
නිට්ටඹුව ප්‍රදේශයේ සිට පැමිණ පුංචි තිරයේ ආදරය දිනාගත් හැඩකාරයා, දඟකාරයා, හිතුවක්කාරයා වූ දසුන් නිශාන් ද සිල්වා මේ මොහොත වන විට ප්‍රේක්ෂක අප හදවත් ශෝකයේ ගිල්වා බොහෝ දුර ගොස් හමාරය. මතකය පමණක් උරුම කොට ආදරණීයයන්ගේ හදවත් ගිලන් කොට ඔහු ගත් මෙම හිතුවක්කාර තීරණය තවමත් අපට විශ්වාස කළ නොහැකිය. සිදු වූයේ කුමක්දැයි අසන්නේ කාගෙන්ද? දන්නේ ඔහුම පමණි.
නිට්ටඹුව තිහාරිය උපන් දසුන් නිශාන් මිය යන විට 29 වියේ පසුවූයේය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිප් සතර හැදෑරූ දසුන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා කොළඹ විශ්ව විද්‍යාලයේ BIT උපාධිය ලබාගෙන මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවය කළේය.
අනතුරුව නිරූපණ ශිල්පයට ආසා කළ ඔහු කාලයක් නිරූපණ ශිල්පියකු ලෙස ද කටයුතු කළ අතර පසුව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රසික හදවත් පැහැර ගත්තෙක් විය. මියයන විට ටෙලි නාට්‍ය 13 ක් චිත්‍රපටයක් හා වේදිකා නාට්‍යයකටද ඔහු සම්බන්ධවී සිටියේය.
පවුලේ වැඩිමලා වූ ඔහුට බාල සහෝදරයෙකුද සිටී. ඔහුගේ මව පියා දෙදෙනාම සිවිල් ඉංජිනේරුවන් වූ අතර පවුලේ සැමගේ ආදරය දිනාගත් ආදරණීයයෙක් විය.
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන මිතුරන් පිරිසක් සමඟ පන්නිපිටිය ප්‍රාද්ශයේ නේවාසිකව සිටි දසුන් සිය දිවි නසා ගෙන තිබුණේද එම බෝඩිම් කාමරය තුළදීමය. මියයන්නට පෙර සිය මරණය වීඩියෝ ගත කිරීම සඳහා ඔහුගේ ජංගම දුරකථනයද ඔහු සිටි ස්ථානය දෙසට හරවා ක්‍රියාත්මක කර තිබුණ බව පොලීසිය සඳහන් කළ අතර තම මරණයට කිසිවකු වගකිව යුතු නැති බවත් පෙම්වතියගේ වෙනස්වීම දරාගත නොහැකි බවත් දක්වමින් ලිපියක්ද ලියා තිබී හමු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
තම රසිකයන් මෙන්ම පුංචි තිරයේ එකට කටයුතු කළ බොහෝ දෙනා ශෝකයේ ගිල් වූ හිතුවක්කාරයා මෙතරම් හිතුවක්කාරී වූයේ මන්දැයි කවුරුත් නොදනිති. ඔහුගේ හදවතේ තිබූ ශෝකය තේරුම්ගෙන ඔහුට ශක්තියක් වන්නට කිසිවකුටත් හැකි නොවූයේ වේදනාවන් සඟවාගෙන පියකරුව සිනාසෙන්නට ඔහුට තිබූ හැකියාව නිසාම වන්නට ඇත. නිවුනු සැහැල්ලු ජීවිතයක් ගත කළ ඔහු තුළ මෙතරම් කම්පනයක් දනවන සිතිවිලි අරගල කළ බව දන්නේනම් ඔහු වෙනුවෙන් පණ දීමට වුව ක්ෂේත්‍රයේ අය සිටින බව ද ඔහු නොදැන සිටින්නට ඇත. ඔහු ගැන දන්නා අය ඔහු ගැන මෙසේ අදහස් දැක්වූහ.
නැවතත් අපි අතරේ දසුන් ඉපදෙන්න ඕනේ
වොල්ගා කල්පනී
කලාකරුවන් විදිහට දසුන් ගත් තීරණයට මම කිසිම විටෙක එකඟ නැහැ. අනුමත කරන්නේත් නැහැ. මමයි හර්ෂණයි දස්සාව ඇසුරු කළේ සහෝදරයන් වගෙයි. දසුන් කියන්නේ හැම දේ ගැනම සුබවාදීව හිතපු සැහැල්ලු පුද්ගලයෙක් විදිහටයි අපි එයාව හඳුනගෙන හිටියේ. මම දසුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ නැහැ නැවතත් අපි අතරේ දසුන් ඉපදෙන්න ඕනේ. මොකද අපේ හදවත්වල දසුන්ගේ තැන ගන්න මම හිතන්නේ නැහැ කිසි කෙනකුට හැකි වෙයි කියලා. මොකද දසුන් කියන්නේ දසුන්ටම විතරක් වෙන නිසා. දසුන් මෙහෙම තීරණයක් ගනීවි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ.
