
කාලයේ විලාසිතාව වූ වින්ටේජ් කැබින් සූට්කේසයක් වමතින් ද රැංගුන් තේක්ක දැවයෙන් කළ බස්තමක් දකුණතින් ද රැගත් විශේෂ කොමසාරිස් ෆ්‍රැන්සිස් දියෝගු රිවේරා දුම්රියෙන් බසින අතරේ තම රවුම් උපැස් යුවළ සහිත මුහුණ වමේ සිට දකුණට අංශක එකසිය අසූවක් කරකවා නිමේෂයකදී හාත්පස නිරීක්ෂණය කෙළේය. ඒ අතර ඔහුගේ අගනා කැන්ගොල් ක්‍රොස් හිස්වැස්ම දුම්රිය මගී වේදීකාව මතට වැටිණ. එය අහුලා දීමට කිහිප දෙනෙකු ඉදිරියට දිව ආ නමුත් සියලු දෙනාටම වඩා ඉස්සර වූ කුඩා පිරිමි ළමයකු තොප්පිය ඩැහැගෙන වේදීකාවෙන් රේල් පාරට පැන පලා ගියේ සියලු දෙනා විමතියට පත්කරවමිනි. මේ සිද්ධියෙන් මුහුණ රතුකරගත් විශේෂ කොමසාරිස් ෆ්‍රැන්සිස් දියෝගු රිවේරා තම බස්තම පොළවට අනිමින් මෙසේ කීවේය. ' මං මේ පළාතට අමුත්තෙක් .. බොහෝම අපූරුයි බොලාගේ පිළිගැනීම .. ඒ වගේම මං මෙහාට ආවේ උඹලට යුක්තිය සාධාරණය ඉෂ්ට කරන්න... මුලින්ම දැං මටයි යුක්තිය ඉෂ්ට කරගන්න වෙලා තියෙන්නේ .. උඹලා කවුරු හරි මගේ තොප්පිය ආපහු ගෙනල්ලා දුන්නොත් බොහොම වටින ත්‍යාගයක් දෙනවා ... අර හොර කොල්ලවයි තොප්පියයි දෙකම ගෙනාවොත් ඒ තෑග්ග දෙගුණයක් කරලා දෙනවා.. ' යි ඔහු ගම්භීර හඬින් කීවේය. රිවේරාගේ තැන්පත් එහෙත් කෝපාන්විත වචන ඇසුණු දුම්රිය ස්ථානාධිපතිවරයා තම කාර්යාලයේ ජනේලයෙන් එබී බැලුවේය. ඒ සමඟම කන්බිහිරි කරමින් නළාව නාද කළ දුම්රිය කළු දුම් වලාවකින් හාත්පස අඳුරු කරමින් ඉදිරියට ඇදිණ. සුදු පැහැති කැන්ගොල් ක්‍රොස් හිස්වැස්මේ බඳ වටා තද නිල් සහ රන්වන් පැහැයෙන් යුත් වර්ණ රටා දෙකක් තිබිණ. කුඩා කළු බණ්ඩා මේ තොප්පියටත් වඩා එම වර්ණ තීරූ දෙකට ආශා කෙළේය.
