රෙදි සේදුම සහ රෙදි මැදීම | Page 3 | සිළුමිණ

රෙදි සේදුම සහ රෙදි මැදීම

 කාර්ය බහුල සමාජයේ ජීවත් වන අප කාටත් රෙදි සෝදන යන්ත්‍රයක් නොමැතිව කිලිටි රෙදි සෝදාගැනීම අසීරුය. වෙළෙඳපොළේ නා නා විධ රෙදි සෝදන යන්ත්‍ර විකිණීමට තබා තිබේ. එවැනි තැනකින් අපට සරිලන රෙදි සෝදන යන්ත්‍රය තෝරා ගන්නේ කෙසේද?. එහිදී ඔබ අවධානය යොමු කළ යුතු වැදගත් කාරණා කිහිපයක් ඇත.

නිවෙසේ අවශ්‍යතාවටත්, නිවෙසේ සාමාජිකයන් සංඛ්‍යාවෙහි අවශ්‍යතාවටත් සරිලන රෙදි සෝදන යන්ත්‍රයක් මිලදී ගැනීමට සැලකිලිමත් වන්න. පුද්ගලයන් තුන් දෙනෙකු නැත්නම් හතර දෙනෙකු සිටින නිවෙසකට කිලෝග්රෑම් 4ක ධාරිතාවක් සහිත රෙදි සෝදන යන්ත්‍රයක් සෑහේ.

රෙදි සෝදන යන්ත්‍ර දෙවර්ගයක් ඇත. ඒ, ස්වයංක්‍රීය (Automatic) සහ අර්ධ ස්වයංක්‍රීය (Semi automatic) යන්ත්‍ර යනුවෙනි. ස්වයංක්‍රීය යන්ත්‍ර සඳහා සාපේක්ෂව වැඩි විදුලිය ප්‍රමාණයක් වැයවේ.

මෝස්‌තර දෙකක රෙදි සෝදන යන්ත්‍රත් වෙළෙඳපොළේ දක්නට තිබේ. එයින් එක වර්ගයක යන්ත්‍රවලට රෙදි ඇතුළු කරන්නේ ඉහළිනි. (Top loading) අනෙක් වර්ගයේ යන්ත්‍රවලට රෙදි ඇතුළු කරන්නේ ඉදිරිපසෙනි. (Front loading) ඉදිරිපසින් රෙදි ඇතුළු කරන යන්ත්‍ර වඩා කාර්යක්ෂමය.

රෙදි සේදීමේ යන්ත්‍රයකට වොට් 1500ක පමණ විදුලි බලයක් වැය වේ. එනිසා යන්ත්‍රයකින් රෙදි සේදීමේදී එක් වරකට විදුලිය ඒකක දෙකක් පමණ අවශ්‍ය වේ. එබැවින් හැකි සෑමවිටම යන්ත්‍රයේ උපරිම ධාරිතාවට ආසන්න ප්‍රමාණයක් රෙදි ඇතුළු කිරීමට වග බලාගන්න.

රෙදි සෝදන යන්ත්‍රය කාර්යක්ෂමව භාවිත කරන්නේ මෙහෙමයි. උපකරණයේ සඳහන් බර ප්‍රමාණයට සරිලන රෙදි ප්‍රමාණයක් යොදන්න. බර වැඩි වූ විට නිසියාකාරව රෙදි සේදෙන්නේ නැත. වැඩි බර මෝටරයට හානිත් පමුණුවයි. සඳහන් ප්‍රමාණයට වඩා අඩු රෙදි ප්‍රමාණයක්  දීමද අකාර්යක්ෂම භාවිතයකි. රෙදි ප්‍රමාණයට සරිලන ජල ප්‍රමාණයක් භාවිත කරන්න. අනවශ්‍ය වාර ගණනක් සහ අනවශ්‍ය කාලයක් රෙදි සේදීමෙන් වළකින්න. රෙදි වේළීම සඳහා වොට් 500ක පමණ විදුලියක් වැය වේ. එබැවින් හැකි සෑමවිටම රෙදි අව්වේ වියළා ගන්න.

රෙදි සෝදා වේළීමට එල්ලන විටත්, වේළීමෙන් පසු අසුරා තැබීමේදීත් රෙදි එල්ලා තබන්නට රෙදි එල්ලන භාවිත කරන්න. රෙදි මැදීමට වැය වන විදුලිය සහ කාලය එමඟින් ඉතිරි කර ගත හැකිය.

