ලංකාවම මල් යායක් | සිළුමිණ

ලංකාවම මල් යායක්

 තාරුණ්‍යයට සීමා මායිම් නැත. තාරුණ්‍යය පවතින්නේ කොතනද එතැන් අනිවාර්යයෙන්ම අතිසුන්දරය. සැහැල්ලුය. මේ යෞවනයේ සුන්දරත්වය සෑම රටකම, සෑම මිනිස් කොට්ඨාසයකටම පොදුය. ශ්‍රී ලංකාවේය, අමෙරිකාවේය, ඉතියෝපියාවේය කියා වෙනසක් තාරුණ්‍යයට නැත. එහෙත් එක් දෙයක් පැවසිය යුතුමය. මේ සෑම ජන සංස්කෘතියකටම අයත් තාරුණ්‍යය එකට එක්තැන් වූ කල්හි එතැන අතිසුන්දරය.

එවැනි අතිසුන්දර තැනක අතිසුන්දර මොහොතක් ගෙවීමේ විරල අවස්ථාව පසුගියදා මටද උදාවිය. එ් මහරගම යොවුන් මධ්‍යස්ථානයේදීය. මහරගම යොවුන් මධ්‍යස්ථානය වෙත ලෝකයේ රටවල් කිහිපයකින් තරුණ තරුණියෝ පිරිසක් පැමිණ සිටියහ. ඔවුන්ගේ ආගමනය ලංකාවේ මානව සංහතිය පිළිබදව ගවේෂණාත්මක ඇගැයීමක් සිදු කර උසස් අධ්‍යාපන නැඹුරුවක් ලබා ගැනීම වෙනුවෙනි. තරුණ සිතිවිලි යනු අනාගතයේ ලොවක් මෙහෙයවන මූලාරම්භය වන්නේය. එයට නිසි නායකත්වයක් බාර දීම යුගයේ අවශ්‍යතාවයි. රටක් ලස්සන කිරීමට, ලොවක් ජය ගැනීමට තරුණ ජවය අවශ්‍යම සාධකයකි. ඒ සඳහා ලංකාවේ භූමිකාව කෙසේ පෙළ ගැසේද යන්න ප්‍රශ්නයක් වූවත් ක්‍රමානුකූලව පහසුකම් සැපයීමක් සිදු කරන්නේ නම් දේශිය තරුණ ප්‍රජාවට අන්තර්ජාතික ප්‍රජාව සමග උරෙන් උර ගැටි එකමුතුව සේවය කිරීමට අවස්ථාව ලැබෙන්නේය. රජයේ හෝ දේශපාලන මැදිහත් වීමක් අප තරුණ පරපුර සදහා ලබාදීම කාලීන අවශ්‍යතාවකි.

මනෝවිද්‍යාත්මක සායනයන් මෙන්ම ඉංග්‍රිසි අධ්‍යාපනයත් අත්‍යවශ්‍යව ඇති අප රටට මෙවැනි තරුණ ප්‍රජාවගේ දායකත්වය අත්‍යවශ්‍යය වේ. රටවල් බොහොමයක සංකලනයක් ලෙසින් සංස්කෘතික මෙන්ම විවිධ ජාතීන්ගේ සංහිදියා ලක්ෂණ මෙලෙස අප රටට ආගමනය කරගැනීම අපට වාසනාවකි. මේ යටතේ අප රටට පැමිණ සිටින විදෙස් තරුණ පිරිස සිය ගණනකි. ඒ සිය ගණනක් වූ තරුණ ප්‍රජාව අතරින් කිහිප දෙනෙකු සමග අදහස් හුවමාරු කරගැනීමට මම සමත් වූයෙමි.

මේව් ඔඩින්ස්කෝ (MAEVE O'DN'SCOLL) විසි දෙහැවිරිදිය. මනෝ විද්‍යාව සදහා විද්‍යාවේදී උපාධිධාරිනියකි. මීට අමතරව ස්නායු විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද ප්‍රගුණ කරන්නියකි. එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් නගරයේ ජීවත්වන ඇය ඉපදී ඇත්තේ අයර්ලන්තයේදීය. ඇයගේ මෙරටට පැමිණිම සති හයකට පෙරය. පසුගිය කාලය ලැබු අත්දැකිම මෙසේ විස්තර කළාය.