----
1. මේ කොල්ලා කවුද 2. ඔහු කොහේ සිට දුම්රියස්ථානයට පැමිණියේද 3. ඔහු කුමක් සඳහා දුම්රියපොළේ කල්මරමින් සිටියේද 4. ඒ වනවිට වලංගු ප්‍රවේශ පත්‍රයක් ඔහු සතුව තිබුණේ ද 5. එසේ නම් ඔහු එකී ප්‍රවේශ පත්‍රය ලබාගෙන තිබුණේ කොහේ සිට කොතැන දක්වා ගමන් කිරීමටද 6. වලංගු ප්‍රවේශ පත්‍රයක් නොතිබුණේ නම් ඔහු දුම්රිය වේදිකාවට ඇතුළු වූයේ කෙසේද 7. විශේෂ කොමසාරිස්තුමාගේ හිස්වැස්ම සොරාගෙන ඔහු පලා ගියේ කොහේටද 8. රජයට අයත් පරිශ්‍රයකදී රජයේ උසස් නිලධාරියකු සතු දේපොළ මංකොල්ල කෑමට ඉඩ දීමෙන් දුම්රියස්ථානාධිපතිවරයා තම රාජකාරිය සහ වගකීම පැහැර හැර තිබේද 9. එකී හිස්වැස්ම සොයා ගැනීම සඳහා දුම්රියස්ථානාධිපතිවරයා මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද ? යනුවෙන් වූ ලිඛිත චෝදනා පත්‍රයක් විශේෂ කොමසාරිස්තුමාගේ අස්සනින් යුතුව එදින සවස්වන විටම දුම්රියස්ථානාධිපතිවරයා අතට පත්විය. ඉතා පරිස්සමින් චෝදනා පත්‍රය කියවූ දුම්රියස්ථානාධිපතිවරයා ඊට මෙසේ පිළිතුරු ලීවේය. " වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව කිසිවකුටත් දුම්රිය වේදිකාවට හෝ දුම්රියට හෝ ඇතුළු විය නොහැක. එමෙන්ම නිසි අවසරයක් නැතිව දුම්රියස්ථානයෙන් පිටවීමටද නොහැක. මගේ වාර්තා අනුව විශේෂ කොමසාරිස් වන ඔබ මගේ පාලනය යටතේ පවතින ඇස්විද්දගම දුම්රියස්ථානයට ඇතුළු වූ බව හෝ ඉන් පිටව ගිය බවට හෝ නිල ලේඛනයක් හෝ ඔබ විසින් බාර දුන් ප්‍රවේශ පත්‍රයක් හෝ නොමැත. එහෙයින් ඔබ විසින් මගෙන් විමසන කිසිදු කරුණකට මා විසින් පිළිතුරු දිය යුතු බවට කිසිදු හේතුවක් නොපෙනෙයි.
ප; ලි ; වෙනත් දුම්රියස්ථානයකට යැවිය යුතු ලිපියක් වැරදීමකින් ඔබ විසින් මා වෙත යොමු කැර තිබෙන බැව් පෙනේ. ස්තුතියි. මීට දුම්රියස්ථානාධිපති ඇස්විද්දගම " දුම්රියස්ථානාධිපතිගේ ප්‍රති උත්තර ලිපිය කියවූ විශේෂ කොමසාරිස් රිවේරා දත්මිටි කමින් බස්තම පොළොවේ අනිමින් කරබා ගත්තේ කලබලය නිසා තම ගමන් බලපත් කඩදාසි දුම්රියස්ථානයට බාර නොදුන් බව කාටත් ඇසෙන ලෙස කියමිනි.
----
නැති වූ කැන්ගොල් ක්‍රොස් හිස්වැස්ම පිළිබඳව හෝඩූවාවක් සොයමින් ගමේ ගොඩේ ඇවිදිමින් සිට බලාපොරොත්තු කඩවී ගොස් සතියකට පසුව ගම්සභා කාර්යාලයේ වූ ගම්පතිගේ සද්දන්ත කළුවර කැටයම් අසුනේ වාඩි වූ විශේෂ කොමසාරිස් රිවේරා එහි වුන් සේවකයකු ලවා එදින උදේ පාන්දරින්ම විශේෂ නිවේදනයක් ප්‍රචාරය කැර වූයේය. " ඇස්විද්දගම මහා ඉඩම් නඩුවේ චෝදක චූදිත දෙකොට්ඨාසයේ සාක්ෂි විභාග කිරීමටත් යුක්තිය පසිදලීමටත් ෆ්‍රැන්සිස් දියෝගු රිවේරා රජයේ විශේෂ කොමසාරිස්තුමා විසින් අද දින සිට ක්‍රියාකරනු ඇත. "
දොස්තර රූබන් ද සිල්වා ජේත්තුකාර යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී තම ටක් ටොක් හඩැති දිස්නය විහිදෙන සපත්තු ජෝඩුව දෙසම බලාගත් මුහුණින් යුතුව පැමිණ විශේෂ කොමසාරිස්තුමා ඉදිරියේ පෙනී සිටි අතර ඔහුගේ අතවැසියකු විසින් පිඹුරුපත් සහ ඔප්පු මිටියක් දෑතින්ම ඔසවා ගෙන පසුපසින් පැමිණියේය. ඒ සමඟ ම සාක්ෂි විභාගය ආරම්භ කෙරිණ.