විදුලි බලය ලැබීමත් සමඟම සාම්ප්‍රදායික පොල්කටු ස්ත්‍රික්කය අපෙන් ඈත්වී ගියේය. ඒ වෙනුවට භාවිතයට පැමිණියේ විදුලි ස්ත්‍රික්කයයි. වෙළෙඳපොළේ විදුලි ඉස්ත්‍රික්ක වර්ග තුනක් දැකිය හැකිය. ඒවා මෙසේය:

1. සාමාන්‍ය විදුලි ස්ත්‍රික්ක - 750 W– 1000 W

2. ජලය විදිය හැකි විදුලි ස්ත්‍රික්ක - 750W – 1200W

3. ජල වාෂ්ප පිටකරන විදුලි ස්ත්‍රික්ක - 2100W – 2400W

පාසල් යන දරුවන් සහ රැකි රක්ෂාදියට යන අය සිටින විට දිනපතාම වාගේ රෙදි මදින්නට සිදුවේ. එවැනි නිවෙසක විනාඩි 20ත් 30ත් අතර කාලයක් රෙදි මැදීමට දිනකට වෙන් කෙරේ. එවිට මසකට ඒකක 8ත් 24ත් අතර විදුලි ඒකක ප්‍රමාණයක් එමඟින් විදුලි බිලට එකතුවීම නොවැළක්විය හැකිය.

සාමාන්‍යය ස්ත්‍රික්කයක් අඩු වොට් ගණනකින් සමන්විතය. එහෙත් රත්වීමටත්, රෙදි මැදීමටත් වැඩි කාලයක් ගනී. ඒ නිසා අනෙක් ස්ත්‍රික්ක හා සසඳන විට සාමාන්‍ය ඉස්ත්‍රික්කවලින් වැඩි විදුලිය ප්‍රමාණයක් පරිභෝජනය කෙරේ.

ජල වාෂ්ප විදිය හැකි ස්ත්‍රික්කයකින් රෙදි මැදීමේදී වැඩිපුර පොඩි වී ඇති තැන් එක් වරකින් මැදිය හැකිය. ඒ, ජල වාෂ්ප විදිය හැකි නිසයි. එවැනි ඉස්ත්‍රික්කයක් රෙදි මැදීමට ගන්නා කාලය සාමාන්‍ය ඉස්ත්‍රික්කයක් ඒ සඳහා ගන්නා කාලයට වඩා 50%කින් පමණ අඩු බව තහවුරුව ඇත. එනිසා ජල වාෂ්ප පිටකරන විදුලි ස්ත්‍රික්කය ඵලදායිතාවෙන් ඉහළය. ඇඳුම් විශාල ප්‍රමාණයක් මදින පවුලකට එවැනි ස්ත්‍රික්කයක් යෝග්‍යය වේ.

රෙදි මැදීමේදී බලශක්තිය සංරක්ෂණය කරගන්නේ රෙදි මැදීමට ගන්නා කාලය අවම කිරීම තුළින්ය. එය සපුරා ගත හැකි වන්නේ මැදිය යුතු රෙදි මැදීමට පළමුව සිටම සූදානම් කර ගැනීමෙනි. මැදීමට පළමුව රෙදි එල්ලීමේ රාමු (Hangers) සූදානම් කරගන්න. ඉස්ත්‍රික්ක කිරීම අවශ්‍යම සහ සුළු වශයෙන් ඉස්ත්‍රික්ක කිරීමට අවශ්‍ය ඇඳුම් වෙන් කරගන්න.

ඉස්ත්‍රික්කයේ කාර්යක්ෂමතාව පවත්වාගෙන යන්නේ මෙසේය. අමු කෙසෙල් කොළයක් මැදීමෙන් පතුල පිරිසිදු කරගන්න. වාෂ්ප ඉස්ත්‍රික්කවලට ආසවනය කළ ජලය (Distilled water) භාවිත කරන්න. ජල වාෂ්ප පිටවන සිදුරු අවහිරවීම වැළැක්වීමට නිෂ්පාදකයන් ලබාදෙන උපදෙස් පිළිපදින්න. වාෂ්ප සිදුරු පුළුන් කැබැල්ලකින් නිතර පිරිසිදු කරන්න.

රෙදි මැදීම පිළිවෙළකට කරන්නේ නම් එමඟින්ද විදුලිය ඉතිරි කරගත හැකිය. මැදීමට පෙර ඝනකම අනුව රෙදි වර්ග කරන්න. ඝනකම රෙදිවලින් මැදීම ආරම්භ කරන්න. අවසානයේදී ඝනකම අඩු රෙදි මදින්න. ඒ අනුව ස්ත්‍රික්කයේ උෂ්ණත්ව පාලනය ක්‍රමානුකූලව අඩු කරන්න.

අවසන් රෙදි කිහිපය මැදීමට පළමුව ස්ත්‍රික්කයේ විදුලිය විසන්ධි කරන්න. රෙදි මැදීම අතරතුර ස්ත්‍රික්කය පසෙකින් තබන විට එහි පතුල සිරස්ව තබන්න. විශේෂයෙන් සාමාන්‍ය ඉස්ත්‍රික්කයක් ඇති විට සතියක රෙදි එකවර මැදීමට පුරුදු වන්න.

රෙදි මැදිමේදී මේස කවරයට යටින් තුනී ඇලුමිනියම් ෆොයිල් කැබැල්ලක් යොදන්න. එවිට රෙදිවල දෙපැත්තම එක විට හොඳින් මැද ගත හැකිය.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී චමින්ද ලියනගේ මහතා සමඟ සාකච්ඡා කර ලිපිය සකස් කළේ

මංජුලා විජයරත්න

Comments