
පාසල් සිසුන් සහ නොයෙක් වයස් කණ්ඩායම්වල පිරිස් නව නිපැයුම් සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූවද විශ්වවිද්‍යාල සිසුන් ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුව අවම මට්ටමක පවතින බව නව නිපැයුම් කොමිසමේ කොමසාරිස් මහේෂ් එදිරිසූරිය මහතා පවසයි. ඒ හේතුවෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ නව නිපැයුම් වර්ධනය කිරීමේ අභිලාෂයෙන් යුක්තව කැලණිය විශ්වවිද්‍යාලය හා එක්ව විශ්වවිද්‍යාල සිසුන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නව නිපැයුම් කොමිසම කටයුතු සූදානම් කර තිබේ. ඒ සම්බන්ධව කොමසාරිස්වරයා තම අදහස් මෙසේ පවසා සිටියේය.
• මොකක්ද මේ පවත්වන්න යන විශේෂ ප්‍රදර්ශනය?
රටේ ජනතාගෙන් නොකඩවා නව නිපැයුම් බිහි කර ගැනීමත්, ඒ සඳහා ජනතාව පෙලඹවීමත්, ඉන් නොනැවතී එලෙස බිහිවන නව නිපැයම් රටේ සංවර්ධනයට යෙදවීමත් ඒ අනුව නව නිපැයුම්කරුවාද සාර්ථකත්වයට පත් කරලීමත් තමයි නව නිපැයුම් කොමිසම වන අපේ ප්‍රධාන අරමුණ වන්නේ. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අප විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරනවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ සහසක් නැමැවුම් තරගාවලිය. මීට අමතරව ලබන ඔක්තෝබර් මාසයේදී විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් නව නිපැයුම් තරගාවලියක් පැවැත්වීමට කැලණිය විශ්වවිද්‍යාලය සමග එක්ව අප කටයුතු කරගෙන යමින් සිටිනවා.
සහසක් නිමැවුම් යනුවෙන් වන අපේ ජාතික නව නිපැයුම් තරගාවලිය ගැන කිව්වොත් එය පැවැත්වෙන්නේ අංශ හතරක් යටතේ. ඉන් පළමුවැන්න තමයි පාසල් අංශය. දෙක විවෘත අංශය. වාණිජකරණයට ලක් වුණු නව නිපැයුම් අංශය සහ අවසාන වශයෙන් විශ්වවිද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන දරුදැරියන්ගේ නව නිපැයුම් අංශය යනුවෙන් ඒ අංශ හතර හඳුනාගත හැකියි. පසුගිය කාලයේදී අපට දැක ගන්නට ලැබුණු දෙයක් තමයි විශ්වවිද්‍යාලවල දරුවන්ගේ නව නිපැයුම් විශාල වශයෙන් අඩු බව. එයට හේතුව වන්නේ ඔවුන් උපාධියේ කොටසක් ලෙස නව නිපැයුම් කළත් ඉන් බැහැරට එම නිපැයුම් ඉදිරියට ගෙන නොඒම. ඒ හේතුවෙන් අපගේ ප්‍රදර්ශනවලට විශ්වවිද්‍යාල අංශයෙන් ලැබෙන නව නිපැයුම් ඉතා අඩු මට්ටමක පැවතුණා.
• මෙහිදී ඔබගේ ඉලක්කය වන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් වඩා වැඩි නව නිපැයුම් ප්‍රමාණයක් ලබාගැනීමද?