අවසන් වශයෙන් කියන්න ඕනේ ආදරණීය ප්‍රේක්ෂකයිනි. වෙබ් සයිට් වල යන ගොසිප් වලට රැවටෙන්න එපා දසුන් ගියා. නමුත් දසුන්ගේ මරණය මුවාවෙන් තවත් ජීවත් වෙන කෙනකුට මඩ ගහන්න එපා. ඒක තමයි දසුන්ට කරන්න පුළුවන් ලොකුම ගෞරවය.
දසුන් කියන්නේ හොඳ සහෝදරයෙක්
විනූ සිරිවර්ධන
දසුනුයි මමයි සෑහෙන්න නිර්මාණ ගණනාවක වැඩ කරලා තියනවා. දසුන් කියන්නේ හොඳ සහෝදරයෙක්. අපිට ඇති වෙන පොඩි පොඩි ගැටළුවලදි ළඟට ඇවිත් ආදරෙන් කියලා දෙනවා ඊට මූණ දෙන විදිහ. ඇත්තටම ආරංචිය ලැබුණ වෙලාවේ මම හිතුවේ මේ මොකක් හරි රඟපාන දෙයක් දෝ කියලයි. නමුත් ඇත්තටම දසුන් ගිහින්. දසුන්ට ප්‍රශ්නයක් තියනවා කියලා දන්නවානම් මොනම විදිහකින් හරි එයාගෙ හිත හදනවා. නමුත් දැන් වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. මේක ඔහු ගත්ත ඉක්මන් තීරණයක් දසුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. සසරේ කවදාවත් මෙවන් අකල් මරණ නොවේවා.
නවක පරපුරේ හිටපු දක්ෂයෙක්
චනික පෙරේරා
රතු පිච්ච නාට්‍ය හරහා තමයි ගොඩාක් දුරට මම දසුන්ව ඇසුරු කළේ. මගේ ටෙලි නාට්‍ය තුළ ලද අත්දැකීම් හරහා මම දන්න නව පරපුරේ රංගන ශිල්පීන් අතර හරි දුර්ලභ චරිතයක්. දසුන් කියන්නේ කරන ඕනම දෙයක් පිළිබඳව අධ්‍යයනය කරලා හොඳටම කරන්න උත්සාහ කරන කෙනෙක්. නවක පරපුරේ හිටපු දක්ෂයෙක් අපට නැති වුණා. විශාල කනගාටුවක් තියෙන්නේ ඔහුගේ මරණය පිළිබඳව. සාපේක්ෂව බලන කල දසුන් කියන්නේ ක්ෂේත්‍රයේ පිනට පහළ වූවෙක් ලෙසයි මම හිතන්නේ. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
නැවතත් අපි හමුවේවා
ධනංජය සිරිවර්ධන
මරණයෙන් සියල්ල අවසන් වෙන්නේ නෑ මගේ පළමු අපේක්ෂාව තව කාලෙකින් නැවතත් අපි අපිව හමු වේවා කියලයි. ඒ නමින් නොවුණත් රූපෙන් නොවුණත් අපිට අපි හඳුනාගන්න හැකි වේවි. මම හිතන විදිහට මරණය තාවකාලික සමු ගැනීමක් විතරයි. කොහේ හිටියත් පරිස්සමින් හිටපං කියලයි කියන්නේ. මම දසුන් ගැන දන්නේ අපේක්ෂා නාට්‍යයේ වැඩ කරන කාලෙ වෙලාවකට අපි අයියා මල්ලී වෙනවා. වෙලාවකට අපි මචංලා. දැන් සමාජය අමුතු කතා හදයි. දසුන්ගේ මරණය විකුණාගෙන කයි නමුත් මැරෙන්න හිතපු එකම එකා දසුන් නෙමෙයි. මම කාලයක් උඹ දිහා බලන් හිටියා. උඹ ලස්සනට නළු ජීවිතේ හදා ගත්තා. ඒත් ඇයි මල්ලී උඹට ජීවිතේ හදාගන්න බැරි වුණේ. මම ඒ වරද දැක්කේ නෑ. මැරුණ උඹට කතා කරන්න මම දන්නේ නෑ යන තැනක හොඳින් පරිස්සමින් හිටපං.
හොඳ කෙනෙත් අහිමි වීම පිළිබඳව හදවතින්ම දුක් වෙනවා
අනුරාධා උදයංගනී
මම දසුන් එක්ක වැඩ කරලා නැහැ. ඒත් දසුන් කියන්නේ බොහොම නිහතමානී කෙනෙක්. දුරින් දැක්කත් අක්කේ කියලා කතා කරනවා. ගොඩාක් හොඳ චරිතයක් කියලයි මම හඳුනාගත්තේ. අලුත් පරම්පරාවේ මේ වගේ නිහතමානී චරිත ගොඩාක් දුර්ලභයි. මේ වගේ හොඳ කෙනෙත් අහිමි වීම පිළිබඳව හදවතින්ම දුක් වෙනවා. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.