විශේෂ කොමසාරිස් - දොස්තර රූබන් ද සිල්වා .. මා ඔබ ආමන්ත්‍රණය කළ හැටි නිවැරදිද ?
දොස්තර රූබන් - එහෙමයි ඔබතුමා නිවැරදියි .
වි.කො - ඔබ කුමන වර්ගයේ වෛද්‍යවරයෙක්ද ?
දො. රූ . ( ඒ ප්‍රශ්නයෙන් පුවක් ගසක් මෙන් සිරුර ඍජු කැරගත් දොස්තර රූබන් තම දෙනෙත් ලොකු කොටගෙන විමතියට පත්වූ බවක් පෙන්වමින් මිනිත්තුවක් පමණ නිහඬව සිටි අතර අවසානයේදී කොමසාරිස්ගේ දෙනෙත් පහර තමා දෙසටම යොමු වී තිබෙනු දැක මෙසේ කීවේය )
දො. රූ . - ඔබතුමාගේ ප්රශ්නය පැහැදිලි නෑ කොමසාරිස්තුමනි.
වි.කො. - ඔබ ශල්‍ය වෛද්‍යවරයෙක්ද නැතිනම් සර්වාංග වෛද්‍යවරයෙක් ද ?
දො. රූ. - මං සර්වාංග වෛද්‍යවරයෙක්
වි.කො. - ඔබ එක දවසකට රෝගීන් කී දෙනෙකුට ප්‍රතිකාර කරනවද ?
දො.රූ.- සාමාන්‍යයෙන් විසිපහකට විතර සමහරදාට එන ලෙඩ්ඩු ඊටත් වඩා වැඩි වෙනවා .
වි.කො. - මේ පළාතේ වැඩිපුර සිටින්නේ කුමන වර්ගයේ රෝගීන්ද ?
දො.රූ. - හපොයි නොයෙක් ජාතියේ ලෙඩ්ඩු මෙහෙ ඉන්නව.
වි.කො. - නෑ මං අහන්නේ මෙහේ වැඩිපුර ඉන්නේ නිධන්ගත රෝගීන්ද නැතිනම් බෝවන රෝගවලින් පෙළෙන අයද කියලයි.
දො.රූ. - නිධන්ගත රෝගීන් තමා ඉන්නේ බෝවන රෝග එහෙමට කියලා නෑ.
වි.කො. - මේ ගමේ පවුල් ගෙවල් එකසිය එකක් තියෙනව ඒ එක පවුලක නිධන්ගත රෝගීන් කී දෙනෙක් විතර ඉන්නවද ?
දො. රූ. - මං එහෙම ගණං හදලා බලලා නෑ කොමසාරිස්තුමනි.
වි.කො . - ඔබ මේ පළාතේ කොයි තරම් කාලයක් තිස්සේ රෝගීන්ට ප්‍රතිකාර කරනවද ?
දො. රූ. - අවුරුදු හයකටත් වඩා වැඩියි කොමසාරිස්තුමනි.
වි.කො. - හොඳයි අවුරුදු හයක් තිස්සේ ඔබට ගණං හදාගන්න බැරි වුණ ලෙඩ්ඩු ගාන දැං මං කියන්නං අපස්මාර ලෙඩ්ඩු 2 යි ඇදුම ලෙඩ්ඩු 6 යි ආත්‍රයිටීස් ලෙඩ්ඩු 6 යි අතපය කැඩුණු ලෙඩ්ඩු 4 යි හතළිස් ඇඳීරිය නිසා ඇස් පෙනීම දුර්වල වුණු අය 11 යි. ස්නායූ ආබාධ තියෙන අය 6 යි. හේතුව හොයා ගන්න බැරිව ඔත්පල වුණ අය 16 යි. එතකොට මුළු එකතුව 51 යි. මේ 51 න් ප්‍රතිකාර කරන්න හැකියාව තියෙන්නේ 25 කටත් අඩු ගණනක් ... මේ ගණන 30 න් බෙදුවොත් ඔබට එක දවසකට ඉන්නේ එක ලෙඩෙක් විතරයි. සමහරදාට එක ලෙඩෙක්වත් නෑ. ඒක එහෙම නං ඔබ කොහොමද කියන්නේ දවසකට රෝගීන් විසිපහකට විතර ප්‍රතිකාර කරනවයි කියලා ... මගේ ප්‍රකාශය ඔබ පිළිගන්නවද ?