ඇත්තටම ඒක තමයි ප්‍රධාන අරමුණ. විශ්වවිද්‍යාල අංශයෙන් අප වෙත ලැබෙන නව නිපැයුම් ප්‍රමාණය වැඩි කරගැනීමේ අදහස සහිතව කටයුතු කරමින් සිටියදී තමයි මට කැලණිය විශ්වවිද්‍යාලයේ පනස් වැනි සංවත්සරය ගැන දැන ගැනීමට ලැබෙන්නේ. එතනදී කැලණිය විශ්වවිද්‍යාලය ඔවුන්ගේ පනස් වැනි සංවත්සරය සැමරීමට විද්‍යා සහ තාක්ෂණික ප්‍රදර්ශනයක් වගේම නව නිපැයුම් ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. ඔවුන් ඒ සඳහා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සමග සම්බන්ධව වී කටයුතු කරමින් සිටියා. මහාචාර්ය ජනිතා ලියනගේ තමයි මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු බාරව සිටින්නේ.
මම එතුමියගෙන් විමසා සිටියා මේ සමගම විශ්වවිද්‍යාල සිසුන්ගේ නව නිපැයුම් තරගාවලියක් පැවැත්වීම සම්බන්ධව. ඇය ඒ අදහසට ඉතා කැමැත්තක් දැක්වූවා. ඒ අනුව එම තරගය ජාතික මට්ටමට ගෙන යෑමටත් ලංකාවේ සෙසු විශ්වවිද්‍යාලවල වෛද්‍ය, විද්‍යා සහ ඉංජිනේරු වැනි පීඨවල සිසුන්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස 2 සිට 6 දක්වා මේ වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත වී තිබෙනවා.
• මෙහිදී ඔබ සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්කයක් තිබෙනවාද?
එමගින් අප බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ නව නිපැයුම් කෙරෙහි කිසියම් දිරි ගැන්වීමක් කිරීමට. එපමණක් නොවෙයි මේ නව නිපැයුම් විනිශ්චයට ලක් කරන ආචාර්යවරයා ඇගැයීමට ලක් කිරිමටත් අප අදහස් කර තිබෙනවා. ගුණාත්මක භාවයෙන් වැඩිම නව නිපැයුම් ප්‍රමාණයක් ඉදිරිපත් කළ පීඨය ඇගැයීමට ලක් කිරීමටත් අප අදහස් කර තිබෙනවා. ඒ අන්දමින් අප බලාපොරොත්තු වෙනවා නව නිපැයුම් දෙසියකට අාසන්න ප්‍රමාණයක් මේ තරගාවලියට ගෙන ඒමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.
• මේ ප්‍රදර්ශනයෙන් පසුව සෙසු ඉදිරි පියවර ගැන කථා කළොත්?
මේ තරගාවලිය සාර්ථක වුව හොත් එහි දෙවැනි පියවර ලෙස අපගේ සහසක් නිමැවුම් තරගාවලියේ විශ්වවිද්‍යාල අංශය කැලණිය විශ්ව විද්‍යාලය සමග සම්බන්ධ වෙමින් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම පසුකාලීනව මෙවැනි තරග සඳහා නව නිපැයුම් ඉදිරිපත් කරන සිසුන්ට තමන්ගේ අධ්‍යාපනික කටයුතුවලට අදාළව කිසියම් අගයක් ලබා දීමටත් හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.
• තමන්ගේ අධ්‍යයන කටයුතුවලින් බැහැර වෙමින් නව නිපැයුම් සඳහා කාලය වෙන් කිරීමෙන් විශ්වවිද්‍යාල සිසුන්ට පාඩුවක් විය හැකියි නේද?
ඒ හේතුවෙන්ම මේ තරගාවලිය සඳහා නව නිපැයුම් ඉදිරිපත් කරන සිසුන්ට ආයෝජකයන් මුණ ගැස්වීමේ වැඩපිළිවෙළක්ද කැලණිය විශ්වවිද්‍යාලය විසින් සූදානම් කර තිබෙන බවත් දැනගන්න ලැබී තිබෙනවා.
