
බලශක්තිය පිරිමැසෙන ලෙස නිවාස සැලසුම් කරමු
සාමාන්‍ය ජීවිතයක් ගත කරන අපට ඒ ජීවිත කාලය තුළදීම ගොඩනඟාගත හැකි වන්නේ එකම එක නිවෙසක් පමණක් වන්නට පුළුවන. ඒ එකම එක නිවෙස ඔබේ සිතැඟි අනුවම ඉඳි විය යුතු බවට සැකයක් නැත. නමුත් ඒ නිවෙස හොඳ ආලෝකවත් තැනක් විය යුතුව තිබේ. එමෙන්ම ඒ නිවෙස තුළට හොඳ වාතාශ්‍රයක් ලැබිය යුතුය. එසේ නොවුණහොත් ඔබේ නිවෙස අඳුරු සහ රස්නයෙන් අධික තැනක් වනවාට සැකයක් නැත. එවිට ඔබට සිදු වන්නේ විදුලි පංකා සහ වායු සමන යන්ත්‍ර සවි කරවා ගැනීමටය. වායු සමන යන්ත්‍රයක් සවිකර ගන්නට සිදු වුව හොත් එය නිවෙසේ ඉතා ඉහළම විදුලිය පරිභෝජනයක් සහිත විදුලි උපකරණය වන බව ඔබ දන්නවාද? විදුලි පංකා සඳහාත් ඉතා ඉහළ විදුලිය ප්‍රමාණයක් භාවිතයට ගැනෙන බව ඔබ අමතක නොකළ යුතුම කාරණයකි. එනිසා ඔබ නිවෙස සැලසුම් කිරිමේදී මෙන්ම ඉදි කිරීමේදීත් බලශක්තිය සුරැකෙන අන්දමේ නිවෙසක් සැලසුම් කරන්නට, ඉදිකරන්නට වෙහෙස වන්නේ නම් මැනවි.
නිවෙසක් ඉදිකිරීමට සැලසුම සකසන ඔබ අනතුරුව කළ යුත්තේ එම නිවෙසේ බලශක්ති සංරක්ෂණය ගැන සැලසුම් කිරීමයි. යෝජිත නිවෙසට තිබෙන දොර ජනේල ගණන, කාමර ගණන ගැන කෙරෙන සැලසුම වගේම නිවෙසේ බලශක්ති සංරක්ෂණය ගැන කෙරෙන සැලසුමත් වැදගත් බව ඔබ වටහා ගත යුතුව ඇත. එනිසා ඒ ගැනත් ගෘහ නිර්මාණ ශිල්පියා සමඟ සාකච්ඡා කරන්න.
නිවෙසේ නැගෙනහිර දිශාවට ජනේල යෙදුවහොත් උදේ කාලයේදී නිවෙස තුළට ඍජුවම හිරු රැස් ගලා ඒම සිදුවේ. ඒ නිසා නිවෙස ඇතුළත වාතය රත් වී උණුසුම් ගතියක් ඇති වන්නට පුළුවන. බටහිර දිශාවට ජනේල යෙදුවහොත් සවස් කාලයේදී මෙයට සමානම තත්ත්වයක් ඇති වේ. එහෙත් නිවෙසට වැඩි ආලෝකයක් ලැබෙන්නේ නැගෙනහිර සහ බටහිර දිශාවලින් පමණි. දවසේ වැඩි කාලයක් උපරිම ආලෝකයක් සහ උපරිම සිසිලසක් රඳවාගැනීමට හැකි ක්‍රමයක් තෝරාගන්නට මේ නිසා ඔබට සිදු වේ. ඊට කදිම මඟ උතුරු සහ දකුණු දිශාවලට වැඩි ජනේල ප්‍රමාණයක් යෙදීමයි.
නිවසේ ජනේල අසල ගස් කොළන් වවා ඒවා නිසියාකාරව නඩත්තු කරන්න. එවිට නිවෙසට ගලා එන වාතය සිසිල් ගතියකින් යුක්ත වනු ඇත. මුළු ගෙදරම සෙවණ වන ආකාරයට ගස් කොළන් වවන්නට හැකි නම් එය උෂ්ණත්වය අඩු කරගන්නට මඟකි. එවැනි උපක්‍රමයකින් ගෙදර උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ක් වැනි ප්‍රමාණයකින් අඩු කරගන්නට පුළුවන.
නිවෙසේ ඇති උණුසුම් වාතය පිටතට ගලා යන්නටත් බැහැර ඇති සිසිල් වාතය නිවෙසට ගලා එන්නටත් හැකි ආකාරයට නිවෙසට ජනේල තැබිය යුතුය. ඒ සඳහා ලූවර් ජනේල සවි කරන්නට පුළුවන. ඉහළ ලූවර් එළියටත් පහළ ලූවර් ඇතුළටත් විවෘත වන ආකාරයට ලූවර් සවිකිරීම ඉතා වැදගත් වේ. ඉහළ ලූවර් වසා තැබෙන විට ලූවර් දෙකක් අතර මිලිමීටර 5ක පරතරයක් විවෘතව සිටින ආකාරයට ලූවර් සැකසිය යුතුයි. ඒ විධියට ලූවර් සවිකිරීමෙන් නිවෙස තුළ සිසිලස පවත්වාගෙන යන්නට අවශ්‍යය කාරණා දෙකක් සපුරා ගන්නට පුළුවන. පළමුවැන්න ඇතුළත රත් වූ වාතය පිටතට යාම අවහිර නොකිරීමයි. දෙවැන්න, කිසිදු බලයක් නැතිව එළියේ ඇති සිසිල් වාතය නිවෙස තුළට පැමිණීමට ඉඩ සැලසීමයි.
සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී චමින්ද ලියනගේ මහතා සමඟ සාකච්ඡා කර ලිපිය සකස් කළේ