"මා ලංකාවට පැමිණිමට පෙර ලංකාවේ භූමි ලක්ෂණ, දේශගුණය මෙන්ම ජනවර්ග ආගම් මෙන්ම සංස්කෘතික විවිධත්වය පිළිබදව මුලික අවබෝධයක් ලබා ගත්තා. භාෂාව පිළිබඳව නම් තේරුමක් නැති වුණත් ලංකාවේ අපි නැවැති සිටින ගෙවල්වලදී වචනයෙන් වචනය ඉගෙන ගත්තා. තරුණ මධ්‍යස්ථානයේ සහෝදර සහෝදරියෝත් අපිට උදව් වෙනවා. එහෙත් ලෝකය සමග ජීවත් ව උත්සහ කරන්නේ යොවුන් අයට ඉංග්‍රිසි පිළිබඳව දැනුම ලබා දෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු මුලිකව ව්‍යාකරණ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. ක්‍රියාපද හැසිරෙන ආකාරය සම්බන්ධව. නිසි අයුරින් තේරුම් කරදුන්නාම ඇත්තෙන්ම ඉංග්‍රිසි භාෂාව පිළිබදව බියක් ඇති වෙන්නේ නැහැ. ලංකාවේ ඉංග්‍රිසි වචනවල උච්චාරණයත් ඉතා පැහැදිලියි. ඒ අයට අවශ්‍ය වන්නේ උනන්දුවක් ඇතිවන ආකාරයට දැනුම පෙළ ගැස්සවීමයි. ආසියාවේ වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ අයට ඉංග්‍රිසි භාෂාව ඉගෙන ගන්න පහසුයි. ඉංග්‍රිසි මගේ මවු භෂාව නොවුණත් ලෝකය සමග ජිවත් විමට ඉංග්‍රිසි භාෂාවේ වැදගත්කම නිසා ලෝකයේ සැරිසරන්න මට හැකියාව ලැබුණා. ලංකාවට නැවැත නැවැත පැමිණිමට අපි උත්සහ කරනවා."

සිරි ලොකේන් (SIRI LOKEN) අමෙරිකානු යුවතියකි. වයස අවුරුදු විසි දෙකකි. මනෝ විද්‍යාව සහ මූලික වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි. ඇය ප්‍රගුණ කරන්නේ මානසික සෞඛ්‍යය පිළිබදවය. විශේෂ අවශ්‍යතා සඳහා වූවන් වෙනුවෙන්ද සේවා සපයන්නියකි. මම කැලි‍ෆෝර්නියාවේ සිට ලංකාවට ආවේ. මාස කිහිපයක් ලංකාවේ විවිධ පාර්ශ්ව පිළිබඳ ඇගැයීම් කරන්න මට අවශ්‍යයි. දැනටමත් මානසික රෝහල, විශේෂ අවශ්‍යතා ඇවැසි කුඩා සහ තරුණ ප්‍රජාව සම්බන්ධව ඔවුන්ගේ මානසික ක්‍රියාකාරකම් ධනාත්මක කිරිමට නව ක්‍රමවේද එක් කිරිම වැදගත්. කෙසේ වෙතත් නිදහස් පරිසර, ක්‍රිඩා සහ ව්‍යායාම්, ක්‍රියාකාරකම්, නව ක්‍රමවේද සහ නවින තාක්ෂණය උපයෝගි කරගනිමින් සිදු කරන්නේ නම් ඔවුන්ගේ ජීවිත සතුටින් තබන්න පුළුවනි. නිර්මාණ ශක්තිය වර්ධනය කිරිම සදහා ලංකාවේ තරුණ ප්‍රජාව ස්වේච්ඡා ක්‍රියාකාරකම් සඳහා තවතවත් නැඹුරු කළහොත් සාර්ථක ප්‍රතිඵල ලංකාවේ අයට ලබා ගත හැකියි.

ලෝකය වටා සිටින තරුණ ප්‍රජාව එක්කෙරෙන ස්වේච්ඡා සංවිධානයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ගැන ඉක්බිති අප හා සතුටින් කතා කළේ පිලීපීන ජාතික යුවතියකි. ඇය ඇව්රෝරා මිලිටන්ස් (AURORA MILITANTE) ය. විසිඑක් හැවිරිදිය. ඇය කතාව පටන් ගත්තේ මෙසේය.