මේ තරගාවලිය සඳහා නව නිපැයුම් ඉදිරිපත් කිරීමේදී සාමාන්‍යයෙන් නව නිපැයුම් කොමිසමේ අප පවත්වාගෙන යන නිර්ණායක දාහතරට අනුවම කටයුතු කිරීමට අප එකඟ වී තිබෙනවා. මේ අංශ දා හතර සඳහාම ප්‍රථම ස්ථානයන් තේරීමට අප කටයුතු කරනවා.
විශ්වවිද්‍යාල සිසුන් හුදෙක් උපාධිය පමණක් හැදැරීම ප්‍රමාණවත් නොවන බවයි අපගේ අදහස වී ඇත්තේ. වර්තමානයේදී විශ්වවිද්‍යාල සිසුවා තවත් නොයෙක් අංශවලින් දස්කම් දැක්විය යුතුව තිබෙනවා. විශේෂයෙන් රැකියා අවස්ථාව ලබා ගැනීමේදී මෙලෙස තමන් සතු හැකියාවන් ඉදිරිපත් කිරීම අනාගතයට ඉතා වැඩදායී බව පෙන්වා දිය යුතු වෙනවා. සමාජයේ පවතින ඉල්ලුමට සරිලන ලෙස විශ්වවිද්‍යාල සිසුවා ශක්තිමත් විය යුතුයි. එබැවින් මෙවැනි තරගාවලි සඳහා එක්වීම ඔවුන්ට බෙහෙවින් වැඩදායී බව ඔවුන් අනාගතයේදී තේරුම් ගන්නවා ඇතැයි අප විශ්වාස කරනවා.
• මෙහිදී නව නිපැයුම් කොමිසමේ කාර්යභාරය ගැන සඳහන් කළොත්?
මේ සම්පූර්ණ තරගාවලිය සඳහා යන වියදම දරනු ලබන්නේද නව නිපැයුම් කොමිසම විසින් බව කිව යුතුයි. මෙතනදී අප කොමිසම විසින් මේ වන විට සකස් කර ඇති විනිශ්චයකරුවන්ගේ මණ්ඩලයක් යොදාගැනීමට කටයුතු කරනවා. දැන අප තරගාවලි සඳහා නිර්මාණ බාරගන්නා අංශ දාහතර යටතේ දැනට අප රටේ සිටින විශේෂඥයන් සම්බන්ධව හැදැරීමක් කරලා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා මෙවැනි තරගාවලි අධීක්ෂණය කිරීමට කැමැත්තත් දක්වන්නේ නම් අප වෙත නාම යෝජනා එවන්න කියලා. ඒ අන්දමින් අප වෙත නාම යෝජනා එවූ පිරිස අපි තෝරාගෙන ඔවුන්ට විශේෂ පුහුණු වැඩමුළුවක් පැවැත්වූවා. ඒ පුහුණු වැඩමුළුවට සහභාගී වී පුහුණුව ලැබූ පුද්ගලයන් අප ආයතනය සමග කටයුතු කරනවා. ඒ අනුව ලංකාව පුරා පැතිරුණු මානව සම්පතක් අප සතුව සිටිනවා. අපට ඇතිවන අවශ්‍යතාවන්ට අදාළව අප ඔවුන්ගේ සේවය ලබා ගන්නවා. ඔවුන් 'නව නිපැයුම් විනිශ්චය සඳහා ජාතික සංසදය' ලෙස නම් කර තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදී පේටන්ට් බලපත්‍ර ලබාගැනීමේදී සහාය පතා අප වෙත එන නව නිපැයුම්කරුවන්ට සහාය වීම පිණිස නොයෙක් ආයතනවලින් පේටන්ට් ලබා දීමට සහය විය හැකි ජාතික සංසදයක් බිහි කිරීමටත් අප බලාපොරාත්තු වෙනවා. මේ සඳහා දායකත්වය ලබා දෙන පිරිසට ගෞරවනීය දීමනාවක් ලබා දීමටත් අප ඉදිරියේදී කටයුතු කරනවා.
සංවාද සටහන
ටිරෝනි වෑවලගේ