දො. රූ. ( නිහඬව සිටී.)
දොස්තර රූබන්ගේ නිහඬතාව හමුවේ ගම් සභා කාර්යාලයට රැස්ව සිටි ගම්වැසියන්ගේ නොසන්සුන්තාව ඉහළ නැංගේය. ඒ සමඟම ඔවුන්ගේ කචබචය උස් හඬින් ඇසෙන්නට විය. ' මොනවද මේ කොමසාරිස් මෝඩයා අහන ප්‍රශ්න .. මේ දොස්තර හොරා අපේ ඉඩම් හොර ඔප්පු හදලා අයිති කරගෙන තියෙද්දී ඉඩම් මංකොල්ලේ ගැන එක ප්‍රශ්නයක්වත් අහන්නැතුව මේ ලෙඩ්ඩු ගැන ගොං ප්‍රශ්න අහනවා. .' යි එක් ගැමියකු කෑ ගසන අතරේ තවත් ගැමියකු කෑ ගැසුවේ ' ඌත් ටයිකෝට් මූත් ටයිකෝට් උං කොහොමත් උංට අදිනවනේ .. ' යි කියමිනි. මේ ගාලගෝට්ටිය මැද්දේ විශේෂ කොමසාරිස් රිවේරා විසින් දොස්තර රූබන්ව තමා අසලට කැඳවා ඔහු සමඟ පෞද්ගලික මට්ටමේ රහස් සාකච්ඡාවක් පටන් ගත්තේය. ' ඩොක්ටර් කලබල නැතිව මං අහන ප්‍රශ්නවලට උත්තර දෙනව මිසක් නිහඬව ඉන්න එපා. මොකද ඔබේ පිළිතුර මිසක් ඒක ඇත්ත වෙන්නම ඕනේ කියලා දෙයක් මෙතන නෑ .. ඔය මොකක් හරි උත්තරයක් දෙන්න. මේ ගමේ ඉන්නේ මහ නැහැදිච්ච වල් වනචර ඌරෝ රංචුවක්. මුං මගේ හොඳම තොප්පියත් හොරකම් කළානේ .. අපරාදේ එංගලන්තයෙන් ගෙනාව කැන්ගොල් ක්‍රොස් ඉස්තරම්ම තොප්පියක්... ! මටත් ඕනේ මේක ඉක්මනට ඉවරයක් කරලා දාලා යන්න .. ආ ඒක නෙවෙයි ඩොක්ටර් මං දැක්ක වෙලාවෙම අහන්න හිටියේ ඔය බ්ලූ මාටින් ටයි එක කොහෙන්ද ගත්තේ ... ඕවා දැන් හරිම ගණන්. ' යි කී විශේෂ කොමසාරිස් රිවේරා; දොස්තර රූබන්ගේ ටයි ගැටයට ඇඟිල්ලෙන් ඇන්නේ කුලුපග ලීලාවෙනි. ඒ සමඟම ප්‍රීතීමත් සැහැල්ලුවක් පාමීන් දොස්තර රූබන් මෙසේ කීවේය. ' සර්ට ඕනේ නං මං එකක් දෙන්නම් .. තව අලුත්ම බ්ලු මාටින් දෙකක්ම මගේ ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි .. අලුත්ම කැන්ගොල් ක්‍රොස් තොප්පියකුත් තියෙනව .. ' යි ඔහු කී අතර විශේෂ කොමසාරිස් රිවේරා; දොස්තර රූබන්ගේ අත මිරිකා ගත්තේය. ' එහෙනං ටිකක් කලුවර වැටුණම එන්නකො මගේ බංගලාවට .. ' යි හෙමිහිට කී හෙතෙම තැන්පත් ගාම්භීර උස් හඬින් ගැමියන් අමතා මෙසේ කීවේය. ' අදට කොමිසමේ කටයුතු හමාරයි ! මෙහි විනය සහ ගෞරවය තිබිය යුතුයි. මින් ඉදිරියට කිසිවකු හෝ මේ යුක්තිය ඉෂ්ට කිරීමේ කටයුත්තට නියමින් හෝ අනියමින් හෝ බාධා කළොත් ඒක රජයට එරෙහි අපරාධයක් හැටියට සලකා දඬුවම් කෙරෙනු ඇත. '