"මනෝවිද්‍යාව පිළිබදව උපාධි අපේක්ෂිකාවක් ලෙස මම එක්සත් රාජධානියේ වැඩිදුර ඉගෙන ගන්නවා. මගේ මවුපියෝත් මා සමග ජීවත්වෙනවා. ඔවුන් ව්‍යාපාරිකයන් නිසා අපිට ආර්ථික අපහසුතා නම් නැහැ. කොච්චර පහසුකම් තිබුණත් එංගලන්තයේ දිගටම ජිවත් වීමට බලාපොරොත්තුවක් නැහැ. අපේ රටේ තිබෙන ප්‍රශ්න අවම කිරිමට නැවැත මවු රටට යෑම මගේ අපේක්ෂාවයි. මවුපියන්ගේ බලාපොරොත්තුවත් මම පිලිපිනයේ සේවයට යෑමයි. මගේ එකම සහෝදරයාත් පිලිපීනයේ සෞඛ්‍ය අංශයේ සේවය කරනවා."

සෝනියා සිල්වා මෙණෙවිය (SONIYA SILVA) තිස් හැවිරිදිය. පෘතුගාලය ඇගේ මවුබිමයි. ඇය එක්සත් රාජධානිය මුලස්ථානය කරගත් ස්වේච්ඡා ආයතනයක ක්‍රියාකාරි කළමනාකාරවරියයි. මාස හයක කාලයක සිට ලංකාවේ සේවය කරන්නීය. සායනික සංවර්ධන ආරක්ෂාව, ආයතනික සංවර්ධනය, මානසික සෞඛ්‍ය අධ්‍යාපනය අැයගේ සුවිශේෂ අංගයන්ය. ඇයගේ නායකත්වය අපූරුය. ලංකාවේ තමා ගතකරන කාලය ගැන ඇය මෙසේ පැවසූවාය.

"ලෝකයේ තරුණ පරපුර එක්තැන් කෙරෙන ප්‍රධාන ආයතනයක් ලෙස එස් එල් වොලන්ටියර් ඕර්ගනයිසේශන් ප්‍රසිද්ධයි. විවිධ රටවල තරුණ තරුණියෝ අපි සමග සම්බන්ධයි. කලාප වශයෙන් බෙදාගෙන ස්වේච්ඡාවෙන් බොහෝ රටවල් වෙත යනවා. ඒ ඒ රටවල මානව සෞඛ්‍ය පිළිබඳවත් කුඩා සහ තරුණ ප්‍රජාව වෙත ඉංග්‍රිසි උගැන්වීමටත් කටයුතු කරනවා. විදෙස් රටවලට යෑමට පෙර සෑම සාමාජික සාමාජිකාවක් වෙනුවෙන්ම ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේද සහිත පුහුණුවක් ලබා දෙනවා. ඒ අනුව ඒ ඒ රටවල භාෂාවලට අනුව මුලික වචන උච්ඡාරණය සහ ජන ජිවිතය පිළිබඳවත් දැනුවත් කිරිම් සිදු කරනවා. අපේ සාමාජික සාමාජිකාවන් නවාතැන් පහසුකම් ගන්නේ සාමාන්‍ය ජනතාව මෙන් ලංකාවේ පවුල්වලයි. ආහාර කියා වෙනසක් නැහැ. ඒ අනුව ඒ ඒ පවුල් වලටත් ඉංග්‍රිසි භාෂාව මෙන්ම ඒ ඒ රටවල සංස්කෘතිය ගැන ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙනවා. සති අන්තවලදී නැවැතී සිටින පවුල් සමග පිට පළාත්වල සංචාරය කරන්නත් යනවා. ඒ අනුව ලැබෙන අත්දැකීම් අපට මහෝපකාරි වෙනවා."

අරාන් මර්ෆි (ARAN MERFHY) විසි දෙහැවිරිදිය. උපන් ගම අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවරය. ස්වේච්ඡා සේවයේ උපාධිධාරියකු වන ඔහුගේ අනාගත බලාපොරොත්තුව අයර්ලන්තයේ පොලිස් සේවයට බැඳීමටය. ඒ සඳහා විවිධ පුද්ගල හැසිරිම් රටා සහ ඔවුන්ගේ ජිවන කුසලතා පිළිබඳ ප්‍රා‍යෝගිකව හැදැරීම සඳහා විදෙස් රටවලින් අත්දැකීම් ලැබීම අත්‍යවශ්‍ය බව ඔහුගේ අදහසයි. ඒ අනුව ආසියානු රටවලින් ප්‍රායෝගික අත්දැකිම් බහුලව ලබා ගත හැකි බවයි.

