකොටම තෝරාගන්නා ලදී. ඒ වූකලී ජේ. ආර්. ජයවර්ධන ගත් අභීත පියවරක් විය. ඒ වන විට දකුණු ආසියාවේ මොනයම් රටකටවත් විවෘත ආර්ථික ක්‍රමය පිළිබඳ සිහිනයකුදු නොවීය. කලාපීය රටවල් එක් ආර්ථික ක්‍රමයකුත් ශ්‍රී ලංකාව ඊට හාත්පසින්ම වෙනස් ආර්ථික ක්‍රමයකුත් තෝරාගෙන තිබීම අනතුරුදායි තෝරාගැනීමක් බවටත් එබැවින් ශ්‍රී ලංකාව දකුණු ආසියාතික කලාපයේ හුදෙකලා වන බවටත් බොහෝ දේශපාලනඥයන් මෙන්ම ආර්ථික විද්වතුන් ද අනතුරු ඇඟවීය. එහෙත් සිය තෝරාගැනීම වෙනුවෙන් ජේ. ආර්. ජයවර්ධන ඉන්ද්‍රඛීලයක් ලෙස පෙනී සිටියේය. අද ආපසු හැරී බලන විට ජේ. ආර්. ජයවර්ධනගේ මෙම අභීත ආර්ථික තීරණය කොතරම් නිවැරදි වූත්, සඵලදායි වූත්, විද්වතුන් හට නොපෙනුනාවූත් දූරදර්ශී තීරණයක් බැව් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් පෙනේ.

Comments