එදින රාත්‍රී නවයට පමණ දොස්තර රූබන් කිසිවකුටත් නොපෙනෙන ලෙස විශේෂ කොමසාරිස් රිවේරාගේ නිල නිවස්නයට පැමිණියේ තෑගි මලු පොදියක් ඔසවා ගෙනය. පසුදින කුකුළා හඬලන ජාමය තෙක් ඔවුන් දෙදෙනාගේ ආගිය කතා සාමීචිය අවසන් නොවූ නමුත් ඉස්තරම් ස්පාඤ්ඤ රතු වයින් බෝතල් හත අටක් හිස් වී තිබිණ. පාන්දර 06.30 ට තම සේවකයා කැඳවූ විශේෂ කොමසාරිස් රිවේරා ඔහුට නියෝගයක් දුන් අතර උදෑසන 09.00 සිට එය ප්‍රචාරය කෙරිණ. - " ඇස්විද්දගම ඉඩම් නඩුවේ සාක්ෂි විභාගය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. එතෙක් සියලු දෙනා සාමයෙන් සිටිය යුතු බවට විශේෂ කොමසාරිස්තුමා නිවේදනය කැර සිටී.-" මේ අතරතුර තම අතවැසියන් සමඟ රයිෆලයක් සහ බිලී පිත්තක් රැගෙන නිල නිවෙසින් පිටත්ව ගිය විශේෂ කොමසාරිස් රිවේරා මාන කොකුන් දඩයම් කරමින් සහ මාලු බාමින් මුළු දිවාකාලයම විනෝදයෙන් ගත කළ අතර රාත්‍රී 09.00 සිට සාදය ආරම්භ කෙරුණේ දොස්තර රූබන් විසින් කැඳවා ගෙන එනු ලැබූ පළාතේ පොලිස් මුලාදෑනියා ද සමගිනි. මෙතැන් සිට සෑම රාත්‍රියකම විශේෂ කොමසාරිස්ගේ නිල නිවෙස උත්සවසිරියක් ගත්තා සේම දවසින් දවස ඊට එක්වූ පිරිස ඉහළ නැගි අතර විශේෂ කොමසාරිස් රිවේරා දොස්තර රූබන් පළාතේ පොලිස් මුලාදෑනි ගිල්බට් ප්‍රසිද්ධ නොතාරිස් ඇන්තනී සහ ගම්සභාපති පීටර් එකම කණ්ඩායමක නිත්‍ය සාමාජිකයෝ වූහ. එක් දිනෙක සාදය අතරතුර පදම ඉක්මවා සිටි විශේෂ කොමසාරිස් විසින් තම අතවැසි සේවකයාගේ සුළු අතපසුවීමක් දැක සියලු දෙනා ඉදිරියේ නව නින්දාවෙන් ඔහුට බැණ වැදුණු අතර මේ ඇස්විද්දගමේ ඉන්න මොළ නැති හරක් රංචුව ඉතා ඉක්මනින් මට්ටු කොට දොස්තර රූබන්ට රිසි ලෙස ඉඩකඩම් භුක්ති විඳීමේ අවසරය ලබා දෙන බවටත් ' වහසි බස් දෙඩුවේය. ඒ සිද්ධියෙන් පසුව විශේෂ කොමසාරිස්ගේ අතවැසියා ගැමියන් අතරට යමින් එමින් සිදුවන සියලු දෙයක්ම පිළිබඳව ඔවුන්ට ඔත්තු සැපයුවේය.
( ඉතිරි කොටස ලබන සතියේ )