නීල් කත්‍රිආරච්චි මහතා ජාතික තරුණ සේවා සභාවේ විදේශ සංවර්ධන කටයුතු අංශයේ සේවය කරයි. මේ තරුණ හුවමාරු වැඩසටහන් පිළිබඳව තොරතුරු රැසක් ඔහුගෙන් දැනගත හැකි විය. මෙවැනි ව්‍යාපෘති රැසක් ලංකාවේ ක්‍රියාත්මක බව ඔහු පවසා සිටියේය. ජපානය සමග පවතින මිත්‍ර හුවමාරුව, නිපොන් මාරු තරුණ වැඩසටහන, විදේශීය රටවල් සමඟ තරුණ හුවමාරුව මෙන්ම අධ්‍යාපන වැඩසටහන් ද බොහෝය. ඔහු පවසන අන්දමට දියුණු රටවලින් ලැබෙන තරුණ හුවමාරු වැඩසටහන්වලට අපේ තරුණ පිරිස්ද යොමු කිරිමට හැකි වුවද ඇතැම් රටවල් අපේ ඉල්ලුම්කරුවන්ට වීසා පහසුකම් ලබා දීමට කටයුතු කරන්නේ නැත. එවැනි අවස්ථාවලදී රජයේ නිලධාරියෙක් හෝ දේශපාලනයේ මන්ත්‍රිවරයෙක් හෝ ඉදිරිපත් වී වීසා ලබා ගැනීමට කටයුතු කළ යුතුය. එසේ කටයුතු කරන්නේ නම් වීසා ලබා ගැනීමටද හැකියාව තිබේ. එහෙත් අපේ රටේ එලෙස ඉදිරිපත්ව අවස්ථාව ලබා දෙන පිරිස ඉතා අල්පය. තුන්වැනි ලෝකයේ රටවල තරුණ ප්‍රජාව බටහිර රටවලට ගිය විට නැවැත මවු රටට නොපැමිණීම මත ඒ වෙනුවෙන් වගකීම ගැනීමට කෙනෙක් නොමැති වීම මෙයට හේතුව වී තිබේ.

එහෙත් දැනට අන්තර්ජාතිකව සිදුකෙරෙන මෙවැනි ව්‍යාපෘති නිසා ලංකාවට සෘජුව සහ වක්‍රව ආදායම් ලැබේ. වසරකට විදෙස් තරුණ තරුණියෝ අටසීයක් පමණ අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් ලංකාවට පැමිණෙති. එලෙස පැමිණෙන එක් අයෙකුගෙන් රුපියල් විසිදාහක වීසා ගාස්තුවක් රජයට හිමි වේ. මේ අය නවාතැන් ගන්නා නිවෙස් සඳහාද මුදලක් ලැබේ. ඇඳුම් පැලඳුම් ගැනීමට පමුණුව වැනි නාගරික ප්‍රදේශවල අලෙවි සල් වෙත යෑමට ඔවුන් පුරුදු වී ඇති බැවින් සුළු පරිමාණ වෙළෙඳ ප්‍රජාවටද ආදායම් මාර්ග උදා වී තිබේ.

ඇතැම් ආසියාතික රටවල පවතින දේශපාලන අර්බුද සහ ආර්ථික අධ්‍යාපන ක්ෂේත්‍රයේද පවතින හිදැස්ද ඒවා වසාගැනීමට ඇති බාධාවන්ද එමටය. සිදු කෙරෙන විෂමතා හේතු කොට ගෙන වෙනත් රටවලට සංක්‍රමණය වීමට ඇත්තේද විශාල බාධාවන්ය. අපේ තරුණ පරපුරටත් රට රාජ්‍යයන් වෙත සංචාරය කර අත්දැකීම් ලබා ගැනීමට, මෙවැනි වැඩපිළිවෙළට දායක වීමට තරම් වාසනාවක් උදා වෙත්වා යනු අපේ ප්‍රාර්ථනයයි.

අනිල් ලසත් පෙරේරා
පන්නිපිටිය විශේෂ 

Comments